කය ගැනත් දත යුතුයි

cmadurawala
9 Min Read

පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි

අපි මේ ලෝකය සමග ඇලෙන්නෙ මේ කය නිසයි. අපි ලෝකය සමග ගැටෙන්නෙත් මේ කය නිසයි. මේ ඇලීම් ගැටීම් දෙක නවත්වන්නට නම් මේ කය හරයක් නැති දෙයක් බව පළමුවෙන්ම අපේ මනසට වටහා දෙන්නට ඕන. ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කළා කය ගැන බලන්න. කයේ අශුභත්වය මෙනෙහි කරන්න. පිළිකුල් බව මෙනෙහි කරන්න. කයෙහි අනිත්‍යතාව මෙනෙහි කරන්න. කයෙහි දුක්ඛභාවය මෙනෙහි කරන්න. මේ සියල්ලගෙන්ම බුදුහාමුදුරුවො බලාපොරොත්තු වුණේ මේ කය පිළිබඳව ඇලීම් ගැටීම් දෙකෙන් මනස නිදහස් කරලා හැබෑව වටහාගත හැකි තැනට මනස යොමු කිරීමයි. කසිණාදි කර්මස්ථානයකින් නම් බුදුහාමුදුරුවො බලාපොරොත්තු වුණේ සිත සන්සුන් කරලා අවශ්‍ය නියම තැනට යොමු කිරීමයි.

මේ ශාසනයේ හෝ අන් ශාසනයක හෝ දේශනා කළාවූ යහපත් කුසල භාවනා යම්තාක් තියනවා නම් ඒ සියල්ලක්ම මේ චිත්ත භාවනාවට උපකාර වෙන්නා වූ චිත්තානුපස්සනාවට උපකාර වෙන්නා වූ, නිවන් දැකීමට උපකාර වෙන්නා වූ භාවනාවන් පමණයි. යම්කිසි කෙනෙක් මැනවින් සිත දැන ගන්නවා නම්, සිතේ ක්‍රියාකාරිත්වය දැන ගන්නවා නම්, එය සසර නැවත නැවත යන්නේ කුමක් නිසාද කියලා දැන ගන්නවා නම්, එය නවත්වන්නට පුළුවන් වෙන්නේ කොහොමද කියලා දැන ගන්නවා නම්, ඒ තැනැත්තාම පමණයි සසර ගමන කෙළවර කරන පුද්ගලයා. ඒ නිසා පින්වතුන්ට නිවන් දකින්නට අවශ්‍ය නම් මට නිවන් දකින්නට අවශ්‍ය නම් තව යම් කෙනකුන්ට නිවන් දකින්නට අවශ්‍ය නම් ඒ මනුෂ්‍යයා ඒ සත්ත්වයා අනිවාර්යයෙන්ම සිත පිළිබඳව දත යුතුමයි. ඒ නිසා චිත්තානුපස්සනාව පිළිබඳව අපි ගැඹුරට කල්පනා කළ යුතුයි. කරුණු නිවැරදිව දැනගත යුතුයි.

ප්‍රකෘති සිත ප්‍රභාස්වරයි

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත ප්‍රභාෂ්වරයි. “පභස්සරමිදං භික්ඛවෙ චිත්තං”

මහණෙනි, මේ සිත බොහොම ප්‍රභාස්වරයි. එය බබලන්නා වූ එකක්. නමුත් පංචේන්ද්‍රියන් මුල් කරගෙන බාහිර ලෝකයෙන් ඇතුළට ගන්නා වූ බොහෝ අරමුණු නිසා හටගන්නා ක්ලේශයන්ගෙන් මේ සිත කිලිටි වෙනවා. එසේ කිලිටි වෙලා දුර්වර්ණ වෙනවා. එසේ දුර්වර්ණ වෙලා වැඩක් ගන්නට බැරි අකර්මණ්‍ය තත්ත්වයට පත්වෙනවා. පසුගිය පොහෝ දවසක අපි පංච නීවරණයන් පිළිබඳව විස්තර කරලා පින්වතුන්ට පැහැදිලි කළා ඒ නීවරණයන්ගෙන් කොහොමද සිත අකර්මණ්‍ය කරන්නේ සිත ක්‍රියාත්මක කරන්නට බැරි තත්ත්වයට පත් කරන්නේ කොහොමද මේ ක්ලේශ ධර්මයන්ගෙන් කියලා.

