ගැඹුරු අරුතකින් ගත් කල, නිහඬ බව හා නිහඬ වීම යනු දෙකකි. නිහඬ බව යන්නෙන් ස්වභාවයෙන් ම ඉවසිලිවන්ත, ගැඹුරු ශාන්ත බවක් අදහස් කෙරෙයි. එය ප්‍රඥාවට හා අවබෝධයට ද නෑකම් කියයි. නිහඬ වීම ඊට වඩා ලාමක ය. අතිශයින් ශක්තිවන්තයකු අතිශයින් දුර්වලයකු පෙළන විට නිහඬ වීම විනා කළ හැකි අන් යමක් දුර්වලයාට බොහෝ විට ඉතිරි නො වේ. මේ නිහඬ වීම, නිහඬ කරවීමේ ප්‍රතිඵලයක් ද විය හැකි ය. එහි ගැඹුරු අවබෝධයක්, නිවීමක් නැත. ඒ නිහඬ වීම පිටුපස බලවත් පිළිකුලක්, වෛරයක්, ද්වේෂයක් සාමාන්‍යයෙන් තිබේ.
අප සමාජයේ සිටින වැඩි දෙනකු මේ වෙනස දකින්නේ නැත. එනිසා කරකියාගන්නට දෙයක් නැති ව අසරණ ව ‘නිහඬ වී’ සිටින පිරිස් ද වර්ගීකරණය කෙරෙනුයේ ‘නිහඬ බවින්’ යුතු උත්තම පිරිසක් හැටියට ය. මෙය දෙපැත්තට ම අහිතකර ය. උදාහරණයක් ලෙස තමන් කරන කියන දේ ම නිවැරැදි බව සැම විට ම විශ්වාස කරන මානාධික කෙනකු ගනිමු. සෙසු අය ඒ තැනැත්තා කරන වැරැදි දැක දැකත් නිහඬ ව සිටින්නේ ‘කියලා වැඩක් නැති’ නිසා මිස ඔහුගේ ක්‍රියාකලාපය අනුමත කරන නිසා නො වේ. ‘ඔහොම ගිහින් එයා ම පාඩමක් ඉගෙනගත්තාවේ…’ යනුවෙන් ද ඔවුන් සිතනවා විය හැකි ය. මෙවැනි තැනැත්තකු ගන්නා වැරැදි හා දැඩි තීරණ නිසා අන් අය පීඩාවට පත් වනවා ද විය හැකි ය. එහෙත් සෙසු අයට නිහඬ වීම විනා අන් විකල්පයක් ඉතිරි ව නැත්නම් ඒ පීඩාවන් විඳ දරාගෙන වුව ද ගමන් කිරීමට සිදු වේ. (මේ බවට උදාහරණ අප සමාජයේ කොතෙකුත් දක්නට තිබේ.)
ඉදින් මේ නිහඬ වීමෙන් දෙපැත්තට ම සැලසෙන යහපතක් වේ ද බලන්න. මානාධික තැනැත්තා හැදෙන්නෙත් නැත. සෙසු අය පීඩාවට පත් වීම නවතින්නෙත් නැත.
කොයිහැටි වෙතත් මේ නිහඬ වීම දිගින් දිගට ම නො පැවතී එක වර ම පුපුරා යන අවස්ථා ද විටින් විට දක්නට ලැබේ. අන්න එවන් විටක නම් අර කියන තැනැත්තා යම්තාක් දුරකට නම්‍යශීලී මාවතකට අවතීර්ණ විය හැකි ය. එහෙත් ඒ ද ප්‍රඥාව නො වේ. මන්ද ඔහු ඒ වෙනස ඇති කරගන්නේ ද අන් විකල්පයක් නැතිකම නිසා විනා අවබෝධයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් නො වන හෙයිනි. එහි දී සිදු වන්නේ හුදෙක් දෙපැත්ත මාරු වීම ය. එනම් එතෙක් පීඩාවට පත් පාර්ශ්වය බලවත් වීමත් අනෙක් පාර්ශ්වය ඔවුනට අවනත වීමත් ය.
නිහඬ බව හා නිහඬ වීම යනු කාරණා දෙකක් බව වටහාගන්නා තෙක් මේ ගැටලුව නිරාකරණය නො වේ. කෙනකු අසාමාන්‍ය ලෙස නිහඬ නම් හෝ ප්‍රතිචාර නො දක්වන්නේ නම් හෝ ඒ ගැන වෙනත් කෝණවලින් ද සොයාබැලීමට අප උත්සුක විය යුතු ය. ඒ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ද නැතිනම් අපේ දුෂ්ටකම් නො සැලකිලිමත්කම් නිසා ඔහු නිහඬ වී සිටිනවා ද? කෙනකු එසේ නිහඬ කිරීමෙන් අප ලබන සැනසුම මෙලෝ පරලෝ වශයෙන් දිගුකාලීන ව සුබදායක ද යන්නත් සිතා බැලිය යුතු ය. කෙනෙකු පීඩාවට පත් කර නිහඬ කිරීමෙන් දෙලොවට ම සෙතක් නො සැලසෙන්නේ ම ය.
මේ දේ තේරුම්ගැනීම සඳහා, සිතාගන්නට වත් නොහැකි හදිසි පිපිරීම් ඇති වන තුරු කල් මැරිය යුතු නො වේ. එවැනි පිපිරීමක් ඇති වෙමින් තිබෙන බව පෙනි පෙනීත් ප්‍රශ්නයට අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතු ව පිළියම් යෙදීම තවදුරටත් මඟහරිමින් සිටිනවා නම් ඒ දෙසත් නිහඬ ව ම බලා සිටිනවා විනා කළ හැකි අන් දෙයක් සෙසු අයට ඉතිරි නො වනු ඇත.