ආචාර්ය ප්‍රියන්ත නවරත්න
පරිසරය වනාහි මනුෂ්‍යයා, අනෙකුත් සත්ත්වයන්, ගස්වැල්, පස හා ජලය යනාදියෙහි අපූර්ව සංයෝජනයක් ලෙස මූලික වශයෙන් හඳුන්වා දිය හැකිවේ. ඒවායේ අන්‍යොන්‍ය පැවැත්ම උදෙසා ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් හුවමාරු කරගන්නා අයුරු විස්මය දනවනසුලු ය. පරිසරය ප්‍රධාන වශයෙන්, ස්වාභාවික පරිසරය හා මිනිසා විසින් වෙනස් කරන ලද පරිසරය වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනාගත හැක. ස්වාභාවික පරිසරය සතු වටිනා ස්වාභාවික ලක්ෂණයන් දිනෙන් දින විනාශ කරමින් තමාගේ සුඛවිහරණය පිණිස කෘත්‍රිම පරිසරයක් ගොඩනැඟීමට නොමසුරුව දායක වූ බුද්ධිමත් මිනිසාට ඒවායේ ප්‍රතිවිපාක දැන් දැන් අත්විඳින්නට සිදුව ඇත. මේ නිසාම ස්වාභාවික පරිසර පද්ධතීන් ආරක්ෂා කරගැනීම පිළිබඳ වූ දැවැන්ත කතිකාවකට සමස්ත ලෝකයම පෙළගැසී තිබේ.
ගස්වැල් යනු, පරිසරය තුළ තිබෙන්නා වූ ප්‍රධානම හා වටිනාම අංගයකි. බුද්ධත්වය ලැබීම සඳහා බෝසතුන් පිටදුන් ඇසතු වෘක්ෂයට පවා සතියක් පුරා උන්වහන්සේ තම කෘතවේදීත්වය පළ කළ අතර බුදුන් වහන්සේ ජීවමාන අවධියේ උන්වහන්සේ බැහැදැකීමට අවස්ථාව නොලද පෘථග්ජනයා කනස්සල්ලට පත්වීම වළක්වනු පිණිස ගෞරවය දක්වනු වස් ජේතවනාරාමයෙහි ආනන්ද බෝධිය රෝපණය කරන ලදී. මහින්දාගමනයෙන් පසු දෙවනපෑතිස් රජුගේ ඥාතිවරියක වූ අනුලා කුමරිය පැවිදි වීමට අපේක්ෂා කළ බැවින් ඒ සඳහා භික්ෂුණි ශාසනය පිහිටුවනු වස් සංඝමිත්තා තෙරණිය පිටත් කර එවන ලෙස මිහිඳු හිමියන් රජුට දන්වන ලදී. ඒ අනුව අදාළ සංදේශය අරිට්ඨ කුමරුන් අත අශෝක රජු වෙත යවන ලද අතර බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් ස්ථානයෙහි වූ බෝධීන් වහන්සේගේ ශාඛාවක් ද රැගෙන එන ලෙස වැඩිදුරටත් ඔහුට දන්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රැගෙන සංඝමිත්තා තෙරණිය ලක්දිවට වැඩම කළාය. එසේ ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වූ දා පටන් එම වෘක්ෂයට පිරිනැමෙන ගෞරවය හා භක්තිය වර්තමානය දක්වා නොනැසී දිවඑන අතර පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය කෘතියෙහි ඊ.ඩබ්. අදිකාරම් විසින් Ceylon and the Portuguese කෘතියෙන් උපුටා දක්වන පහත ප්‍රකාශනයෙන් එය තවදුරටත් තහවුරු වේ.
සිංහල ජාතියේ දීර්ඝ ඉතිහාසයෙහි වෙනත් එකුදු සිද්ධියක් හෝ මහා බෝධි වෘක්ෂ රෝපණය තරම් තදින් සිංහලයාගේ සිත් ගත්තේ ද යනු සැක සහිත ය. තනි ගල්තලයක් මතුයෙන් පෝෂ්‍යය ලබමින් ඉතාම ශක්ති සම්පන්න ගොඩනැඟිල්ලක් ඇතුළට පවා පළාගෙන යන එහි මෘදු මුල් මෙන් මෙම වෘක්ෂයෙන් නිරූපණය වන බලය මිනිසුන්ගේ අභ්‍යන්තරයට විනිවිද ගොස් ඇත්තේය.

