රාණි සේනාරත්න රාජපක්ෂ
2 කොටස
සර්වඥයන් වහන්සේ ප්‍රබල වචනයෙන් ශ්‍රාවකයන් නිර්වාණ මාර්ගයට යොමු කළ ඉතා කෙටි සූත්‍රයක්: “නැඟී සිටින්න. පළක් බැඳ හිඳගන්න. ඔබට නින්දෙන් කවර අර්ථයක් ද? උලකින් විදිනු ලැබ පෙළෙන ආතුරයන්ට කවර නින්දක් ද? නැඟී සිටින්න. හිඳගන්න. ශාන්තිය පිණිස දැඩි සේ හික්මෙන්න. ඔබ පමා වූවන් දැන වසඟ කරන මාරයා මුළා කරන්න… විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කරන්න. මේ මොහොත ඉක්ම නො යා වා. ක්ෂණය ඉක්මවූවෝ නිරයෙහි පිහිටියාහු ශෝක කරත් ම ය. ප්‍රමාදය රජසකි. යළි යළි උපන් ප්‍රමාදය ද රජසකි. අප්‍රමාදයෙන් ද විද්‍යාවෙන් ද රාගාදී උල උදුරා දමන්න” (ඛු.නි. – සුත්ත නිපාත, උට්ඨාන සූත්‍රය)
සුප්‍රබුද්ධ – උන්වහන්සේගේ අනුපමේය මෛත්‍රිය දැක්වෙන අවස්ථාවක්: වරක් උන්වහන්සේ රාජගෘහ නගරය අසල කලන්දක නිවාපයේ සිට මහ පිරිසකට ධර්ම දේශනා කරමින් සිටිය හ. ඉතා ම දිළිදු දීන සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියා ඒ මහජන සන්නිපාතය දැක, එහි යම් ආහාරයක් බෙදනු ඇතැ යි සිතා ගිය ද, සර්වඥයන් වහන්සේ දහම් දෙසනු දැක බණ අසමි යි පිරිස් කෙළවර වාඩි විය. උන්වහන්සේ මාර්ග ඵල අවබෝධයට කවරකු සමත් වේ දැ යි එකෙකුදු නො හැර සිතින් පිරිසිඳ බැලූ හ. සුප්‍රබුද්ධ කුෂ්ඨිට හේතු සම්පත් ඇති බව දැන, කෙළින් ම ඔහු අරභයා පියවරින් පියවර දහම් දෙසන්නට වූ හ; දාන කථා, ශීල කථා, ස්වර්ග කථා, කාමයන්ගේ දෝෂ, නෛෂ්ක්‍රම්‍යයේ අනුසස්. එවිට ඔහුගේ සිත මොළොක් වී නීවරණ පහ වී සිත බොහෝ ප්‍රීතිමත් වී ශ්‍රද්ධාවෙන් ප්‍රමෝදයට පත් වූ බව දැක චතුරාර්ය සත්‍යය දේශනා කළ හ. සුප්‍රබුද්ධ සෝවාන් විය. හේ සර්වඥයන් වහන්සේට වැඳ, තමා තෙරුවන් සරණ ගිය බව පවසා මහත් සතුටින් නික්ම ගියේ ය. මඟ දී පැටියකු ඇති එළදෙනක ඇනීමෙන් හෙතෙම මිය ගියේ ය. (ඛු.නි., සුත්ත නිපාත – සුප්පබුද්ධ කුට්ඨි සූත්‍රය)
අචේල කාශ්‍යප – සර්වඥයන් වහන්සේගේ මහා කරුණාව පිළිබිඹු වන තවත් සිදුවීමක්: උන්වහන්සේ පිඬු පිණිස නගරයට වඩින කල අචේල කාශ්‍යප නමැති තීර්ථක එළඹ ප්‍රශ්නයක් අසන්නට අවසර ඉල්ලී ය. උන්වහන්සේ ‘ඇතුළු ගමට පිවිසි හෙයින් ප්‍රශ්නයට තවම කල් නො වේ’ ය යි වදාළ හ. තුන්වරක් ම මෙසේ සිදු විය. අචේල කාශ්‍යප ‘අපි ගෞතමයන් ගෙන් බොහෝ දේ නො අසමු’ කී විට එය විමසන්නැ යි සර්වඥයන් වහන්සේ පැවසූ හ. අචේල කාශ්‍යප ‘දුක තමා විසින් කරන ලද්දක් දැ’ යි ඇසූ හ. එවිට කෙටි ප්‍රශ්න හා පිළිතුරු රාශියකට මඟ හෙළි විය. ඔහුගේ ධර්ම පිපාසය වටහාගෙන උන්වහන්සේ පිඬු සිඟා යෑම නවත්වා මහා කරුණාවෙන් ඔහු ඉවසා නිවන් මඟ හෙළි කළ හ. ඔහු මහත් ප්‍රසාදයට පත් වී පැවිදි වී රහත් විය. (සං. නි. 2 – අචෙලකස්සප සූත්‍රය)
බාහිය දාරුචීරිය තවුස්තුමා: සුප්පාරක නම් පටුනෙහි වන ලැහැබක බාහිය නම් තවුසෙක් විය. වල්කල දර වැහැරි ඇන්ද හෙයින් හේ දාරුචීරිය නම ලැබී ය. ජනයාගේ ගෞරව බහුමානයට භාජන වූ හෙයින් තමා රහත් ය යි සිතී ය. පෙර මිත්‍රයකු වූ දෙවියෙක් පැමිණ ඔහු මුළාවෙන් මුදවා, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවස්ති පුරයේ වැඩවසන බව කී ය. බාහියතුමා කොයි තරම් උද්‍යෝගී වී ද යත්, එකෙණෙහි ගමනාරම්භ කර, කිසි ම තැනක එක රැයකට වඩා නො සිටිමින් ඉතා දුරු මඟක් ගෙවා ශ්‍රාවස්තියට පැමිණියේ ය.
සර්වඥයන් වහන්සේ පිඬු පිණිස වැඩම කළ බව දැනගෙන එකෙණෙහි ම එහි ගොස්, සන්සුන් ඉන්ද්‍රියෙන් යුත් අති දර්ශනීය වූ උන්වහන්සේ දැක, වහාම ගොස් දෙපා මුල හිස තබා වැඳ වැටී, ධර්මයක් දේශනා කරන්නැ යි ඉල්ලී ය. උන්වහන්සේ පිඬු පිණිස වඩනා හෙයින් ධර්ම දේශනයට නොකල් ය යි පැවසූ හ. “ස්වාමීනි, මගේ හෝ ඔබවහන්සේගේ ජීවිතයට අන්තරායකර දෙයක් ඇති නැති බව නො දනිමි. එහෙයින් මට ධර්මයක් දෙසනු මැනවි” බාහිය කී ය. මෙසේ තෙවරක් ම සිදු වූයෙන් සර්වඥයන් වහන්සේ පිණ්ඩපාත චාරිකාව නවතා, “දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති – මෙසේ ඔබ විසින් හික්මිය යුතු ය” යි වදාරා එය මඳක් විස්තර කළ හ. එකෙණෙහි බාහිය තවුස්තුමා රහත් විය. සර්වඥයන් වහන්සේ වැඩම කර මඳකින් බාහිය රහතන් වහන්සේ එළදෙනක විසින් අනිනු ලැබ පිරිනිවියේ ය. (ඛු.නි 1-බාහිය සූත්‍රය)
චුල්ලපන්ථක කුඩා රහතන් වහන්සේ – ඉතාම සුන්දර අනුවේදනීය අවස්ථාවක් චුල්ලපන්ථක කුඩා රහතන් වහන්සේ දක්වති: “මාගේ ඥානගතිය දන්ධ වූවා… සොහොයුරු විසින් නෙරපන ලදුයෙම් ඒ සංඝාරාමයෙහි දොරකොටුව වෙත අපේක්ෂා ඇති ව නොසතුටු සිත් ඇති ව සිටියෙමි. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩිය හ. මා හිස පිරිමැදි සේක. මා අත ගෙන සංඝාරාමයට ඇතුළු කළ සේක…” (ථෙරගාථාපාළිය – චූලපන්ථක ථෙරගාථා)
ස්නේහවන්ත පියකු දුකින් සිටින සිය කුඩා පුතු සනසන ලෙසින් “හිස පිරිමැද අතින් අල්ලාගෙන” යෑම (සොහොයුරා විසින් පිටමං කරනු ලැබ මහත් වේදනාවෙන් සිටි) කුඩා හිමිනමට කොයිතරම් සැනසීමක් සතුටක් උපදවන්නට ඇද්ද! සර්වඥයන් වහන්සේගේ අසීමිත කරුණාව මෙන්ම කුඩා දරුවන් කෙරේ යොමු වන හෘදයංගම මනුෂ්‍ය ගතිය ද පිළිබිඹු කරයි. ඉතා ම වැදගත් කාරණය නම් ඒ කුඩා හිමියන් එදාම රහත් වීමයි.
සෝපාක රහතන් වහන්සේ – දහර භික්ෂූන් පිළිබඳ මෛත්‍රිය හෙළි වන තවත් සුන්දර අවස්ථාවක්: “ගන්ධකුටි ඡායාවෙහි සක්මන් කරන පුරුෂොත්තමයන් වහන්සේ දැක එහි එළැඹ, පුරුෂොත්තමයන් වහන්සේ වැන්දෙමි; සිවුර ඒකාංශ කොට පෙරවා දෙඅත් එක් කොට, හැම සත්නට ම උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළෙමි. ප්‍රශ්නයෙහි නිපුණ වූ සර්වඥයන් වහන්සේ මාගෙන් කුමාරක ප්‍රශ්න විචාළ සේක. මම නො තැතිගත්තෙම්, නො බිය වූයෙම් ප්‍රශ්න විසඳුම් දුන්නෙමි” (ථෙරගාථාපාළිය – සොපාක ථෙරගාථා) දරුණු ක්‍රෑර සුළුපියා විසින් පිටේ මෘතදේහයක් බඳිනු ලැබ මහ රැයේ අමුසොහොනක වැතිර භීතියෙන් උමතු වී සිටි සත්හැවිරිදි අන්ත අසරණ දරුවා සර්වඥයන් වහන්සේ වෙතින් ලැබූ සැනසීම සහ අප්‍රමාණ විශ්වාසය එම ප්‍රකාශයෙන් පිළිබිඹු වෙයි. උන්වහන්සේ “අනුව සක්මන් කළේ” මොන තරම් ආශාවකින් දැ යි සිතේ. “නො තැතිගත්තෙම්, නො බිය වූයෙම්” – දරුවා මුළු ජීවිතයට ම ඒ ආස්වාදය ලැබුවේ එදා විය හැකි ය.
සුනීත රහතන් වහන්සේ – මීටත් වඩා සර්වඥයන් වහන්සේගේ මෛත්‍රිය මහා කරුණාව හෙළි වන සුනීත වස්තුව 16 වැනි පරිච්ඡේදයෙහි දැක්වෙයි. දැනට සුනීත රහතන් වහන්සේගේ වචන සංක්ෂේපයෙන්: “මම පහත් කුලයෙහි උපන්මි. දිළින්දෙක්මි. අල්පභෝජන ඇත්තෙමි. පහත් රැකියාවක් මට විය… අගනුවරට පිවිසෙන සම්බුදුන් දිටිමි… මම කද බහා තබා… පුරුෂොත්තමගේ පා සඟළ වැඳ… පැවිද්ද අයැදියෙමි… ශාස්තෘන් වහන්සේ ‘එව මහණැ’යි වදාළ හ. ඒ මගේ පැවිදි උපසම්පදාව විය…” (ථෙරගාථාපාළිය – සුනීතථෙරගාථා)
සභිය – වරෙක සභිය නම් පරිබ්‍රාජකගේ පැරණි මිතුරකු වූ දෙවියෙක් ඔහුට ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කර, ඒ විසඳන්නේ යමෙක් ද, ඔහු වෙත බඹසර වසන්නැ යි කී ය. සභිය ඒ ප්‍රශ්න ෂඩ් ශාස්තෲන්ගෙන් ඇසීය. ඔවුහු කෝප වී පෙරළා ඔහුගෙන් ම ප්‍රශ්න කළ හ. සභිය පරිබ්‍රාජක ආපසු ගිහි බවට පත් ව කම් සුව විඳිමි යි සිතා, නැවත සර්වඥයන් වහන්සේ සිහි වී “මා හමු වූ හයදෙනා වයෝවෘද්ධ, පැවිදියෙන් බොහෝ කල් ගිය අයයි. ශ්‍රමණ ගෞතම තරුණයා පැවිද්දෙන් නවක ය යි සිතුණ නමුත් එසේ පහත් කිරීම නො මැනවැ” උන්වහන්සේ සොයා ඉතා ම දුරක් ගියේ ය.
උන්වහන්සේ මෙවකට වැඩසිටියේ රාජගෘහ පුරය අසල කලන්දක නිවාපයේ ය. ඔහු පැමිණි කල උන්වහන්සේ “සභිය, ඔබ ඉතා ම දුර සිට ප්‍රශ්න නගන්නටම ආවෙහි ය. ප්‍රශ්න අසන්න” කී ය. “මෙය මහා ආශ්චර්යයකි. අනෙක් මහණ බමුණන් වෙත අවකාශ මාත්‍රයකුදු නො ලත් මට ඒ අවසරය ශ්‍රමණ ගෞතමයෝ මා නො ඉල්ලා ම දුන් හ” යි ප්‍රමුදිතව ඔද වැඩි ප්‍රීති සොම්නසින් යුක්ත ව ප්‍රශ්න ඇසී ය. දිර්ඝ සාකච්ඡාවකින් පසු සභිය බුදුන් සරණ ගොස් පැවිදි වී රහත් විය. (ඛු.නි. – සුත්ත නිපාතය, සභිය සූත්‍රය)
(මතු සම්බන්ධයි)