සියල්ල මන:කල්පිත වූ ලෝකයක

rashi
By rashi
12 Min Read

වර්ෂ 1909 දී හේන්පිටගෙදර ග්‍රාමයෙහි උපන් සමරවීර කුලකුමරුවාණන්ගේ පැවිදි නාමය ඤාණසීහ විය. බලගල්ල සරස්වතී පිරිවෙනෙහි දී දැල්වූ උන්වහන්සේගේ ශාස්ත්‍ර ප්‍රභාව, පාලි බසින් සංගෘහිත ථෙරවාදය ද සංස්කෘත බසින් සංගෘහිත මහායාන හා සර්වාස්තිවාද ආදි අන්‍ය බෞද්ධ සම්ප්‍රදායන් ද සිසාරා හාත්පස පැතිරිණ. එසේ පුළුල් අවකාශයක නිදහසේ වැඩුණු ප්‍රබලතම ශාස්ත්‍රීය ප්‍රතිරූපයක් අතිපූජ්‍ය ඤාණසීහ නාහිමියන් සතු විය. උන්වහන්සේ සමාජ භූමිකාව තුළ සක්‍රිය වන්නේ, මෙකල වන්නාක් මෙන් සිය ප්‍රතිරූපය ගොඩනඟාගැනීමේ අදහසින් නො වන බව එයින් පැහැදිලි වේ.

මහ පඬිරුවනක වෙතින් මඟ අසන්නට තරම් එකල සමාජය මඳක් හෝ පරිණත ව තිබිණ. සමාජය මඳක් පරිණත වුවත්, එකල දේශපාලනය අද ඇති ජරාජීර්ණ තත්ත්වයට ම නෑකම් කියූ හෙයින් අතිපූජ්‍ය ඤාණසීහ නාහිමියන්ට බන්ධනාගාරගත වන්නට පවා සිදු විය. හතළිහට අධික වූ උන්වහන්සේගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ලියැවෙන්නේ සිවු වසරක බන්ධනාගාර විවේකය අතරතුර දී ය.

බන්ධනාගාර වාසය සඵල වූ බවට එවැනි එක් නිදසුනක් සපයන, පසු ව 1972 වර්ෂයේ දී මුද්‍රණයෙන් නිකුත් වන ‘දර්ශනය විද්‍යාව හා බුදුදහම’ නමැති ග්‍රන්ථයෙහි උපුටනයක් මෙවර බුදුමඟෙහි පළ කෙරේ.

අභීත සමාජ මෙහෙවරක් හා සම්භාවනීය ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියෝ අදින් වසර 42කට පෙර – එනම් 1981 අගෝස්තු පළමු වැනි දා අපවත් වී වදාළ හ. උන්වහන්සේගේ ගුණසමරුව යෙදෙන අද වැනි දිනෙක, සමාජ ක්‍රියාකාරී ප්‍රතිරූපයෙන් වැසී ගිය මහා ශාස්ත්‍රීය ප්‍රතිරූපය සිහිපත් කිරීම මැනැවි.

පාතකඩ භික්ෂු අභ්‍යාස ආයතනය හා මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන ආදි විද්‍යාස්ථානයන්හි නිර්මාතෘවර,
රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි

හැඳින්වීමේ සටහන සමග බුදුමඟට යොමු කළේ: කමලා වෛද්‍යරත්න

“විඤ්ඤාණයෙන් කිසිවක් නො දකින විට එතන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන ධාතු ද නැත. දිග ද නැත. කෙටිය ද නැත. කුඩාව ද නැත. ලොකුව ද නැත. හොඳ ද නැත. නරක ද නැත. නාම ද නැත. රූප ද නැත. විඤ්ඤාණ නිරෝධයෙන් මේ සියල්ල ම නැති වෙයි” මේ බුදුදහම ය.

විද්‍යාඥයන් හා දාර්ශනිකයන් භෞතික මූලධර්ම සොයා ඉදිරියට ගියේ “පරමසත්‍යය” සොයනු පිණිස යැ යි කියනු ලැබේ. ඉහතින් සඳහන් කළ බුද්ධාවවාදය දෙන ලද්දේ ද එපරිද්දෙන් ම පරම සත්‍ය සොයා ලොව පුරා ඇවිද හිස් අතින් ආපසු පැමිණි භික්ෂුවකට ය. තමා සොයන පරම සත්‍යය තමා තුළ ම වූ විඤ්ඤාණය බව ඒ දේශනාවෙන් දක්වා ඇත.

බාහිර ලෝකය හා විඤ්ඤාණය අතර ඇති සම්බන්ධය විඤ්ඤාණයෙහි ම පහළ වන යම්කිසි හැඟීමක් හෝ හැඟීම් කොටසක් නිසා සිදු වන්නක් බව බුදුදහම කියයි. භෞතික ධර්මයන් අතර පවතින අන්‍යොන්‍ය ආකර්ෂණය පවා කවර හේතුන් නිසා සිදු වන්නක් ද යනු ප්‍රත්‍යක්‍ෂ කළ නොහැකි ය. කාන්දම හෝ විදුලිය තමාගේ ප්‍රයෝජනය පිණිස යෙදීමට නවීන විද්‍යාඥයන් ශක්තිමත් වී ඇති නමුත් ඒ කාන්දමත් විදුලියත් කුමක් ද යනු මේ වන තුරු ඔවුන්ට තේරුම්ගත නොහැකි වී ඇත. (එවකට නාහිමියන් අදහස් කළේ විද්‍යුත් චුම්බකත්වය ගැන වන්නට ඇතැ යි අපට අනුමාන කළ හැකියි. එහි ලා එන magnetic monopoles යන විෂයපථය අදටත් විසඳී අවසන් නැති බව අපගේ වැටහීමයි. වැඩිදුර සොයා බලත් වා. – කමලා) එසේ නම් මානසික ව පහළ වන ආකර්ෂණය කෙසේ නම් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි ද? විඤ්ඤාණය තුළ අල්වා ගැනීමට හුරු එක්තරා ශක්තියක් තිබේ. ඒ ශක්තිය පහළ වන්නේ විඤ්ඤාණය හා සම්බන්ධ වූ චෛතසිකයන් නිසා බව බුදුදහම පවසයි. “තණ්හා” යන නමින් හැඳින්වෙන්නේ ඒ අල්වා ගැනීම ඇති කරන චෛතසිකයයි. විඤ්ඤාණය තුළ පහළ වන හැඟීමක් නිසා ක්‍රියාත්මක ශක්තියක් පහළ විය නොහැකි යැ යි කෙනෙකුට කිව හැකි ය. එසේ කියන්නා අතින් මෙසේ ප්‍රශ්න කළ යුතු ය. “ඔබ ඇවිදින විට දෙපය මාරු කරන්නෙහි ය. භෞතික වස්තුවක් වූ ඔබේ සිරුර එපරිදි ක්‍රියාත්මක වූයේ විඤ්ඤාණය තුළ පහළ වූ හැඟීමකින් නො වේ ද?” මේ ප්‍රශ්නය මඟහැර යන්නට ඔහුට ඉඩ නො ලැබෙනු ඇත. මිනිසා සතු සිරුරෙන් පහළ වන විවිධ ක්‍රියාකාරීත්වය සඳහා විඤ්ඤාණය කොයි තරම් දුරට බලපවත්වන්නේ ද යනු වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි වී ඇත. එය එසේ වන්නේ කවර හේතුවක් නිසා ද යන්න ඔවුන්ට ද ප්‍රහේලිකාවක් වී තිබේ. විඤ්ඤාණය භෞතික ධර්මයක් වූ සිරුරක් තුළ හිර වී සිටින්නේ ඉහතින් සඳහන් කළ චෛතසිකයක් වූ තණ්හාව හේතු කොටගෙන ය යන්න මේ වන තුරු කරුණු සහිත ව කිසිවෙකුට නො බිඳිය හැකි ප්‍රකාශයක් වී ඇත්තේ විඤ්ඤාණයත්, එහි වූ චෛතසික හා සිරුරත් අතර ඉතා ප්‍රකට ව බලපවත්වන මේ අන්‍යොන්‍ය ආකර්ෂණය නිසා බව ඉතා ම පැහැදිලි ය. මෙය අද මුහුණ පා ඇති “සෙවිය නොහැකි” රහස් අතරින් එකකි. තණ්හාව නිසා විඤ්ඤාණය තුළ පහළ වන භෞතික ලෝකය හා සම්බන්ධ වීමේ අල්වා ගැනීම “උපාදාන” යන නමින් බුදු දහමෙහි හැඳින්වෙයි.