මිනිසාගේ සිත තුළ විවිධ මානසික අර්බුද හටගත් කල්හි ඔවුන් බෝධීන් වහන්සේ වෙත ගොස් තම දුකට පිහිට ඉල්ලමින් මානසික සහනය උදා කරගන්නා අයුරු බෞද්ධ ප්‍රජාව තුළ වර්තමානයේ ද දැකගත හැකි අතර බෞද්ධ බැතිමතුන්ට අමතරව වෙනත් ආගම් අදහන්නවුන්ගේ විවිධ ආගමික ක්‍රියාකාරකම් ද වෘක්ෂලතා සමග බද්ධ වී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි වේ. මීට කදිම නිදර්ශනයක් බම්බලපිටිය පරණ කදිරේසන් කෝවිලෙහිදී දැකගත හැක. එහිදී හින්දු බැතිමතුන් ඇසතු වෘක්ෂයක් අබියස පොල්බෑ තබා ඊට තෙල් දමා පහන් පත්තු කර ඒ අසල සැලකිය යුතු වේලාවක් රැඳී සිටිමින් විවිධ දෑ සජ්ඣායනය කරමින් මානසික සහනය උදාකර ගැනීමට කටයුතු කරන ආකාරය වර්තමානයේ ද නිරීක්ෂණය කළ හැකි වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේදී පවා වෘක්ෂ වන්දනාව පැවති බවට සාධක තිබෙන අතර විශේෂයෙන්ම ඇසතු, නුග වැනි වෘක්ෂ පූජනීය වෘක්ෂයන් සේ ඔවුන් සලකා ඇත. ඇසතු වෘක්ෂය අතීතයේ පටන් හින්දූන්ගේ වන්දනාවට ලක්වී තිබෙන බව පද්මපුරාණ වැනි ග්‍රන්ථවලින් පැහැදිලි වන අතර ක්‍රි.පූ. තුන් දහසකටත් වඩා පැරණි සේ සැලකෙන මොහෙන්දෝජාරෝ හරප්පා සංස්කෘතියේ ද මුද්‍රාවල මෙම ගසේ තොරතුරු ඇඳ තිබේ. ලෝකයේ බොහෝ රටවල පැරණි ජනයා අතර පැවති වෘක්ෂ වන්දනාව ඉන්දියාවේ බහුලව පැතිර තිබූ අතර එහි සෑම ගමකම වන්දනාමාන කරනු ලැබූ ගසක් හෝ ගස් ලන්දක් විය. එසේ ශුද්ධ යැයි සැලකූ ගස් අතර බෝ (පිප්ඵල හෙවත් අශ්වත්ථ) හා නුග ගස විශේෂ විය. බෝ වෘක්ෂයට වැඳීම බුද්ධාගමට ද පැතිර ගිය අතර නුග වෘක්ෂයෙහි අතුවල සිට පහතට එල්ලී වැටෙන මුල්, ආගමික ධර්මයන් හුවා දක්වන සංකේත වශයෙන් සැලකිණ.
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අටවිසි බුද්ධ වන්දනාව තුළ දැකිය හැකි වැදගත් ලක්ෂණයක් වන්නේ එම අටවිසි බුදුන් වහන්සේලා පිට දුන් බෝධි වෘක්ෂයන් එම බුද්ධ ප්‍රතිමා ආසන්නයේ සිටුවා ඒවාට සත්කාර කොට රැක බලා ගැනීම යි. තව ද වත්මන් ලාංකික ජනතාව ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය සමග ඉතා සමීපව කටයුතු කරන අතර විවිධ ග්‍රහයන්ට අදාළ යැයි සැලකෙන ශාකවලට සත්කාර කිරීම තුළින් අදාළ ග්‍රහයාගෙන් සිදුවිය හැකි අපල දුරු වෙතැ’යි විශ්වාස කරති. එපමණක් නොව, අපල දුරු කර ගනු වස් බෝධි පූජා පවත්වනු ලබන අතර එහිදී ද අපල කරවනු ඇතැයි සැලකෙන ග්‍රහයාට අදාළ ශාකයෙහි පත්‍ර රැගෙනවිත් ඒ මත පහන් දල්වනු ඇතැම් විහාරස්ථානවල දී වර්තමානයේ පවා නිරීක්ෂණය කළ හැකිවේ. වර්ෂ 1660 දී ශ්‍රී ලංකාවේ සිරකරුවකුව සිටි රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation of the Island of Ceylon කෘතියෙහි සිංහල පරිවර්තනයෙහි දක්වා ඇති පරිදි එදා ලාංකික ජනතාව තුළ බෝධි වෘක්ෂය කෙරෙහි වූ බැඳීමත් බුදුදහම පිළිබඳ වූ ඔහුගේ දැක්මත් හෙතෙම විග්‍රහ කරනුයේ මෙසේය.
දෙවිරුක හැටියට ඔවුන් විසින් වර්ණනා කරනු ලබන බෝධි වෘක්ෂය යට ඇමද පිරිසිදුව තැබීම ඔවුන්ගේ දෛනික ආගමික කෘත්‍යයකි. ඔවුන්ගේ බුද්ධාගම අතිශයින් සත්‍ය වූ, නිර්මල වූ, පූජාවට ගෝචර වූ, තර්කයට පාත්‍ර වූ ආගමක් සේ සලකනු ලැබේ. අපි ද එය එසේ බව සලකමු.
අතීතයේ ඉන්දියානුවන් ශුද්ධ යැයි සැලකුණු වෘක්ෂ අතර තවත් එක් වෘක්ෂයක් වනුයේ අශෝක වෘක්ෂය යි. දරුවන් ලැබීම සඳහා කාන්තාවෝ එම රුකට යැද්දෝ ය. එසේම ශුද්ධ පැළෑටි වර්ග ද පැවතිණ. විෂ්ණු හා සම්බන්ධයක් ඇති බොහෝ හින්දු ගෙවල්වල මිදුලේ මදුරුතලා (තුල්සි) යන පැළෑටිය ද දැනුදු මහත් කැමැත්තෙන් යුතුව වවනු ලැබේ. වේද කාලයේ පටන් කුශ හා දර්භ යන තෘණ වර්ග ද එබඳු වස්තු ලෙස සැලකිණි. සෑම කන්දකම, සෑම පර්වතයකම තරමක පාරිශුද්ධ භාවයක් විය. ගංගා අතරින් ප්‍රධාන වූයේ විෂ්ණුගේ පාදයෙන් ආරම්භ වී අහස් ගඟ වශයෙන් ගලා බසින ශිවගේ ජටාවෙන් පොළොවට බට ගංගා නදිය යි. ගංගා නදියත් එහි අතු ගංගාවක් වූ යමුනාවත් යන ගංගා ද්විත්වයටම දේවත්වයක් ආරෝපණය කර දේවතාවියන් ලෙස සලකන ලදී. එපමණක් නොව සරස්වතී, නර්මදා, ගෝධාවරී, කෘෂ්ණ හා කාවේරි ගංගා ද හිමාලයේ පිහිටි මානස හා පුෂ්කර යන විල් ද ශුද්ධත්වයෙන් සැලකූ පාරිසරික පද්ධතීන් ය.
එකී සියලු කරුණු අනුව ගම්‍ය වන කරුණක් වන්නේ, ජීව විද්‍යාත්මක පදනමෙන් පමණක් නොව ආධ්‍යාත්මික සුවතාවට මංපෙත් සොයා බලන ක්‍රියාකාරකම්වල දී ද මිනිසා සහ වෘක්ෂලතා මූලික කර ගත් අනෙකුත් පාරිසරක පද්ධතීන් අතර වූ සබැඳියාව සුළු කොට තැකිය නොහැකි බව යි. ආධ්‍යාත්මික සුවතාව පසෙකලා භෞතික දියුණුව පසුපසම හඹා යන මිනිසා, ස්වාභාවික පරිසරයෙන් දිනෙන් දිනම ඈත්වී කෘත්‍රිම පරිසරයක සිරකරුවකු බවට පත්ව තිබේ. එතුළින් නිරන්තරව උදා කර ගනු ලබන මානසික වෙහෙස නිසාම මානසික ආතතිය වැනි තත්ත්වයන් හටගෙන එය විවිධාකාර මානසික අර්බුද මෙන්ම කායික රෝග පීඩාවන් දක්වා ද වර්ධනය වී ඇති අයුරු වත්මන් සමාජය තුළ සුලබව දක්නට ලැබේ. මිනිසාගේ පමණක් නොව වන සතුන්ගේ පවා ශාරීරික සුවතාව සඳහා අවශ්‍ය ආහාර, ජලය, ඖෂධ යනාදිය නොමසුරුව සපයන තුරු ලතා සහිත ස්වාභාවික පරිසරයට අනුගතව මිත්‍රශීලීව දිවි ගෙවන්නා මානසික නිරෝගීභාවය ද උදාකර ගන්නේ නිරායාසයෙන් බව මේ අනුව පැහැදිලි වේ.

බුද්ධ දේශනය අනුව බලන කල පරිසරය හෙවත් සොබාදහම තුළ පංචේන්ද්‍රියන්ට ගෝචර මෙන්ම ගෝචර නොවන පරාසයක් ද අන්තර්ගත ය. එම ගෝචර වන පරාසය පමණක් අත්විඳින පෘථග්ජනයා සමස්ත ලෝකය එය යැයි සිතා දැඩි මුළාවෙන් යුතුව ලෝකය සේවනය කරයි. බුදුන් වහන්සේ තම දියුණු කළ මනසින් පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන පරාසය ද පිරිසිඳ දැන සොබාදහමේ සැබෑ ක්‍රියාකාරිත්වය හෙවත් ලෝකයේ යථාර්ථය අවබෝධ කොට ඒ දහම ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දේශනා කළහ. වරෙක භාවනානුයෝගී භික්ෂු පිරිසක් වනගතව භාවනා කටයුතුවල යෙදී සිටි අතර උන්වහන්සේලාගේ වනවාසය නොරිස්සූ වෘක්ෂ දේවතාවන් විවිධ බියකරු දර්ශන හා ඉවසිය නොහැකි දුර්ගන්ධයන් මවා පෑ කල්හි එවැනි අදෘශ්‍ය ලෝකයෙන් හට ගන්නා බාධාවන් සමනය කරගැනීමට මෛත්‍රිය පැතිර වියයුතු අයුරු බුදුන් වහන්සේ මෙත්ත සූත්‍රය ඔස්සේ දේශනා කළහ. ඒ අනුව පරිසරය තුළ පංචේන්ද්‍රියට ගෝචර වන පරාසය පිළිබඳ පමණක් නොව පංචේන්ද්‍රියට ගෝචර නොවන පරාසය පිළිබඳව ද බුද්ධ දේශනය තුළ විවිධ අවස්ථාවල සාකච්ඡා කර ඇති අයුරු දක්නට ලැබේ.
මෙම පර්යේෂණය ඔස්සේ මනසේ දියුණුව හෝ මානසික සැනසීම වැනි මනසේ ඇතිකර ගත හැකි ධනාත්මක වර්ධනයන් පිළිබඳව පහත පරිදි අදියර තුනක් ඔස්සේ බෙදා අධ්‍යයනය කෙරේ.
- සිත ලෝකෝත්තර තත්ත්වයට දියුණු කර යථාර්ථය අවබෝධ කිරීම
බුදුන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වීමටත්, උන්වහන්සේගේ අනුගාමිකයන්ට රහත් ඵලය දක්වා ළඟා වීමටත් වනාන්තර ආශ්‍රිත පරිසර සාධක බලපෑ අයුරු ත්‍රිපිටකය ආශ්‍රිතව අධ්‍යයනය කිරීම මෙහි දී අරමුණු කෙරේ.
- සිතක විසිරෙන ස්වභාවය අවම කර චිත්ත ඒකාග්‍රතාව ඇති කිරීම
චිත්ත ඒකාග්‍රතාව යනු, සිත එකඟ කිරීම වන අතර එය සමාධි නමින් හැඳින්වේ. මෙම අදියරට අදාළ අධ්‍යයන කටයුතු කරනුයේ ශ්‍රී ලංකාවේ හා මියන්මාරයේ විවිධ ප්‍රදේශවල වනාන්තර ආශ්‍රිතව පිහිටා ඇති ආරණ්‍යය සේනාසනවල ය. සිතක විසිරෙන ස්වභාවය අවම කර චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීම සඳහා ආරණ්‍යය භූමියක් සතු පාරිසරික සාධකයන් හා ඒවායේ බලපෑම අධ්‍යයනය කිරීම මෙහි දී සිදු වේ.
- මානසික පීඩාවට ලක් වූ පුද්ගලයන් තුළ මානසික සැනසීම ගොඩනැඟීම
මානසික ආතතිය ඇතුළු විවිධාකාර මානසික අර්බුද හමුවේ පීඩාවට පත් වත්මන් සමාජයේ මිනිසුන්ට ඒ සඳහා යොදාගත හැකි පරිසර පාදක විසඳුම් පිළිබඳව මේ යටතේ අධ්‍යයනය කෙරේ.
සාහිත්‍ය විමර්ශනය සහ අධ්‍යයනයේ ඇති වටිනාකම
මෙම අධ්‍යයනයේ ඇති වටිනාකම විමසා බැලීමට පෙර අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳව මෙතෙක් කෙරී ඇති පර්යේෂණයන් හා ඒවායේ හෙළිදරව් කිරීම් පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. ඒ වෙනුවෙන් කරන ලද සාහිත්‍යය විමර්ශනයේදී උපයෝගී කරගනු ලැබූ, පර්යේෂණ ක්‍ෂේත්‍රයට අදාළව මෙතෙක් සිදු කර ඇති අධ්‍යයනයන් කිහිපයක් පිළිබඳ තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කෙරේ.
ශ්‍රී ලංකාවේ වනගත භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව මයිකල් කැරිතර්ස් විසින් 1983 දී කරන ලද The Forest Monks of Sri Lanka: Anthropological And Historical Study පර්යේෂණය තුළින් වනගත භික්‍ෂූන් වහන්සේලාගේ ජීවන රටාව පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර ගිහිගෙයින් නික්මීම සඳහා උන්වහන්සේලාට බලපෑ හේතු සාධක ද එහිදී විමසීමට ලක් කර ඇත. උන්වහන්සේලා පාලි ත්‍රිපිටකය ඇතුළු අනෙකුත් පෞරාණික ධර්ම ග්‍රන්ථවල සඳහන් උපදෙස්වලට අනුකූලව තම ප්‍රතිපදාවන් පවත්වා ගෙන යනු ලබන අතර පැන් පානය, වාඩිවීම, නිහඬව සිටීම වැනි එදිනෙදා කටයුතුවලදී පවා පෞරාණික සම්මත ක්‍රමවේදයන් අනුගමනය කරති. මෙම තත්ත්වය මදුනාගල මෙන්ම අනෙකුත් ආරණ්‍යවලදී පවා නිරීක්ෂණය කළ හැකි වේ. ගිහිගෙය අතහැර පැවිදි දිවියට පිවිසීම නොහොත් අභිනිෂ්ක්‍රමණය සඳහා වන හේතුව විමසා බැලීමේදී ඒ සඳහා වන සාම්ප්‍රදායික පැහැදිලි කිරීම වන්නේ දුක්ඛ යන්න යි. වයසට යෑම, රෝගී වීම, මරණයට පත්වීම සහ ශෝක වැලපීම යනාදිය මෙහි දුක්ඛ යන්නට වැටේ. එම සාම්ප්‍රදායික පැහැදිලි කිරීම ඔස්සේම යමින් බොහෝ භික්‍ෂූන් වහන්සේලා තම තමන්ගේ ගිහිගෙය අතහැර යෑමට හේතුව සසර දුක බව පෙන්වා දෙති. කෙසේ වෙතත්, උන්වහන්සේලාට බොහෝ සමීපව මෙම කාරණය විමසා බැලූ කල්හි විවිධාකාර වෙනත් හේතූන් ඉදිරිපත් වන ස්වභාවය නිරීක්‍ෂණය කළ හැකි වේ. ඒ අතර තම පවුලේ පැවතියා වූ අඬදබර, පවුල් ප්‍රශ්න, දරිද්‍රතාව සහ රැකියාවක් සොයා ගැනීමේ අසීරුතාව යන කාරණා ප්‍රධාන තැනක් ගනී. එපමණක් නොව, වනගත ජීවිතයට ඇති ඇල්ම, භාවනාවට ඇති කැමැත්ත, පැවිදි වීම සඳහා කුඩා කල පටන් තිබූ බලවත් ආශාව යනාදී ධනාත්මක පිළිතුරු ද ඒ අතර වේ. සිංහල සංස්කෘතිය තුළ ආවේණිකව පවතින්නා වූ යම් යම් අසමඟිකාරී තත්ත්වයන් නිසා හටගත් මානසික ආතතියෙහි ප්‍රතිඵලයක් ලෙස ගිහිගෙය හැරයෑම සිදුවන්නේ ද යන කල්පිතය මෙම අධ්‍යයනයේදී පරීක්‍ෂා කර ඇති අතර එය සත්‍යය නොවන බව පර්යේෂකයා තහවුරු කරයි. ඒ අනුව, පර්යේෂකයා විසින් වනවාසී භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හා ගිහිගෙය හැර යෑමට බලපෑ හේතු කාරණා සාකච්ඡා කර ඇති නමුත් උන්වහන්සේලාගේ මනසේ දියුණුවට වනාන්තර ආශ්‍රිත පරිසරයේ බලපෑම පිළිබඳව විමසීමක් කර නැති බව පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ ආරණ්‍ය භික්‍ෂු සම්ප්‍රදාය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් මැයෙන් පූජ්‍ය ඒ. ධම්මපාල හිමියන් විසින් 2007 දී කරන ලද පර්යේෂණය මගින් මිහිඳු හිමියන්ගේ වැඩම කිරීමේ සිට වර්තමානය දක්වා වූ ආරණ්‍යය සම්ප්‍රදායේ විකාශනය සාකච්ඡා කර ඇත. සරල ජීවිතයකට උරුමකම් කියන උන්වහන්සේලාගේ සාක්ෂරතාව හා ආගමික සේවය හුවා දක්වන එම පර්යේෂණය ආගමික පොතපත රචනා කිරීම හරහා උන්වහන්සේලා කරනු ලබන සමාජ මෙහෙය අගය කරයි. එවැනි ප්‍රකාශනයන්ගේ ලයිස්තුවක් ගෙන හැර දක්වන එම පර්යේෂකයා වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ජීවන රටාව ආත්මාර්ථකාමීත්වය පෙරදැරි කරගත්තක් නොවන වග අවධාරණය කරයි. එම අදහස තවදුරටත් මෙම නව පර්යේෂණයෙන් සනාත විය. තරුණ භික්‍ෂූන් වහන්සේලා නව තාක්‍ෂණික උපකරණ භාවිතයට නැඹුරු වී සිටිය ද එහි ධනාත්මක පැතිකඩක් පිළිබිඹු කරමින් වනගත එක් තරුණ භික්‍ෂුවක් පාලි භාෂාව පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා වූ වීඩියෝ පාඩම් මාලාවක් වන ගත ආරණ්‍යය තුළට වී සකස් කර තිබෙනු එක් ආරණ්‍ය සේනාසනයක දී නිරීක්‍ෂණය කළ හැකි විය.

