(මග්ග+ආමග්ග+ඤාණදස්සන විසුද්ධිය)
“ඕභාස ආදී දස උපක්ලේශයන්ගෙන් මිදුණු මෙම විදර්ශනා ප්‍රඥාව ආර්‍ය්‍ය මාර්‍ගයට පූර්‍වභාගවූ මාර්ගය යයි ද මෙම ඕභාස ආදී උපක්ලේශ ආර්ය මාර්ගය යැයි ගැනීම, අමාර්ගය යැයි ද මෙසේ මාර්ගය ද අමාර්ගය ද පිරිසිඳ දැන සිටි නුවණ මාර්‍ගා මාර්‍ග ඤාණ දර්ශන විශුධි නමි” යනුවෙන් විසුද්ධි මාර්‍ගයේදී මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය මුලින්ම හඳුන්වා ඇත.
විදර්ශනා භාවනාව පුරුදු කරන ආධුනික යෝගාවචරයාට උපක්ලේශ උපදී. ඒවා දස වැදෑරුම් කොට දැක්වේ.
- ඕභාසය
විදර්ශනාව වඩමින් සිටින විට ආලෝකයක් දක්නට ලැබේ. එවිට ඇතැම් ආධුනිකයන් මේ මාර්‍ග ඵලයකැයි සිතා එයින් මුලාවට පැමිණේ.
- ඤාණය
ඔනම් විදර්ශනා ඤාණ උපක්ලේශයයි. එය බොහෝ සමථ විදර්ශනාගාභීන්ට උපදින්නකි. එවිට මා රහත්වී ඇතැයි යන සිතිවිල්ලක් ඔහුට උපදී.
- පීති
ඉහත කී විදර්ශනා ඤාණ නමැති උපක්ලේශ ඇතිවීම සමඟ එම යෝගාවචරයාට ඛුද්දඛ, ඛණික, ඔක්කන්තික, උබ්භෙග, එරණ යන පස්වණක් ප්‍රීතිය උපදී, එය ද උපක්ලේශයකි.
- පස්සද්ධි
ඛාය පස්සද්ධි හා චිත්ත පස්සද්ධි වශයෙන් දෙකකි. කයේ සහ සිතේ ඇතිවන සැහැල්ලු බව පස්සද්ධි නම් වේ. මෙහිදී විදර්ශනා පස්සද්ධිය අදහස් කෙරේ. මෙම පස්සද්ධිය නිසා එම යෝගාවචරයාට “අමානුසී රතී” නම් සුවය අනුභව කරන බව දැක්වේ.
- සුඛය
යෝගාවචරයාගේ මුළු සිරුරම තෙමීයන්නාක් වැනි සුවයක් ඇතිවේ. මෙය ද විදර්ශනා සුවයයි.
- අධිමොක්ඛ
එනම් විදර්ශනාව නිසා උපදින ශ්‍රද්ධාවයි.
- පග්ගය
විදර්ශනා සම්ප්‍රයුක්ත ඉතා දැඩි නොවූ එහෙත් මනාව ගන්නා ලද විර්‍ය්‍යය ඇතිවේ.
- උපටිඨාන
විදර්ශනාව නිසාම උපදින මැනවින් එළඹ සිටි මනාව පිහිටුවන ලද මහා ප්‍රාකාරයක් වැනි සිහිය ඇතිවේ.
- උපෙක්‍ඛා
විදර්ශනා උපේක්‍ෂාව සහ ආවර්ජන උපේක්‍ෂාව යන දෙක මෙහිදී උපදී. සියලු සංස්කාරයන් විෂයෙහි මධ්‍යස්ථ බව මෙයින් අදහස් කෙරේ.
- නික්ඛන්ති
මෙයින් අදහස් කරන්නේ නැඹුරු බවයි. ඉහත කී ඕභාස ආදිය කෙරේ ඇල්ම ඇති කරන සියුම් තණ්හාවයි. එය ක්ලේශයන් සේ සැලකීමට ද නොහැකි බවත්, උපක්ලේශයන්ට වස්තු වන හෙයින් උපක්ලේශය කැයි දැක්වුව ද අකුශල වශයෙන් ගෙන නොවේ යැයි විසුද්ධි මාර්‍ගය සඳහන් කරයි.
මෙසේ ඇතිවන ඕභාස ආදිය මාර්‍ගඵල නොවේ යැයි දැන ගන්නා නුවණ මග්ගා මග්ග ඤාණ දස්සන විශුද්ධියයි. එම ඤාණය උපදවා ගැනීම සඳහා යෝගාවචරයා විසින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණය මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කිරීම සඳහා ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාණ පරිඤ්ඤා යන ඤාණ තුන තිබිය යුතුය.
- ඤාත පරිඤ්ඤා රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්‍ධයන්ගේ ස්වභාවය ලක්‍ෂණ (රූප්පතීති ඛො රූපං, වෙදයතීති වේදනා) එනම් වෙනස්වීම් ලක්‍ෂණ කොට ඇත්තේ රූපයයි. වින්‍දනය ලක්‍ෂණ කොට ඇත්තේ වේදනාවයි ආදී වශයෙන් ඒ ඒ ධර්‍මයන් පිළිබඳ විශේෂ ලක්‍ෂණ සලකමින් ඇතිකර ගන්නා ප්‍රඥාව ඤාත පරිඤ්ඤා නම් වේ.
- තීරණ පරිඤ්ඤා රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය ආදී වශයෙන් ස්කන්‍ධයන්ගේ ස්වභාවය අවබෝධ කරගන්නා ප්‍රඥාව තීරණ පරිඤ්ඤා නම් වේ.
- පහාණ පරිඤ්ඤා ඉහත කී රූපාදී ධර්‍මයන් කෙරෙහි නිත්‍ය, සුඛ, ආත්ම, සඤ්ඤාවන් අතහැරීම් වශයෙන් පවත්නා ලක්‍ෂණ අරමුණු කරගත් ප්‍රඥාව පහාණ පරිඤ්ඤා නම් වේ.
අතීත, අනාගත, වර්‍තමාන වශයෙන් හෝ ආධ්‍යාත්මික බාහිර වශයෙන් හෝ, ඕලාරික – සුඛුම වශයෙන් හෝ, හීන ප්‍රහීණ වශයෙන් හෝ යම් රූපයක් වූයේ නම්, යම් වේදනාවක් වූයේ නම්, යම් සඤ්ඤාවක් වූයේ නම්, යම් සංස්කාරයක් වූයේ නම්, යම් විඤ්ඤාණයක් වූයේ නම් ඒ සියල්ලම අනිත්‍යය වේ යැයි මෙනෙහි කළ යුතුය.
යෝගාවචරයා ජීවිතයේ පරමායුෂ අවුරුදු සියයක් යැයි සිතා එම ජීවිත කාලය ප්‍රථම වයස, මධ්‍යම වයස හා පශ්චිම වයස වශයෙන් වෙන්කොට තමාගේ ප්‍රථම වයසේ පැවැති රූපය මධ්‍යම වයසේ දී නිරුද්ධ විය. (වෙනස් විය) මධ්‍යම වයසේ රූපය පශ්චිම වයසේදී නිරුද්ධ විය ආදී වශයෙන් රූපයේ අනිත්‍යතාවත්, ඒ නිසාම එහි දුක්ඛතාවත්, අනිත්‍ය නිසාම, දුක් නිසාම ආත්මීයව ගත නොහැකි වේ යැයි අනාත්ම ලක්‍ෂණය ද වශයෙන් මෙනෙහි කළ යුතුය.
මෙසේම තම ජීවිතයේ මන්ද දශකයේ සිට දශක වශයෙන් ගෙන එක් එක් දශකයේදී පැවැති රූපය නිරුද්ධ වූ ආකාරය මෙනෙහි කිරීමත්, නැවත ජීවිත කාලය වසර සියයක් සේ සලකා එය වසර පහ බැඟින් විසිකොටසකට බෙදා එක් එක් කොටසේ රූපය නිරුද්ධ වූ ආකාරය මෙනෙහි කිරීමෙන් අනිත්‍ය බව, දුක්සහගත බව, හා අනාත්මීය බව මෙනෙහි කළ යුතුය.
නැවත ජීවිත කාලය වසර වශයෙන්, ඍතු වශයෙන්, දිවා රාත්‍රී වශයෙන් ද කොටස් කර ගනිමින් රූපයේ ත්‍රිලක්‍ෂණ ස්වභාවය මෙනෙහි කළ යුතුය. එසේම වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ ස්කන්‍ධ පඤ්චකයේ යථා ස්වභාවය මෙනෙහි කළ යුතුය. එසේ භාවනා කිරීමෙන් ත්‍රිලක්‍ෂණ ස්වභාවය අවබෝධ කරගත යුතුය.
මෙසේ අවබෝධ කරගැනීම නිසා ඉහත කී ඕභාස ආදිය ධර්‍ම මාර්ගය නොවේ යයි ද, උපක්ලේශයන්ගෙන් මිදුණු වීථියට පැමිණි විදර්ශනා ඤාණය නිවැරදි මාර්‍ගය වේයැයි විනිශ්චය කිරීමෙන් ඇතිකරගත් ඤාණය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය නම් වේ.
මෙපමණකින් යෝගාවචරයා චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය තුනක් විනිශ්චය කරන ලද්දේ වෙයි. පළමුවෙන්ම දිටිඨි විසුද්ධිය මඟින් නාම-රූප ධර්‍මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් දුක්ඛ ආර්ය සත්‍යයත්, කංඛා විතරණ විසුද්ධියෙන් සමුදය ආර්ය සත්‍යයත්, මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියෙන් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයත් නියම කරන ලදී.
අනුරපුර උතුම් ජයසිරිමා බෝ සෙවනේ සන්නිපාත ශාලාවේදී සෑම පසළොස්වක පෝ දිනකම පස්වරුවේ ගිහි පැවිදි ධර්මධර උගත් පඬිවරුන් පවත්වනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ මෙවර රථවිනීත සූත්‍රයේ එන සත්ත විසුද්ධිය අළලා විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න ශූරීන් විසින් පැවැත්වූ දෙසුම ඇසුරින් බුදුමඟට සකස්කළේ සෙනරත් පොන්නම්පෙරුම