ගෞතම තථාගතයන් වහන්සේට පළමු සිටි කිසි ම දාර්ශනිකයෙකු හෝ යෝගියෙකු විසින් විඤ්ඤාණය හා භෞතික ධර්ම අතර ඇති මේ අන්‍යොන්‍ය ආකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ කළ බවට සාධක නැත. එසේ වීමට හේතු වී ඇත්තේ ඔවුන් තුළ පැවති ආත්ම දෘෂ්ටිය විය යුතු යැ යි අනුමාන කළ හැකි ය. නමුත් විඤ්ඤාණය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන දැකීම් හා ඇසීම් ඇතුළු වෙනත් සෑම ආරම්මණයක් ම ඉන්ද්‍රිය මඟින් විඤ්ඤාණය කරා ගෙන යන බව ඇතැම් යෝගීහු දැන සිටියා හු ය යි සිතන්නට කරුණු තිබේ. රූප නො දැකීමේ කැමැත්ත නිසා ලෝකයෙහි වූ භෞතික රූප නො පෙනී යන බව සමහර යෝගීහු දැන සිටිය හ. අරූපධ්‍යාන වැඩීමේ දී විද්‍යමාන රූපාරම්මණයන් නො පෙනී යෑමේ හේතුව, ඒ ආරම්මණ විඤ්ඤාණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා බව ඔවුන්ට පැහැදිලි වී තිබිණි. මේ කරුණ අපට යන්තමින් හෝ අනුමාන කළ හැක්කේ නින්දේ දී සිදු වන මානසික සංසුන් බව හේතු කොට ගෙන ය.

භෞතික ධර්ම කෙරෙහි තම අණසක පැවැත්වීමේ හැකියාව විඤ්ඤාණයට ලැබුණේ කවර මඟකින් ද? මේ ප්‍රශ්නය කවදා වත් විද්‍යාවට හෝ දර්ශනයට විසඳිය හැකි යැ යි මම නො අදහමි. මිනිහෙක් හිතෙන් ලෙඩ කළ හැකි ය. සිත විකෘති වූ විට (පිස්සුව හෝ මත් වීම) භෞතික ධර්ම පිළිබඳ කලින් පැවැති ඔහුගේ පිළිගැනීම් ද විකෘති වී යයි. මේ ගැටලුව විසඳීමට මහන්සි දැරූ වෛද්‍ය විද්‍යාව එය තමාට විෂය නො වන විඤ්ඤාණය සතු ක්‍රියාවක් බව දැන් අවබෝධ කර ගෙන සිටී. මේ සෑම පටලැවිල්ලකට ම හේතුව විඤ්ඤාණය හා භෞතික ධර්ම අතර ඇති තේරුම් ගත නොහැකි සම්බන්ධයයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ හ.

“මහණෙනි, උපන්නා වූ පහළ වූ, යම් රූපයක් වේ ද එය ඇත යනු සිතුවිල්ලකි. එය ඇත යනු සම්මතයකි. එය පෙර වූයේ ය යන ගණන් ගැනීමක් නැත. එය මතු වන්නේ ය යන ගණන් ගැනීමක් ද නැත. යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංස්කාරයක්, යම් විඤ්ඤාණයක් වේ ද එය ඇත යනු සිතුවිල්ලකි. එය ඇත යනු සම්මතයකි. ඒ පෙර වූයේ ය යන ගණන් ගැනීමක් නැත. එය මතු වන්නේ ය යන ගණන් ගැනීමක් නැත. මහණෙනි, මේ නිරුත්ති පථ තුන, මේ අධි වචන පථ තුන, මේ පඤ්ඤත්ති පථ තුන, දැන් ද පැටලීමක් නැති පෙර ද පැටලීමක් නො වූ නිරුත්ති පථ ය. මතු ද නො පැටලවෙත්. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නින්දා නො කරන ලද්දේ වෙයි.”

(මජඣිම නිකාය, ම:ප: 1-10 සුතත)

මේ සූත්‍රාන්තය ඉතා ම ගැඹුරු ය. මෙයින් පෙනෙන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය ම සිතිවිලි මාත්‍ර බව ය. අතීතයෙහි එබඳු ස්කන්ධ පඤ්චකයක් තිබුණේ ය යනු ද සිතුවිල්ලක් පමණකි. මෙසේ කියන්නේ ඇයි? සූත්‍රයෙන් දැක්වෙන හැටියට නම් ඒ සියල්ල අප තුළ පවතින හැඟීම් මාත්‍ර පමණි. ඒ කිසිවක ඇත්තක් නැත. අපේ ස්කන්ධ පඤ්චකය ම එබඳු සිතුවිලි මාත්‍රයක් නම් සෙසු භෞතික ලෝකය ගැන කිව යුත්තක් නැත. රාත්‍රියෙහි නිදා සිටින විට දුටු සිහිනයක් ගැන සිතීමත්, අප සතු ස්කන්ධ පඤ්චකය ගැන සිතීමත් එක හා සමාන ය.

මේ සූත්‍රාන්තයෙන් දෙන අදහස අපේ ලෞකික පිළිගැනීම් පිළිබඳ මුළු අත්තිවාරම ම සුනු විසුනු කර දමයි. මුළු ලෝකය සිහිනයක් බවට පත් කරයි. “මම” යනු සංකල්පයක් මිස විද්‍යමාන තත්ත්වයක් නො වන බව පෙන්වා දෙයි. “මම” විද්‍යමාන නො වන විට මගෙන් පිටත ලෝකයක් කොයින් ද? මේ දේශනාව අනුව ගිය වෙනත් දේශනා මහත් රාශියකි. ඒ සියල්ලෙන් ම ප්‍රකාශ කරන්නේ ද මේ අදහස ම ය.

ඉහතින් දක්වන ලද්දේ අපේ ථේරවාද සූත්‍ර පිටකයට අයත් සූත්‍රාන්තයකි. මහායාන සූත්‍ර පිටකයට අයත් “ප්‍රඥා පාරමිතා සූත්‍රයෙහි” එන පාඨයක අදහස ද පහත දැක්වෙයි.

මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරීපුත්ත ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළ හ. භාග්‍යවතුන් වහන්ස, මහා සත්ත්ව වූ බෝධිසත්වයන් විසින් ප්‍රඥා පාරමිතාවෙහි කෙසේ හැසිරිය යුතු ද? මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළ සේක.

ශාරිපුත්‍රය, මෙහි මහාසත්ව බෝධිසත්ව තෙමේ ප්‍රඥා පාරමිතාවෙහි හැසිරෙන්නෙහි තමා බෝධිසත්වයෙක් වූයේ බෝධි සත්වයා නොදකී. බෝධිසත්ව නම ද නොදකී. බෝධිසත්ව චර්යාව ද නොදකී. ප්‍රඥා පාරමිතාව ද නොදකී. රූපය ද නොදකී. ඒ පරිද්දෙන් වේදනා, සංඥා, සංස්කාරය, විඤ්ඤාණයන් ද නොදකි. ඒ කුමක් නිසාද? මහාස්තව බෝධිසත්ව තෙමේ බෝධිසත්ව ස්වභාවයෙන් ශූන්‍යය. ඒ කුමක් නිසාද? ඒ ශූන්‍යතාවයෙහි ස්වභාවයයි. රූපය ශූන්‍යතාවයෙන් ශූන්‍ය නොවේ. (ශූන්‍යතාවයෙන් යුක්තය යන අදහසයි) වේදනාව ශූන්‍යතාවයෙන් ශූන්‍ය නොවේ. සංඥාව ද ශූන්‍යතාවයෙන් ශූන්‍ය නොවේ. සංස්කාර ද ශූන්‍යතාවයෙන් ශූන්‍ය නොවේ. විඥානය ද ශූන්‍යතාවෙන් ශූන්‍ය නොවේ. ශූන්‍යතාව රූපයෙන් වෙන් වූයේ නොවේ. සංඥාවෙන් වෙන් වූයේ නොවේ. සංස්කාරයෙන් වෙන් වූයේ නොවේ. විඥානයෙන් වෙන් වූයේ නොවේ. ඒ කුමක් නිසාද? රූපමය ශූන්‍යතාවයි. වේදනාවම ශූන්‍යතාවයි. සංඥාවම ශූන්‍යතාවයි. සංස්කාරම ශූන්‍යතාවයි. විඥානයම ශූන්‍යතාවයි. ශූන්‍යතාවම රූපයයි. ශූන්‍යතාවම වේදනාවයි. ශූන්‍යතාවම සංඥාවයි. ශූන්‍යතාවම සංස්කාරයි. ශූන්‍යතාවම විඥානයයි. ඒ කුමක් නිසාද? බෝධිසත්ව යනු නාම මාත්‍රයකි. ප්‍රඥා පාරමිතා යනු නාම මාත්‍රයකි. රූප වේදනා, සංඥා සංස්කාර, විඥාන යනු මායාවක් වැනිය. මායාව ද නාම මාත්‍රයකි. දේශයක, ප්‍රදේශයක පිහිටියේ නොවේ. නොහට ගත් අසත්‍ය දර්ශනයකි.

මේ සූත්‍රාන්තය නිසා ඉහතින් දැක්වූ “ඇත යුන සිතිවිල්ලකි. ඇත යනු සම්මතයකි” යන ප්‍රකාශය විග්‍රහ වෙයි. මුළු විශ්වයම විඤ්ඤාණය තුළ පහළ වූ සිතිවිල්ලක් බවත් අන්තිමට විඤ්ඤාණය ද එබදු ම ශූන්‍ය ධර්මයක් බවත් ඒ මහායන සූත්‍රාන්තයෙන් විවෘත වෙයි. මෙම ප්‍රකාශය විද්‍යාවට සිඳ දැමිය හැකිද? ලෝකය විඤ්ඤාණයෙහි පහළ වූ හැඟීමක් නොව විද්‍යමාන වූවක් බව විද්‍යාවට ස්ඵුට කළ හැකිද?

දැකීම, ඇසීම, ස්පර්ශ වැනි පංච ඉන්ද්‍රියන් සතු වැටහීම් නිසා භෞතික ලෝකය විද්‍යමාන යැයි කීමට තරම් අවිචාරවක් බවක් විද්‍යාඥයාට ඇතැයි මම නොසිතමි. මා එසේ කියන්නේ අවිද්‍යාමන ධර්ම විද්‍යමාන ස්වරූපයෙන් ඉන්ද්‍රිය ගෝචර විය හැකි බව පහසුවෙන් ම විද්‍යාවට තේරුම් ගත හැකි බැවිනි. සිතෙහි පහළ වන විකෘතිය නිසා භෞතික ධර්ම විකෘතව ඉන්ද්‍රිය ගෝචරවන බව අද වෛද්‍ය විද්‍යාව තේරුම් ගෙන ඇත. විඤ්ඤාණය තුළ මැවුන මානසික චිත්‍ර හේතු කොට ගෙන දර්ශන පමණක් නොව ශ්‍රවණ ආඝ්‍රාණ, ආස්වාදන, ස්පර්ශන යන ආරම්මන පහම ඇති විය හැකි බව දැන් විද්‍යාව තේරුම් ගෙන ඇත.

බුදු දහමෙන් මිනිසා තුළ යථාවබෝධය ඇති කරන්නේ ඉතාම ප්‍රඥාගෝචර මාර්ගයකිනි. ලෝක සම්මතය අනුව සිතන්නට පුරුදු වූ මිනිසා එක වරම ඒ සම්මතයෙන් ඉවතට ගත් විට බලවත් අවහිරයකට වැටෙයි. සමහර විට තිබෙන අවබෝධය පවා නැති වන්නට පුළුවන. මේ නිසා ඔහුට දෙන මූලික පාඩම ලෝක සම්මතය නොයික්මවා දිය යුතුය. විද්‍යමාන ලෝකයක් ගැන විශ්වාසය තබා සිටින මිනිසෙකුට එක වරම “මේ ලෝකය මනඃකල්පිතයැකි” කී විට පහළ වන්නේ මහත් අවුලකි. “එසේ වන්නේ කෙසේද?” යන ප්‍රශ්නය ඔහුගේ සිතෙහි වේගයෙන් ක්‍රියා කරනු ඇත. තිබෙන අවබෝධය පවා නැති වන්නට ඉඩ ඇතැයි අප කීවේ එහෙයිනි. මේ බව සැලකූ භාග්‍යවතුන් වහන්සේ පළමු කොට සම්මත ලෝකයෙහි දක්නට ඇති අනිත්‍යතාව පැහැදිලි කොට, ඉන්පසු අනාත්මතාවත් සෑම විඤ්ඤාණයක් තුළ පවතින දුඃඛතාවත් අවබෝධ කරවීමට දහම් දෙසූහ. එයින් ඔහු තුළ ඇති ලෞකික ආශාව දුරු වෙයි. ඉන්පසු ඔහු ගෙන යන්නේ ලෝකයේ මනඃකල්පිත බව ඔහුට ම පැහැදිලි වන මාර්ගයකය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *