කපිල පීරිස්
මේ ලිපි පෙළේ මූලික අරමුණ වන්නේ දුකින් මිදීමේ මාර්ගයේදී මූලිකම පියවරක් වන චිත්තාමය ප්‍රඥාව උදෙසා යම් අඩිතාලමක් දමා ගැනීමය. මෙය එක් අතකට ගත් කල දහම් පහුර ක්‍රමවත්ව ශක්තිමත් කර ගැනීමක් ලෙස ද දැක්විය හැක. මෙය අනිවාර්යයෙන්ම එක් එක් තැනැත්තාගේ මනසට (සිතේ ඇති සංඛාර – දිට්ඨි ආදියට) සාපේක්ෂකය. මේ නිසා මේ වෑයම එක් එක් අයට වැදගත් වනු ඇත්තේ විවිධ ප්‍රමාණ වලින්ය. ඇතැමකුට කිසිදු ප්‍රයෝජනයක් නැති විය හැක. ඒ කෙසේ වුවත් වර්තමාන අධ්‍යාපන-සංස්කෘතියකට හුරුවී ඇති අයට මෙවැනි සංගත තර්කානුකූල දහම් ආකෘතියක් තිබීම වැදගත් වේ යැයි සිතේ. නිරවුල් දහම් පහුරක් සැකිල්ලක් ඇති විට සමස්ත දහමම ඒ තුළින් පැහැදිලි කර ගත හැක. බොහෝ ස්වාමින් වහන්සේලාගේ බොහෝ දේශනා ඔස්සේ අදාළ මාර්ගය වඩා ගත හැක. එසේම ඉතාම විකෘති මතවාද ප්‍රතික්ෂේප කිරීමට මෙවිට පහසු වනු ඇත. උදාහරණයක් ලෙස අනිච්ච යන්න අකැමැති පරිදි වෙනස් වීම ලෙස ගෙන ආ අදහස වැනි දෑ. එසේම දහමේ සුවිශේෂත්වය කෙබඳුද යන්න ගැන ද පැහැදිලි නිරවුල් අවබෝධයක් ඇති කර ගත හැක.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇරඹෙන්නේ දුක පිළිබඳ අවබෝධයකිනි. අනෙක් දර්ශන, ආගම්, මතවාද ආදියේ ද දුකින් මිදීම ගැන සදහන් වුව ද ඒවායේ ඊට විසඳුම් ඉදිරිපත් කෙරෙන්නේ අද්භූත වක්‍ර මාර්ග ඔස්සේය. බොහෝ විට දුකින් මිදීම එහෙම නැතිනම් අපගේ ගැලවීම බාහිර දෙවියකුට, බලවේගයකට භාර දී ඇත. ඇතැම් විට විවිධ සමාධි, සම්පත්ති වලට ගොනු කොට ඇත. විවිධ විද්‍යාඥයෝ විවිධ දේ දැනගැනීම් ඔස්සේ මේ දුකින් මිදීමට උත්සාහ ගනු පෙනේ. (එහෙත් මේ දැනගැනීම් වලින් ඔවුන්ගේ දුක ඇති වන්නේ කෙසේද යන්න ගැන ඔවුන් දැනගන්නේ නැත. එසේ වන්නේ ඒ දුක හටගැනීමේ මූලයන් ගැන ඔවුන් නොදන්නා නිසාය. ඇත්තටම මේ බොහෝදෙනා දුක වින්දත්, ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක්, ඒ දුක ඇතිවන හැටි ආදිය ගැන කිසිවක් නොදනී)
මේ සියල්ල අතික්‍රමණය කරන භාග්‍යවතුන් වහන්සේ දුක පිරිසිඳ දැන – අවබෝධ කරගෙන එය සංසාරයේ මූලික සත්‍යයන් ලෙස වදාරති. අනතුරුව ඒ දුක හටගන්නා අයුරු (මූලිකවම තෘෂ්ණාව නිසා) පටිච්චසමුප්පාදයෙන් විස්තර කරති. එය අනාත්මීය දුක් චක්‍රයකි. මේ දුක් චක්‍රයෙන් මිදීම නිවන ලෙස දක්වන අතර, ඒ සදහා මේ දුක් චක්‍රය සිඳලිය හැකි පටිපදාවක් ගෙනහැර දක්වති. පංච උපදානස්කන්ධ ක්‍රියාවලිය මගින් දැක්වෙන්නේ ්ද මේ දුක් චක්‍රයමය.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඇරඹෙන්නේ අප දන්නා තැනින්ය. අපට ඉන්ද්‍රිය හයක් ඇත. ඒවාට අරමුණු ගෙනෙන බාහිර ආයතන හයක් ද ඇත. මේ ඉන්ද්‍රියයන් දැක්වෙන්නේ ප්‍රසාද රූප ලෙසය. එනම් පණ ඇති සතකුගේ අදාළ ඉන්ද්‍රියයන් ලෙස, ඒවා හුදෙක් මස් ගොඩවල් නොවේ. මේ පණ ඇති එනම් විඤ්ඤාණයක් සහිත සතකුගේ ඉන්ද්‍රිය ප්‍රසාද රූප වන අතර ඒවා අදාළ විඤ්ඤාණ ක්‍රියාවලියේ සංඛාර – දිට්ඨි – කෙලෙස් ආශ්‍රිතව පවතින නිසා ඒවා ආයතන (එනම් සංඛාර – කර්ම – නිපදවන තැන්) ලෙස ද දැක්වේ දැන් බාහිරය (බහිද්ධය) ලෙස ගැනෙන රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ, ධර්ම යන අරමුණු (සංවේදන) මේ ප්‍රසාද රූප ආයතනවලට ගැටුණ විගස ඊට අදාළ ආයතනයේ ඊට අදාළ දැනගැනීම් වශයෙන් වන විඤ්ඤාණය පහළ වන අතර, ඒ සමගම වේදනා, සඤ්ඤා සහ ඒ ඔස්සේ චේතනා ඇතිවී නැවත විඤ්ඤාණය පෝෂණය කරන සංඛාර කර්ම ඇති වේ. මෙහිදී ඇති වන වේදනා චෛතසිකය තමයි අපේ ගැටලුව.
දැන් මේ ප්‍රසාද රූපවල බාහිර අරමුණු (සිතෙන්ම පැනනඟින මනෝ අරමුණු, ධම්ම ආශ්‍රව ආදිය ද මෙහිදි සැලකෙන්නේ බාහිර ඒවා ලෙසට ය) ගැටුණ විට ඒ සමගම හටගන්නා දැනගැනීම් විඤ්ඤාණය මගින්ම මේ අරමුණු විකෘති කර ගැනේ. එනම් ඒ විඤ්ඤාණය ඇසුරු කරගත් විවිධ සංකාර-දිට්ඨි මගින් ඒවා යම් යම් ආකාරයට මගේ, මට ඕනෑ ආකාරයකට තිබිය යුතු ඒවා ලෙස හඳුන්වා ගැනේ. ඒ සමගම බාහිරයේ පැවැති පිරිසිදු රූපය (ශබ්දය, ගන්ධය…..) විපල්ලාසගත වේ. දැන් මේ නාමික රූපයේ මගේ ආස්වාදය, නන්දිය, ආශාව ආදිය ද තැවරී ඇත. එනම් දැන් එම බාහිර රූප අභිසංසරණය වී ඇත. (බාහිර රූපය ද විවිධ ප්‍රත්‍යයන් තුළ සංස්කරණය වූවක්ය යන්න වෙනම කතාවකි) බාහිර රූපයේ නැති මේ මගේ ආස්වාදය, නන්දිය, සතුට, කැමැත්ත ආදිය සමග බැඳුණ මනෝ සංරචක ඊට එක්වීමය ප්‍රපංචකරණය, මඤ්ඤාණා කිරීම් ආදි ලෙස දැක්වෙන්නේ. දැන් බාහිරයේ පැවැති “පිරිසිදු” රූපය මගේ අජ්ඣත්ව එකක් බවට පෙරැළී ඇත. මේ විපල්ලාසගත විකෘති රූපයත් දැන් බාහිරයෙන් (බහිද්ධයෙන්) වෙන් වූ තත්ත්වයක් ගොඩනැඟී ඇත. මෙන්න මේ මගේ එම තෘෂ්ණාව නිසා මගේ ආස්වාදය නන්දනය වෙනුවෙන් සෑදුණ අභිසංස්කරණය වූ රූපයේ ඇති අනිත්‍යයයි දුකට හේතුව (බහිද්ධ රූපයේ අනිත්‍ය වීම බලපාන බව සැබෑය) එහෙත් රහතන් වහන්සේට මේ අජ්ඣත්ව- බහිද්ධ භේදයක් නැත. උන්වහන්සේ බාහිර රූපය තම කැමැත්ත නන්දිය වෙනුවෙන් අභිසංස්කරණය කරන්නේ නැත. ඒ සඳහා අදාළ වන විවිධ කැමැති අකැමැතිකම් දිට්ඨි ආශ්‍රිත කිසිදු සංකාර-දිට්ඨියක් උන්වහන්සේගේ සිතේ නැත. මේ සතුට ආස්වාදය පෙරදැරිව කළ අභිසංස්කරණයන් උන්වහන්සේගේ සිතේ නොමැති නිසා අනිත්‍යයට බඳුන්වීමට කිසිවක් උන්වහන්සෙගේ සිතේ නැත. ඒ නිසාය උන්වහනසේට දුක නැත්තේ. චිත්තාභ්‍යන්තර දිට්ඨි-සංකාර ආශ්‍රයෙන් තම ආස්වාදය, සතුට, නන්දිය වෙනුවෙන් යම් බාහිර රූපයක් ( ෂඩ් ඉන්ද්‍රිය ආශ්‍රිත අරමුණක්) අභිසංස්කරණය කළ විගස ඒ අජ්ඣත්ව රූපය (නාමික රූපය) අනිත්‍යයට ලක්වේ. එහි ආස්වාදය සතුට (නාමික රූපය) අනිත්‍යයට ලක්වේ. එහි ආස්වාදය සතුට වෙනස් වී යයි. අසතුටක් නම් ඒ අරමුණ ඒ වෙලාවෙහිම දුක් දොම්නස ඇතිවේ. මේ අනුව අජ්ඣත්ව රූපය නිසා (එහි අනිත්‍යය නිසා ) දුක හටගැනීමට බාහිර රූපයේ ප්‍රකට වෙනස්වීමක් අවශ්‍යම නැත.
බුද්ධ කාලයේ රහත් වීමට සිටි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මගේ අජ්ඣත්ත – බහිද්ධ භේදය නැති වන්නේ කවදා දැයි විමසමින් සිටියේලු. මේ අනුව මේ අජ්ඣත්ත – බහිද්ධ භේදය ගැන පැහැදිලි අදහසක් ලබාගත හැක.
මෙහිදි තවත් යමක් සඳහන් කළ යුතුය. ඇත්තටම බහිද්ධය යනු ප්‍රසාද රූපයන්ගෙන් පරිබාහිර සියල්ල ය. ප්‍රසාද රූපයන් දරා සිටින මේ විවිධ අවයව සහිත සිරුර (කය) ද ඇතුළුව ඒ සිරුරට විවිධාකාරයට සිව්පසය සපයන සියල්ලම බාහිරයම වේ. මේ ප්‍රසාද රූප සමග බැඳුණු නාම කොටස අජ්ඣත්තය වේ. දුකින් මීදිමට නම් මේ බාහිර රූප ඔස්සේ එන අරමුණු මගින් අදාළ ප්‍රසාද රූපයේ නිමවන රූපයම අජ්ඣත්තයේ ද සනිටුහන් විය යුතුය. එය මම, මගේ, මගේ ඕනෑකම් එපාකම් (එනම් මගේ සක්කාය-දිට්ඨිය සහිත විවිධ සංකාර-දිට්ඨි (Various conditions of mind) මගින් ප්‍රපංචකරණය වී මඤ්ඤණාගත නොවිය යුතුය. (විපල්ලාසගත නොවිය යුතුය) එවිට චිත්තාභ්‍යන්තරයේ අනිත්‍යයට ලක්වීමට සංඛාර නැත. දුක නැත.
සතර සතිපට්ඨානයේ අවසාන කොටස්වලදී කාය, වේදනා, චිත්ත, ධම්ම අජ්ඣත්තව පමණක් නොව බහිද්ධව ද විමසන ලෙස උපදෙස් ලැබේ. මෙහිදී බහිද්ධය යනු අදාළ ප්‍රසාද රූපයේ අරමුණු ගැටුණු විගස ඇතිවන “පිරිසිදු” රූප අරමුණ ලෙස ද අනතුරුව කෙලෙස් මගින් විපල්ලාසගත කළ රූප අරමුණු (ආදළ කාය රූප වේදනා චිත්ත ධම්ම ඔස්සේ ) අජ්ඣත්තය ලෙස ද විමසීම මෙහිදී අරුත් ගැන්වේ. මෙලෙස අජ්ඣත්ත – බහිද්ධ ලෙස වෙන් වෙන්ව දකින විට මේ දෙකෙහි වෙනස්කම් පැහැදිලි වේ. ඒ වෙනස නැති කරගැනීමට එය ඉවහල් නොවේ ද?
අප ඇත්තටම ප්‍රකට කරගත යුත්තේ බාහිර ලෝකයේ අනිත්‍ය නොව චිත්තාභ්‍යන්තර සොම්නස් දොම්නස් චක්‍රය (පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය යනු මෙයයි. සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා යනු ද මෙයයි) ඇති කරවන චිත්තාභ්‍යන්තර සංඛාර අරමුණුවල අනිත්‍යයයි. ප්‍රඥාව අවශ්‍ය වන්නේ මේ සඳහාය. බාහිර වස්තුවල අනිත්‍ය විවිධ පර්යේෂණ උපකරණ ඔස්සේ කළ හැකිය. දැනුදු ක්වෝටම් විද්‍යාව ආදිය හදාරන විද්‍යාඥයෝ මේවා කරති. එහෙත් ඔවුන් දුකින් මිදිලා ද? අනෙක් අතට බාහිර රූප වස්තු රූප කලාප වලට කඩාගෙන ඒවා ඇත්තටම නැත ලෙස ගැනීමේ තේරුමක්ද නැත. වස්තුවක් කුඩා කොටස්වලට කඩා විමසා ඒ වස්තුව නැති ලෙසත් ඇත්තේ කුඩා කොටස් පමණක් ලෙසත් සැලකීමේ තේරුම කුමක් ද? ගඩොල් වලින් ගෙයක් සෑදූ විට ගඩොල් පමණක් නොව ඒ අදාළ පරිදි සකසූ ගෙය ද ඇත. තව ද මෙලෙස බාහිර ලෝකය කුඩා කොටස්වලට (රූප කලාපවලට) කඩාගෙන ගොස් ඒවා නැත ලෙස ගත් විට ඉතිරිවන්නේ කවරක් ද? එවිට ලෝකය නැති වන්නේ නැද්ද? එවිට අප ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මවක් පියෙක් කලණ මිත්‍රයෙක් නැද්ද?
අප සැලකිය යුත්තේ බාහිර ලෝකය නැති ලෙස නොව මේ බාහිර ලෝකයට මම-සක්කාය දිට්ඨිය මගින් කෙරන විපල්ලාසය නැති ලෙසය. එනම් බාහිර අරමුණුවලට උපාදාන වීමෙන් වැළකීමය. එවිට නිවී සැනසිල්ලේ සතර බ්‍රහ්ම විහරණය තුළ ලෝකයේ ක්‍රියාත්මක විය හැක. අනත්තය යනු ද මෙලෙස වස්තු කුඩා කොටස්වලට කැඩීමෙන් ප්‍රකට කර ගත හැක්කක් නොවේ. අනන්තය යනු පෙර සඳහන් අරමුණු ආශ්‍රව දිට්ඨි සංඛාර චක්‍රය දිගටම සෝමනස්ස වේදනා තුළ තබා ගත හැකි ජගතකු නැත යන්නය. මේ චක්‍රය තම වසඟයේ (තමාට අවශ්‍ය පරිදි) තබාගත හැකි කිසිවෙක්, ආත්මීයත්වයක් නැත?
බුදු දහම ශාස්වත හෝ උච්ඡේද වාදයක් නොවන බව මේ අනුව පැහැදිලිය. ඒ නිසා හුදෙක් දහම මේ වාද වලින් වෙනස් බව පෙන්වීම උදෙසාම අනත්තය, අනිතය්‍ය ආදියට වෙනස් අර්ථකථන ලබාදීමේ තේරුමක් නැත.

