නිවන හා මම

rashi
By rashi
13 Min Read

ආභිධම්මික වාගීශ්වර, කර්මස්ථානාචාර්යය, පූජ්‍ය
වනවාසී යාගොඩ ධර්මප්‍රභ නාහිමි

වර්ෂ 1919 දී උපන් පූජ්‍ය යාගොඩ ධර්මප්‍රභ නාහිමියෝ හැත්තෑ හතර වසරක් ආයු වළඳා අවසන වර්ෂ 1993 දී මනා සිහි නුවණින් යුක්ත ව අපවත් වී වදාළ හ. ග්‍රන්ථ ධුරයත් විදර්ශනා ධුරයත් සම ව පිරූ දුලබ සසුන් මෙහෙවරක් එසේ නිම වන විට උන්වහන්සේ මහත් ගිහි පැවිදි පිරිසකගේ ගරුභාවනීය ගුරුවරයාණෝ වූ හ.

පූජ්‍ය ධර්මප්‍රභ නාහිමියන්ගේ ධර්ම පෞර්ෂය ප්‍රභාවත් වන්නේ බුරුම රට දී ය. උන්වහන්සේ කලක් බුරුමයෙහි වැඩවෙසෙමින් අභිධර්මය ප්‍රමුඛ කොට අටුවා ටීකා සහිත ව ත්‍රිපිටකගත ධර්මය මැනැවින් හැදෑරූ අතර, එරට වැඩසිටි සමයේ දී ලෝ පතළ කර්මස්ථානාචාර්යවර අතිපූජ්‍ය මහාසී සයාඩෝ මහතෙරුන් වහන්සේ හමුවෙහි විදර්ශනා භාවනාව ද ප්‍රගුණ කළ හ.

පෘථුල ධාරණ ශක්තියක් තිබූ හෙයින් ගැඹුරු අභිධර්ම කරුණු පවා පොතක් දෙස නො බලා කටපාඩමින් ඉගැන්වීමේ සමත්කම පූජ්‍ය ධර්මප්‍රභ නාහිමියන් සතු විය. වර්ෂ 1961 දී අරඹා අද දක්වා පවත්වාගෙන එන ‘පට්ඨාන ධර්ම සභාව‘ නමැති ප්‍රමිතිගත අභිධර්ම අධ්‍යයනායතනයෙහි නිර්මාතෘවරයාණෝ උන්වහන්සේ වෙති. බාහිරින් දැනගන්නා දහම ආධ්‍යාත්මික ව ද දැකගන්නැ යි පොලඹවමින්, යක්කල පෙදෙසට නුදුරින් පිහිටි ‘බෝධිග්‍රාම භාවනා මධ්‍යස්ථානය‘ ඇතුළු යෝගාවචර නිකේතන ගණනාවක් රට පුරා ආරම්භ කළ උන්වහන්සේ බවුන් වැඩීම අරුමයක් වූ සමයෙක දී ලක් බොදුනුවන් වෙත භාවනාව සමීප කරන්නට දායක වූ සේක.

පින්කම්පොළෙහි විසිතුරෙන් සසුන වැසීගිය සමයෙක දී ශාන්ත පිළිවෙත් මඟට පිළිපන් පූජ්‍ය වනවාසී යාගොඩ ධර්මප්‍රභ නාහිමියන් වෙත කෙරෙන පූජෝපහාරයක් ලෙස, උන්වහන්සේ විසින් රචනා කරන ලද ‘බෞද්ධ භාවනා‘ නමැති ග්‍රන්ථයෙහි උපුටනයක් මෙසේ පළ කෙරේ.

අවුල් වියවුල් හා තැවුල් ඇවිළෙයි. මොහොතින් මොහොත සැණින් සැණ ගිනි ගනී. දැවෙයි. එහෙත් මේ ගින්න නො පැනෙයි. ගින්නෙන් නැඟෙන දුම් මැ පැනෙයි. මේ ගින්න ඇවිලගන්නේ හදවත් තුළ ය. හදවත් තුළ දැවෙන ගින්නෙන් බාහිර ක්‍රියා නමැති දුම්රොටු විහිද යන සැටි පළ ය.

නිදිගත් සත්ත්ව සන්තානයෙහි මේ ගින්න ක්‍රියා නො කෙරේ. එහෙත් සුදුසු කරුණු එක් වූ වහා ම හටගැනීමේ ශක්තිය එහි ද ක්‍රියා කෙරේ. අරමුණක් පැමිණේ. එහි සිත ඇරෙන තරම් ප්‍රියංකර ගතියෙකි. සිත පිබිදේ. එහි බැඳේ. එසේ බැඳීමෙන් ගින්නක් හටගනී. ඔහුගේත් ඇගේත් හදවත් දැවේ. දැවෙන හදවතකින් දුම් විහිදීම මෙන් ක්‍රියාරම්භයක් වෙයි. එය තව තවත් වෙනත් ගිනි අවුළුවයි. මෙසේ ගින්නෙන් ගිනි ගැනෙද්දී ඔහු හෝ ඇය හෝ ගින්නෙන් දැවෙද්දී එය ඔහුට හෝ ඇයට හෝ අවබෝධ නො කරවන ගින්නක් ද ඇත. එය අඳුරු ගින්න ය.

හිතට නො ගැළපෙන අපිය, අනිටු අරමුණක් පැමිණේ. එහි සිත නො ඇලේ. එරෙහි ව ගැටේ. එය එපා නුසුදුසු යැ යි පිළිකෙව් කෙරේ. විරුද්ධත්වය හට ගැනේ. සිත නරක් වේ. කිපේ. තදින් කිපේ. මෙසේ ඒ අප්‍රිය අරමුණෙහි ගැටීමෙන් – විරුද්ධ ව හැපීමෙන් ද ගින්නක් හට ගැනේ. ඔවුනොවුන් හැපෙමින් බිහිසුණු වේ. ගිනි ගැනේ. එහෙත් එයින් තමන් දැවෙන බවක් ඔවුහු නො දනිති. ඒ නොදැන්ම කරනුයේ ගින්නයි.

සෝවියට් නැව් පරමාණු යුද අවි ගෙන කියුබාවට යෑම ඇමරිකාවට අප්‍රිය අසුබ අරමුණක් විය. එහි ගැටුණු ජනාධිපති කෙනඩි වහා ඒවා පිරික්සා ආපසු හරවන ලෙස තර්ජනය කළේ ය. ඒ අපිය අරමුණෙහි ගැටුණේ ය. තව මොහොතකින් ඇසීමට පවා බියකරු, වාර්තා කිරීමට වත් කිසිවකුත් ඉතිරි නො වන මහ බිහිසුණු පරමාණු යුද ගිනි ඇවිළෙන්නේ ය. මේ ලොව ළඟ දී ඇතුළත දැවුණු මහ ගින්නයි.

පිය-අපිය, ඉටු-අනිටු දෙකට ම නැති අරමුණක් පැමිණේ. එහි මුළා වේ. එහි නියම තතු නො වැටහේ. අඳුරකට පිවිසුණාක් මෙන් වේ. මෙ ද ගින්නෙකි. මේ අඳුරු ගින්න අනිත් ගිනි දෙකට ද උපකාරී වේ. එහෙයින් ඉතා සියුම් ය. ඉතා බිහිසුණු ය. ඒ අඳුරු ගින්න නිවන තුරු අනිත් ගිනිත් නො නිවේ. නො නිවිය හැකි ය.

නො වැටහී කරන කියන දෙයෙහි තේරුමක් නැත. එහෙත් ලොකු තේරුමක් ඇති ව මෙන් හැම දෙන ම කටයුතුවල යෙදෙති. දහසක් දැයෙහි පටලැවුණු මොහොතක නිදහසක් නැති මනසින් මැනගනියි. අඩුවෙන් ද මැනෙයි. වැඩියෙන් ද මැනෙයි. සමව ද මැනෙයි. මැනෙත් ම ‘මමෙ’ක් ඇත, කෙනෙක් ඇතැ යි ගැනෙයි. නො නැසෙන ‘මමෙක්’ ආත්මයෙක් ගැනෙයි. ඔහු සැප-දුක් විඳී යැ යි ගැනේ. මට හෙවත් ආත්මයට රූපයක් ඇතැ යි ගැනේ. රූපයට ආත්මයක් ඇතැයි ගැනේ. කරඬුවෙක මැණික මෙන් රූපයෙහි ආත්මය දකී. මලෙහි සුවඳ මෙන් ආත්මයෙහි රූපය දකී. තවතවත් අඳුරු ගින්න රජ කරයි. කිසිවක් නො දැකහෙයි.

‘මම’ කෙසේ සැදුණේ දැ යි නො වැටහෙයි. එහෙයින් ‘මම’ මවන්නකු මවා ගනියි. ඔහු හැම දා වෙතැ යි සනිටුහන් කරයි. පසුව ඔහු තව තවත් ලොකු කර මවයි. ඔහු තුළට හැම බලයක් ම කවයි. මැවෙන්නා මවන්නහුට ගොදුරක් කරයි. මවන්නහුගේ කැමැත්ත අනුව මැවෙන්නා පැවතිය යුතු යැ යි සිතයි. ඔහු පරමාත්මන් ලෙස මවයි. ඔහු හා සම භාවයට පත් වීම කෙළවර ලෙස දකියි. එයට නන් වැදෑරුම් දෑ කැරෙයි. තවත් කෙනෙක් පරමාත්මන් පුද්ගල නො ව තත්ත්වයෙකැ යි ගනිත්. තව ද, නැති ‘මට’, ආත්මයට, සත්ත්වයාට තැනුත් මැවෙයි, ඇසුරු කරන්නට අයත් මැවෙති. කෙසේ කොහේ ගියත් ආත්මවාදයෙන් පිට නො යති. මෙසේ තව තවත් අඳුරු ගින්නෙහි වැටෙති. නිකම් ම හැදෙන, වැඩෙන, පවත්නා ‘මමෙ’ක් සමහරු දකිති. එහෙයින් නිකම් ම හැදුණු ලොවකුත් දකිති. නිකම් මිදීමකුත් එහෙයින් වේ යැ යි ගනිති. හැම ලෙසින් ම අඳුරු ගින්නෙහි දැවෙති.

මේ හැම ගිනි ම හට ගන්නේ ‘මමෙ’ක් ආත්මයක් ඇතැ යි ගන්නා අවිචාර අඳුරු ගින්නෙනි. මේ සියල්ල ඇත්ත දැ යි විමසිය යුතු ය.

‘මම’ කවරෙක් ද? කුමක් ද? රූපයට නම් ‘මම’ යි කියන්නේ එය විමසා බෙදා බලමු. තද-ලිහිල්, ඇලෙන-දියැවෙන, උණුසුම්-සිසිල්, පිම්බීම් හැකිළීම් යන ගති සතරෙකින්, ස්වභාව සතරකින් රූපය සෑදී ඇත. එයට එකතු වන පැහැය, ගඳය, රසය, ඕජාවය යන සතර ද සජීවීන්ට ඒ සියල්ල සමග ඇස, කණ ආදී කර්මයෙන් හටගත් රූප ද චිත්තජ, ආහාරජ රූප ද ඇත. රූපය ඉතා සියුම් ව බෙදා බැලීමේ දී ඉහත සඳහන් තද-ලිහිල් ආදී සතර ශක්තීන්ට රූප පරමාර්ථය බස්නේ ය. එයින් මමත්, සත්ත්වයාත්, ආත්මයාත්, ලෝකයත් ගොඩනැඟී තිබේ. මේවායේ ස්වභාවය නිතර ම වෙනස් වීමයි. නොතිරතාවය ඇති වීමයි. බිඳි බිඳී යෑමයි. එහෙයින් ඒ එක ද කොටසක් වත් ‘මම’ යැයි මගේ යැ යි ගැනීම මහා ම මුළාවයි. මමත් නැත, මගේත් නො වේ. අනෙකකුත්, අනෙකකුගේත් නො වේ. ඇති ව නැති වන බිඳෙන ස්වභාවයෝ ය.

‘සිත’ මම නම් එ ද විමසා බැලිය යුතුයි. ඉතා තියුණු ලෙස සැලකීමේ දී රූපයට සියුම් ව සම්බන්ධ වන ගතිවලින් සිත ද යුතු බව පෙනේ. ඇලෙන – බැඳෙන, එපා වන – කිපෙන, නො තේරෙන – වැහෙන, හැපෙන – හඳුනන – තකන ආදි සහ ඒවාට විරුද්ධ ගති රාශියකින් ද යුතු ව ඒ ගති ක්‍රියාත්මක වීමට අරමුණු ගන්නා සිත ඉහත කී රූප පරම්පරාව හා සබඳ වී ජීවිතයක්, ආත්මයක්, මමෙක් ඇතැ යි ගැනීමට හේතු විය. මෙම චිත්ත ගති හෙවත් ශක්තීන් ඔවුනොවුන් කෙතෙක් කෙසේ එක් වුව ද පෙනෙන තත්ත්වයක් ද්‍රව්‍යාත්මක බවක් ඇති නො වේ. ඒවා නාම මාත්‍රයට ම සීමා වී අරමුණු වෙත නැමෙමින් ඇදෙමින් පවත්නා නිසා නාම යැ යි ගැනෙති. එහෙත් ඉහත සඳහන් රූප ශක්තීන් එක් වීමෙන් පෙනෙන හෙවත් දෘෂ්‍ය පරමාර්ථයන් හටගනී. මෙසේ රූප පරමාර්ථයන් හෙවත් ශක්තීන් ද, නාම පරමාර්ථයන් හෙවත් ශක්තීන් ද එකතු වීමෙන් ජීවියකු වශයෙන් කැටි ව වෙන් ව පවත්නා නාම රූප පරම්පරාවකට හැම දෙන ම ‘මමෙ’කැ යි ගනිති.

සිත හා සිතෙහි ගතිත් විමසා එහි ‘මම’ සිටී දැ යි විමැසිය යුතු ය. ඉහත සඳහන් රූප ශක්තීන්ටත් වැඩි බලවත් වේගයකින් මෙම නාම ශක්තිහු ඇති ව නැති ව හැදෙමින් බිඳෙමින් පවතී. එහෙයින් එම නාම පරමාර්ථයන් අතර ද මමෙක් ආත්මයෙක් නැත. ව්‍යවහාරයක් පනවා ගැනීමක් ද ඇත. මෙසේ විමැසීමට නම් ලියන කියන අසන සිතින් කළ නොහැකි ය. පළමු කොට රූප පරම්පරාව තැන්පත් කළ යුතු ය. එනම් කය වචනයන් හික්මවා ගත යුතු ය. කය-වචනයන් ක්‍රියා කරවන්නේ ද සිතෙන් හෙයින් දරදඬු ඕලාරික සිත හික්මවීමක් ද එයින් කැරේ. හෙවත් සීමාව ඉක්මවා යෑම එයින් නවතී. එසේ තැන්පත් වූ කය – වචනයන් ඇති ව සිතෙහි සැක කුකුස් ඕලාරික ඇලීම් බැඳීම් ගැටීම් දුරු කරමින් සිත ද තැන්පත් කළ යුතු ය. ඊළඟට ඉහත සඳහන් නාමරූපයන් ගෙන් එකක් රූපය ඕලාරික බැවින් යම්කිසි රූපයක් විමසා බැලිය යුතු ය.

එසේ විමසා බලන්නට නම් ඒ රූපය ම එහි පවත්නා ලක්‍ෂණය කුමක් දැ යි දැනගෙන අසාගෙන හෝ පොතින් ඉගෙන හෝ එම ලක්‍ෂණය අනුව එය ම මෙනෙහි කළ යුතු ය. සිත එහි ම යෙදවිය යුතු ය. එසේ සිත යෙදවීමේ අරමුණු කරවීමේ ක්‍රමය හෙවත් උපදෙස් නො දත හොත් ඉතා සුළු වේලාවකින් එම රූපයෙන් පිටත යම් අරමුණක ඇලෙමින් හෝ ගැටෙමින් සිත දුවනු ඇත. එවිට සිත වික්ෂිප්ත වූයේ වෙයි. එබැවින් සිත එක ම අරමුණක යොමු කරවීමේ පළපුරුද්ද භාවනානුයෝගී ගුරුවරයකු ඇසුරෙන් ලැබිය යුතු ය.

මෙසේ එක රූපාරම්මණයක් මෙහි පවත්නා ලක්‍ෂණයට අනුව මෙනෙහි කිරීමේ දී එකවර ම එහි සාමාන්‍ය ලක්‍ෂණ වැටහෙන්නේ නො වේ. මුල සිට ම සිහිය එම රූපයෙහි පිහිටුවිය යුතු ය. එම රූපය එම ලක්‍ෂණ අනුව මෙනෙහි කළ යුතු ය. එවිට එම රූපයේ ක්‍රියාකාරී වීම අනුව ද බැලිය හැකි වේ. ඇතැම් රූපවල ක්‍රියාකාරීත්වය වඩා ප්‍රකට ය. චක්ඛු රූපාදියෙහි මෙනි. එවිට මුලින් ම හෝ එම කෘත්‍ය අනුව මෙනෙහි කළ යුතු ය. එසේ සිත එකඟ වත් ම ඒ පඨවි ආදි අරමුණු කළ රූපය වඩාත් පැහැදිලි ව වැටහෙමින් එය එළඹ සිටිනා ආකාරය ඉදිරිපත් වීම වැටහෙන්නේ ය. එවිට ලක්‍ෂණය හෝ ක්‍රියාකාරී වීම නැති ව යන්නේ ය.

මෙය සමග ම විටින් විට අනිත් සහජාත රූපයන්ගේ ලක්‍ෂණ හෝ කෘත්‍යයන් ද වැටහෙන සේ ය. ඒවා ද එසේ ම අරමුණු කරමින් එම ලක්‍ෂණ හා කෘත්‍යයන් නැති ව යන විට යළි මුලින් ගත් රූපයාගේ ලක්‍ෂණය ම අරමුණු කළ යුතු ය.

මෙසේ ක්‍රමයෙන් සියලු රූපයන් අරමුණු වීමේ දී ඒවා අරමුණු කරමින් පවත්නා වූ ද විටක පිටත පැන යන්නා වූ ද නාම ධර්මයන් ද අසු වන්නේ ය. අරමුණු වන්නේ ය. සිහියට අසු වෙමින් නුවණින් විමැසෙන්නේ ය. මෙසේ නාමරූපයන් වෙන් ව වැටහී ඇති වෙමින් නැති වෙමින් හැදෙමින් බිඳෙමින් පවත්නා අනිත් ලකුණු ඉතා පැහැදිලි ව වැටහෙන්නේ ය. එසේ ම තව තවත් මෙනෙහි කරන විමසන යෝගියාට ඇති වෙනවාට වඩා වේගයෙන් බිඳෙන නාමරූප දැක්ක හැකි වන්නේ ය. එය දියුණුවත් ම තමන්ගේ ශරීරය රූප පරම්පරාව ඉතා සියුම් ව කොටස් කොටස් ව ඉසිරී විසිරී යන අයුරු පවත්නා සැටි නුවණින් වටහා ගත හැකි ය.

තව තවත් හොඳින් අනිත්-දුක්-අනත් ලකුණු වැටහෙන්නේ නාම රූපයන් ගෙන් මිදෙනු කැමති (නාමයන්) පහළ වන්නේ ය. නැවත නැවත බලන නුවණ තියුණු වත් ම නාමරූපයන් කෙරෙහි ඇලීමක්, ගැටීමක් නැති ව මැදහත් වන්නේ ය. මෙසේ නාම රූපයන්, සංස්කාරයන් මැදහත් ව බලන නුවණ දියුණු වන්නේ ඇලෙන ගිනි හෝ (ගැටෙන කිපෙන) ගති ද අඳුරු ගිනි ද බොහෝ දුර අඩු වෙමින් සිතෙහි හොඳ ශාන්තියක් ඇති වන්නේ ය. මේ ශාන්තිය නියම ස්ථිර ශාන්තිය නො වේ. මෙය නියම ස්ථිර ශාන්තිය යැ යි ගෙන ඇතැම්හු අමාරුවේ වැටෙති.

එහෙයින් නියම නිවීම ලැබෙන තුරු ඉවසිලිමත් ව කලණ මිතු ඔවා ලෙස කටයුතු කළ යුතු ය. තව හොඳින් සිහි නුවණ යොදවා භාවනා කරන යෝගියාට දෙපැත්තක් පෙනෙන්නට වේ. ආපු පැත්තත් යා යුතු පැත්තත් ය. ආවේ නාම රූපයන් ගේ සංස්කාරයන්ගේ ලෝකයේ නියම තතු දකිමින් ඒවා එපා වෙමින් ය.

දැන් යා යුත්තේ නාම රූපයන් ගෙන් – ලෝකයෙන් එහාට ය. මක්නිසා ද යත්? නාම-රූපයන් අතර නාමරූප ම සිටීම සියලු දුක් ඇති කරවන හෙයිනි.

මෙතෙක් ඔහුගේ සිත කැරකුණේ ලෝකයේ ම ය. නාම රූප අතර ම ය. එහෙත් හොඳින් විමසා බැලූ බැවින් ඒවා අනිත්-දුක්-අනත් ලකුණු වන බැවින් ඒවායින් තුරන් වීමට වුවමනා බලයක් දැන් දැන් ලැබෙන්නේ ය. ඒවායින් දුරු වීමට සුදුසු සිතක් පහළ වන්නේ ය. ඒ සිතෙන් සංස්කාරයන් නාමරූපයන් අරමුණු වන තුරු ඇලෙන, කිපෙන, අඳුරු වන ගිනි නො නිවෙන්නේ ය. ඒ සිතට ශාන්තිය අරමුණු ව සිත බිඳෙන විට ම යළි සදහට ම ගිනි නිවමින් කෙලෙස් සිඳලමින් සිතෙහි ගතිවලින් ඉතා බලවත් වූ සියලු බැඳුම් කඩා බිඳ සුන් කෙරෙමින් ලෝකයෙන් – නාමරූප සංස්කාරයෙන් එහාට එතෙරට වෙමින් ශාන්තිය ම නිවන ම අරමුණු කෙරෙමින් සිතක් පහළ වන්නේ ය. ගිනිත් ගිනි අවුළුවන හේතුත් – සංස්කාරත් – නිවෙන්නේ ය. ඔහු නිවුණේ ය. එබඳු සිතක් ද යළි පහළ වන්නේ ය.

මෙසේ සිවු වතාවක් නිවුණේ සම්පූර්ණයෙන් නිවුණේ ය. ඒකාන්ත නිවීමට ද පත් වන්නේ ය. ඒකාන්ත සුවය ම වන්නේ ය. ශාන්තිය ම වන්නේය. මේ නිවන ය. නිවන නිවන ම ය. මම?

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *