බුදුන් වහන්සේගේ කිඹුල්වත් නුවර මංගල ගමන සිදුවූ දිනය අදයි

cmadurawala
11 Min Read

ගුණපාල කාරියවසම්

බුද්ධ ජීවිතයේ ඉතා උත්තරීතර කාරණාවන් ත්‍රිත්වයක් මේ උතුම් වෙසක් පොහොය දින සිදුවී ඇති අතර, එය සැමරීම අප කාගේත් යුතුකමකි. මේ අතර බුදුන් වහන්සේගේ ජීවිතයේ තවත් සුවිශේෂී මංගල කටයුත්තක් මේ වෙසක් පොහොය දිනයේදී සිදුවී ඇති නමුත් ඉහත කාරණා ත්‍රිත්වයට මූලිකත්වය දීම නිසා එම සිද්ධිය යටපත්වී ඇතැයි මට සිතේ. උතුම් බුද්ධත්වයට පත් බුදුන් වහන්සේ තම පියාණන්ගේ ඉල්ලීම පරිදි විසි දහසක් රහතන් වහන්සේලා පිරිසක් සමග රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කළේ අද වැනි වෙසක් පොහොය දිනක දීය. මෙය මංගල ගමනකි.

මේ ගමන ආරම්භ වනුයේ මැදින් පුර පසළොස්වක පොහොය දිනයේය. රජගහ නුවරින් පැවිදි දිවියට පත් භික්ෂුන් වහන්සේලා දස දහසක් සමග කිඹුල්වත් නුවර සිට රජගහ නුවරට අවස්ථා දහයකදී ගිය දස දහසක පිරිස පැවිදිවී රහත් බව ලැබූ පිරිස සමග එම විසි දහසක මහ රහතන් වහන්සේලා පිරිස සමන්විත වූහ. කාළුදායි මහ රහතන් වහන්සේ ඇතුළු මෙම විසි දහසක රහතන් වහන්සේලා සමග එදා පාද චාරිකාව ආරම්භ කළ බුදුන් වහන්සේ දිනකට යොදුන බැගින් රජගහ නුවර සිට යොදුන් 60ක් මග ගෙවා වෙසක් පුර පසළොස්වක පොහොය දින බුදුන් වහන්සේගේ ජාත භූමිය වන කිඹුල්වත් නුවරට පා තැබූහ. මෙය මංගල ගමනකි. බුද්ධත්වයට පත් උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි මුල්ම අවස්ථාවයි.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක සිදුහත් කුමාරයා තම දේවිය වන යසෝධරා දේවියට පුත් කුමාරයකු ලැබුණු දිනයේම තම මිතුරා වන ‘ඡන්න’ට හැර වෙනත් කිසිම අයකුට නොදන්වා හොර රහසේම රජ මාලිගයෙන් පිටත්වූහ. ඒ අභිනික්මනයයි. එසේ පිටත්වූ බෝසතාණෝ සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කර බුද්ධත්වයට පත්ව මෙසේ කිඹුල්වත් නුවරට වැඩම කළේ වසර හතකට පසුවය. එය ද බුද්ධ ජීවිතයේ අසිරිමත් දිනයකි. එය ද අප අනුස්මරණය කළ යුතුය. එපමණක් නොව, එදා එම ගමන නිසා ඊට පසු දින කිහිපයක් අතරතුර අසිරිමත් සිද්ධීන් කීපයක්ම කිඹුල්වත් නුවර සිදුවී ඇති බවද අපි අමතක නොකළ යුතුය.

ඒ කාරණා ගැන කෙටියෙන් විමසා බලමු. අද වැනි වෙසක් පුර පසළොස්වක පෝය දිනෙක බුදුන් වහන්සේ සුද්ධෝදන මහ රජතුමාගේ බලවත් ඉල්ලීම ඉටු කිරීමට කිඹුල්වත් නුවරට වැඩම කළ පසු ශාක්‍යයෝ උන්වහන්සේ ඉතා ගෞරවාන්විතව පිළිගෙන උන්වහන්සේ ඇතුළු භික්ෂු පිරිස වෙනුවෙන් ඉදිකර තිබූ නීග්‍රෝධ ආරාමය වෙත වැඩම කරවාගෙන ගියහ. එහිදී බුදුන් වහන්සේලා ඇතුළු මහ සඟරුවනට නීග්‍රෝධාරාමය පූජා කළහ. එහිදී මානාධික ශාක්‍යයෝ බුදුන් වහන්සේට නොවැඳ වයසින් බාල ශාක්‍යයන් ලවා වැන්දවූහ. එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීම සඳහා බුදුන් වහන්සේ ප්‍රථමවරට යමාමහ පෙළහර පෑසේක. මෙය දැක විස්මයට පත් සුදොවුන් මහ රජතුමා “මේ මාගේ තුන්වෙනි වැඳීම”යි පවසා බුදුන් වහන්සේට නමස්කාර කළහ. අනතුරුව අනෙකුත් ශාක්‍යයෝ ද බුදුන් වහන්සේ වැඳ නමස්කාර කළහ. ඉහත සිද්ධීන් සිදුවූයේ වෙසක් පෝය දිනකය.

සුදොවුන් රජතුමා ඇතුළු ශාක්‍යයෝ බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය උදෙසා නීග්‍රෝධාරාමය පූජා කොට සතුටු සාමීචි කතා බස් කරමින් සිට ආපසු ගිය නමුත් පසුදා උදේ දානය පිළිබඳව ආරාධනාවක් සිදුනොකිරීම නිසා බුදුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිස පසුදින උදේ අහරකිස සඳහා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ. එම සිද්ධිය අසා දැනගත් සුදොවුන් රජතුමා ඉමහත් ලජ්ජාවට පත්ව බුදුන් වහන්සේ වෙත ගොස් පිණ්ඩපාතයේ වැඩම කරවමින් අපට නින්දා කරන්නේ ඇයිදැයි ඇසූ විට බුදුන් වහන්සේ වදාළේ කදිම පිළිතුරකි. “මහ රජ ඔබගේ වංශය ශාක්‍ය වංශයයි. අපගේ වංශය බුද්ධ වංශයයි. මේ බුද්ධ වංශයේ සිරිතයි” පවසමින් මහමගදී දෙසූ දහම අසා සුදොවුන් මහ රජතුමා සෝවාන් වූහ. පසුව රජතුමාගේ ඉල්ලීම අනුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය රජ මාලිගයට වැඩම කර උදේ දානය වැළඳූහ. මෙහිදී ද රජතුමා ඇතුළු ශාක්‍ය පිරිසට දෙසූ දහම අසා සුදොවුන් රජතුමා සකෘදාගාමී ඵලයට පත්වූහ. මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් වූහ. මෙය වෙසක් පෝයට පසුදින සිදුවූ තවත් වැදගත් සිදුවීම් දෙකකි. රජ මාලිගයේදී යසෝධරා දේවිය දැකගැනීමට නොසිටි බැවින් බුදුපියාණන් ඒ ගැන විමසූහ. ඉන්පසු රජතුමා සමග යසෝධරා දේවිය සිටි මාලිගයට බුදුන් වහන්සේ වැඩම කළ අතර, ඇයට සඳකිඳුරු ජාතකය දේශනා කර අතීතය සිහිපත් කර දුන් සේක. එහිදී අතීතය සිහිපත් වී මහණබිමට අවසර ඉල්ලා සිටි නමුත් බුදුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළහ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ තුන් වෙනි දිනය හෙවත් වෙසක් පෝය පසුවී තුන්වෙනි දිනයේදී නන්ද කුමාරයාගේ මාලිගයට වැඩම කළහ. එදින නන්ද කුමාරයාගේ මාලිගය උත්සවශ්‍රීයෙන් බැබළෙමින් තිබිණ. ඒ වැදගත් කාරණා ත්‍රිත්වයක් යෙදී තිබීම නිසාය. නන්ද කුමාරයාගේ විවාහ මංගල්‍යයත්, රාජාභිෂේකයත්, නිවසට ගෙවදීමත් යෙදී තිබුණේ මෙදිනය. මෙහිදී නන්ද කුමාරයා විසින් පිළිගන්වන ලද දානය වැළඳූ බුදුන් වහන්සේ තම පාත්‍රය නන්ද කුමාරයා අතට දී නිහඬව සිටියෙන් නන්ද කුමාරයාට බුදුන් වහන්සේ පිටිපසින් නීග්‍රෝධාරාමය දක්වාම ගමන් කිරීමට සිදුවිය. ඉන්පසු නන්ද කුමාරයාගේ කැමැත්ත මත පැවිදි කරවන ලදී.

බුදුන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිස මෙසේ නීග්‍රෝධාරාමයේ වැඩවෙසෙමින් ධර්ම චාරිකාවේ යෙදෙමින් කාලය ගත කළහ. සත්වෙනි දිනය උදාවිය. බුදුන් වහන්සේ විසි දහසක් මහා සංඝයා පිරිවරා සුදොවුන් රජුගේ මාලිගය වෙත වැඩම කරමින් සිටියහ. යසෝධරා දේවියගේ මාලිගය පසුකරමින් මේ ගමන යන අතරතුර යසෝධරා දේවිය තම කුඩා රාහුල කුමාරයා හොඳින් සරසා බුදුන් වහන්සේගේ ගුණ ගයමින් තම පුතුට තම පියාණන් වන බුදුන් වහන්සේ පෙන්වමින් සිටිනා අතර තමාට අයත් ධනය ඉල්ලා සිටිනා අතර ‘තමාට අයත් ධනය ඉල්ල ගන්නැ’යි පවසමින් රාහුල කුමාරයා බුදුන් වහන්සේ වෙත පිටත් කළාය. බුදුන් වහන්සේ පුංචි රාහුල කුමාරයාගේ ඇඟිල්ල අල්ලාගෙන රජ මාලිගයට වැඩම කර දානය වැළඳූහ. අනතුරුව බුදුන් වහන්සේ සමග යෑමට රාහුල කුමාරයා ද මගට පිළිපන් නමුත් එය වැළැක්වීමට කිසිවකු ඉදිරිපත් නොවූයෙන් නීග්‍රෝධාරාමය දක්වාම ගමන් කළේය. එහිදී යසෝධරා දේවිය පැවසූ පරිදි තමාට අයත් ආර්ය ධනය තම පුත් කුමරු රාහුල කුමාරයාට ලබාදීම සඳහා හෙතෙම මහණ කළහ. ඉහතින් දැක්වූ කාරණා කිහිපය සිදුවූයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී සහ ඉන්පසු සතිය ඇතුළතදී ය. එහෙත් මෙම කාරණා මැදින් පොහෝ දා සිදුවූ ඒවා බව බොහෝ උගතුන් මෙන්ම ගරු කටයුතු ධර්ම දේශක ස්වාමීන් වහන්සේලා ද හුවාදක්වති. එය සාවද්‍යය. බුදුන් වහන්සේ රජගහ නුවරින් කිඹුල්වත් නුවර කරා වැඩම කරවීමට පාගමන ආරම්භ කළේ මැදින් පෝදාය. රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට යොදුන් 60ක් දුර ඇත. දිනකට යොදුන බැගින් දින 60ක් තුළ පා ගමනින් මෙම ගමන නිමා කිරීමට බුදුන් වහන්සේ සැලසුම් කර තිබිණ. දින 60 සම්පූර්ණ වනුයේ වෙසක් පෝය දිනයේ බව අප මතක තබාගත යුතුය.

බුදුරජාණන් වහන්සේ තම කටයුතු ඉතා නිරවුල් ලෙස කාලසටහනකට අනුව සිදුකළහ. උන්වහන්සේගේ දින චරියාව කොටස් පහකට බෙදා ගෙන කාටත් සාධාරණයක් හා පහසුවක් ඇතිවන පරිදි කටයුතු කරන ලදී. සිදුහත් කුමාරයා කාටත් නොදන්වා රජ මාලිගයෙන් පිටවී වසර හයක් ගතවී තිබියදී දුෂ්කර ක්‍රියාකොට එය ද අතහැර මැදුම් පිළිවෙත අනුගමනය කර බුද්ධත්වයට පත්වී රජගහනුවර වැඩ වෙසෙමින් ධර්මය දේශනා කරනු ලබන බව තම මිතුරු බිම්බිසාර රජතුමා විසින් සුදොවුන් රජතුමාට දන්වන ලදී. මෙය ඇසූ සුදොවුන් රජුට බුදුවී ඇති තම පුත්‍රයා දැකගැනීමට බලවත් ආශාවක් ඇතිවිය. ඒ අනුව පිරිවර දහස බැගින් ලබාදී වාර නවයක්ම ඇමැතිවරු පිටත් කළහ. නමුත් එම පිරිස මහණ වී රහත් බව ලැබීම නිසා ගිය කාරණය අමතක විය. දහවෙනි වතාවේදී දහසක් පිරිවර ලබාදී කාළුදායි ඇමැතිවරයා මහණවීමට වරයක් ලබාගෙන රජගහ නුවරට ගිය අතර, එම පිරිස ද බුදු බණ අසා මහණවී රහත් බව ලැබූ නමුත් තමන් ගිය කාරණය අමතක නොකර නිසි කල නිසි වේලාවේදී තම අරමුණ බුදුන් වහන්සේට ඉදිරිපත් කරන ලදී. බුදුන් වහන්සේ එම ආරාධනාව පිළිගත්හ. මෙසේ වාර නවයක් අසාර්ථක වීමටත් දහවෙනි අවස්ථාව සාර්ථක වීමටත් හේතුව කවරේදැ’යි සිතා බැලීම වටී.

බුදුන් වහන්සේ යම් කාලසටහනකට අනුව දෛනිකව කටයුතු කළ බව පෙර සඳහන් කරන ලදී. මෙම කාරණයේදී ද උන්වහන්සේ අනාගතය දෙස බලා තමන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන වසරක් සම්පූර්ණ වන දිනයේදී තම පිය රජතුමා ඇතුළු ඥාතීන් දැකගැනීමට කිඹුල්වත් නුවරට පා තැබීමට තීරණය කළා විය හැකිය. එමෙන්ම තම සහෝදරයා වන නන්ද කුමාරයාගේ සුබ මංගල කටයුතු තුනක් සිදුවන උත්සව සමය මේ සඳහා තෝරාගත්තා විය හැක. කෙසේ වෙතත් බුද්ධත්වයට පත්වී වසරක් සම්පූර්ණ වන දිනය වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී බුදුන් වහන්ස් කිඹුල්වත් නුවරට වැඩම කරවීම මංගල කාරණයකි. එම ගමන නිසා ඊට ආසන්න සතිය ඇතුළත පෙර සඳහන් කළ කාරණා සිදුවීම ද, මංගල කාරණා ලෙස සැලකිය යුතුය. නමුත් ඉහත කාරණා වෙසක් පෝය දින හා ඊට ආසන්න දිනවල සිදුවූ බව අප බොහෝ දෙනෙක් අමතක කර ඇත. මෙසේ අප අමතක කර ඇති හා යටපත් කර ඇති කරුණු එළිදැක්වීම මෙම ලිපියේ අරමුණයි.

ඊට අමතරව වෙසක් පෝය දිනයේදීම බුද්ධ චරිතයේ හා බෞද්ධ සාහිත්‍යයේ සිදුවී ඇති කාරණා මොනවාදැයි කෙටියෙන් සොයා බලමු. එසේ නොවුණහොත් එය මෙම ලිපියේ අඩුවක් ලෙස සැලකීමට ඉඩ ඇති නිසාය. වෙසක් පෝය තෙමඟුල නිසා වැදගත් වන බව පෙර සඳහන් කර ඇත. එය කවුරුත් දන්නා කාරණාවෙකි.

දීපංකර බුදුන් සමයේ අප මහා බෝසතාණෝ සුමේධ තාපසව ඉපිද මඩ ගොහොරුවේ දිගා වී දීපංකර බුදුන් වහන්සේට තම සිරුර මතින් ගමන් කිරීමට ඉඩහසර ලබාදී බුදු බව ප්‍රාර්ථනා කරමින් පළමු නියත විවරණය ලැබුයේ අද වැනි වෙසක් පොහොය දිනයකදීය. බුද්ධත්වයෙන් අටවන වසරෙහි මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ කැලණියට වැඩම කරවීම, සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොළ පව්වට වැඩම කොට සිරිපා සටහන් තැබීම, ලංකාවත් සිංහල ජාතියත් ආරක්ෂා කරන ලෙස පිරිනිවන් මඤ්චකයේදී සක් දෙවිඳුට බාර කිරීම, විජය කුමාරයා ලාට රටේ සිට 700 ක් පිරිවර සමගින් සිරිලක් දිවයිනට පැමිණීම, දම්සෝ නිරිඳුන් විසින් තිළිණ කරන ලද පඤ්චකකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවෙනි රාජාභිෂේකය සිදුකිරීම, අනුරාධපුර මහමෙවුනා උයනෙහි දුටුගැමුණු රජු දවස රුවන්මැලි සෑරදුන් ඉදිකිරීම වැඩ ආරම්භ කිරීම, අප මේ ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පෝය දිනයෙන් ආරම්භවී මාස හයක දීර්ඝ වන්දනා සමය නිමා කිරීම, බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස උදාර මෙහෙවරක් ඉටු කළා වගේම ප්‍රථම ධර්ම සංගායනාවේදී විශේෂ මෙහෙයක් ඉටු කළ ආනන්ද මහ රහතන් වහන්සේ වසර 120ක් ආයු විඳ පිරිනිවන් පෑම.

ආනන්ද මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම හරි අපූරු සිද්ධියකි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40ක් ගතවූ වෙසක් පොහොය දින රෝහිණී නදිය මැද අහසේ දී සතර ඉරියව්වෙන් තොරව වැඩහිඳ දහම් දෙසා තමන් වහන්සේගේ සිරුර බිඳී කොටස් දෙක රෝහිණී නදියේ දෙගං තෙරට යේවා’යි අධිෂ්ඨාන කර තේජෝ කායික සම්පත්තියට සමවැද පිරිනිවන්පාන ලද බව පොතපතෙහි සඳහන් වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *