පිරිසිදු ගනුදෙනු

rashi
By rashi
3 Min Read


යමක් පිරිසිදු ම සිතින් දුන්නා වන්නේ එය දෙන මොහොතේ ම සහමුලින් ම අත්හැරිය හොතිනි. යමක් දී තවත් (ලාමක) යමක් බලාපොරොත්තු වේ නම් එය පිරිසිදු ම දීමක් නො වේ.

සමහරුන් දානයක් දෙන්නේ තමන්ට එමෙන් කිහිප ගුණයක් ලැබෙන බවට අපේක්ෂා දල්වාගෙන ය. දානයේ ආනිශංසයෙන් තමන් දැනට දිගින් දිගට ම විඳින අලාභවලට තිරිංග යෙදීමක් වේ යැ යි සිතාගෙන ය. එසේ යමක් බලාපොරොත්තුවෙන් කිසිවක් දී, ඒ අපේක්ෂා කළ දෙය නො ලැබෙන විට හෝ ලැබීම පමා වන විට ඔවුන් තුළ කලකිරීම්, නොමනාපකම් ඇති වේ.

අමුතුවෙන් ප්‍රාර්ථනා නො කළත් දානයක කොහොමටත් ආනිශංස ඇත. ඒ පිළිබඳ අවබෝධයක් තිබීම වෙන ම දෙයකි. ලෞකික සැප සම්පත් ලාමක ලෙස ප්‍රාර්ථනා කිරීම තවත් දෙයකි. දුක පැමිණෙන්නේ අනවබෝධයෙන් කරන එවැනි ප්‍රාර්ථනා සමග ය. අත්හළ සිතක, නිවන හැරුණු විට වෙනත් ප්‍රාර්ථනා තිබිය නොහැකි ය.

දෙන තැනැත්තා මෙන්ම ගන්නා තැනැත්තා කරන වරදක් ද වේ. ඒ, අත්හළ, පිරිසිදු සිතින් දෙන දෙයක් පවා පිළිගැනීම ණයක් ලෙස සැලකීම ය. තමන් ඉල්ලීමක් කර කිසිවක් ලැබුණු විටක ප්‍රතිඋපකාරයක්, සංග්‍රහයක් කිරීම අසාමාන්‍ය දෙයක් නො වේ. එනම්, යුතුකමක් ලෙස සලකා ප්‍රතිසංග්‍රයක් කිරීම වෙන ම දෙයකි. එවැනි සංග්‍රහයක වටිනාකම, ගත් දෙයෙහි වටිනාකමට වඩා අඩු ද විය හැකි ය. එහෙත් දෙපාර්ශ්වය ම අවබෝධයෙන් ඒ ‘ගනුදෙනුවේ’ යෙදෙන නිසා සිතේ බරක් හෝ කහටක් හෝ දෙපැත්තෙහි ම ඉතිරි නො වේ. එහෙත් අත්හළ සිතින් දෙන දෙයක් ණයක් ලෙස සලකා නැවත ගෙවීමට යෑම දෙන තැනැත්තාට කරන අගෞරවයකි. පිරිසිදු සිතින් දෙන යමක් ගත් විට, ණයකට බැඳුණු බවට බරක් සිත තබාගෙන සැලකීමක් කිරීමට වෙහෙසීමේ අර්ථයක් නැත.

මේ දෙපැත්ත ම මැනැවින් ක්‍රියාත්මක වන්නට නම් දෙන දෙය සහ ගන්නා දෙය ගැන මනා අවබෝධයක් දෙපිරිසට ම තිබිය යුතු ය. දෙන තැනැත්තාගේ සහ ගන්නා තැනැත්තාගේ ආකල්ප ගැන මනා අවබෝධයක් තිබිය යුතු ය. තමන්ට යමක් ලැබෙන්නේ පෙරළා (ලාමක වූ) යමක් අපේක්ෂාවෙන් බව පැහැදිලි ව දැනෙන විට සහ දෙන තැනැත්තා එයින් අපේක්ෂා කරන දේ සැපයීමට තමන් අපොහොසත් බව දන්නා විට එය භාර නො ගෙන සිටීම වඩාත් සුදුසු ය.

අනෙක් අතට පිරිසිදු සිතින් දුන් දෙයක් පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව භාරගත යුතු ය. එය, පෙරළා කරන, ආධ්‍යාත්මික දියුණුව සලසන සංග්‍රහයක් මිස ලාමක වූවක් නො වේ.

අද කාලයේ වැඩි දෙනෙකු සංග්‍රහයන්හි යෙදෙන්නේත් දෙන දෙයක් භාරගන්නේත් පටු ආකල්ප පෙරදැරි කරගෙන ය. මේ පටු ආකල්පවල ප්‍රතිඵලය ලෙස එකිනෙකා අතර තිබූ යහපත් සම්බන්ධකම් බිඳ වැටෙනු පවා දැකගත හැකි ය.

සැබෑ දානය යනු අත්හැරීමයි. අත්හළ සිතින් දුන් දෙයකට පෙරළා සංග්‍රහයක් නො ලැබුණා කියා කිසිදු සිත් අමනාපකමක් ඇති නො වේ. සිත පිරිසිදු නිසා දෙන දානයෙහි ද අඩුපාඩුවක් ඇති නො වේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *