කිසියම් අවස්ථාවක සමථ විදර්ශනා දෙකෙහි පරතෙරට ගියේ ද එවිට සිවුසස් අවබෝධ කළා වූ ඔහුගේ සියලු සංයෝජනයෝ විනාශයට යති. සංයෝජන වූ කලී සසර තදින් බැඳ තබන බැමි වේ! සත්ත්වයා සසර තදින් ඇද බැඳ තබන්නේ සංයෝජනයන්ය. සංයෝජන ගණනින් දසයකි. උද්ධංභාගිය සහ ඕරංභාගිය වශයෙන් දෙයාකාර වේ. සත්ත්වයා සසර ඇද බැඳ තබන සියලු සංයෝජනයන් සිඳ බිඳ දැමිය හැක්කේ සමථ විදර්ශනා වැඩීමෙනි. එවිට සියලු සංයෝජනයන් මුලින් උපුටා දැමිය හැක්කේය. සංයෝජනයන් මුලින් උපුටා නොදමන තාක් සත්ත්වයාගේ සසර ගමන පවතී. විවිධ භව දුක්ඛයන්ට මුහුණ පාන්නට සිදුවේ.
ඉදානීන්තනයෙහි එනම් වර්තමානයෙහි ලොවේ බොහෝ රටවල් යුද කැරලි කෝලාහලවලට ගොදුරු බිම් වී විනාශයට පත්වෙමින් පවතී. අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා යනුවෙන් බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි සෑම තැනම ගැටලු තිබේ. ඒවා ලිහාගත හැක්කේ හික්මුණු විනයගරුක සීලවන්තයාටය. ප්‍රඥාවන්තයාටය. අපිදු අයාලේ යමින් මංමුළාවේ වැටෙමින් රටක් වශයෙන් ද පිරිහෙමින් ඇලී ගැටී වැටෙමින් සිටිමු. නැවත අලස නොවී නැගිට පිබිදෙමින් සැදැහැ ගුණ නුවණින් ක්‍රියා කිරීමෙන් සැනසීම ළඟාකර ගත හැකිවනු ඇත.
බැතිය සහ සැදැහැව විස්තර කැරෙනුයේ දෙආකාරයෙනි. අප වඩවා ගත යුත්තේ ගුණ නුවණින් යුතු සැදැහැවයි. සැදැහැ ගුණය, විනීතාචාර නැත්තා පව් කරන්නට නරක දෑ කරන්නට බය නැත. ලැජ්ජාවක් නොමැත. එය ‘හිරි ඔත්තප්පය නැතිකමයි’. දේවධර්ම නම් වූ ලෝක පාලක ධර්ම දෙක වන මේවා ගැන සලකා ක්‍රියා කළේ නම් අප සැමතින්ම පිරිහීමට ලක්වන්නේ නැත.
ගුණනුවණින් යුතු සැදැහැවට මෙන්ම පවට ලැජ්ජා වීමට හා බිය වීමටත් එළඹ සිටි සිහිය මහත් අනුබලයකි. එළඹ සිටි සිහියෙන් තොර තත්පර කිහිපයක් වුව ආපසු හැරවිය නොහැකි වරදක් කරගැනීමට ප්‍රමාණවත්ය. එනිසා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවිතය ගත කිරීමට අපි සැම විට ම උත්සාහවත් විය යුතු වෙමු. පව් නොකරන පින් කුසල් වඩන නිවනම අරමුණු කොට ජීවත් වන පුරවැසියා තමාටත් රටටත් ලෝකයටත් ආලෝකයක් වනු නිරනුමානය. එබඳු සත්පුරුෂයකු කල්‍යාණ මිත්‍රයකු වීමට අධිෂ්ඨාන කරමු.!