බුදුහාමුදුරුවො දේශනා කරනවා මේ ප්‍රකෘති සිත ප්‍රභාස්වරයි, එය අකර්මණ්‍ය කරන්නේ එය කිලිටි කරන්නේ බාහිර ලෝකයෙන් ඇතුළට උරාගන්නා අරමුණු තුළින්. පින්වතුනි ඒ ප්‍රභාස්වර වූ සිත මේ පින්වතුන් පොරවාගෙන ඉන්න සුදුපාට වස්ත්‍රයක් වගේ. සුදු වස්ත්‍රයක් පින්වතුන් සිල් සමාදන් වෙනකොට පොරවාගෙන ඉන්නවා. ඒ කුමක් නිසාද? මේ සුදු වස්ත්‍රය නැතිනම් සිල් ගන්නට බැරිද? බැරිකමක් නෙමෙයි, පාට වස්ත්‍රයක් ඇඳගෙනත් සිල් ගන්නට පුළුවන්. නමුත් සුදු වස්ත්‍රය කියන්නේ පවිත්‍රත්වයේ සංකේතයයි. පවිත්‍රත්වය විතරක් නෙමේ අනිත්‍යත්වයේ සංකේතයයි. ඒ නිසා මළගදෙර ගියත් අපි සුදු වස්ත්‍රය අඳිනවා. මළ මිනියට සුදු වස්ත්‍රයක් පොරවනවා. ඇයි මේ? සිල් ගන්නට අඳින්නේත් සුදු වස්ත්‍රයයි. මළ මිනියට පොරවන්නේත් සුදු වස්ත්‍රයයි. කුමක්ද මේ දෙකේ වෙනස? එයින් පවිත්‍රත්වය කියවෙනවා. එයින් අනිත්‍යභාවයත් කියවෙනවා.

පිරිසුදු දේ වහා කිලිටි විය හැකියි

කොහොමද මේ සුදු වස්ත්‍රයකින් අනිත්‍යතාව කියවෙන්නේ? ඉතා සුදු වස්ත්‍රයක් බොහෝම ඉක්මනින් කිලිටි වෙන්නට පුළුවන්. පුංචි දූවිලි පාරකිනුත් එය කිලිටි වෙලා යනවා. පුංචි මඩ පැල්ලමකිනුත් එය කිලිටි වෙලා යනවා. පවතින ස්වභාවය වෙනස් වෙලා යනවා. එහෙම නම් ලෝකයේ කිලිටි වෙන්නට පුළුවන් දේවල් අතරින් පවිත්‍ර දේවල් තමයි වඩා ඉක්මනින් කිලිටි වෙන්නට පුළුවන්. සිත ඒ පවිත්‍ර දේවල් අතරින් විචිත්‍ර වූ දෙයක්. එය වහා කිලිටි වෙන්නට පුළුවන්. බොහෝ දේ නිසා කිලිටි වෙන්නට පුළුවන්. නැවත නැවතත් අපි ඒ කිලුට පහ කළොත් පමණයි අපට පුළුවන් වෙන්නෙ මේක කිලිටි වෙනවාද නැද්ද කියන බවවත් තේරුම් ගන්නට. මේ කිලුටට නැවත නැවතත් ඒ සිත පත් වුණොත් අපට සිත කිලිටි වෙනවාද කියලවත් දැනගන්නට පුළුවන් කමක් නෑ.

පින්වතුන් ගෙදර දොරේ වැඩ කටයුතු කරන කොට කුස්සියේ උයන පිහන කොට සුදු පාට රෙදි කෑල්ලක් ගන්නවා වළං බාන්නට. මේක ගත්තු දවසේම පළවෙනි දවසේ හවස් වෙලා මේ සුදු රෙදි කෑල්ල දිගෑරලා බැලුවොත් පින්වතුන් දැක ගන්නවා අද දවස තුළ මෙතෙක් දැළි කුණු තැවරිලා තියෙනවා. ඒ කුමක් නිසාද ඒ පැහැදිලි වෙනස පින්වතුන් දැක්කේ? වස්ත්‍රය පවිත්‍ර නිසා. වස්ත්‍රය පවිත්‍ර නොවුණොත් පින්වතුන්ට එය දැක ගන්නට පුළුවන් කමක් නෑ. අපි හිතමු ඒ වස්ත්‍රය සතියක් මුළුල්ලෙහි ඒ විදිහෙන් අඛණ්ඩව දැළි කුණු තැවරුණා. මාසයක් මුළුල්ලේ සෝදන්නේ නැතිව එහි නැවත නැවතත් දැළි කුණු තැවරුණා. එහෙම දැළි කුණු තැවරුණායින් මාසෙකට පසුව පින්වතුන් නැවතත් අර වස්ත්‍රය දිගෑරලා බලනවා. දැන් පින්වතුන්ට කියන්න පුළුවන් ද මේ ඊයෙ තැවරිච්ච දැළි කුණු. මේ අද තැවරිච්ච දැළි කුණු කියලා. කිසි කෙනෙකුට කියන්න බැහැ. ඇයි ඒ හොයන්නට බැරි තත්ත්වයට පත්වුණේ? වස්ත්‍රය බොහෝ කිලුටු නිසා.

කිලුට දකින්නට නම්

එහෙම නම් පවිත්‍ර වූ වස්ත්‍රයක පමණයි කිලුට වහා පෙනෙන්නෙ. එහි අනිත්‍ය ස්වභාවය මැනවින් දකින්නට පුළුවන් වෙන්නේ. දකින්නට නම් පවිත්‍රත්වය තිබිය යුතුමයි. ඒ පවිත්‍රත්වය යම් තැනක කෙලෙසෙනවාද, කිලිටි තත්ත්වයට පත් වෙනවාද, අඳුරු තත්ත්වයට පත් වෙනවාද එහි අනිත්‍ය තත්ත්වය පේන්නැතිව යනවා. පීඩාකාරි තත්ත්වය පේන්නැතිව යනවා. එහි ඇති ස්වභාවය පේන්නැතිව යනවා.

ඒ නිසා අපි නැවත නැවත සිත පවිත්‍ර කළොත් පමණයි අපට දකින්නට පුළුවන් වෙන්නේ සිතේ පවතින්නා වූ ක්ලේශයන් කෙබඳු ද කියලා. සිත ශුද්ධ කරන්නට පටන් ගත්තොත් විතරයි මේ තරම් කෙලෙස් තියනවා නේද කියල අපට දැනගන්නට වත් පුළුවන් වෙන්නේ. එතෙක් අපිට දැනෙන්නේ නෑ අපේ සිතේ කෙලෙස් හටගන්නවා වත් ද කියලා. සමහර කෙනකුන්ට අපි කිව්වහම බණ අහන්නට එන්න, භාවනා කරන්නට එන්න, පන්සල් එන්න කියලා සමහර කෙනෙක් කියනවා හාමුදුරුවනේ අපි පව් කරන්නෙ නෑනෙ පන්සල් යන්න. සමහර කෙනෙක් කියනවා මම නම් මගෙ මේ ජීවිතේට කිසිම පාප කර්මයක් කරලා නෑ.

ඇයි එහෙම කියන්නේ මිනිස්සු? ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ නිරන්තරයෙන් තමන්ගේ සිතින් පව්කම් කෙරෙන බව. ඇයි නොදැනෙන්නෙ? අර මාස ගණනක් දැළි කුණු තැවරිච්ච වස්ත්‍රය වගේ අද කොතෙක් පව්කම් කළා ද කියලා ඒ මනුෂ්‍යයාට තෝරා බේරා ගන්නට බෑ. තෝරා බේරා ගන්නට බැරි නිසා ඒ මනුෂ්‍යයා හිතනවා මම පවිත්‍රයි. මම නිර්දෝෂියි. මා අතින් වරදක් සිදුවුණේ නැහැ කියලා. වරද සිදුවුණේ නෑ කියලා ඒ මනුෂ්‍යයා මුලාවට වැටුණේ කුමක් නිසාද? තෝරා ගන්නට බැරිකම නිසා මිසක් අපවිත්‍රතාවයක් නැතිකම නිසා නොවෙයි.

ඒ නිසා අපවිත්‍රතාව දකින්නට නම් නැවත නැවත පවිත්‍ර කරන්නට ඕන. නැවත නැවත පවිත්‍ර කරන්නට නම් නැවත නැවත ඒ දිහා බලන්නට ඕන. නැවත නැවත ඒ දිහා බලන්නට නම් මනාව සිහිය තියෙන්නට ඕන. ඒ නිසා සිහිය පිහිටුවාගෙන මහත් වූ උත්සාහයෙන් සිත ගැන නැවත නැවත බැලිය යුතුයි කියලා බුදුහාමුදුරුවො දේශනා කළා. එසේ නොකළොත් එය ඉතාම අකර්මණ්‍ය, දඩබ්බර කිලිටි ස්වභාවයකට කලක් යනකොට පත්වෙනවා. එසේ කිලිටි වූ වස්ත්‍රයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා.

කිලිටි වස්ත්‍ර!

“සෙය්‍යථාපි භික්ඛවෙ වත්‍ථං සංකිලිට්ඨං මලග්ගහිතං, තමේනං රජකෝ යස්මිං යස්මිං රංගජාතෙ උපසංහරෙය්‍ය, යදි නීලකාය, යදි පීතකාය දුරත්තවණ්ණමේවස්ස අපරිසුද්ධ වණ්ණමේවස්ස, තං කිස්ස හේතු? අපරිසුද්ධත්තා භික්ඛවෙ වත්‍ථස්ස”

මහණෙනි, යම් කිසි කෙනෙක් දැළි තැවරුණු, කුණු මඩ තැවරුණු, දුහුවිලි තැවරුණු වස්ත්‍රයක් අරගන්නවා. මේ කිලිටි වූ වස්ත්‍රයට වර්ණ ගන්වන්නට ඔහු බලාපොරොත්තු වෙනවා. මම මේකට නිල් පාට සායම් පොවනවා. මම මේකට කහ පාට සායම් පොවනවා. මම මේකට රතු පාට සායම් පොවනවා කියලා ඒ පුද්ගලයා ඒ තමන් කැමති වර්ණයෙන් සායම් හදාගෙන ඒ සායම් බඳුනේ මේ කිලිටි වූ වස්ත්‍රය යොදවනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි, ඔහුට තමන් බලාපොරොත්තු වෙන පාට, ඒ වස්ත්‍රය තුළින් ලැබෙයිද? කිසිදාක ලැබෙන්නේ නෑ. ඔහුට ලැබෙන්නේ තමන් බලාපොරොත්තු වෙච්ච වර්ණය හා මිශ්‍ර වෙච්ච අඳුරු වර්ණයක් පමණයි. “තං කිස්ස හේතු” මොකක්ද මේකට හේතුව? “අපරිසුද්ධත්තා භික්ඛවෙ වත්‍ථස්ස” මහණෙනි, පඬු කරන්න ගත්තු, පාට කරන්න ගත්තු රෙදි කෑල්ල කිලුටුයි. බලාපොරොත්තු වෙච්ච වර්ණය ලැබුණෙ නෑ. ඒ වර්ණය යන්තම් පේනවා. එය කිලුටෙන් වැහිලා නිසා අඳුරු බවක් මයි මතු වී පෙනෙන්නෙ.

අන්න ඒ වගේ තමයි පින්වතුනි කිලිටි වූ සිතක් පවතින මනුෂ්‍යයා කොතෙක් පින් දහම් කළත් ඒ සියල්ලක්ම කිලිටි වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ සියල්ලක්ම හැබෑ පරමාර්ථය වෙත යන්නට අසමර්ථයි. නිවන් දකින්නට නිවන් දකින්නට කිය කියා කොතෙක් පින් දහම් කළත් ඒවා සසර යන්නට හේතු වනවා මිසක් නිවන් දකින්නට හේතු නොවී මේ භව ගමනේ අපි තව තවත් දුක් විඳිමින් මේ සසර යන්නේ කුමක් නිසාද? අපේ සිත කිලුටුයි. කිලුටු සිතින් කරන්නා වූ ඒ කුසල කර්මයන්හි ඒ පුණ්‍ය කර්මයන්හි හැබෑ අර්ථය සිද්ධ කරන ප්‍රභාස්වර භාවය කිසිදාක ඇති වෙන්නේ නෑ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *