දෙනගම සිරිවර්ධන
විශ්‍රාමලත් විදුහල්පති ධනපාල නිදන කාමරයේ සීලිම කඩා වැටිණ. එය සිදුවූයේ එළිවෙන පැයේ ය. නිවැසියෝ බියට පත්ව ඒ කාමරය අසලට දිවැ ආහ.
කඩා වැටී තුබුණේ සීලිමෙන් කොටසකි. අනෙක් කොටස එල්ලෙමින් තිබිණ. ඇඳෙහි වැතිර සිටි ධනපාල සිහින් කෙඳිරියක් නැඟීය.
“බලාපල්ල මගේ කකුලට මොකක්ද වෙලා තියෙන්නේ කියල.”
ඔහු සිය බිරියට කීය. ඇය කාමරයට ඇතුළු නොවී දොර ළඟට වී සිටියාය.
“තව ටිකකින් අනික් ටිකත් කඩාගෙන වැටේවි. ඉක්මනින් එළියට එනවා.”
ඇය කැගෑසුවා ය. ඔහුගේ දුව සහ මුනුපුරා ද දොර ළඟට වී බලා සිටියහ.
මේ හඬ ඇසී පිබිදී දිව ආ ඔහුගේ රියැදුරු ධනපාල ඔසවා සාලයට ගෙන ගියේය. ඒ සමගම සීලිමේ අනෙක් කොටස ද කඩා වැටුණේය.
සිවිලිං තහඩුවකට කැපී පයේ තුවාලයක් ඇතිවී තිබිණ. එය සුළු තුවාලයක් බව රියැදුරු කී පසු ධනපාල පය බිම ගසා නැඟිට ඉස්තොප්පුවට ගියේ ය. ‘මට එච්චර අමාරුවක් නැහැ’ ඔහු ඔහුටම කියා ගත්තේය.
පසුගිය සති කිහිපය තුළ, ඔහු සිහිනයෙන් දුටුවේ ඔහු තැන වූ සුවිසල් මන්දර දෙක මත ගස් කඩා වැටී කුඩු පට්ටම් වී ගිය ආකාරයයි.
අරුණු රැස් වැටී රත් පැහැයෙන් දිලෙන සුවිසල් ගේට්ටුව ඔහුට පෙනිණ. පස්වසරකට පෙර තැන වූ එයට රුපියල් ලක්ෂ 8ක් වැය විණ. දැන් එය විසි ලක්ෂයෙකටවත් හදන්නට බැහැ. ඔහුට සිතිණ.
ඔහු තැනවූ මහ මැඳුරු දෙක රුපියල් කෝටි කීයක් වටිනවාද? ඔහුට එය සිතිය නොහැකියි. දුවට සහ පුතාට තිළිණ කළ ඒ මැඳුරු දෙක ඔහු කලින් කලට වාසය කරයි. ඔහු ඒ දෙදෙනාට සුඛෝපභෝගී අගනා මෝටර් රිය දෙකක් ද ලබාදුන්නේය. ඉගෙනීමට අදක්ෂයන් වූ ඔවුන්ට බැංකුවේ ස්ථාවර ගිණුම් විවෘත කොට දුන්නේය. ඔවුන්ට එයින් ලැබෙන පොලියෙන් සැපවත් ජීවිත ගත කළ හැකිය. පුතු දැන් ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකි. දුව ලොකු ව්‍යාපාරිකයකුගේ බිරිඳය.
‘මුළු ලොවම ජය ගත් මිනිහෙක් මම්’ ඔහු විදුහල්පති තනතුරෙන් විශ්‍රාම ලැබූ දා සිතුවේය. මහා හෝටලයක ඔහුට සුබ පැතීමේ උලෙළ පැවැත්වීමට අනුග්‍රහය ලැබුණේ ප්‍රකට ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවකු ගෙනි. විදුහලේ තට්ටු තුනේ ගොඩනැඟිලි පහක්ම තැනුයේ ඔහු ය.
