පසුතැවීම සහ නොතැවීම

cmadurawala
7 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

කාය දුච්චරිතං හිත්‍වා වචීදුච්චරිතානි ච
මනො දුච්චරිතං හිත්‍වා යඤ්චඤ්ඤං දොසසඤ්හිතං

අකත්‍වා කුසලං කම්මං කත්‍වානකුසලං බහුං
කායස්ස භේදා සප්පඤ්ඤෝ සග්ගං සො උපපජ්ජති’ ති

“ඒ නුවණැති පුද්ගලයා කාය දුශ්චරිත, වාග් දුශ්චරිත , මනො දුශ්චරිත හා වෙනත් පාපී අකුසල් ධර්ම හැරපියා,

අකුසල් නොකොට බොහෝ කුසල් කොට මරණින් මතු සුගතියෙහි උපදී”

කාරුණික පින්වත්නි,

ඉහත දක්වනු ලැබුවේ ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාලියේ සඳහන් අතපනීය සුත්‍ර දේශනාවේ අඩංගු උතුම් වූ ගාථා රත්න දෙකකුයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය.

“මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරන මේ ධර්ම දෙකකි. කවර දෙකක්ද යත්; මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් කරන ලද කල්‍යාණ දහම් ඇත්තේ, කරන ලද කුසල් ඇත්තේ, කරන ලද පුණ්‍ය කර්ම ඇත්තේ, නොකරන ලද පාප කර්ම ඇත්තේ, නොකරන ලද රෞද්‍ර කර්ම ඇත්තේ, නොකරන ලද කිලිටි කර්ම ඇත්තේ, මා විසින් පින් කරන ලදැයි නොතැවෙයි.

“මහණෙනි, පසුතැවිල්ල ඇති නොකරන මේ ධර්මයෝ දෙදෙන වෙත්”

භාග්‍යවතුන් වහන්සේ විසින් අගය පෙන්වා දී තිබේ. “න චපු චපු කාරකං භුඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා” පිටතට ශබ්දය ඇසෙන සේ තලු මරමින් ආහාර අනුභව නොකරන්නෙමියි හික්මිය යුතුයි. “න හත්ථනිල්මිල්ලේහකං භුඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා” අත ලෙවකමින් ආහාර අනුභව නොකරන්නෙමියි හික්මිය යුතුය. මේ ආදී ලෙසින් සිවුරු පරිහරණය (වස්ත්‍ර පරිහරණය), ගමන් කිරීම්, ආහාර ගැනීම්, වැසිකිළිය, කැසිකිළිය පරිහරණය කිරීම් වශයෙන් ද සංවරය, හික්මීම, ආචාරශීලී වීම උගන්වා තිබේ.

මීළඟට දක්වා තිබෙන පද පෙළ ඉතාමත් හොඳින් සිහිපත් කළ යුතුය. එනම්, අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි” නම් වූ අදහසය. කුඩා, අණුකුඩා වරදෙහි පවා බිය දක්නා වූ අයෙක් විය යුතු බවය. මෙහි අප උපුටා ගන්නේ බුදු දහමෙහි පෙන්වා දෙන “හිරි ඔතප්” නම් වූ වචන දෙකයි. පාපයට හෙවත් වරදක් කිරීමට ඇති ලජ්ජාව සහ බියයි. මෙහිදීත් වරදක් කිරීමට ඇති ලජ්ජාව සහ බිය අවබෝධයෙන්ම ඇති කරගත යුත්තක් විය යුතුය. එසේ නොමැති වුවොත් වර්තමානයේ බොහෝ දෙනෙක් මෙන් රහසේ පව්, වරද කිරීමට පෙලඹිය හැකිය. අනුන් ඉදිරියේ හෝ ප්‍රසිද්ධියේ වරද නොකළාට ඉඩලද අවස්ථාවේ රහසේ වරදට යොමු විය හැකිය. එය එසේ නොවීමට නම්, පාපයෙහි හෝ වරදෙහි ඇති භයානක බව, ආදීනවය මෙලොව සහ මරණින් මතු වශයෙන් සිහිපත් කළ යුතුය. අත්තානුවාද බය (තමා තමාටම අපවාද කර ගැනීමේ බිය), පරානුවාද බය (අන් අය විසින් දෝෂාරෝපණය කිරීමේ බිය), දණ්ඩ බය (දඬුවම් විඳින්නට සිදුවීමේ බිය), දුග්ගති බය (මරණින් මතු නිරයක උපතක් ලබන්නට සිදුවේය නම් වූ බිය) යනුවෙනි. මේ පිළිබඳව සාමාන්‍ය ජනයාට ද වඩා දැනුමක් නොතිබේ යැයි පැවසිය නොහැකිය. එනමුත් ආධ්‍යාත්මික වශයෙන් සීලය හෙවත් සංවරය පිළිබඳව මෙනෙහි කරන්නට සහ සිත පුරුදු කරන්නට අභ්‍යාස නොකිරීම නිසා, “ආවේග” ඉදිරියේදී පුද්ගලයා හික්මීමෙන් බැහැර වෙයි. මෙහි “ආවේග” ලෙස හඳුන්වනු ලැබුවේ ලෝබ, දෝෂ, මෝහයන් මුල් කරගෙන බලවත් ලෙස මතුවන සිතුවිලියි. බෞද්ධ භාවනාවේ දස අනුස්සති (මෙනෙහි කිරීම) අතර සීලානුස්සති භාවනාව පෙන්වා දෙන්නේ තම සීලය පිළිබඳව නැවත නැවතත් මෙනෙහි කරමින් වරදින් වළකින්නටත් ප්‍රාණඝාත නොකරමි, සොරකම් නොකරමි. කාම මිථ්‍යාචාරය නොකරමි, බොරු නොකියමි, මදයට සහ ප්‍රමාදයට හේතුවන ලජ්ජා බිය නැතිවන රහමෙර පානයෙන් වළකීමි ආදී වශයෙන් තම කායික සහ වාචසික සංවරය සිතට ද පුරුදු කිරීමයි. එමෙන්ම පාපයක් හෙවත් වරදක් සිදුවීමෙන් ඇතිවන විපාකය පිළිබඳව ඉහත දැක්වූ ආකාරයෙන් මෙනෙහි කරමින්, සීලයෙහි පිහිටීමෙන් සිදුවන යහපත් වූ අපමණ සුන්දර විපාකය පිළිබඳවත්, එසේ නොවීමෙන් සිදුවන අපමණ කටුක ප්‍රතිවිපාක පිළිබඳවත් සිත ඔසවා තැබිය යුතුය. “දුස්සීල” හෝ පව්කාරයෙක් හෝ පව්කාරියක් වීම නිසා මෙලොව වශයෙන් තමාගේ අධ්‍යාත්මයේ පටන් අත්විඳීමට සිදුවිය හැකි භයානක විපාක නිතොර සිහිගැන්විය යුතුය. එනම් මේ වරදෙහි විපාක වශයෙන් “සෝක, පරිදේව (හඬා වැලපීම්, දුක්ඛ, දෝමනස්ස, උපායාස (බලවත් සිත් තැවුල්), පරිලාහ (පිළිස්සෙන, දැවෙන ගතිය) ආදී වශයෙන් කටුක විපාක පිළිබඳව තම සිත අවදි කළ යුතුය. එමෙන්ම සීලයෙහි ඇති සුන්දර වූ විපාක පිළිබඳව සිත සහ සිතෙහි හටගන්නා වූ සිතුවිලි අවදි කළ යුතුය. ඒ මෙසේය. භාග්‍යවතුන් වහන්සේ පාඨලීගාමිය සූත්‍රයේදී මෙසේ විස්තර කරති. (1) නොපමා වූයේ භෝග සම්පත් ලබයි. (2) සියලු පිරිස් මැදට තේජස් ඇතිව පැමිණෙයි. (3) සිල්වත් හෙවත් සදාචාරවත් පුද්ගලයාගේ යසස් කීර්ති හඬ පැතිරෙයි. (4) සිල්වත් පුද්ගලයා නොමුළාව කලුරිය කරයි. (5) මරණින් පසු මනා ගති ඇති සුගතියෙහි උපදියි. මේ ආකාරයෙන් තම චිත්ත සන්තානය සීලයට ඍජුගත වනවිට බාහිර පරිසරය කෙරේද සැලකිලිමත් වෙයි. මංගල සුත්‍රයේදී “අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා” එනම් දහමින් පෝෂණය නොවූ අසත්පුරුෂ දුර්ජනයන්ගේ ඇසුරින් බැහැරවීමත්, දහමින් පෝෂණය වූ සත්පුරුෂ සුජනයන්ගේ ඇසුර පැවැත්වීමත් කළ යුතු බව දක්වා ඇත. අපවිත්‍ර දෑ එකතු වෙන්නේ අපවිත්‍ර ගොඩටමය. දුසිල්වත් පාපී පුද්ගලයෝ එවැනිම පිරිස්වලට එකතු වෙති. එනමුත්, සුවඳ සුවඳටම එකතු වන්නාක් මෙන් සදාචාරවත්, ගුණ යහපත් සුසංයත මනුෂ්‍යයෝ එවැනිම අය සමග එකතු වෙති.

මෙවැනි, සීලයෙන් යුතු ප්‍රියශීලී, සුපසන් මනුෂ්‍යයාගේ වචනවල ද ඇත්තේ ද මනුෂ්‍යත්වයේ හැබෑම සංකේතයයි. ගුට්භාණී නම් වූ දුගඳ හමන වචන කතා නොකරයි. එනමුත් පුප්ඵභාණී, මල් සුවඳ මෙන් සුවඳැති වචනද, මධුභාණී මීපැණි මෙන් මිහිරි වචන ද කතා කරයි. එමෙන්ම හැකිතාක් දුරට නිදොස් වචන ද ( නෙළා), සභ්‍ය වචනද (පොරි), කනට සුවදායි වචනද (කන්නසුඛා), ප්‍රිය බව ඇති වන වචනද (පේමණීයා), හද ඇදගන්නා වූ වචනද (හදයංගම), බොහෝ දෙනා කැමැති වන්නා වූ යහපත් වචනද (බහුජන කන්තා), බොහෝ දෙනාට මනාප වන වචනද (බහුජන මනාපා) කතා කළ යුතුය. කුඩා, අණුකුඩා වරදෙහි පවා අවබෝධයෙන් බියක් ඇති කරගන්නා වූ පුද්ගලයා කයෙන් සහ වචනයෙන් හික්මීමක් ඇති කරගත යුතු වන්නේ දැයි මෙහි පැහැදිලි කරයි.

මෙම අවබෝධයෙන් යුතුවම, තම පැවැත්ම කෙරේ සිහිය පිහිටුවන පුද්ගලයා ප්‍රඥාව වඩන පුද්ගලයෙක් බවට පත්වෙයි. ජටා සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේගෙන් එක්තරා දේවතාවෙක් මෙවන් ප්‍රශ්න කරනු ලැබීය.

“අන්තෝ ජටා බහිජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි
කෝ ඉමං විජටයේ ජටං”

සියලු දෙනාම ආධ්‍යාත්මික වශයෙනුත් බාහිර වශයෙනුත් අවුලෙන් අවුලට පත්වී ඇත්තේය. ගෞතමයාණන් වහන්ස, මේ අවුල ලිහන්නේ කවුද කෙසේද යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ,

සීලේ පතිට්ඨාය නරො සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයේ ජටං”

යනුවෙනි. එනම් සීලයෙහි පිහිටන ප්‍රඥාවත් මනුෂ්‍යයා විසින් සිතත්, ප්‍රඥාවත් (සමථ විදර්ශන) වඩන්නේය. එමෙන්ම කෙලෙස් තවන පත්වීමට අවස්ථාවක් නැත. එමෙන්ම පස් පව්, දස අකුසල් මෙන්ම, ඊර්ෂ්‍යා සහගතව, වෛරයෙන් හා ක්‍රෝධයෙන් යුතු, ගුණමකු, අනුන්ගේ නිතර දොස් දකින හා සොයන, තමන් උසස් කොට අන් අය පහත් කොට තළා පෙළා අවමන් කරන අසත්පුරුෂ අයෙක් බවට පත්වන්නේ නැත. මෙම පරමාර්ථ ධර්ම මාර්ගය මැනවින් තේරුම් නොගෙන, අනුගමනය නොකළේ නම්, ලෙඩදුක් සහ දිරාගෙන යෑම් ඉදිරියේදී වඩාත් පසුතැවෙනු ඇත. මරණ මඤ්චකයේදී මුහුණ දෙන්නට සිදුවන ස්වභාවය ඉතාමත් ශෝකජනක වනු ඇත. මේ නිසා, මම කුසල් මග අනුගමනය කළ අයෙක්මි. පාපයෙන්, අකුසලයෙන්, නොමිනිස්කම්වලින් බැහැරවූ අයෙක්මි. ධර්මය පරමාර්ථ වශයෙන්ම දුටුවෙමියි යනුවෙන් සිතින් මෙනෙහි කරන්නට තරම් සමාධියක් ඇති කරගැනීමම සැනසිල්ලට මගය. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම උපකාර වේවා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *