බුද්ධ වංස කතාවල ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකක් සඳහන් කරන ගාථා දෙකකි.
“කාලොයංතේ මහාවීර”
“කාල දේසංච දීපංච කුලමාතරමෙවච”
චරිම භවයෙහි ලොව්තුරා බුදුබව ලබන බෝසත්වරයනට තුසිත දෙව් ලොවෙහිදී දෙව් බඹුන් කරන අයැදුම මුල් ගාථාවෙන් ඉක්බිතිව බෝසත්වරුන් පස් මහ බැලුම් බලන ආකාරය දෙවන ගාථාවෙන් ද කියැවෙයි.
ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ හින්දූන්ගේ ජීවන කාලසටහනකි. ඉගෙන ගැනීමේ කාලය, ආර්ථික කටයුතු සම්පාදනය, රැකීරක්‍ෂා වෙළෙඳ ව්‍යාපාර දියුණු කරගැනීම, විවාහය හා සකල විධ දෑ අත්හැර සන්‍යාසියකු ලෙස ජීවත්වීම ආදිය ඊට අයත් වෙයි. බුදුරජුන්ගේ දවසේ කාලය බෙදා වෙන්කැර තිබේ. පෙර බත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදුම්යම් කිස, පැසුළු යම් කිස යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ අරුණු උදයෙහි නැඟිට උපස්ථායකයනට අනුග්‍රහ සඳහා ද සිරුරු සුව සඳහා ද දැහැටි කිස නිමවා මුව දෙවීම් ආදිය කොට පිඬු පිණිස හැසිරිය යුතු වේලාව වනතුරු විවේකයෙන් කල්ගත කරති. ඉක්බිති පිඬු පිණිස වඩිති. දහවල දානය වැළඳීමෙන් පසු මණ්ඩලමාලයේ පනවන ලද අසුනෙහි වැඩ හිඳිති. ඒ භික්‍ෂූන් දන් වළඳා එනතුරුය. භික්ෂූන් දන් වළඳා අවසන් වූවිට එවග දැනුම් දීමෙන් පසු සුවඳ ගඳ කිළියට වඩිති. මේ පෙර බත් කිසයි. පසු බත් කිස ආරම්භ වන්නේ භික්‍ෂූන්ට කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙනි. ඉක්බිති ගඳ කිළියට වඩිති. ගඳ කිළියට වැඩම කොට ඉදින් කැමති නම් සිහි නුවණින් යුතුව මඳ වේලාවක් සැතපෙති. ඉන් නැඟිට පස්වරු කාලයෙහි දෙවැනි කොටස ගත කරන්නේ ලෝ වැස්සන් දෙස නුවණින් බලා ඔවුනට සුවසෙත සලසන පිණිසය. තුන්වන කොටසෙහිදී ධර්ම මණ්ඩපයට වැඩ එහි රැස්වූ බුදු පිරිසට දහම් දෙසන සේක. නියමිත වේලාව අවසන් වූ පසු දම් සබයෙන් නැඟිට නික්මෙන සේක. මේ පශ්චාත් භක්ත කෘත්‍යය නම් වූ බුදුරජාණන් වහන්සේගේ පැසුළුබත් කිසයි.
ඉක්බිති රාත්‍රි කාලය ළං වෙයි. සිරුර දොවා ගැනීමේ අදහසක් පහළ වුවහොත් නාන කොටුවට වැඩපිළියෙල කරදෙන ජලයෙන් ශරීරය ධෝවනය කර ගනිති. ඉක්බිති ගඳකිළි පිරිවෙණේ ආලින්දයේ පනවනු ලබන බුදු අසුනෙහි වැඩ හිඳ මොහොතක් කල් චිත්ත විවේකයෙන් ගත කරන සේක. ඉක්බිති බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණෙන භික්‍ෂූන් වහන්සේලා එහි රැස්වෙති. ප්‍රශ්න විචාරති. කමටහන් ගනිති. දහම් දෙසීමට අයැදුම් කරති. බුදුරජාණන් වහන්සේ ඒ අදහස් සපුරමින් රෑ පෙරයම් කල ගත කරන සේක. ප්‍රථම යාම කෘත්‍යය නම් මෙයයි.
ප්‍රථම යාමය ගෙවුණු පසු මධ්‍යම යාමය ඇරැඹේ. මෙම කාලය ගතවන්නේ බුදුරජාණන් වහන්සේ කරා පැමිණෙන දෙව් බඹුන්ගේ නොයෙක් පැන විසඳමින් දහම් දෙසමිනි. දිව්‍ය බ්‍රහ්මයෝ තමන් කලින් ගොතාගෙන පැමිණි ප්‍රශ්න උන්වහන්සේ ගෙන් අසති. උන්වහන්සේ පිළිතුරු දෙමින් දහම් දෙසති. ඒ මැදුම් යම් කිසයි.
පශ්චිම කොටස් තුනකින් සමන්විතය. පළමු වැනි කොටසෙහි දී බුදුරජාණන් වහන්සේ සක්මන් කරන සේක. සිරුරු විඩාව සංසිඳවා ගැනීම පිණිසය. දෙවැනි කොටසේ දී සැතපෙන සේක. තුන්වැනි කොටසේ දී යහතින් නැඟිට හිඳ බුදු ඇසින් ලොව බලන සේක. පින් කළ පුද්ගලයන්හට වැඩ සලසනු සඳහා ය. රෑ එළිවෙන යාමයට අයත් වන තුන් කොටසකින් යුතු මේ වැඩපිළිවෙළ පැසුළු යම් කිසය.
කාල චක්‍රය අනුව සකස් වී ඇති බුදුරජාණන් වහන්සේගේ දින චර්යාව ඉඳුරා සපුරනු ලබන්නකි. දහවල් කාලයට අයත් කොටසෙහිදීත්, රෑ කාලයට අයත් කොටසේදීත් අවස්ථා තුනකදී සිරුරු පහසුව පිණිස විවේක ගැනීම බුදු සිරිතය. මුළු දවස කොටස් පහකට බෙදී ඇත්තේය. එයින් දහවල් යනුවෙන් කොටස් දෙකක් ද, රාත්‍රී කාලය වෙනුවෙන් කොටස් තුනක් ද වේ. නිදි පිණිස ගත කරන කාලය අවදිව ගතකරන කාලයට වඩා බෙහෙවින් අඩුය. යාමයකට හත් පෑ විනාඩි හතළිස් පහකැයි ගනිති. මෙම දින චර්යාව පෙන්නුම් කරන්නේ ආදර්ශවත් ඵලදායි කාල කළමනාකරණයකි.
මැනැවින් නිරීක්‍ෂණය කළ හොත් නිසරු දෙය සරු හැටියටත් සරු දෙය නිසරු හැටියටත් ගන්නා නූතන ලාංකික සමාජයේ අපි ආහාරපාන, ඇඳුම් පැලඳුම්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, එදිනෙදා ගත කරන ජීවිතය බොල් නිසරු නාස්තියකි. දූෂණයකි. පුරවැසියන් හැටියට අපි තමන්ටත් පවුලටත් ප්‍රජාවටත් රටටත් ලෝකයටත් ඉමහත් වධ බන්ධනයකි. ව්‍යාජයකි. හික්මුණු ප්‍රඥාවන්ත තැනැත්තා මේ ගැටලුව අභියෝගය විසඳා ගනී.

