රාණි සේනාරත්න රාජපක්‍ෂ
තථාගතයන් වහන්සේ දිවා විහරණයේ දී සමාපත්ති සුවය විඳිමින් වැඩවසද්දී ධර්මය එක් එක් ආකාරයට තනිවම මෙනෙහි කළ බව සඳහන් වෙයි. දවසක ඥාතික ගමේ විහාරයක තනිව වැඩවසනවිට දහම් ක්‍රමයක් වදාළහ.
“ඇසත් රූපයත් නිසා චක්බුනවිඤ්ඤාඛව උපදී. මේ තුනෙහි එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන්, මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. කනත් ශබ්දයත් නාසයත්, දිවත්, කයත්, සිතත්, මනෝවිඤ්ඤාණය උපදී. ඒ තණ්හාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන්, මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
“ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී… වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන නිරෝධය වේ. මේ අයුරින් දුක් රාශිය හටගනී. කනත් ශබ්දයත්, සිතත්, ධර්මතාත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. ඒ තුනෙහි එක්වීම ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදී. මේ අයුරින් දුක් රාශිය හටගනියි.
“ඇසත් රූපයත් නිසා ඒ තෘෂ්ණාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක් රාශියේ නිරෝධය වේ. කනත්, ශබ්දයත් නිසා සිතත් ධර්මතාත් නිසා, මනෝවිඤ්ඤාණය උපදී. ඒ තෘෂ්ණාවේම නිරවශේෂ විරාග නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මෙසේ මේ හුදු දුක් රාශියේ නිරෝධය වේ.”
උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය තවත් ක්‍රමයකට මෙනෙහි කරමින් මෙසේ හඬ නඟා පවසා ඇත. එකල්හි එක් භික්ෂුවක් ඒ ධර්මය ඇසෙන මානයේ සිටියේය. සර්වඥයන් වහන්සේ භික්ෂුව දැක “භික්ෂුව, ඔබට මේ ධර්ම ක්‍රමය ඇසුණි ද?”
එසේය ස්වාමිනි.”
“භික්ෂුව, මේ ධර්ම ක්‍රමය ධාරණය කරගන්න. මේ ධර්ම චක්‍රය අර්ථසංහිතය. මාර්ග බ්‍රහ්මචර්යාවට මුල් වේ.” (සං.නි.2-ඥාතික සූත්‍රය) තවත් විටෙක ද මෙසේම සිදු වී ඇත. (සං.නි. 4- උපස්සුති සූත්‍රය)
සර්වඥයන් වහන්සේ සවස්වරුවේ දිවා විහරණයෙන් නැඟී සිට ගාත්‍ර පරිෂේකය සඳහා නාන කොටුවට වැඩම කරති. වරෙක නැඟෙනහිර නාන කොටුවට වැඩම කොට සිරුරු අවයම සනහාගෙන, ඉන් ගොඩනැඟී එක් (අඳනා) සිවුරක් ඇතිව සිරුරු අවයව පූර්ව අවස්ථාවට පමුණුවමින් (සිරුර වියළවමින්) සිටියහ. (ම.නි. 1 – අරියපරියේසන සූත්‍රය) දිය නෑම පිළිබඳ තවත් අවස්ථා දැක්වෙයි. ජේතවනාරාමයෙහි වැඩ විසූ සමයෙක උන්වහන්සේ පෙරවරුවේ නගරයේ පිඬු සිඟා වැඩ, පසුබත්හි දිවා විහිරණයට පූර්වාරාමයට යම්හයි ආනන්ද හිමියන්ට පැවසූහ. ආනන්ද හිමියන් සමග එහි වැඩම කොට සවස පටිසල්ලානයෙන් නැඟී සිට “ආනන්ද, ශරීරය සිලිලින් සනහන්නට පුබ්බකොට්ඨයට යමු”යි වදාරා එහි වැඩම කළහ. සිරුර නහවා ගොඩ වී, එක් සිවුරකින් පමණක් යුක්තව සිරුරේ දිය සිඳුවමින් සිටියහ. (අං.නි. 4-නාග සූත්‍රය)
සවස් කාලයේද ඇතැම් විටෙක සර්වඥයන් වහන්සේ බැහැර වැඩම කර ඇත. වරෙක දිවා විහරණයට පසු අචේලක පාඨික පුත්‍ර පරිබ්‍රාජක ආරාමයට වැඩම කළහ. (දී.නි. 3 -ක පාඨික සූත්‍රය) උන්වහන්සේ ගිජ්ඣකූටයේ වැඩවසන කල්හි ඉතා ප්‍රසිද්ධ පරිබ්‍රාජක බොහෝදෙනෙක් – අන්නභාර, වරධර, සකුලුදායී ආදීන් ඇතුළුව – සප්පිනියා ඔය තෙර පිහිටි ආරාමයේ විසූහ. සර්වඥයන් වහන්සේ දවසක සවස් කාලයේ එහි වැඩම කොට සෑහෙන ගැඹුරු ධර්මයක් – සතර ධර්ම පදය පිළිබඳව දේශනා කළහ. (අං.නි.2 – පරිබ්බ්‍රාජක සූත්‍රය: චතුකොටික සුඤ්ඤත සූත්‍රය.
උන්වහන්සේගේ සන්ධ්‍යාව සාමාන්‍යයෙන් ගත වන අයුරු. රාජගෘහ පුරයේ කලන්දක නිවාපයේ වසද්දී රාත්‍රියේ බොහෝ වේලාවක් එළිමහනේ සක්මන් කොට, රැය පහන් වන වේලෙහි පා දොවාගෙන වෙහෙරට පිවිස පය මත පයක් මඳක් ඇද තබාගෙන, සති සම්පජඤ්ඤයෙන් යුක්තව, නැඟී සිටින වෙලාව මෙනෙහි කොට දකුණු ඇලයෙන් සිංහ සෙය්‍යාව කළහ. (සං.නි. 1-සෝපස්සි සූත්‍රය) බොහෝ වේලා සක්මන දෛනික සිරිතක් දැයි නොසඳහන්ය.
චාරිකාවේදී හෝ වන ආරණ්‍යයක ගිරි කුළක ගල් ගුහාවක සිටිනවිට හෝ රාත්‍රියේ සැතපීම සඳහා සිවුර සතරට නවා බිම එළා සැතපුණහ. (සං.නි. 1 – සකලික සූත්‍රය) ඇතැම්විට බිම තණ අතුරා ඒ මත සැතපුණහ. (ම.නි. 3- ධාතුවිභංග සූත්‍රය) වියළි පත්‍රද මේ සඳහා භාවිත කළහ. (අං.නි. 1 – දේවදූත වර්ගය)
උන්වහන්සේ වස්සාන කාලය තුළදී යම් ආරාමයක සිට, ඒ තෙමස් කාලය අවසන් වී චාරිකාවේ යෙදෙති. ඒ සඳහා වස් කාලය තුළදී අනෙක් භික්ෂූහු සිවුරු අලුත්වැඩියා කරති. (ම.නි. 2 – භද්ද්‍රාලි සූත්‍රය, සං.නි. 2 – ථපති සූත්‍රය) ඉතා දුර බැහැර සිටින භික්ෂූන් වහන්සේලා වස් කාලයේ භාවනා කොට, ඉක්බිතිව සිය අධිගමය ප්‍රකාශ කිරීමට හෝ හුදෙක්ම දැකීමේ කැමැත්ත නිසා හෝ සර්වඥයන් වහන්සේ වෙත යති. නිද: උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන බව දැනගත් මන්තානි පුත්‍ර පූර්ණ තෙරණුවෝ සේනාසනය තැන්පත් කොට පාත්‍රා සිවුරු ගෙන, ශ්‍රාවස්තිය බලා පිළිවෙළින් චාරිකා කොට අවසානයේ එහි ගියහ. සර්වඥයන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දැක්වූ ඉක්බිති පූර්ණ හිමි දිවා විහරණය සඳහා අන්ධ වනය වෙත වැඩියහ. (ම.නි. 1 – රථවිනීත සූත්‍රය)
සර්වඥයන් වහන්සේගේ උත්කෘෂ්ට විනීත සංවර පැවැත්මට මනා නිදසුන් ඇතැම් සූත්‍රවල එයි. සියලු සංඝයා අතුරින් අති උත්තරීතර තත්ත්වයේ සිටි නමුත් උන්වහන්සේ භික්ෂූන් රැස් වී සිටි තැනට ඇතුළු වූ අයුරු. “භාග්‍යවතුන් වහන්සේ රම්මක බමුණාගේ අසපුව කරා වැඩම කළහ. එහි බොහෝ භික්ෂූහු දැහැමි කථාවෙන් යුතුව රැස් වී සිටියහ. භාග්‍යවතුන් වහන්සේ කථා අවසානය තෙක් බලමින් බිහිදොර වැඩ සිටියහ. කතාව අවසන් වූ කල්හි ඒ බව දැන, මඳක් කැස, දොරට තට්ටු කළහ. එවිට භික්ෂූහු උන්වහන්සේට දොර විවෘත කළහ” (ම.නි. 1 – අරියපරියේසන සූත්‍රය) තවත් මෙවැනි නිදසුන් වේ. (අං.නි. 5 – නන්දක සූත්‍රය)
සර්වඥයන් වහන්සේගේ විනීත උත්කෘෂ්ට පැවැත්ම ගැන කදිම වර්ණනයක්. උන්වහන්සේගේ උතුම් බව පිළිබඳ කීර්ති ඝෝෂාව ඇත්තක්දැයි සෙවීමට බ්‍රහ්මායු බමුණාගේ ශිෂ්‍ය උත්තර ඒ සඳහා යෙදවීය. උත්තර මාස හතක් උන්වහන්සේ හා චාරිකාවේ යෙදී, ඉක්බිති බ්‍රහ්මායු බමුණු වෙත ගොස් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ පැවැත්ම හා සංවර බව ගැන දීර්ඝ විස්තරයක් කළේය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනද කීය. උන්වහයන්සේගේ පැවැත්ම ගැන ඔහු කරන අන්දමේ විස්තරයක් වෙනත් සූත්‍රයක නොදැක්වෙයි.
“භවත් ගෞතම දකුණු පයින්ම පළමු කොට ගමන අරඹති. ඉතා නුදුරෙහි පියවර තබති. ඉතා ඉක්මන්ව හෝ ඉතා ලැසිව නොයති. ඉහළ පහළ දෙපස නොබලති. අවට නොබලති. වියදඬු පමණ දුර බලති. දණින් දණ නොනමති. ගොප් ඇටයෙන් ගොප් ඇටය නොනමති. යන්නාහු කලවයේ උඩට හෝ යයට නොනමති. පාදය තද කොට නොතබති. ඔබ මොබ නොසෙල්වෙති. යන්නා වූ ගෞතමයන්ගේ යටිකයම සැලෙයි. කාය බලය නොයොදති. බලනවිට මුළු කයම හරවා බලති. ගෞතමයේ ඇතුළු ගමට පිවිසෙන්නාහු කය උඩට නොනමති. යටට නොනමති. කය ඔබ මොබ නොනමති. ඉතා දුර සිට ඉතා ළඟ සිට ආසනයට නොපෙරළෙති. අතින් එල්බගෙන අස්නෙහි නොහිඳිති. අස්නෙහි කය බහා නොලති… දණින් දණ නඟාලා, ගොප් ඇටයෙන් ගොප් ඇටය නඟාලා. අත්ලෙන් හනුව ගෙන, නොහිඳිති. ඇතුළුගම හුන්නාහු බිය නොවෙති. නොගැළෙති. නොසැලෙති. තැති නොගනිති.
“ගෞතමයෝ පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නොනමති. යටට නොනමති. පාත්‍රය තද කොට නොගනිති. පාත්‍රය ඔබ මොබ නොසලති. පාත්‍රයට ඉතා මඳ හෝ ඉතා වැඩි නොකොට දිය පිළිගනිති. පාත්‍රය සෝදනවිට ‘බුලු බුලු’ ශබ්ද නොකරති. පාත්‍රය පෙරළා නොසෝදති. පාත්‍රය තබා අත් නොසෝදති. දෙඅත් සේදූ කළ පාත්‍රය දෝනා ලද වෙයි. පාත්‍රය දෙවූ කල අතද දෝනා ලද වෙයි. පාත්‍රය දෙවූ දිය ඉතා දුර හෝ ඉතා ළඟ නොව, විසුරුවන්නේද නැතිව බැහැර ලති.

