ගුණතිලක මැටියගනේ
බුදු පියාණන්ගෙ භික්‍ෂු ශාසන ප්‍රඥප්තියෙහි අතිශයින් වැදගත් වූ ප්‍රතිපදා මාර්ගයක් නම් වස් සමාදානයයි. එනම් සෑම උපසපන් භික්‍ෂුවක් විසින් ම වාර්ෂික ව සම්මත කරගත් තුන් මස් වස්සාන කාලයක් තුළ පිඬු සිඟා වැඩීම, ධර්‍ම චාරිකා ආදී ශාසන පිළිවෙත්වලින් මඳකට ඈත් ව හුදෙකලා විවේකස්ථානයකට වී, විශේෂයෙන් බුදු හිමියන් වෙතින් හෝ පළපුරුදු කම්මට්ඨානාචාර්ය උපාධ්‍යායන් වහන්සේ නමක වෙතින් තම අජ්ජත්තික චරිත ලක්‍ෂණ තක්සේරු කරගෙන, ඊට සමගාමී කමටහන් ඉල්වාගෙන, ඒ අනුව බණ භාවනාදියෙහි අනලස් ව නියැළී උතුම් මාර්‍ග ඵල අධිගමනයකට පත් වීමයි.
බුදු සසුනෙ මුල් කාලෙ මෙවන් ප්‍රතිපදාවක් පනවා තිබුණේ නෑ. හැබැයි උග්‍ර අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගරු කළ නිඝණ්ඨ දහමෙහි වස් වාසයක් දක්නට ලැබුණා. ඔවුන්ගේ තර්කය වුණේ වැසි කාලයට පොළෝ තලය යට වෙසෙන ගැඩවිලුන් හා කුඩා පණුවන් වැනි ප්‍රාණීන් බහුල වශයෙන් පොළෝ මතුපිටට විත් සැරිසරන බැවින් ඔවුනට හානි වන පරිදි ඇවිද යෑම පාපයක් බවයි. එමෙන් ම වැසි කාලයට නිල්ල ගසා අහස දකින්නට තෙරපෙන ලවල්ල පැළෑටි පයට පෑගී මැරී යන එකත් පාපයක් ලු! මේ මාතවාදවලට අනුව දෙපාර්ශවයේ හැසිරීම සසඳා බැලූ හුදී ජනතාව නිඝණ්ඨයන් නිදොස් කොට අගය කරමින් බුද්ධ පුත්‍රයන්ට දෝෂාරෝපණ, අවලාද නගන්නට වුණා.
“ඔන්න ගෞතම ශාසනයෙ භික්‍ෂුන්ගෙ පාණාතිපාතාවෙ වරුණෙ. දාස් ගණන් ගෙඹි පැටවු පණු කැදලි පාගාගෙන තමන්ගේ බඩවියත පුරෝගන්න ඇවිදින හැටි, බලව්, උන්නැහැලාගෙ අවිහිංසාවක රඟේ!’
මේ උපවාද ගැන සලකා බැලූ බුදු හිමියන් ඒවායේ යම් හේතු සාධකයක් තිබෙනු දැක භික්‍ෂු සංඝයාට ද වස් සමාදන් වීම අනුදැන වදාළා.
ඒත් මිනිසුන්ගෙ කට වට කර වැට බඳිනු ඇහැකැ? ඔවුන් සුළු ප්‍රමාද දෝෂයක් බලා ඒ පොටක් අල්ලාගෙන බුදුන්ටත් සංඝ සමාජයටත් අවලාද අපහාස නඟන්නට කැස කවාගෙනයි ඉන්නෙ. මේ දිනවලත් ඔය යම් වජ්ජිපුත්තක භික්‍ෂුවක් දෙනමක් අල්ලාගෙන සමස්ත භික්‍ෂු සංහතියට ම අපවාද, උපවාද පෝස්ටු පළ කරන අනාගමික රැඩිකල් අරගලකරුවන් ඉන්නෙ.
මේ කියන කාල වකවානුවෙ බහුල කොට පන්සල්, ආරාම, විහාරස්ථාන, සෙනසුන් තිබුණෙ නෑ. ඒත් උපසපන් භික්‍ෂුවකට වස් ආරාධනයක් ඇතුවා හෝ නැතුවා වස් සමාදානය අනිවාර්යයි. නිවැරැදි පිළිවෙත නම් ශ්‍රාවක ජනයා විසින් භික්‍ෂුවට ඇරැයුම් කොට තම ඉසව්වේ වැඩ සිටුවාගෙන උන්වහන්සේට සිවු පසයෙන් සංග්‍රහ කොට පින් රැස් කර ගැනීමයි.
මේ විදියට වස් ආරාධනාවක් ලැබේ දෝ හෝ යි විමසමින් චාරිකාවේ යෙදුණු එක් භික්‍ෂු නමකට එවැනි කිසි ම අවස්ථාවක් උදා වුණේ නෑ. අන්තිමේ දී උන්වහන්සේට දැකගන්නට ලැබෙනවා තැනක අයින් කොට දමා තිබූ විශාල හට්ටියක්. උන්වහන්සේට හිතෙනවා මේ දැවැන්ත සැලිය හත්තක් වගේ සිටුවා සකසා ගත්තා ම වස් වසන්නට ස්ථානයකට සුදුසු ය කියා. දායක කීප දෙනෙකුගේ සහායෙන් තනාගත් මේ කුටිය තුළ ඒ භික්‍ෂුව වස් සමාදානය ආරම්භ කළා.
ඔන්න මිනිසුන්ගේ කටවල්වලට පණ එනවා. “වලාමයි, මේ මොකෝ දැන් ගෞතමයන්ගේ භික්‍ෂුන්ලා හට්ටි මුට්ටි අස්සෙත් වස් වසනවා නේ! මොන විහිළුවක් ද මේ?” මේ ආරංචිය කටින් කට ගොස් රට පුරා ම පැතිරුණා. බුදු පියාණො මේ භික්‍ෂුව කැඳවා විමසා බැලූ සඳ එහිමියන්ගෙ පිළිතුර වූණේ, “ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, මොනවා කරන්න ද, වස් වසන්ට ආරාධනයක් නො ලැබුණු නිසා මයි මේ ස්ථානය සකසා ගත්තේ…” යන්නයි.
එතැන් පටන් ‘හට්ටි මුට්ටි අස්සේ වස් සමාදන් වීම තහනම්’ වශයෙන් විනය නීතියක් පැනවුණා.
එවැනි ම අකරතැබ්බයකට මුහුණ දුන් තවත් සඟ නමක් වනාන්තරයේ රූස්ස නුග වෘක්‍ෂයක විශාල බෙනයක් දැක එතුළ පිරිසිදු කරගෙන වස් සමාදානයට ස්ථානය සකසා ගත්තා. ඒ දුටු මිනිස්සු, “ආන්, බුද්ධ ශ්‍රාවකයෝ තලගොයි, කබරගොයි වගේ බඩගා රිංගා ගොස් ගස් බෙනවල වස් පේ වෙනවා.” යි අඬබෙර තලන්න තියාගත්තා.
බුදු හිමි ඒ භික්‍ෂුවත් කැඳවා කරුණු විමසා බලා “මින් මනත මගේ ශ්‍රාවකයො වස් වසන්න ගස් බෙන තෝරා නො ගත යුතු යැ” යි නීතියක් පැනෙව්වා.
ඊළඟ භික්‍ෂුවටත් වස් ආරාධනා හෝ ස්ථානයක් හෝ ලැබුණෙ නෑ. අන්තිමට උන්වහන්සේ අමු සොහොනක තැනූ අතු මඩුවක් දැක එතැන වස් වාසයට තෝරා ගත්තා. “මෙච්චර කල් සොහොන් කනතුවල ලැග්ගෙ යක්කු, පෙරේතයො, පිශාචයො විතරයි. ඕන් දැන් ඒකට ගෞතමයන්ගෙ ශ්‍රාවකයොත් රිංගලා…” කියන අපවාදයෙන් මිනිස්සු භීෂණයකට පත් වුණා. බුදු හිමියන්ගෙ ඊළඟ විනය නීතිය බවට පත් වුණෙ “මෙතැන් පටන් සොහොන් භූමිවල වස්වාසය තහනම්” යන කොන්දේසියයි.
කොයි කාලෙත් එක එක ජාතියෙ භික්‍ෂුන්වහන්සේලා හිටියා. ඇතැමෙක් පිරිකර වගේ භෞතික භාණ්ඩ රැස් කර ගන්නට තණ්හාසයෙන් පිරිලා. බුද්ධ කාලෙත් උපනන්ද නමින් එවැනි භික්‍ෂු නමක් ප්‍රකට ව සිටියා. (හරියට අපේ ශාසන ඉතිහාසෙ කුංකුනාවෙ හාමුදුරුවො වගේ. මුඛරියි. සටකපටයි)
වස් වසන්ටැ යි කිව්වට කී තැනක ද කියා සීමාවක් නෑ. උපනන්ද භික්‍ෂුව ඒ සිදුරෙන් රිංගා තුන් පොළක වස් වැසූ සැටිත් අපූරු උපක්‍රමයක්. උන්වහන්සෙ විචිත්‍ර ධර්ම කථික නමක්. දායකයන් පහදවා ගන්න දක්‍ෂයි. එක ගමක් මැදින් වඩින විට, “හාමුදුරුවනේ, අපේ පන්සලේ වස් වසන්ටකෝ” යි ආරාධනා ලැබෙනවා. ඊට එකඟ වී සංකේතය හැටියට තම මිරිවැඩිසඟල පන්සලේ දොරකඩ තබා තවත් ගමකට වඩිනවා. එහි දී ලැබෙන ආරාධනයක් පිළිගෙන එය සනිටුහන් කරන්නට සැරයටිය තබා එතැනින් පිට ව තවත් ගමක් කරා වඩිනවා. එහි දී ලැබෙන ඇරයුමත් පිළිගත්තාම දැන් වස් තුන් පොළයි. උපනන්ද භික්‍ෂුව පන්සල් තුනේ ම දායකයන්ගෙ පින් සිත් අවදි කරන විදියට ධර්මානුශාසනා කළා අඩුවක් නැති ව. වස් තුන් මාසෙ අවසානෙ උන්වහන්සේට වස් වාසික ලාභ පිරිකර වශයෙන් පන්සල් තුනකින් ම ලැබුණු පාරිහාරික භාණ්ඩ එකතු වුණා ම කරත්තයකින් එකයි. උපනන්ද භික්‍ෂුව කොත ගසා පිරවූ ගැල පසුපසින් වඩිනවා මුදලාලි කෙනෙක් වගේ.
බුදු හාමුදුරුවො මේ භික්‍ෂුව කැඳවා ධර්‍මාවවාද කොට විනය නීතියක් පනවනවා. “මහණෙනි, එක අවුරුද්දක එක භික්‍ෂුවකට වස් වසන්නට තෝරාගත හැක්කේ එක ස්ථානයක් පමණයි.” වශයෙන්.
භාග්‍යවතුන් වහන්සෙ දායක කාරකාදින්ට තවදුරටත් අනුග්‍රහශීලී වන සේක්, “යම් දායකයකුට තම නිවසෙහි වුව සුදුසු පරිදි නිදහස් කුටියක් සකසා දී එහි සඟ නමක් වස් සිටුවා ගැනීම වුව ද කැප යැ” යි අනුමැතිය ලබා දෙනවා.
බුද්ධ කාලයෙත් නාවුක ප්‍රවාහන සේවා දියුණු අඩියක පැවතුණා. ඒවායේ නැවියන්ට ගොඩබිම වසන්ට ලැබෙන්නෙ ඉතා කෙටි කාලයක්. ඉතින් ඔවුන් ද තම ආධ්‍යාත්මික ගුණ දහම් පිළිවෙත් පෝෂණය කරගනු රිසින් බුදුන් වෙත මෙවන් ආයාචනයක් ඔප්පු කොට සිටියා. “බුදු හිමියනි, අපි අපේ ගම් ගෙවල්වල ගත කරන්නේ ඉතා කෙටි කාලයක් පමණයි. එ නිසා, අපටත් අපේ නාවුක යාත්‍රාවක භික්‍ෂු නමක් වස් සිටුවාගෙන රටින් රට යන අතරේ ධර්‍මනුශාසනා ලබාගන්ට අවසර දෙන සේක්වා…” ඒ ඉල්ලීමට ද ඉඩ ලැබුණා.
ඒ වගේමයි ඒ කාලෙ නගරයෙන් නගරයට පුරා බඩු ගැල්පිට පටවාගත් ගැල් සාත්තු රටපුරා විසිර ගියා. ගැල් 500 පමණ වන සාත්තුවක එක ගැලක් මොනවට සරසාගෙන එහි සඟනමක් වඩා හිඳුවාගෙන වස් සිටුවා ඇප උපස්ථාන කරමින් පින් පුරවා ගන්න ඔවුන් කළ ඉල්ලීම ද අනුදැන වදාළා. අලංකාර වස් පිංකමක විචිත්‍ර විශේෂාංගයක් ලෙස ඒ පෙරහැරත් ජනප්‍රිය වුණා.
එක්තරා වස් සමයෙක බුදු රදුන්ටත් බෙහෙවින් කටුක වූ අත්දැකීමකට මුහුණ දෙන්ට කරුණු යෙදුණා. එදා බුදු හිමියන්ට වස් ආරාධනා කළේ බමුණු නායකයෙක්. බුදු හිමි ඒ ආරාධනය පිට වස් වැඩසිටියා. ඒත් බමුණා ආරාධනය සිදු කොට ගියා ගියාමයි පුරා වස් තුන් මාසෙට ම ඒ පැත්ත පළාතක පැමිණියේ නෑ. අමතක ව ගිහින්. බුදුහිමියන්ට පිණ්ඩපාතයත් නෑ. බමුණාගේ සිව්පස සංග්‍රහයත් නෑ. මේ බැව් දැනගත් ආනන්ද හාමුදුරුවො ඒ අසලක වාඩිලා සිටි අශ්ව වෙළෙඳ නඩයකින් අසුන්ට පොඟවා කන්ට දෙන යවහාල් නම් කටුක සත්ත්‍ව ආහාර ධාන්‍ය වර්ගයක් ඉල්ලාගෙන අඹරා ආහාරයක් සේ සකස් කොට මුළු වස් කාලය පුරාවට ම බුදුන්ට පිළිගැන්වුවා. ඒ වස්සානෙ පුරාවට ම මහා සංඝයා යැපුණෙත් යවහාලින්.
බුදු හිමියන් වුවත් වස් නීති උල්ලංඝණය නො කොට, ස්ථානයෙන් පිටත නො වැඩ, ඒ ඒකාකාරි රූක්‍ෂ ආහාරය ඉවසා සිට, තුන්මස් කාල සීමාව අවසන් වුණා ම අර බමුණා සොයා ගොස්, “එහෙනම් අපි යන්නම්, බමුණු උන්නැහේ…” යි පවසා සමුගන්නා විට දියි බමුණාට දෙලොව රත් වුණේ. බුදු හිමියන් මේ දණ්ඩනය තමන් වහන්සේ පෙර භවයක කළ අකුසල කර්මයක විපාක පල දුන් සැටියකැ යි පිරිසිඳ දැන බමුණා අස්වසා වස් නිමා කොට ආපසු විහාරයට වැඩියා.