ධර්ම කථිකයකු සතුව පැවතිය යුතු ලක්ෂණ

cmadurawala
7 Min Read

මහානායක පූජ්‍ය ගන්තුනේ අස්සජි හිමි

බුදුරජාණන් වහන්සේගේ සංඝ සමාජයේ මුල්ම රහත් සැටනම සදහම් චරිකාවෙහි යොදවමින් උන්වහන්සේ වදාළේ ධර්මය නොඇසීමෙන් කෙලෙස් රජස් අඩු සත්ත්වයන් පිරිහෙන බැවින් මුල, මැද, අග යහපත් වූ ධර්මය දේශනා කරන ලෙසය. එසේම සිය ශ්‍රාවකයන් ධර්මය ප්‍රගුණ කර අන්‍යයාට ප්‍රකාශ කිරීමට සමත් වනතුරු තමන් වහන්සේ පිරිනිවන් නොපාන බව ද බුදුරජාණන් වහන්සේ වදාළහ. පැවිදි පක්ෂයේ යුතුකම් සඳහන් කරන අවස්ථාවන්හිදී ගිහියාට පාපයෙන් මිදී යහපතෙහි යෙදීමට අවශය මඟපෙන්වීම ධර්මදේශනා මගින් කළ යුතු බව දේශනා කොට ඇති අතර තමන්ට ආමිස දානයෙන් උපකාර කරන ගිහියාට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරන ලෙස ද අනුශාසනා කොට ඇත. සෑම දානයක්ම පරදවා ධර්ම දානය ප්‍රථම ස්ථානයට පත්වන බව ද ආමිස සංග්‍රහයට වඩා ධර්ම සංග්‍රය වැදගත් වන බව ද බුද්ධ වචනයෙහි සඳහන් වෙයි. මේ සෑම සඳහනක්ම අවධාරණය කරන්නේ ධර්ම දේශනයෙහි අවශ්‍යතාව හා වැදගත්කමයි.

ධර්ම දේශනා කිරීම කොතරම් අවශ්‍ය වුව ද එම අවශ්‍යතාව ඉටුකරන ඉටු කළ හැකි පිරිස සුලභ නැත. ඒ නිසාම අනුන්ට දහම් දෙසීම පහසු නැති බව අනඳ තෙණුවන්ට වදාළ බුදුරජාණන් වහන්සේ ධර්ම කථිකත්වය ලැබීම උසස් ලාභයක් බව දේශනා කළහ. ශ්‍රද්ධා ශීලාදී ගුණ ධර්මයන්ගෙන් සම්පූර්ණ වුව ද ධර්ම කථිකත්වයෙන් තොර නම් එම භික්ෂුන් වහන්සේගේ අසම්පූර්ණකමක් ඇති බව ද භික්ෂු නමක් සෑම අතින්ම ප්‍රසාදයට ලක්වීම පිණිස ධර්ම කථිකත්වය අවශ්‍ය බව ද දැක්වෙයි.

මෙහි ධර්ම කථිකයා ලෙස හැඳින්වෙන්නේ කෙබඳු ලක්ෂණවලින් යුක්ත දේශකයා දැයි පැහැදිලි කරගත යුතුය. කුමක් හෝ ව්‍යක්ත ලෙස විචිත්‍ර ලෙස ප්‍රකාශ කළ තරමින් ධර්ම කථිකයෙක් නොවේ. ශ්‍රාවක පිරිස අතර ජනප්‍රිය වූ තරමින් ද ධර්ම කථිකයෙකැයි නිගමනය කළ හැකි නොවේ. හරවත් යමක් වටහා ගැනීමට හැකියාවක් නැති පිරිසක් ඉදිරියෙහි ධර්මයට පටහැනි දෙයක් හෝ කියා ධර්ම කථිකයකු ලෙස පෙනී සිටින්නා ධර්මය ගැඹුරින් වටහා ගැනීමට සමත් පිරිස ඉදිරියේ ධර්ම කථිකයෙක් නොවේ. ධර්ම කථිකයන් කොටස් හතරකට බෙදා දැක්වූ බුදුරජාණන් වහන්සේ දේශනා කැරෙන දේ බුද්ධ වචනයට එකඟ ද නැද්දැයි වටහා ගැනීමට තරම් දක්ෂතා ඇති ශ්‍රාවක පිරිසකට අරුත් බර දහම් දෙසන්නා නියම ධර්ම කථිකයා ලෙස හැඳින්වූහ.

ධර්මය දේශනා කළ යුත්තේ කෙසේ දැයි නොදැනීමෙන් අධර්මය ධර්මය ලෙසත් ධර්මය අධර්මය ලෙසත් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එසේ ප්‍රකාශ කිරීම බොහෝ දෙනකුට දුක පිණිස අවැඩ පිණිස පවතින බව ද ධර්මය වරදවා දේශනා කරන්නා බුදුරදුන්ට අපහාස කරන බව ද දක්වා ඇත. ධර්මය ධර්මය ලෙසත් අධර්මය අධර්මය ලෙසත් නිවරදිව පෙන්වාදෙන දේශකයා නියම ධර්ම කථිකයෙකි. නොයාර්ථ (අර්ථය පමුණුවා ගතයුතු) සූත්‍රාන්ත සහ නීතාර්ථ (අර්ථය පැහැදිලි) සූත්‍රාන්ත නිසිලෙස වටහාගෙන දේශනා කරන්නා ද ධර්ම කථිකයෙකි. මෙයින් අනාවරණය වන්නේ ධර්මය කුමක් ද අධර්මය කුමක් දැයි වටහා ගැනීමේ හැකියාව මෙන්ම බුද්ධ වචනවල නියම අර්ථය වටහා ගැනීමේ හැකියාව ද ධර්ම කථිකයකු සතුව පැවතිය යුතු බවයි.

ධර්ම කථිකයා බුද්ධ ධර්මයෙහි ස්වභාවය මෙන්ම එහි අරමුණ ද වටහාගෙන තිබිය යුතු වේ. බුදුදහම පටිසෝතගාමී වූවකි. එනම් රාග, දෝෂ, මෝහ වැඩිවීමට නොව ඒවා ක්‍රමයෙන් අඩුකොට සම්පූර්ණයෙන් නැතිකර ගැනීමට මඟ පෙන්වන දහමකි. ඒ බව තේරුම් ගෙන දහම් දෙසන්නා නියම ධර්ම කථිකයෙකි. ධර්ම කථිකයා නම් කවුරුන් දැයි විමසන ලද පැනයට පිළිතුර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජරාමරණාදිය පිළිබඳ කලකිරීම අසන්නා තුළ ඇතිවන පරිදි දහම් දෙසන්නා ධර්ම කථිකයා නම් වන බවයි. එබඳුම තවත් විමසුමකදී දේශනා කළේ පංචස්කන්ධය පිළිබඳ කලකිරීම පිණිස නොඇලීම පිණිස පංචස්කන්ධයෙහි නිරෝධය පිණිස දහම් දෙසන භික්ෂු නම ධර්ම කථිකයෙ කැයි හැඳින්වීමට සුදුසු බවයි. මෙහිදී ධර්ම කථිකයා විශේෂයෙන් තේරුම් ගත යුත්තක් නම් පංචස්කන්ධය පිළිබඳ කලකිරීම එක්විටම ඇති නොවන බවයි. එය අනුපූර්ව වශයෙන් ටිකින් ටික ඇතිකර ගත යුත්තකි. එබැවින් ඒ ඒ ශ්‍රාවකයාගේ ස්වභාවය සලකා බලා දහම් දෙසිය යුතු වෙයි. භික්ෂුන් වහන්සේට ම කැරෙන දහම් දෙසුමකදී මතු කැරෙන අදහස් සෑම ගිහියකුටම එකලෙස යෝග්‍ය නොවේ. පැවිදි පක්ෂයෙන් ගිහියාට ඉටුවිය යුතු කරුණු දැක්වීමේදී දෙව්ලොවට (සග්ගස්ස) මග කියාදීම එකක් ලෙස දේශනා කර ඇත.

එහි මෝක්ෂ මාර්ග ගැන සඳහන් නොවන්නේ කුමක් නිසා දැයි සලකා බැලිය යුතුය. ගිහි ඕදාත වසන, අඹු දරුවන් පෝෂණය කිරීමේ බරින් වෙසෙන තැනැත්තන්ට දහම් දෙසීමෙහිදී මෙලොව හා පරලොව සැප ලැබීමට අනුගමනය කළ යුතු පිළිවෙත් හා ඇති කර ගත යුතු සම්පත් පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති බව සැලකිල්ලට ගත යුතුය.

කාමමිථ්‍යාචාරයෙහි යෙදුන අයට පළමුව දහම් දෙසිය යුත්තේ එක්විටම ඔවුන් විරාගී භාවයට පත්කැරෙන අරමුණින් නොවේ. මිථ්‍යාචාරයෙන් වළක්වා කාම සේවනය අවශ්‍ය නම් එය ශිෂ්ට ලෙස සමාජ විරෝධී හා සදාචාර විරෝධී නොවන ලෙස කිරීමට මඟ පෙන්වන අරමුණ ඇතිවය. අධාර්මිකව ධන උපයන්නන්ට පළමුව දහම් දෙසිය යුත්තේ පරිත්‍යාගශීලිත්වය ඔවුන් තුළ ඇති වී අධික තෘෂ්ණාව පාලනය කර ගැනීමටත් (දාන කතා) දැහැමිව ධනය උපයා ගැනීමට හා දුසිරිත්වලින් වැළකීමටත් (සීලකථා) මඟ පෙන්වීම පිණිසය.

එසේ දහම් දෙසීම හඳුන්වා දී තිබෙන්නේ ආනුපුබ්බි කතාව කීමක් ලෙසය. මෙහිදී බුදුරදුන්ගේ ධර්ම දේශනා පර්යාය පිළිබඳ දැනීමක් ධර්ම දේශකයන් වහන්සේ ඇතිකර ගෙන තිබීම අතිශයින් ප්‍රයෝජනවත් ය.

ශිෂ්‍යයා පිළිබඳ අවබෝධ කර ගැනීමේ කුසලතාව ඇති වචන හැසිරවීමේ කුසලතාවෙන් යුක්ත ගුරුවරයා ඉගැන්වීමේදී දේශන ක්‍රමය මැනවින් භාවිත කරයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකි. ඒ නිසාම සිය ශ්‍රාවකයන්ට ධර්මය අවබෝධ කර ගැනීමට මඟ පෙන්වීමේදී අනුගමනය කළ විවිධ ක්‍රම අතර දේශන ක්‍රමය විවිධ නයින් දේශනා කර තිබෙන්නේ ශ්‍රාවකයන්ගේ විවිධත්වය සැලකිල්ලට ගැනීමෙනි. මෙය වර්තමාන ධර්ම දේශකයන්ගේ ද අවධානයට යොමු විය යුත්තකි. එකම මාතෘකාව වුව ද විස්තර කළ යුත්තේ අසන පිරිසෙහි ස්වභාවය අනුවය.

පැයකට අධික කාලයක් එක දිගටම දේශනයකට සවන්දීම ඇතමකුට අපහසුය. විශේෂයෙන් ළමා පිරිසට අපහසුය. එබඳු පිරිසකට දහම් දෙසීමේදී ඔවුන්ගේ අවධානය යොමුකර ගැනීම සඳහා කුඩා ප්‍රශ්න විමසමින් ලැබෙන පිළිතුරු අගය කරමින් අඩුපාඩු පෙන්වා දෙමින් ධර්ම දේශනා කළ හැකිය. මෙය දේශන සාකච්ඡා ක්‍රමය ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි භාවිත වෙයි. බුදුරජාණන් වහන්සේ ඉතා සාර්ථකව එම ක්‍රමය භාවිත කර ඇත. ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ, බුද්ධි මට්ටම් ආදිය අනුව දේශන විලාශය ද වෙනස් කර ඇත. ගොවියකුට දහම් දෙසීමේදී ගොවිතැනට සම්බන්ධ වචන ප්‍රයෝජනයට ගනිමින් ගොවි උපකරණාදිය උපමා සහ රූපක ලෙස භාවිත කරමින් දහම් දෙසූ අතර යාගහෝම කළ බමුණකුට දහම් දෙසීමේදී යාග කිරීම, දන්දීම ආදිය විස්තර කරමින් දේශනා කළහ. දේශනා කරන ලද ඇතැම් කරුණක් පැහැදිලි කිරීමට උපමා භාවිත කළහ. ඇතැම් නුවණැතියෝ උපමාවක ආධාරයෙන් කියන ලද දෙයෙහි අර්ථය දනිති යන්න බුදුරදුන්ගේ අදහස විය. ඒ ඒ අවස්ථාවන්ට හා සිද්ධිවලට අනුකූලව දහම් දෙසීමේ ලක්ෂණය ද බුද්ධ චරිතයෙහි දක්නට ලැබේ. බුදුරදුන් දන් වැලඳූ සෑම තැනකම දේශනා දානානිසංශ පමණක්ම නොවේ. දානය පිරිනැමුයේ ආවාහ විවාහ මංගල්‍යයක් නිමිති කරගෙන නම් එහිදී අඹුසැමි ආචාර ධර්ම අන්‍යෝන්‍ය යුතුකම් පෙන්වමින් දහම් දෙසූහ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *