සතියේ බල මහිමය
The Power of Mindfulness ග්‍රන්ථය ඇසුරෙනි
(නව වැනි කොටස)
ජර්මන් ජාතික පූජ්‍ය ඤාණපොනික නාහිමි
සිංහලානුවාදය: මීතිරිගල නිස්සරණ වනය අරණ්‍ය සේනාසනාධිපති සහ ප්‍රධාන කර්මස්ථානාචාර්ය, පූජ්‍ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව නාහිමි
බුද්ධ ධර්මය කියන්නේත් මේ ටිකමය. මුල් වතාවට ධර්මය මුණගැසුණ විට එය අපගේ ශ්‍රද්ධාව හා බුද්ධිය ප්‍රබෝධවත් කරයි. එහෙත් එය නවීකරණය කරමින් අපගේ ආජීවය සම්‍යක් ලෙස අලුත්වැඩියා නොකළොත් එම මුල් ප්‍රබෝධය හීනවීමට පටන්ගනී. මීට පිළියම් ලෙස, අපගේ ජීවිතයේ පූර්ණතාව තුළ නිරතුරුව අලුත් ස්වරූපවලින් විදහා දැක්වෙන චතුරාර්ය සත්‍යය වෙත අවධානය යොමු කළ යුතුය. විදර්ශනාව හෙවත් විනිවිද දැක්ම හරහා ජීවිතයේ සාමාන්‍ය දේවලට පවා නව ජීවයක් එක්වෙයි. ඒ අනුව ඒ ඒ දේවල සැබෑ ස්වරූපය, ඇබ්බැහියේ අඳුරු පටල විනිවිද ගොස් එහි නිර්මල ස්වභාවය නව හඬකින් අපට ආමන්ත්‍රණය කරනු ඇත. මේ සඳහා අපගේ ඇස් අරවන්නේ පාර අයිනේ සිඟාකන සිඟන්නකු හෝ ළදරු විලාපයක් හෝ ආසන්න මිතුරකුගේ අසාධ්‍ය රෝගයක් විය හැක. සංවේගය පහළ කොට තැතිගන්වා අපට අලුතින් සිතන්නට හා දුක් ගෙවන්න කරන මාර්ගයට පොළඹවන්නට මේවා අප උත්සුක කරනු ඇත.
සිදුහත් කුමරු බොහෝ කලක් සුඛෝබභෝගී මාලිගයක සැප විඳ, එක් දිනක් නගර චාරිකාවේ යෙදෙන විට දුටු ලෙඩෙක්, මහල්ලෙක් සහ මළකඳක් නිසා වූ වෙනස පිළිබඳ කතාව අපි අසා ඇත්තෙමු. මේ පුරාණ වෘත්තාන්තය ඇත්තක් විය හැක. ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ ජීවිතවල එදිනෙදා සාමාන්‍ය සංසිද්ධි හරහා සංකේතාත්මක වටිනාකමක් ලැබී දුරදිග යන බරසාර ප්‍රතිඵල ලබාදුන් අවස්ථා තිබෙන හෙයින්, මෙය ඉතිහාසයේ විය හැක්කකි. එහි සත්‍යයට පටහැනි නොවන පරිදි මෙසේ අපගේ අදහස් ඉදිරිපත් කළ හැක. සිදුහත් කුමරු ඇත්ත වශයෙන්ම මීට කලින් ලෙඩෙක්, මහල්ලෙක් සහ මළකඳක් දැක තියෙන්නට ඇත. එහෙත් ඒ අවස්ථාවල අපට මෙන්ම ඔහුට ද සිතේ අමුත්තක් ඇති නොවන්නට ඇත. ඒ අවස්ථාවල එසේ විනිවිද දැකීමක් නොතිබිණ. සුද්ධෝදන රජතුමා යොදා තිබුණු ආරක්‍ෂක උපක්‍රම, මාලිගාවේ තුබූ කුමාර සැප සම්පත් ආදිය නිසා එලෙස වූවා විය හැක. පුරුදු සැප නමැති ඒ රන් කූඩුව විනිවිද ගිය පළමුවන වතාවට එම දුක පිළිබඳ දර්ශන එසේ අමුත්තක් ඇති කළේය. සංවේගය පහළ වුණේ එවිටය. එදාම ඔහු ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට ඇතුළත් විය.
අපගේ එදිනෙදා ජීවිතයේ විද්‍යාමාන වන දැවිලි – තැවිලි – දුක් – පීඩා වඩා සෘජු ලෙස සහ ගැඹුරු ලෙස කාවදින ආකාර සම්බන්ධයෙන් නැවත නැවත අත්විඳීමක් අත්‍යවශ්‍ය නැත. එවන් අත්දැකීම් සසර ගමන කෙටි කරලීමට ද ඉවහල් වේ. සංවේගවත් ලෙස අප මේ ඉන්ද්‍රීය ඥාන කෙරෙහි වඩා පැහැදිලි ලෙස පෙළගස්වන්නේ සති මාත්‍රය සලසා දෙන සෘජු දැක්මය. මෙහි ගැඹුර දියුණු තියුණු කරන්නේ සම්පජඤ්ඤයයි.
විදර්ශනා මාර්ගය
අපගේ දැක්මෙහි සෘජු බව විධිමත්ව භාවිතා කිරීමම විදර්ශනාවයි. සුතමය වූ පොතේ දැනුම හෝ චින්තාමය (අනුමාන) ඥාන ඉක්මවා සිටින මේ ඇස්පනාපිට කෙරෙන සෘජු දර්ශනය, ප්‍රත්‍යක්‍ෂ ඥානයයි. විදර්ශනා ඥාන වර්ධනයේදී මේ සෘජු දැක්ම තමාගේ සුපුරුදු මනෝවිකාරවලින් හෝ පූර්ව නිගමනවලින් ඇති වන බාධා විනිවිද ගෙන, සියලු කායික මානසික සංසිද්ධි හරහා නිරුපදෘතව ඉදිරියටම යයි. මෙම බාධා සරල සත්‍යය ව්‍යාකූල කරයි. මිථ්‍යා මාර්ගවලට යොමු කරවයි. ඇත්ත වශයෙන්ම චින්තාමය හෙවත් නය විපස්සනාව යන්න ප්‍රයෝජනවත් මෙහෙයක් භාවනාවේදී ඉටු කරයි. එහෙත් එමඟින් සති ප්‍රවාහයට බාධා කෙරේ නම්, එසේම එවන් කල්පනා නිසා ක්‍ෂණ සම්පත්තිය ගිළිහී යා නම්, ඇස්පනාපිට කෙරෙන වෙනස්වීමාදිය නොසලකා හැරියොත් එය භාවනාව නීරස දෙයක් බවට පත් කිරීම හරහා පසුබෑමකට ද ලක් කරයි.
එහෙත් විපස්සනාවේ අත්‍යන්ත ආසන්න කාරණය වන සති මාත්‍රය අනිත්‍යත්වය ආදියේ විශේෂත්වය නිතර අවධාරණය කරයි. කායික මානසික ධර්මවල මේ ඇතිව නැති වී යන ස්වභාවය මේ නිසා ඉස්මතු වේ. ඇතිවීම නැති වීම (ආශ්වාස – ප්‍රාශ්වාස වැනි) පද්ධතියක සාමාන්‍ය ලක්‍ෂණයක් වුවද, එය ලොකු කර දැක්වීමක් මෙම සතිය මගින් සිදුකර, එක් එක් පුරුකක් අතර ඇති සියුම් වෙනස්කම් ගිළිහී යා නොදී, නැවත නැවත එයම බැලීම සහ අනුපස්සනා කිරීම හරහා ග්‍රහණය කරගනී. සති ධාරාව අඛණ්ඩ නම්, අප්‍රමාදී නම්, වෙනස්වීම්වල ආකාරයන්ගේ විවිධත්වය සමීපව නිරීක්‍ෂණය කරමින් නීරස බව වෙනුවට උනන්දුවෙන් එබී බැලීමට සලස්වයි. මේ නිසා, වෙනස් වීම හෙවත් අනිත්‍යතාව හරහා, පෙළන ගතිය මෙන්ම ආණ්ඩු මට්ටු කිරීමට බැරි බව ආදී සාමාන්‍ය සංසිද්ධියක සාමාන්‍ය ලක්‍ෂණද කුළුගන්වා ගනී. මේ ප්‍රකට කර ගැනීම එයින්ම මතු වන ඵලයක් මිස පිටතින් ආනයනය කරන ලද්දක් නොවේ. මෙය දැකීමට ආලෝකයක් බුදුරජාණන් වහන්සේගෙන් ද ණයට ගත හැකි නොවේ. කායික මානසික සංසිද්ධි මත සති ආලෝකය විහිදුවීමෙන් යෝගාවචරයා සංවේගය පහළ කර ගැනීම හරහා එය සිදු වේ. මෙම භාවනාමය ජීවිතය තුළ නීරස බව, ඒකාකාරී බව, අනාරක්ෂිත බව වැනි දේවල් පහළ වනවා මෙන්ම සැබෑ සතුට, පිරිච්ච ගතිය සහ සම්පත්තිකර ගතිය ද අනූනව ලැබේ. අභ්‍යන්තර පරිණත භාවය පිළිබඳ අවශ්‍යතා සතුටුදායක ලෙස සම්පූර්ණ වී ඇති නම් “ඇති වන ස්වභාව ඇති සියල්ල නැතිව යන ස්වභාවයට පත් වන්නේය” යනුවෙන් ආර්ය භූමියට පා තබන සෝවාන් පුද්ගලයා සතු නිසැක දැනුම හරහා අවසාන විමුක්තිය පිළිබඳ සහන් එළිය පහළ වනු ඇත.
ඒ ආකාරයෙන් සතිමත් බව පරිණාමයට පත් වෙද්දී සතිපට්ඨානය බුද්ධ දේශනයේ හරය බව තහවුරු වනු ඇත. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශිතය. අප්‍රමාදීව එය දැන් මෙතැනදී තමා වශයෙන් අත්දැකිය හැකිය. එව බලව යැයි අභියෝග කරන සුලුය. ඉදිරියට උපනයනය කරන සුලුය. ප්‍රඥාවන්තයන් විසින් ඇස්පනාපිට අත්විඳිය යුත්තකි” යැයි ධර්මයේ ගුණ සයාකාරයකට දේශනා කොට ඇති බව සිහිපත් කරනු වටී.

