ධර්ම කථික දේශබන්ධු ඇලෙක් රොබට්සන් මහතාගේ ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි
පරිවර්තනය – ජයසුමනා ද සිල්වා රොබට්සන් අතිනි)
සීලානුස්සතිය හා චාගානුස්සතිය මෙන්ම මේ දේවතානුස්සති භාවනාව පිළිබඳව ද වැඩි වශයෙන් බෞද්ධයන් නොදන්නා අතර එය පුහුණු කරනු ලබන්නේ ද කලාතුරකිනි. ගිහියනට මේ භාවනාව බෙහෙවින් වැදගත් වනුයේ එමගින් කෙනකුගේ චරිතය හා පෞරුෂත්වය වර්ධනයට මගපෑදෙන බැවිනි. මේ භාවනාව වැඩීමට කෙනකු සූදානම්වීමට පෙර හෙතෙම මේ භාවනාවේ ඇති වැදගත්කම හා අගය පිළිබඳව දැනුවත් විය යුතු වේ. දේවතානුස්සති භාවනාව වඩන තැනැත්තා විසින් භාවනාව කළ යුත්තේ දෙව් බඹුන්ගේ රූසිරි හා ප්‍රභාස්වර ශරීර ගැන නොව මෙසේ දෙවියන්ට හා බ්‍රහ්මයන්ට එම සුගති භූමිවල උප්පත්තිය ලැබීමට ආධාර වූ උතුම්, ශ්‍රේෂ්ඨ ගති ලක්‍ෂණ පිළිබඳව වේ. භාවනානුයෝගී පුද්ගලයා විසින් මේ ශ්‍රේෂ්ඨ ගුණදම් ස්වකීය ජීවිතයට කාවද්දා ගත යුතු අතර මේ අනුසාරයෙන් ස්වකීය ජීවිතය ද හැඩගැස්වෙන ආකාරය හැඳිනගත යුතු වේ.
දෙවියන් හා බ්‍රහ්මයන් තුළ පවත්නා මේ ගුණධර්ම කුමක් වේද? ඒ වනාහී ශ්‍රද්ධා, සීල, සුත, චාග හා ප්‍රඥා ද වේ. බෞද්ධ ආචාරධර්ම සියල්ලක්ම මේවායේ අන්තර්ගත වන බව ද මේවා පුද්ගලයාගේ සුචරිතමය, බුද්ධිමය හා ආධ්‍යාත්මික සංවර්ධනයට ඉවහල් වන බව ද යෝගාවචරයාට අවබෝධ වේ. තවද මෙමගින් කෙනකුගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුවට ද මගපෑදේ. යෝගාවචරයා භාවනාවේ යෙදීමට පෙර මේ ගුණදම් කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත යුතු වේ. ශ්‍රද්ධාව බීජය වන අතර මේ ශ්‍රද්ධා බීජය නොමැතිව, ආධ්‍යාත්මික ජීවිතය නම් වූ පැළය කිසිම අන්දමකින් ලියලන්නේ නැත. කෙටියෙන් පවසනුයේ නම් මේ ශ්‍රද්ධාව නැතිව කෙනකුට වටිනා කිසිම තත්ත්වයක් ලබාගත නොහැක. දුකින් මිදීමේ ඒකායන මාර්ගය පෙන්වා දුන් උත්තමයාණන් වහන්සේ ලෙස බුදුරජාණන් වහන්සේ කෙරෙහි බෞද්ධයා විශ්වාසය තබන්නේය. එමෙන්ම මුල, මැද, අග යන තුනම යහපත් වූ ධර්මය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද ගැන විශ්වාස කරයි.
තවද මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කොට ඒ අතිඋතුම් නිවන් සුවයෙන් සැනසුණා වූ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය කෙරෙහි ද ඔහු විශ්වාසය තබයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණක්ම කෙනකු දුක, දුකට හේතුව, දුක නැතිකිරීම හා දුක නැතිකිරීමේ මාර්ගය පිළිබඳව ඔහු අවබෝධ කර ගත්තේ වේ. මෙසේ දුකින් මිදීම සඳහා ස්වකීය උත්සාහයෙන් කෙනකු ක්‍රියා කරනුයේ ද මේ ශ්‍රද්ධාව හේතුවෙන්ම වේ. බුදුරජාණන් වහන්සේ වනාහී සත්‍යය සොයා ගත්තා වූද මෙසේ සොයාගත් සත්‍යය දේශනා කළා වූද උතුමන් වහන්සේ ලෙස ද, ශාස්තෘවරයා හා දේශනය ද එකම සමාන දෙයක් ලෙස ද හඳුනාගැන්මේ කෙනකු සමත් වන්නේ මේ ශ්‍රද්ධාව හේතුවෙන්ම වේ. වෙනත් වචනවලින් පවසනුයේ නම් ධර්මය තුළත් බුදුරජාණන් වහන්සේ දැකීමට කෙනෙක් සමත් වේ.
බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය එකක්ම ලෙස හඳුනා ගැන්මේ සමත් පුද්ගලයා ආර්ය සංඝ රත්නය ද හඳුනාගැන්මේ සමත් වේ. ඊට හේතුව මෙසේ හඳුනාගැනීමෙන්ම කෙනෙක් විමුක්තිය ලබා ගැන්මට යොමු වන බැවිනි. සුප්‍රසිද්ධ බෞද්ධ ලේඛකයකු දක්වා ඇති පරිදි ශ්‍රද්ධාව වනාහී බුද්ධ ධර්මය නමැති මහා සාගරයට ඇතුළු වන දොරටුව වන අතර ප්‍රඥාව වනාහී මේ සාගරය තරණය කරන නෞකාව වේ. ශ්‍රද්ධාව මගින් කාර්යයන් දෙකක් ඉටු කෙරේ. ඉන් පළමුවැන්න වනුයේ සම්පසාදන ලක්ඛණ ශ්‍රද්ධාව වේ. මෙමගින් කෙනකුගේ සිත නීවරණ ධර්මයන්ගෙන් මිදී පිරිසිදු වේ. ඒ අතරම සිත සන්සුන් ද කෙරේ; එකඟ ද කෙරේ; තැන්පත් ද කෙරේ. මේ තත්ත්වය භාවනාවට බෙහෙවින් වැදගත් වේ. දෙවැන්න වනුයේ සම්පක්‍ඛන්‍ධන ශ්‍රද්ධාව වේ. කෙනකුගේ සිත පෙළනු ලබන සතුරන් මැඬගෙන ඉදිරියට යෑමට සිත යොමු කරන බලයක් මෙයට ඇත. සුචරිතමය අංශයෙන් පුණ්‍ය ක්‍රියා ලෙස සැලකෙන දේ කෙරෙහි තබන විශ්වාසය, ශ්‍රද්ධාවේ ආරම්භය වන අතර බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන අචල විශ්වාසය ශ්‍රද්ධාවේ අවසානය වේ.
අනෙක් ගුණධර්මය වන ශීලය මගින් කෙනකුට දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කර ගැන්මට ශක්තිය ලැබේ. වැරදි ක්‍රියා මඩ වගුරක් මෙනි. මේ මඩ වගුරෙහි සිටින තැනැත්තා මඩෙහි එරෙන්නේය. පොළොව මතුපිට සිටින තැනැත්තාට පොළොව ආධාරකයක් වන්නා සේ යෝගාවචරයාට සීලමය ආධාරකය වේ. සිල්වත් දිවිය යහ ගුණදම්වලින් පිරුණේ වේ. ශීලය මගින් කෙනකුගේ සිත පටිඝය යනාදී කෙලෙස් ධර්මයන්ගෙන් මුදාලයි. ශීලයක් නැති කල මිනිසා තිරිසනාට වඩා වෙනස් නොවේ. ශක්තිමත් නොකැළැල් චරිතයක් නැති මිනිසා පිරිහීමට පත්වේ. ඔහුගෙන් තමාට මෙන්ම අනිකාට ද සෙතක් නොසැලසේ. බුදුසසුනේ වැදගත් කෙනකු වනුයේ ඔහුට ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් ඇතිවන කරුණාව ද, සොරකමින් වැළකීමෙන් ඇතිවන අවංක බව ද කාමමිථ්‍යාචාරයෙන් වැළකීමෙන් ලැබෙන පවිත්‍ර චරිතය ද මුසාවාදයෙන් වැළකීමෙන් ලැබෙන සත්‍යවාදී බව ද, එමෙන්ම මත්පැනින් හා මත්ද්‍රව්‍යවලින් වැළකීමෙන් ලැබෙන මනා සිහිබුද්ධිය ද මුල් කරගෙන වේ. සිල්වත් තැනැත්තේ යුහුසුළුව ක්‍රියා නොකරයි. සෑම අවස්ථාවේදීම හෙතෙම ඉවසිලිවන්ත වේ. සිතා මතා බැලීමෙන් පසුවම ඔහු ක්‍රියා කරයි. හැම කල්හි හා හැම තැනදීම ඔහු ක්‍රියා කරනුයේ වහලකු ලෙස නොව නිදහස් පුද්ගලයකු ලෙසය. තමා තුළ ශ්‍රේෂ්ඨ ගුණදම් නමැති සවිමත් මන්දිරය ගොඩනඟාගෙන, ඒ තුළ ජීවත්වන හෙතෙම කවර කලෙක හෝ මාර වසඟයට පත් නොවේ. ඉඳුරන් පාලනය කර ගැනීම මගින් සිල්වත් පුද්ගලයා ඉඳුරන් සතු ශක්තිය, තමාගේ සිත එකඟ කර ගැනීමට හා දියුණු කර ගැනීමට ද යොදා ගන්නේය.
සුත ගුණය හෙවත් බහුශ්‍රැතභාවය පිළිබඳව දහමෙහි මෙසේ දැක්වේ. උතුම් ශ්‍රාවක තෙම බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේය. තමා උගත් දේ මනා සේ සිහියෙහි රඳවා ගනියි. තමා උගත් දේ සිතෙහි ධාරණය කර ගනිමින් ද නැවත නැවත සජ්ඣායනා කරමින් ද මෙනෙහි කරමින් ද යහපත් අවබෝධයකින් යුතුවම මේ මුල මැද අග යන තැනට යහපත් වූ ශ්‍රී සද්ධර්මය, එමෙන්ම අති පාරිශුද්ධ වූද, සර්ව සම්පූර්ණ වූද ආගමික දිවි පැවැත්මක් පිළිබඳව ඉගැන්වෙන ශ්‍රී සද්ධර්මය තුළට මෙතෙම කිඳා බසින්නේය. මනුෂ්‍යත්වය ළඟා වූ ඉහළම දැක්ම මෙනයින් ප්‍රකට වේ. මේ වනාහී සියලු ඉගැන්වීම් පරයා යන, අවසන් කරන ඉගැන්වීම වේ. අනෙක් සියලු ඉගැන්වීම් මගින් මිනිසා දුකින් මිදීම කරා යොමු නොකරන්නේය. ඒවා මගින් පුද්ගලයා යොමු කරනුයේ ජාති, ජරා ව්‍යාධිය ද අප්‍රියයන් හා එක්වීම ද ප්‍රියයන්ගෙන් වෙන්වීම ද දුක් දොම්නස් ළඟා කර ගැන්මට ද වේ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දක්නා තැනැත්තාගේ දැක්මට අනුව මෙවැනි දැනුම ලෞකික වේ. පක්‍ෂපාතී වේ. වැරදි සහිත වේ, අසතුටුදායක වේ. සියලු දුකින් මිදීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමම ඒ ආර්ය පුද්ගලයා හදාරන්නේය.
අනෙක් ගුණධර්මය වනුයේ චාගය හෙවත් ත්‍යාගශීලී ගුණය වේ. ආර්ය ශ්‍රාවකයා ලෝභයෙන් තොරව දීමෙහි දිගහැරුණු අතැතිව, සියල්ල අත්හැරීමෙන් ප්‍රීතියක් ලබමින් ද දීමෙහි නියැළී ඒ ඒ දේ අන්‍යයන්ට බෙදාහැරීම මගින් සතුටු වෙමින් ජීවත් වන්නේය. දන්දෙන තැනැත්තා ඔහුගේ ත්‍යාගශිලී බව හේතුවෙන් ජනප්‍රිය වන අතර ඔහු තවදුරටත් සාමකාමී උතුම් පුද්ගලයන් ඇසුරට පත්වන්නේය. බෞද්ධ ජවන ක්‍රමයේ සාරය වන නෛෂ්ක්‍රම්‍යය ආරම්භ වනුයේ දානය පුහුණු කිරීමෙන් බව සලකා බලත්ම චාග ගුණයේ වටිනාකම අවබෝධ කරගත හැක. පුහුදුන් පුද්ගලයාගේ චින්තන විධිය වන ‘මමය මාගේය’ යන හැඟීම, දන්දීමේදී ක්‍රමක්‍රමයෙන් හීන වී යන අතර අනෙක් පාරමිතා පූර්ණයෙහි ලා මේ දානය බොහෝදුරට උපකාරී වේ.
අවසාන කරුණ වනුයේ ප්‍රඥාව වේ. මෙය අන් සියල්ලටම වඩා ප්‍රධාන වේ. බොහෝ බෞද්ධයන්ට මේ පිළිබඳව වැරදි හැඟීමක් ඇත. ප්‍රඥාවේ කෘත්‍යය කුමක් වේද යනු මජ්ඣිම නිකායේ චූල වේදල්ල සූත්‍රයේ දැක්වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග දෙකක් වන සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප, ප්‍රඥා කොටසට අයත් වේ. සැබෑ ප්‍රඥාව වනාහී නෛෂ්ක්‍රම්‍ය අදහස් හා මෛත්‍රී කරුණා ලක්‍ෂණයන්ගෙන් යුක්ත වේ. ඕනෑම පුද්ගලික, සාමාජික හෝ දේශපාලනමය කොටසක ලෝභසහගත, ද්වේෂසහගත හා හිංසා සහගත සිතුවිලි ඇතිවීම ප්‍රඥාව නැතිකමේ ප්‍රතිඵලයක් බව පැහැදිලි කරුණකි. ප්‍රඥාව ආලෝකයට සමාන කර දැක්වේ. මේ ශ්‍රද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා යන විශේෂ ගුණදම් ගැන යෝගාවචරයා මෙසේ මෙනෙහි කළ යුතු වේ.
“මේ වනාහි චාතුර්මහාරාජික, තාවතිංස, තුසිත, නිම්මානරති. පරනිම්මිත වසවත්ති දෙව්වරුන් වේ. මේ වනාහී බ්‍රහ්ම, දිව්‍ය පුත්‍රයන් වේ. මේ වනාහී අනෙක් අයට වඩා උසස් මහේශාක්‍ය දෙවිවරුන් වේ. මේ දේව පුත්‍රයන් පෙර භවයේදී ශ්‍රද්ධාවෙන් යුක්තව සිටි බැවින් මෙලොවින් චුත වූ විට දිව්‍ය භවනයක නැවත උපත ලබා ඇත. එවැනි ශ්‍රද්ධාවක් මා තුළ ද ඇත්තේය. මේ දෙවිවරුන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, චාගයෙන් හා ප්‍රඥාවෙන් යුක්තව සිටි බැවින් ඔවුන් මෙලොවින් චුත වූ විට නැවත දිව්‍ය භවනයන්හි උපත ලබා ඇත. මෙවැනි ශ්‍රද්ධා, සීල, සුත චාග, ප්‍රඥා ලක්‍ෂණයන් මා තුළ ද ඇත්තේය. (අංගුත්තර නිකාය) අංගුත්තර නිකායේ තවදුරටත් මෙසේ ද සඳහන් වී ඇත. “මහානාමය ආර්ය ශ්‍රාවක තෙම තමා පිළිබඳව ඇත්තාවූ ද, දේව පුත්‍රයන් පිළිබඳව අත්තාවූ ද ශ්‍රද්ධා, ශීල, සුත, චාග, ප්‍රඥා ගැන මෙනෙහි කරත්ම ඔහුගේ සිත ලෝභ, දෝස මෝහයෙන් නිදහස්ව පවතී. (අංගුත්තර නිකාය) මෙසේ පවසන්නාක් මෙන්ම මෙය අවබෝධ කටයුතු ද වේ. දෙවියන් තුළ ඇති ශ්‍රද්ධා, ශීල, සුත, චාග ප්‍රඥා වැනි යහ ගුණ මා තුළ ද ඇත්තේය. මේ දේව පුත්‍රයන් මා හට සාක්‍ෂිකරුවන් ද වේ. අටුවාවේ මෙය මෙසේ දැක්වේ. “යෝගාවචරයා දෙවිවරුන් සාක්‍ෂියට තබාගෙන තමා තුළ වූ ගුණධර්ම ගැන මෙනෙහි කරයි. මුල් අවධියේදී හෙතෙම දෙවියන් පිළිබඳ වූ ශද්ධාව සීල, සුත, චාග, ප්‍රඥා යන ගුණධර්ම ගැන මෙනෙහි කිරීමෙන් පසුව තමා තුළ පවත්නා මේ ගුණධර්ම ගැන ද සිතට නඟා ගත යුතු වේ. මෙවිට මොහුගේ සිත ලෝභ, දෝස, මෝහයෙන් කැලඹී නැත. දේව පුත්‍රයන්ගේ පුණ්‍ය බලය ගැන ආභාසය ලද්දේ මේ අවස්ථාවේදී ඔහුගේ සිතේ සෘජුභාවය පවතී. (අංගුත්තර නිකාය)
මෙසේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණයන් යටපත් කිරීමට යෝගාවචරයා සමත්වීමෙන් ඔහුගේ සිත උපචාර සමාධියට පත්වේ. මෙමගින් ඔහුගේ සිත සංසුන් වේ. නිශ්චල වේ. ශාන්ත වේ. දේවතානුස්සති භාවනාව කෙරෙහි කෙනකුගේ සිත ඇලුණු කල්හි මෙතෙම දෙවියනට ප්‍රිය වේ. එකල මොහුගේ ශ්‍රද්ධාව තව තවත් වැඩි දියුණු වේ. ඔහු ප්‍රීතියෙන් ඉපිල යයි. තමා ලබාගත් උපචාර සමාධිය පාදකකොට ඔහු තවදුරටත් විපස්සනා භාවනා නොවඩනුයේ නම් අඩු ගණනේ සුගතිගාමී වීමට මගපෑදේ.