ධනපාල උපන්නේ පොල් අතු පැලකය. එක සම්මානයක් වත් නැතිව සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහුට පළාතේ මන්ත්‍රීතුමාගෙන් ගුරු පත්වීමක් ලැබුණි. පාසලට වඩා ඔහු සේවය කළේ මන්ත්‍රීතුමාට ය. ගුරු පුහුණුවෙන් පසු ඔහුට විදුහල්පති තනතුරක් ලැබිණ. මන්ත්‍රී ඇමැති විය. ධනපාල පළමුවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් විය. පළමු පෙළේ විදුහලක් ඔහුට ලැබිණ. පළමු වසරට, හයවන වසරට, දොළොස් වන වසරට ශිෂ්‍යයන් ඇතුළත් කිරීම යනු ඔහුගේ සහ බිරිඳගේ, දුවගේ සහ පුතාගේ බැංකු ගිණුම් තරවීමකි. මේ පිළිබඳව අමාත්‍යාංශයට බොහෝ පෙත්සම් ලැබිණ. ඒවා ආපසු ධනපාල අතට ම පත්විය.
ඒ විදුහල ඉදිරියේ ලෑලි ගෙයක පදිංචි ලියුම් බෙදන්නකු වන සාමෙල් ගේ පුතා පළමු වසරට ඇතුළු කිරීමට ආ දවස ඔහුට මතක ය.
“සර්, ඉස්කෝලෙ ළඟින්ම තිබෙන්නෙ අපේ ගෙදර – දුර අඩි 512යි.” සාමෙල් සම්මුඛ පරීක්ෂණය දවසේ කීය.
“එහෙම දැයි අසමින් ධනපාල පරීක්ෂක මණ්ඩලයේ සිටි අය සමග සිනාසුණේය.
ඒ සිනාව ළමයා පාසලට ගැනීමේ ලකුණක් යැයි සාමෙල් සිතීය. එහෙත් පාසලට ඇතුළු වූයේ කිලෝ මීටර 20, 30, 40, 50 දුර රුපියල් ලක්ෂය, දෙක දියහැකි පදිංචිකරුවන්ගේ ළමයි ය.
සාමෙල් පාසල් ගේට්ටුව ළඟ සිට ධනපාලට සාප කළේය. දෙවියන්ට පළි ගැසුවේ ය.
දෙවියෝ ධනපාලගේ පැත්ත ගත්හ.
පසුකලෙක සාමෙල්ගේ දරුවා පහේ ශිෂ්‍යත්වය සමත් වී ඒ විදුහලටම ඇතුළු වූයේය.
ධනපාලට මේ සියල්ල සිහි විය. පාපැදියක් වත් නැතිව සිටි තමා සුඛෝපභෝගී මෝටර් රිය තුනකට, අධිවේගී මාර්ගයේ ගමන් කරන බසයකට හිමිකරු වී පළාතේ ප්‍රභූ පෙළැන්තියට එකතු වූ හැටි සිහිවිය.
සිතේ විදුලි කෙටීමක් වැනි යමක් සිදුවිය.
මා තනතුරු ලැබුවේ සුදුසුකම් ඇතිව නොවේ. මා මේ ධනය රැස් කළේ සාධාරණ ලෙස නොවේ.
මා රැස් කළේ පව්! මේවා පාපයේ මන්දිර! පාපයේ වාහන! ඇත්ත නැත්ත කරමින්, සුදුස්සන් නුසුදුස්සන් කරමින් මා ආ ගමන නිසැකව ම කෙළවර වන්නේ අපායෙනි.
පසුගිය සති කිහිපය තුළ මා දුටු සීන!
මන්දිර කඩා වැටෙනවා – බස් රිය අධිවේගී පාරේ යකඩ වැටේ හැපී කුඩු වී යනවා – මෝටර් රථ තුන ගිනි ගෙන දැවෙනවා. සාමෙල් ගේ පුතා – දැන් විදුලි ඉංජිනේරුවෙක්. ඔහු මගේ ගෙල මිරිකනවා.
මේවා මහ නපුරු සිහින මැදියම් රෑ කිහිපයකම ඔහුට දැඩි පිපාසයක් ඇති විය. කොපමණ වතුර බීව ද ඒ පිපාසය සංසිඳුනේ නැත. සිරුර තුළ ගින්නක් ඇවිළෙණු දැනේ. ඔහු නාන කාමරයට ගියේ ය. නෑවේය. එහෙත් දැවිල්ලේ අඩුවක් නැත.
ඔහුගේ පුතා ඔහු රෝහලට ගෙන ගියේය.
වෛද්‍යවරු ඔහු පරීක්ෂා කොට රෝගයක් නැතැයි කීහ. පුතා ඔහු භාවනා මධ්‍යස්ථානයකට කැඳවා ගෙන ගියේ ය. එහි නතර කෙළේය. ඔහුට කළ හැකි වූ භාවනාවක් නැත. යටගියාව මතුවෙමින් ඔහු දැවූණේ ය.
සුදුසුකම් තිබිය දී පාසලට නොගත් දරුවන් ගැන කියමින් ඔහු මහ හඬින් හැඬුවේය. කොන්ත්‍රාත්කරුවන්ගේ නම් කියමින් කෑ ගැසුවේ ය. ‘කාරෙක ගිනි ගන්නවා – මන්දිර කඩා වැටෙනවා’ කියමින් ලතෝනි දුන්නේ ය.
භාවනා මධ්‍යසථානයෙන් ඔහු වහා ම පිටතට ගෙන යන්නයි එහි පාලකයෝ ධනපාලගේ පුතාට කීහ.
කලෙකට පසු ඔහු සමාධි භාවනා අසපුවේ සුමන හිමියන් ළඟට ගෙන යනු ලැබිණ. විටෙක ඔහුගේ සිත සංසුන් වෙයි – එවිට ඔහු භාවනාව අරඹයි. සැනෙකින් කුක්කුච්ඡය නමැති නීවරණය ඔහුගේ සිතට නැඟෙයි. කුක්කුච්ඡය යනු පසුතැවීමයි. පරණ පව් සිහියට නැඟීමයි. ඒ සමගම උද්ධච්ඡය නමැති නීවරණය ද මතු වෙයි. ඒ සිත විසිරී යෑමයි.
සුමන හිමියෝ ධනපාලගේ සිත වටහා ගත්හ. මෙසේ ධනපාල ඇමතූහ.
“පින්වත් ධනපාල මහත්මයා, ඔබතුමා අර විදුහල පළාතේ හොඳම විදුහලක් බව පත් කළා. උසස් ම ප්‍රතිඵල ලබාදුන්නා. අවුරුදු කීපයක්ම ඔබතුමාගේ විදුහල ලංකාවේ හොඳම ප්‍රතිඵල පෙන්වූ හැටි මට මතකයි. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ කී දෙනෙක් ඉන්නවාද ඔබතුමාගේ ගෝලයෝ? ඔබතුමා ඒ යහපත් දේ ගැන නොසිතා සිදු වූ පව් ගැන පමණක් සිතනවා. ඒවා අමතක කරන්න. විදුහලේ වැඩ සිටින ලොකු බුදු පිළිමය සිහි කරන්න. කිසිම විදුහලක ඒ වගේ ලස්සන බුදු පිළිමයක් නැහැ. එය ඔබතුමාගේ කාලයේ නිර්මාණය කළේ. නිතරම කුසල් සිත් ම ඇතිකර ගන්න. අතීතයේ සිදුවූ වැරදි ගැන සිතා ඵලක් නැහැ. අවශ්‍ය දැන් ජීවත් වන වර්තමානය. මේ මොහොත යහපත් කර ගැනිමයි. කුසල් සිතිවිලි ම ඇතිකර ගැනීමයි. වැඩි වැඩියෙන් කුසල් සිත් ඇතිවනවිට අර පරණ පව් යටවෙලා යහපත් සිහිය පවත්වා ගැනීම අවශ්‍යයි. සම්මා සතිය – උදේ නැඟිට්ට වේලේ සිට සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වායි සිතන්න. එයම සිතන්න. වෙනත් සිතිවිලිවලට සිතට එන්නට දෙන්න එපා. ආවොත් වහාම එය පලවා හැර සුවපත් වේවා සිතන්න.
ඊළඟට ඔබතුමා බොහෝ සම්පත් ලැබූ කෙනෙක්. ඒ සියල්ලම අනිත්‍ය බව සිතන්න. අර ගෙවල් කඩා වැටෙනවා හීනෙන් දකිනවා. කාර් පිච්චෙනවා, බස් විනාශ වෙනවා හීනෙන් දකිනවා කීවා නේද? ඇත්තට ම ඒ සියල්ල විනාශ වෙනවා තමයි. අපේ ශරීරයත් විනාශ වෙනවා. ඒ සියල්ල අනිත්‍යයි. අනිත්‍ය දේවල් ගැන ඇයි ආසාව ඇතිකර ගන්නේ. මම සියල්ල අතාරිනවා කියලා හිතන්න. මේ සුවපත් වේවා කියන මෛත්‍රී සිතිවිලි, අතහරිමි කියන විරාග සිතිවිලි සිතේ පිරුණාම ඔය දැවිල්ල නැතිවෙනවා – මෛත්‍රියේ කුසල් සිත්, විරාගයේ කුසල් සිත් මතුවෙන කොට අර පරණ පව් යට යනවා. දිගටම හැම මොහොතකම කුසල් සිත්ම මතුකර ගන්න.
ධනපාල මහත්තය දන්නවනෙ. අංගුලිමාල දහසක් දෙනකුට වඩා මිනිසුන් මැරුවා. මහා පව් රැසක් කළා. නමුත් කුසල් සිත් වැඩිම නිසා ඒවා අහෝසි වෙලා රහත් වෙන්නට හැකි වුණා.
අලව් ප්‍රදේශයේ දහස් ගණනක් මිනිසුන් බිල්ලට ගත් ආලවකයා බුදුරජාණන් වහන්සේගේ බණ අසා කුසල් සිත් වඩා පව් අහෝසි කොට රහත් වුණා.
තිස්සමහාරාමයේ සිට මිලක්ඛ වැද්දාගේ කතාව ඔබතුමා අහලා ඇති. අවුරුදු 60ක් ම සතුන් මැරූ ඔහුට දිනක් සතකු මරා ගන්න බැරිව දවසක් ම කැලේ ඇවිද්දා. පසුව මුව දෙනක සමග යන පැටියකු දැක ඌ මරා පුළුස්සා කෑවා. ඊට පසු මහා පිපාසයක් ඇතිවුණා. පිපාසය නිවන්න ගඟේ වතුර මදි වුණා. ඔහු චුල්ලපිණ්ඩපාතික තිස්ස රහතන් වහන්සේගේ ආරාමයට ගියා. එහි වතුර ඔහු යනවිට හිස් වුණා. ඔහු කළ පවේ තරම අර හිමියන් ඔහුට කීවා. දැනටමත් ඔහු පිපාසික ප්‍රේතයකු බඳු බව කීවා. ඔහු බිය වී පැවිදි වී, බොහෝ වෑයම් කොට කුසල් සිත් උපදවාගෙන අනාගාමී වුණා. පසුව ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක ඉපදිලා රහත් වුණා.
ධනපාල මහත්මයා, පරණ පව් අමතක වන අයුරින් කුසල් සිත් ම වඩන්න. මෛත්‍රිය වඩන්න. ආසාවන් අත්හරින්න. වීතරාගී, විතදෝෂී වීමට වෑයම් කරන්න. එවිට ඔය කුක්කුච්ඡ නීවරණය, උද්ධච්ච නීවරණය යටපත් වී අනෙක් නීවරණ තුන ද යටපත් වී ඔබතුමා සමාහිත සිත් ඇත්තෙක් වේවි.”
ඒ දෙසුම ඔහු සුවපත් කළේ ය.
පරණ පව් ගැන පසුතැවෙන විශ්‍රාමිකයිනි. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙනි, අතීතය අමතක කරමු.
අද මේ මොහොත, වර්තමානය යහපත් කර ගනිමු. කුසල් සිත් ම ඇතිකර ගනිමු.

