පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
දාක්‍ෂිණ්‍යම් ස්වජනේ, දයා පර ජනේ, ශාඨ්‍යම් සදා දුර්ජනේ,
ප්‍රීති: සාධු ජනේ, නයෝ නෘප ජනේ, විද්වත් ජනේශ්වාර්ජවම්,
ශෞර්ය්‍යම ශත්‍රැජනේ, ක්‍ෂමා ගුරු ජනේ, නාරිජනේ ධූර්තතා,
යේ චෛවම් පුරුෂා: කලාසු කුශලා: තේස්වෛව ලෝකස්ථිති:
(ඥාතීන් සඳහා දීම (ඔවුන් දිනීම සඳහා උපායකි. එමෙන්ම) පිටස්තරයන් (දිනීම) සඳහා කරුණාවන්තකම ද, දුර්ජනයන් සඳහා (කපටිකම ද, සත්පුරුෂයන් සඳහා සතුට ද, රජුන් (දිනීම) සඳහා නීතිගරුක භාවය ද, උගතුන් සඳහා ඍජු පිළිවෙත් ද සතුරන් සඳහා ශූර භාවය ද, ගුරුවරුන් සඳහා ඉවසීම ද, කාන්තාවන් සඳහා ලොල් බව ද ඇති ව යමෙක් (ඒ ඒ) කලාවන්හි දක්ෂ වෙත් ද එය ලෝකයේ (යහ) පැවැත්මට හේතුව වේ.)
එක් එක් පුද්ගලයා පරාජය කරන විධිය වෙනස්. සතුරන් පරදවන ආකාරයට මිනිසුන් පරදවන්න බෑ. එක එක මිනිසුන් දිනාගන්න ඕන එක එක ආකාරයටයි. එකම උපාය, එකම උපක්‍රමය හැම තැනකටම හැම කෙනාටම වලංගු වන්නේ නෑ. නෑදෑයන්ගේ හොඳ හිත දිනා ගන්න නම් ඔවුන්ට යමක් දෙන්න ම ඕනෑ. දෙන තරමට තමයි ඔවුන් පැහැදෙන්නෙ. නෑදෑයෝ නොවන අයගේ හොඳ හිත දිනා ගන්නනම් කාරුණිකව කතාබහ කරන්න ඕනෑ. හොඳට හිනා වෙන්න ඕනෑ. එච්චරයි. මඟ තොට දී හමු වුණාම “කොහොමද? සනීපෙන් ඉන්නව නේද?” කියල ඇහුවත් ඇති. ඒ වුණාට නරක මිනිස්සු නම් එහෙම දිනා ගන්න අමාරුයි. කපටිකම ඕනෑමයි, ඔවුන් දිනාගන්න. හොඳ මිනිස්සු නම් සතුටු වෙන්න අනිත් අය සතුටින් ඉන්නව නම් විතරයි. ආණ්ඩුව හරි ආයතනයක් හරි සතුටු කරන්න නම් නීත්‍යනුකූලව ඉන්න ඕනෑ.
නීති විරෝධී හා විනය විරෝධීව ඉඳල ඒ ආයතනයට කොච්චර උදව් කළත් ඔවුන් සතුටු වෙන්නෙ නැහැ. ඒ කියන්නෙ ඔවුන් දිනා ගන්න බැහැ. උගත් අය දිනා ගන්න නම් කෙලින් වැඩ කරන්න ඕනෑ. ඒ කියන්නෙ ඍජුව ජීවත් වෙන්න ඕනෑ. සතුරන් නම් ඔය කියන මොන ක්‍රමේකින්වත් දිනා ගන්න බෑ. ඔවුන් පරද්දවන්න ම ඕනෑ. සාකච්ඡා කර කර ඉඳල ඔවුන් පරදවන්න බෑ.
ගුරුවරයාගේ සිත් දිනා ගත යුත්තේ ඉවසීමෙන් පමණයි. ගුරුවරු සතුටු වෙන්නේ ඒකෙන් පමණයි. කාන්තාවන් දිනා ගතයුතු විධිය ඉහත තියෙනවානෙ. ඒ අනුව ඒ ඒ පුද්ගලයාගේ සිත් දිනා ගැනීම සඳහා භාවිත කළ යුතු ක්‍රම එකිනෙකට වෙනස්. මේ සියලු ක්‍රම එකවර ම හෝ එක් අයකු උදෙසා හෝ භාවිත වෙන්නෙ නෑ. මතක තබා ගත යුතු අවශ්‍යම දේ තමයි, කිසියම් අයෙකුගේ හිත දිනාගත යුත්තේ වැරදි දේකට නොවන බව.

