මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
ජීවිතය අර්ථවත් කරවන, සුන්දර කරවන සූත්‍ර දේශනා රාශියකින් ත්‍රිපිටක සාහිත්‍යය සමුපේත වෙයි. එබඳු එක් සූත්‍රයකි දීඝනිකායේ එන “දසුත්තර” සූත්‍රය. දේශකයාණෝ සැරියුත් මහ රහතන් වහන්සේ ය. මේ බුදු බණ ම අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ මුවින් ප්‍රකාශිත අවස්ථාවකි.
මෙහි බුදුන් වහන්සේගේ ධර්මය ඒකධර්ම, ද්විධර්ම ආදී වශයෙන් දශ ධර්ම වන තෙක් සංඛ්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් විස්තර කෙරේ. ඒ ඒ ධර්ම කොටස් ප්‍රශ්න ආකාරයෙන් ඉදිරිපත් කොට, අනතුරුව ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබේ. මේ සූත්‍රය “දසුත්තර සූත්‍රය” ලෙස නම් කොට ඇත්තේ ද ඒ නිසාය. එසේම මෙම සූත්‍රයේ සඳහන් වන පරිදි, මෙය දේශනා කොට ඇත්තේ නිවන් පැමිණෙනු පිණිස ය, දුක් කෙළවර කරනු පිණිස ය. එකින් එක කෙලෙස් ගැට ලිහා දෙන්නට සැරියුත් මහ රහතන් වහන්සේ ඉදිරිපත් වන්නේ එහෙයිනි.
“දසුත්තරං පවක්ඛාමි – ධම්මං නිබ්බානපත්තියා
දුක්ඛස්සන්තකිරියාය- සබ්බගන්ථප්පමෝචනං1”
අපට මූලික ආකෘතිය අතින් මෙන්ම ඇතැම් ධර්ම කරුණු අතින් ද මෙයට සමාන තවත් සූත්‍රයක් දීඝනිකායෙන්ම හමුවෙයි. ඒ සඩ්ගීති සූත්‍රයයි. බුදුන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඒ සූත්‍රය දේශනා කරනු ලැබ ඇත්තේ ද සැරියුත් මහරහතන් වහන්සේ විසිනි. එහිද එකින් පටන් ගෙන දහය දක්වා වන දහම් කොටස් මැනවින් දේශිත වෙයි. එම දේශනාව අවසානයේ, බුදුන් වහන්සේ ද එය අගයමින් “සාධු සාරිපුත්ත, සාධු සාරිපුත්ත” යනුවෙන් සාධුකාර දුන් බව එම සූත්‍රය අවසානයේ සඳහන් වෙයි.
මෙවර අපගේ අවධානයට ලක් වන්නේ යට කී දසුත්තර සූත්‍රයේ සඳහන් වන පරිදි, ධර්මය ජීවිතයට සම්බන්ධ කොට ගතහැකි ආකාර කිහිපයක් ගැනය. මෙහිදී එහි “ඒකධර්ම” කොටසට පමණක් අවධානය යොමු කෙරේ. එම කොටසෙහි “ඒකධර්ම” පහත සඳහන් පරිදි කොටස් දහයකට බෙදා දක්වා ඇත.
- බහූපකාර ඒකධර්ම (ඒකෝ ධම්මෝ බහුකාරෝ)
- භාවයිතව්‍ය ඒකධර්ම (ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ)
- පරිඥේය ඒකධර්ම (ඒකෝ ධම්මෝ පරිඤෙඤය්‍යො)
- ප්‍රහාතව්‍ය ඒකධර්ම (ඒකෝ ධම්මෝ පහාතබ්බෝ)
- හානභාගික ඒකධර්ම (ඒකෝ ධම්මෝ හානභාගියෝ)
- විශේෂභාගික ඒකධර්ම (ඒකෝ ධම්මෝ විසේසභාගියෝ)
- දුෂ්ප්‍රතිවිධ්‍ය ඒකධර්ම (ඒකෝ ධම්මෝ දුප්පටිවිජ්ඣො)
- උත්පාදයිතව්‍ය ඒකධර්ම (ඒකෝ ධම්මෝ උප්පාදේතබ්බෝ)
- අභිඥේය ඒකධර්ම (ඒකෝ ධම්මෝ අභිඤෙඤය්‍යො)
- සාක්ෂාත් කර්තව්‍ය ඒකධර්ම (ඒකෝ ධම්මෝ සච්ඡිකාතබ්බෝ)
මේ පිළිබඳ වැඩි විස්තර දැනගනු කැමැති කෙනකුට බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ නව වැන්න වන දීඝනිකායේ තෘතීය භාගයට යොමුවිය හැකිය. මෙම කොටසේ සූත්‍ර සිංහලයට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ අතිපූජ්‍ය
බළංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. මෙහිදී අප විසින් කරනු ලැබ ඇත්තේ පාලි මූලාශ්‍රයටත්, උන්වහන්සේගේ පරිවර්තනයටත් යන දෙකටම අවධානය යොමු කරමින් අපට වැටහුණු ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීමය.
