කොලොන්නාව පුරාණ ශ්‍රී මහා විහාරාධිපති ශ්‍රී සද්ධර්‍ම වාගීශ්වරාචාර්ය කොළඹ නව කෝරළය සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ බිහිවූ සමාජය පාප අන්ධකාරයෙන් පමණක් නොව මොහන්ධකාරයෙන් වැසී පැවැති යුගයකි. යම් යම් ආගමික මතිමතාන්තර එදා ව්‍යාප්තව තිබුණේ සමාජයේ සීමිත කොටසකගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකෙන පරිදිය. රාජ්‍ය පාලනය ආගමික සේවා ආදිය හුදෙක් රජ බමුණු ආදීන්ගේ ඒකාධිකාරයට යටත් විය. මිනිස් සමාජය, බමුණු, ක්‍ෂත්‍රිය, වෛශ්‍යය, ශුද්‍ර යන චතුර්වර්ණයෙන් කොටස් කර තිබූ අතර පොදුවේ සියලුම වර්ණිකයන් අතර ස්ත්‍රියට ලැබුණේ ඉතාමත් පහත් තත්ත්වයකි.
ස්ත්‍රිය සමාජයෙන් නිතරම ඈත්කොට වසං කොට තැබීම ස්වභාවය විය. යම් අවස්ථාවක ස්ත්‍රී පක්ෂය ගැන කියැවුණ ද ඒ අයගේ නූගත්කම ගැන ප්‍රකට කරවීම පිණිසය. ඔවුන් මුළුතැන් ගෙයට පමණක් සීමිතව සලකන ලදී. එදා සමාජය ස්ත්‍රිය ගැන සැලකූ ආකාරය මෙම සංස්කෘත ශ්ලෝකයෙන් ප්‍රකට වේ.
“නාග්නිඃ තෘප්‍යති කාෂ්ටාණං
නාපගානම් මහොධදිඃ
නාන්තකඃ සර්ව භුතානං
නපුංසාං වාම ලෝචනාං”
එනම්: ගින්නට දරත්, මුහුදට ගංගාත්, මරුට සියලු සත්වයනුත්, ස්ත්‍රියට කොතෙක් පුරුෂයනුත් ලැබීම නොසෑහේ යනු එයින් දෙන අර්ථයයි. මෙබඳු ආකල්ප මත එදා බමුණු සමාජය විසින් ස්ත්‍රිය ව්‍යාජ පිළිකුල් ජනක තත්ත්වයක පවත්වා ගෙන ගිය බව පැහැදිලිය.
ස්ත්‍රියට කවමදාවත් උගත්කම අවශ්‍ය නැත. ඇය දරුවන් දෙන යන්ත්‍රයක් හා පුරුෂයන් පිනවන වස්තුවක් පමණි. එමනිසා ගැහැනියක් කිසි දවසක හුදකලාව නිදහස්ව නොසිටිය යුතුය. කුඩාවිය සිට තරුණ කල දක්වා මව්පියන් යටතේ සුරැකිය යුතු ඇය තරුණ විය සිට මහලු විය දක්වා ස්වාමිපුරුෂයාගේ රක්ෂාවරණය යටතේ සිටිය යුතුය. මහලු වියට පත් කාන්තාව පවා නිදහස්ව නොසිටිය යුතුය. ඇය සිය දූ දරුවන් යටතේ රැකවරණය ලැබිය යුතුය. මේ සියලුම අදහස්වල ගැබ්ව ඇත්තේ කුමක්ද? වනීතා පක්ෂය හුදෙක් නිතරම කාමාසාවෙන් පරිපීඩිතව ඉඩ ලද ඕනෑම මොහොතක දුරාචාරයට පෙළඹීම පිණිස සූදානම් බවයි. ඇය උපතින්ම මෝඩය. ඇයට “ද්වංගුලපඤ්ඤා” හෙවත් අඟල් දෙකකට වඩා නුවණක් නැත. එනිසාම අපගේ සාමාන්‍ය ව්‍යවහාරයට පැමිණ ඇති “හැඳිමිටේ නුවණ”ද බමුණු මතයක නෂ්ටාවශේෂයකි. “ස්ත්‍රී බුද්ධීර් විනාසාය” යනුවෙන් කියන්නේ ස්ත්‍රියට සාධාරණ චින්තන ශක්තියක් නැති බවයි.
බුදුරජාණන්ට පෙර ස්ත්‍රීන් ගත කළ ජීවිතය ඉතා ගර්හිතය. වහලුන්ට නොදෙවැනිව නොයෙක් ගැහැට වින්දහ. නා නා විධ අසාධාරණ නීතිවලින් ස්ත්‍රීන් බැඳ තැබූහ. ගැහැනු දරුවන් ලැබීම අභාග්‍යයක් කොට සැලකූහ. මෙම සාම්ප්‍රදායික කුරිරුකම්වලට එරෙහිව කතා කළ, ක්‍රියා කළ එකම විමුක්තිදායකයා අප බුදුරජාණන් වහන්සේය. එම නිසා ස්ත්‍රී පක්ෂය ලැබූ සාමාජික නිදහස අතිවිශාලය. බුදුපියාණන් වෙතින් ලත් එම සැනසීම වටහා ගැනීමට බුද්ධ කාලයට පෙර වනිතාව ගෙවූ දුෂ්කර දිවිය ගැන මනාව වටහා ගතයුතුය. බඹ, සුර, නර උතුමන්ගේ හිස රැඳි කිරුළු අග මැණික් රශ්මිය රහත් භික්ෂුණීන්ගේ දෙපා මුල රැඳ වූයේ මාගේ බුදුරජාණන් වහන්සේ නිසාය.
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම පැවැත්මක් නොමැතිව මිනිස් සමාජය පවත්වා ගතනොහැක. එම නිසා ස්ත්‍රියටත් පුරුෂයාට මෙන් ලෝකයේ කිසියම් ස්ථානයක්, බලයක්, අයිතිවාසිකමක් ඇති බව, තිබිය යුතු බව, පිළිගත යුතුය. මෙය සත්‍යය දර්ශනය වුවද ලොව රටින් රට යුගයෙන් යුගය පැවැති තත්ත්වය අනුව මේවා ප්‍රලාප බවට පත්ව ඇත. හින්දු සංස්කෘතියේ සහ බමුණු දහමේ මූලික අංගයක් වූයේ ස්ත්‍රිය අපිරිසුදු අශුභ වස්තුවක් බවයි. මේ නිසා ඇයට සමාජ සම්මතයෙන් තිබුණේ ඉතා පහත් තැනකි.
එක සමාන ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයකින් නිර්මාණය වන පිරිමි දරුවාත් ගැහැනු දරුවාත් අතරින් පිරිමියා උසස් වීමටත් ගැහැනිය අසුබ අවැඳගත් වීමත් මනසේ ගැටලු ඇති කරවන සුලුය. බමුණු මත වාද පිළිගන්නා අද සමාජයේ පවා ගැහැනු දරුවකු ඉපදීම පිළිකුල් කරන අවස්ථා කොතෙකුත් අපට දක්නට ලැබේ. එහෙත් බුදුරජාණන් වහන්සේ බිහි වූ ක්‍රි:පූ: 6 සියවස හා ඊට පෙර තත්ත්වය සමග සසඳා බලන කල වර්තමාන කාන්තාවට ඇත්තේ විශාල නිදහසකි. වැදගත් තත්ත්වයකි.
විශේෂයෙන් හින්දු දහමේ ආභාසය ලත් ඉන්දීය සමාජයේ ස්ත්‍රිය පිළිබඳව සටහන් වන ඉතිහාසය අතිශය සෝචනීය වේ. ඇය ඈත අතීතයේ සිටම සිටියේ තදබල අන්ධකාරයකය. සියලු සතුන්ට සමසේ මෙත් සිත් පෑ බුදුරජාණන් වහන්සේ ස්ත්‍රිය වැටී සිටි සෝචනීය තත්ත්වයෙන් මිදීම සඳහා විශාල “සටනක්” සමාජ පෙරළියක් ගෙන ගියහ. හින්දු මත විශ්වාස අනුව ස්ත්‍රිය අපිරිසුදු සමාජයට නොගැළපෙන වස්තුවක් වශයෙන් ප්‍රචලිත අදහස් මිනිස් සමාජය වෙලා පැටලී පැවැතිණ. ශුභ ගමනක් යනවිට පෙර මඟට ස්ත්‍රියක් මුණ ගැසුණහොත් එම ගමන අහෝසි කර නැවතත් නිවස කරා පැමිණීමට තරම් රජ බමුණු ආදී ප්‍රභූයැයි සම්මත සමාජය හැඩ ගැසී තිබුණි. මෙයට හේතුව ස්ත්‍රිය අසුබ දර්ශනයක් වීමයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්‍ම විප්ලවයට පසුව තත්ත්වය බැලුවහොත් අද කන්‍යා ස්ත්‍රිය මිනිස් සමාජයේ සිටින ශුභතම දර්ශනයයි. පැන් කොතලය ගෙන පෙර මඟට හමුවීමට, ජය මඟුල් ගී ගැයීමට, සුරතට මල් පිළිගැන්වීමට මේ ආදී කී නොකි සෑම ශුභ කටයුත්තකටම යෝග්‍ය තත්ත්වයකට ස්ත්‍රියගේ තත්ත්වය පරිවර්තනය වී ඇත.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකයෙක් වූ කොසොල් රජතුමාට දාව මල්ලිකා දේවිය දියණියක ප්‍රසූත කළාය. එහෙත් මෙම පුවත ඇසූ කොසොල් රජතුමා දුකට කනස්සල්ලට පත් විය. මෙවිට බුදුරජාණන් වහන්සේ ඔහුට සැනසිලි දායක කරුණු විස්තර කර,
“ඉත්‍ථිපිහි ඒකච්චියා – සෙය්‍යො පොස ජනාධිප
මේධාවිනී සීලවතී – සස්සු දේවා පනිබ්බතා”
මහරජ නුවණැති ආචාරවත් නැදි මයිලන් කෙරෙහි ආචාර ධර්මයන් පවත්වන්නා වූ පතිවෘතාවෙහි පිහිටි ඇතැම් ස්ත්‍රීහු සමහර පිරිමින්ට වඩා උතුම් වෙති. එබැවින් ඒ ළදැරිය පෝෂණය කරන්නැ’යි පිරිමි දරුවාට වඩා සමහරවිට ගැහැනු දරුවා හිතදායක වැඩදායක බුද්ධිමත් කෙනෙක් විය හැකි බව දේශනා කළ සේක.
“නසො සබ්බේසු ඨානෙසු
පුරිසො හොති පණ්ඩිතො
ඉත්‍ථිපි පණ්ඩිතා හොති
නත්‍ථ නත්‍ථ විචක්ඛණා”
යනුවෙන් සියලුම ස්ථානයන්හි පුරුෂයාම පණ්ඩිත නොවේ. ස්ත්‍රීන් ද බුද්ධිමත්ය. යනුවෙන් එම අදහස මනාව ප්‍රකට කර ඇත.
බුද්ධකාලයට පෙර පැවැති සිරිත් විරිත් ආගමික මත වාද තුළින් මෙම මිනිස් සමාජයෙන් හරි අඩක් වූ ස්ත්‍රී පක්ෂය වහලුන් සේ සැලකීමට හුරු පුරුදුව පැවැති බව තවදුරටත් පැහැදිලි වන අවස්ථා රාශියකි. විවාහයට පත්වන පුරුෂයා මියගියහොත් එම වැන්දඹුව ද ස්වාමියාගේ සොහොනට පැන දිවි නසා ගතයුතුය. මෙය “පති පූජාව” වශයෙන් සමාජය සැලකීය. එහෙත් පුරුෂයා තම භාර්යාව මියගිය පසු මෙසේ දර සෑයට පැනීම අවශ්‍ය නොවීය. ගෘහ පතියාට එක නීතියකුත් ගෘහ පතිනියට තව නීතියකුත් වශයෙන් ඉතා පැහැදිලි අයුක්තියක් මේ තුළින් දිස්වේ. ඉන්දියාවේ හා ඉතා ඈත රටවල් දක්වා මෙම පති පූජා ක්‍රමය පැවැති බව පෙනේ.