මේ දශධර්ම වූ කලී බුදුන් වහන්සේ පළමුව තමා අවබෝධ කොට ගෙන ලෝකයට ප්‍රකාශ කළ ඒවාය. එය උපරිමාකාරයෙන් අවබෝධ කොටගත් චරිතයකි සැරියුත් මහ රහතන් වහන්සේ. එහෙයින් අප වෑයම් කළ යුත්තේ ද අපේ නැණ පමණින් ඒවා අවබෝධ කොට ගැනීමට උත්සාහ කිරීම ය.
ඒකධර්ම කොටසෙහි සඳහන් වන බොහෝ ඵලදායී, බොහෝ ප්‍රයෝජනවත් ඒකධර්මය වන්නේ කුසල ධර්මයන්හි ලා අප්‍රමාද වීමයි.
“අප්පමාදෝ කුසලේසු ධමෙමසු,”4
යථෝක්ත පාඨය විශේෂයෙන් ගිහි අපට යහපත් ක්‍රියාවන් කිරීමෙහිලා ප්‍රමාද නොවීම යන අර්ථයත් සමග ජීවිතයට සමීප කොට ගත හැකිය.
දෙවැන්න “භාවේතබ්බ” හෙවත් “භාවයිතව්‍ය” ධර්ම යි. මෙම පාලි සහ සංස්කෘත වචන දෙකටම අදාළ මූලය වන්නේ “වීම” යන අර්ථයෙහි යෙදෙන “භූ” ධාතුවයි. මෙහිදී “වැඩීම” යන විශේෂ අර්ථයෙහි එය යොදා ඇති බව පෙනේ. ඒ අනුව “වැඩිය යුතු – වර්ධනය කොට ගතයුතු දහම් භාවේතබ්බ – භාවයිතව්‍ය” යන වචනවලින් අදහස් වෙයි. මෙහි සඳහන් වන පරිදි, වැඩිය යුතු ඒකධර්මය වන්නේ “කාය ගතා සති” හෙවත් කය අනුව කෙරෙන ස්මෘතියයි. කය පිළිබඳව සතිය – සිහිය පිහිටුවමින් ජීවිතය අවබෝධ කොට ගැන්මට දරන ප්‍රයත්නයක් ලෙසය. මෙය අපට වැටහෙන්නේ. එහෙයින් ඒ ධර්මය ගිහි අපට ද විශේෂයෙන් වැදගත් වෙයි. මන්ද අප හැමදෙනාගේම වාගේ බොහෝ ගැටලු උද්ගත වන්නේ තමන්ගේ කය හෝ අනුන්ගේ කය පිළිබඳව සතියෙන්, සිහියෙන් බැලීමක් සිදු නොවන තැන බැවිනි.
තෙවන ඒකධර්මය “පරිඤෙඤය්‍ය” හෙවත් “පරිඥේය” නම් වෙයි. සැමතින්ම “හාත්පසින්ම” යන අර්ථ දෙන “පරි” යන උපසර්ගය මුලින් යෙදී “දැනගැනීම” යන අර්ථය දෙන “ඥා” ධාතුවෙන් “පරිඥේය” යන වචනය සෑදෙයි. ඒ අනුව “පරිඥේය” යනු සෑම අතින්ම, සැම පැත්තෙන්ම දැන ගැනීමයි. මෙහි සැමතින්ම දත යුතු එනම් පරිඥේය ධර්මය ලෙස සඳහන්ව ඇත්තේ ආස්‍රව සහ උපාදාන යන දෙකටම හේතුවන ස්පර්ශයයි. ආසව හෙවත් ආස්‍රව යන්නෙන් අදහස් වන්නේ නාම, භව, දෘෂ්ටි, අවිද්‍යා ආදී වශයෙන් අප තුළම ඇතිවන තත්ත්වයි. ඒවා අප සංසාරයට තව තවත් බැඳ තබයි. උපාදාන යනු ඒවා ජීවිතයට සමීප කොට ගැනීමයි; තෘෂ්ණාවෙන් යුතුව ඒවා ග්‍රහණය කොට ගැනීමයි. බුද්ධ භාෂිතය අනුව යමින් සැරියුත් මහ රහතන් වහන්සේ විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ ඒ තත්ත්ව ජීවිතයට සමීපවීමෙහි ලා ඒකාන්තයෙන් බලපාන ස්පර්ශය පිළිබඳව මැනවින් අවබෝධ කොට ගන්නා ලෙසය. මන්ද යමකින් මිදෙන්නට නම් ඒ මිදීමට අපේක්ෂා කරන තත්ත්වයන්ගේ ඇති සැටිය වටහා ගැන්ම, අන් සියල්ලටම පළමු වැදගත් වන බැවිනි.
මෙයිනික්බිති දැක්වෙන්නේ “පහාතබ්බ” එනම් “ප්‍රහාතව්‍ය” ධර්ම යි. මෙය විශේෂයෙන් පහ කළ යුතු, ඉවත් කළ යුතු” යන අර්ථය දෙන කෘත්‍ය කෘදන්ත පදයකි. “ප්‍ර” යන උපසර්ගය “විශේෂයෙන්” යන අර්ථය දෙන අතර “හාතව්‍ය” යනු පහ කිරීමයි, ඉවත් කිරීමයි. විශේෂයෙන් අපේ ජීවිතයෙන් ඉවත් කළ යුත්තේ කුමක්ද? මෙහි සඳහන් පරිදි “අස්මිමානය” යි. “මම වෙමි, මම කරමි, මම දනිමි” ආදී වශයෙන් මමත්වය තහවුරු කෙරෙන, එනම් මමායනය අහංකාරය දැඩි කෙරෙන මානය “අස්මිමානයයි” යි. මේ මානයෙන් යුතුව කටයුතු කරන කිසිවෙක් ලෝකයට ප්‍රිය නොවෙති. එහෙයින් අස්මිමානයෙන් දුරුවන තරමට කෙනකුගේ ජීවිතය සුන්දර වෙයි. අර්ථවත් වෙයි.
“මාත් එක්ක බණ කියන්න පුළුවන් කෙනෙක් නැහැ” යනුවෙන් කිසියම් භික්ෂුන් වහන්සේ නමක් වදාරත් නම්, සිතත් නම් එතැන ඇත්තේ “අස්මිමානය” යි. එකී මානයෙන් කියැවෙන බණ ලෝකය අර්ථවත් නොකරයි, සුන්දර නොකරයි.
“මම කළා දේශනයක්” ඒ වගේ එකක් කරන්න මම හිතන් නැහැ වෙන කිසි කෙනකුට පුළුවන් වෙයි කියලා” යනුවෙන් කිසිවෙක් පවසත් නම් ඒ දේශනය ද ප්‍රිය නොවෙයි. එය ජීවිතයට සමීප කොට ගැනීමට කිසිවකුට නොසිතෙයි.
අනතුරුව කියැවෙන “හානභාගීය ධර්මය” නම් අයෝනිසෝ මානසිකාරයයි. “හාන” යනු පිරිහීමයි. හානභාගිත ධර්ම යනු පිරිහීම භාජනය කරන ධර්මයි. “යෝනිසෝ මනසිකාරය” යනු සිහියෙන් ප්‍රඥාවෙන් යුතුව මනසින් කටයුතු කිරීමයි. එසේ නම් අයෝනිසෝ මනසිකාරය යනු ප්‍රඥාවෙන් තොරව කටයුතු කිරීමයි. එවිට ජීවිතය පරිහානියට පත්වීම වැළැක්විය හැකි නොවේ.
“විශේෂභාගික ධර්ම” යනු විශේෂයෙන් භාජනය කළ යුතු ධර්මයි. ඒ වූ කලී යෝනියෝ මනසිකාරයෙන් හෙවත් එළැඹ සිටි සිහියෙන්, ප්‍රඥාවෙන් කටයුතු කිරීමය. එබඳු වූ ධර්මයක්, එබඳු වූ හැසිරීමක්, එබඳු වූ කල්පනාවක් ජීවිතය අවුල් නොකරයි. අපේම චර්යාවන් දෙස හැරී බලද්දී අපටම පෙනී යන්නේ එළැඹ සිටි සිහියෙන් කටයුතු සිදු නොවූ හැම අවස්ථාවකම කවර හෝ මට්ටමක කිසියම් අවුලක් ඇති වූ බව ය. පුද්ගලයන් කෙරෙහි බැඳුණු ඇල්ම වේවා. අප්‍රසාදය වේවා මේ දෙකම නිරවුල්ව කටයුතු කිරීමට අපට බාධා කරයි. එහෙයින් අවුල් නොවී ජීවත්වීමට කැමැති අප කා විසිනුත් මේ විශේෂභාගික ධර්ම ජීවිතයට සමීප කොට ගතයුතුය.

