වැලමිටියාවේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ

cmadurawala
7 Min Read

දිමුතු පුන්සර කොළඹගේ

(පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කොට 2025 නොවැම්බර් මස පළමු වන දිනට 150 වසරක් සපිරීම නිමිත්තෙනි)

විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි මෑත ඉතිහාසය ශෝභාවත් කළ මහා යතිවරයන් වහන්සේ නමක වශයෙන් විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යයන අංශ ප්‍රධාන ධුරය හෙබවූ, හුරුක්ගමුව රාජමහා විහාරාධිපති, අස්ගිරි මහා විහාරයේ උපාධ්‍යාය ධුරන්ධර, ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

විද්‍යාලංකාර පිරිවෙනෙහි කීර්තිය උපරිම ස්ථානයේ පැවැති අවධියේ සිට ම පිරිවෙන සම්බන්ධ වගකීම් දරමින්, පිරිවෙනට විශ්වවිද්‍යාල තත්ත්වය හිමි වූ පසු පාරිවේණික අංශයේ කටයුතු නොකඩ කොට පවත්වාගෙන යෑමට උපකාරී වී උන්නතීන්හි දී මෙන්ම අවනතීන්හිදී ද පිරිවෙන රැකගැනීමට වෙහෙස වූ ආචාර්යපාදයන් වහන්සේ නමක වශයෙන් වැලමිටියාවේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය.

විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපතීන් වහන්සේලා දෙනමක් ජන්මලාභය ලද වයඹ පළාතේ සත්කෝරළයේ නාරම්මලට නුදුරු වැලමිටියාව ග්‍රාමය පළමුවෙන්ම කීර්තියට පත් කළ යතිවරයන් වහන්සේ වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ යැයි සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. එම ගමේ විසූ වෛද්‍යාචාර්ය එච්. එම්. රන්හාමි මහතාගේ සහ ඒ. එම්. ඩිංගිරි අම්මා මැතිනියගේ පුත්රුවනක ලෙස වර්ෂ 1927 මාර්තු මස 6 වැනි දින නාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටහ.

පුරාකෘත පුණ්‍ය මහිමය නිසා ම වැලමිටියාව ගමේ පන්සල වූ විහාරේගම රාජමහා විහාරාධිපතිව වැඩ විසූ හුරුක්ගමුවේ ගුණරතන හිමියන්ගේ මඟපෙන්වීම අනුව හුරුක්ගමුවේ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ ගිනිපෙන්දේ බුද්ධරක්ඛිත හිමියන් වෙත භාර දෙන ලදින් 1939 පෙබරවාරි මස 11 වැනි දින වැලමිටියාවේ ධම්මරක්ඛිත නාමයෙන් සසුන්ගත විය.

පැවිද්දෙන් පසු විද්‍යාලංකාර පිරිවෙනේ දීප්තිමත් ආදිශිෂ්‍ය හිමිනමක වූ බබුරුගම පිරිවෙන් විහාරාධිපති බබුරුගම පියරතන නාහිමියන් වෙතින් මූලික අධ්‍යාපනය හදාරා, දෙවන ලෝක යුද්ධය පැවැති සමය වූ එවක කොළඹට නුදුරු පෑලියගොඩ පිරිවෙනේ ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීම දුෂ්කර වූයෙන් රට පුරා ආරම්භ කළ විද්‍යාලංකාර ශාඛා පිරිවෙන් අතුරින් එකක් වූ කුරුණෑගල ශාඛා පිරිවෙනෙහි පළමු ශිෂ්‍යවරයා වීමේ භාග්‍යය ධම්මරක්ඛිත හිමියන් වෙත උදා විය. වත්මනෙහි මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙන නමින් හඳුන්වන එම ශාඛා පිරිවෙනෙහි ආධිපත්‍යය හෙබවූයේ එවක විදුලකර උපපරිවේණාධිපති ධුරය හෙබවූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ ය. මහාචාර්ය කොටනෙළුවේ චන්දජෝති මාහිමි, මහාචාර්ය කුඩීරිප්පුවේ ප්‍රඥාශේඛර මාහිමි, මහාචාර්ය මූදුකටුවේ ඥානාරාම නාහිමි වැනි සම්භාවනීය ආචාර්යපාදයන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය ධම්මරක්ඛිත හිමියන් වෙත උදා විය.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි සහ වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි

පාරිවේණික අධ්‍යාපනය ලබන අවධියේ උපසම්පදාව සඳහා නිසිවස් සපුරා තිබූයෙන් මහනුවර අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී යටවත්තේ ශ්‍රී ධම්මරතන මහ නාහිමියන් ප්‍රමුඛ සංඝ සභාව වෙතින් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

ප්‍රාචීන මධ්‍යම විභාගය තෙක් කුරුණෑගල ශාඛා පිරිවෙනෙහි අධ්‍යාපනය ලබා ඉනික්බිති 1950 වර්ෂයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති මාහිමි, බඹරැන්දේ සිරි සීවලී මාහිමි වැනි සම්භාවනීය ආචාර්යපාදයන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලබා 1953 පවත්වන ලද විද්‍යාලංකාර මහ පිරිවෙනේ අවසාන පරීක්ෂණයෙන් විශිෂ්ට සාමාර්ථලාභීව, එම වර්ෂයේ ම විද්‍යාලංකාර උපාධි පරීක්ෂණයෙන් සාහිත්‍යාචාර්ය උපාධිය ද ලැබූහ. විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලබන අවධියේ පිරිවනේ පැවැති ත්‍රිපිටක ධර්ම සංගායනාව සඳහා ද භාග්‍යය ලද ධම්මරක්ඛිත හිමියන් පිරිවෙනේ අවසාන පරීක්ෂණය සමත් වීමෙන් පසු යක්කඩුවේ නාහිමියන්ගේ අනුදැනුම මත පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සහ පිරිවෙන් බිමෙහි ම ක්‍රියාත්මක වූ ගුරුකුල විද්‍යාලයේ ආචාර්ය පදවියකට පත්කොට ගැනිණි. ඉන් තෙවසරක් ඇවෑමෙන් 1956 වර්ෂයේ ත්‍යාග තුනක් හිමි කර ගනිමින් ප්‍රාචීන අවසාන විභාගය සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය හිමිකරගත් අතර රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස ආයතනයේ පුහුණුව ලබා ප්‍රවීණාචාර්ය සහතිකය හිමිකර ගන්නා ලදී.

විද්‍යාලංකාර පිරිවෙනට විශ්වවිද්‍යාල තත්ත්වය හිමි වූ පසු එම විශ්වවිද්‍යාලයෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ද ඉන් පසු 1965 වසරේ ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගත් ධම්මරක්ඛිත හිමියන් 1991 වර්ෂයේ දී ශ්‍රී මහා බෝධීන් වහහන්සේ හා තදනුබද්ධ සංස්කෘතිය යන පර්යේෂණ මාතෘකාව ඔස්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළහ.

පෑලියගොඩ විදුලකර බිම සරසවියට වෙන් කෙරුණු පසු දෙමටගොඩ ධර්මප්‍රසාදයේ සිදු කළ පාරිවේණික අධ්‍යාපන කටයුතු සඳහා ආචාර්යයන් වහන්සේ නමක වශයෙන් දායක වූ ධම්මරක්ඛිත හිමියෝ 1965 වර්ෂයේ සිට 1980 වර්ෂය දක්වා පන්නිපිටිය විද්‍යාලංකාර ශාඛා පිරිවෙනේ පරිවේණාධිපති ධුරය හොබවා 1980 වර්ෂයේ දී යළිත් පෑලියගොඩ මුල් බිමේ පාරිවේණික අධ්‍යාපන කටයුතු ඇරඹීමේ දී එහි භාරකාරවරයා ලෙස ද පසුව අධ්‍යයන අංශ ප්‍රධානියා ලෙස ද සිය වගකීම් ඉටු කළහ. එමතු නොව 1983 වර්ෂයේ සිට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර ආයතනාධිපති වශයෙන් ද කටයුතු කළ සේක.

ශිෂ්‍ය අවධියේ සිට ම ග්‍රන්ථකරණයට යොමු වූ ධම්මරක්ඛිත නාහිමියන් රචනා සියය, සද්ධර්මරත්නාවලී සංස්කරණය, ශ්‍රී ධර්මාරාම සාහිත්‍ය අංකය, විද්‍යාලංකාර ශත සංවත්සර කලාපය, ධම්මපදට්ඨකථා සිංහල පරිවර්තනය, කරණීය මෙත්ත ධම්ම සහ භාවනා ආදී ග්‍රන්ථ රාශියක් රචනයට සහ සංස්කරණයට දායක විය. ඉහතින් දැක්වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ තදනුබද්ධ බෞද්ධ සංස්කෘතිය නම් වූ ආචාර්ය උපාධි නිබන්ධනය නාහිමියන්ගේ විශිෂ්ට පර්යේෂණ ඥානය විදහාපාන ග්‍රන්ථයකි. ලක්දිව චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ නමක් වශයෙන් ද, ගීත නිබන්ධකයෙක් සේ ම ගීත නාට්‍ය රචකයෙක් වශයෙන් ද කීර්තිමත් වූහ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කළ අවස්ථාවක්. ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමි, මහාචාර්ය කාක්කපල්ලියේ අනුරුද්ධ නාහිමි සහ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි

උසස් අධ්‍යාපනය පිණිස භාරත දේශයට වැඩමවා ඉන් පසු අවධියේ යුරෝපය, ආසියාව, ඇමෙරිකාව ඇතුළු සෑම මහාද්වීපයකම පාහේ ධර්ම ප්‍රචාරයේ නිරත වූ ධම්මරක්ඛිත නාහිමියන් දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික ධුරයක් හොබවන ලදහ.

ආචාර්යපාදයන් වහන්සේලා වෙත නිබඳ බැතියෙන් ක්‍රියා කළ ධම්මරක්ඛිත නාහිමියන් ස්වකීය ආචාර්යපාදයන් වහන්සේ වෙත නිබඳ බැතියෙන් ක්‍රියා කළ අතර ගිණිපෙන්දේ බුද්ධරක්ඛිත ගුරුදේවයන් වහන්සේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි අවධියේ සිදු විය යුතු උපස්ථාන කටයුතු නොකඩ කොට සිදු කළහ. ආචාර්යපාදයන් වහන්සේ ඇවෑමෙන් හුරුක්ගමුව රාජමහා විහාරාධිපති පදවියට පත් ධම්මරක්ඛිත හිමියන් විහාරස්ථානය අංගසම්පූර්ණත්වයට පත් කොට සකලාංග පරිපූර්ණ පුස්තකාලයක් ගොඩනංවාලූහ. ගිනිපෙන්දේ ධම්මාකර හිමියන් ප්‍රමුඛව ශිෂ්‍යවරයන් වහන්සේලා වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වෙති.

වැලමිටියාවේ ශ්‍රී ධම්මරක්ඛිත නාහිමියන්ගේ ධර්මශාස්ත්‍රීය හා ලෝක ශාසනික මෙහෙවර අගය කරමින් රාජුපස්ථානීය පරමධම්මසභා නම් වූ අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාව මගින් 1988 වර්ෂයේ දී සද්ධර්ම වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාමධෙය සහිතව පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් ද පසු කලෙක උපාධ්‍යාය පදවියකින් ද සම්මානිත කරවූහ.

විද්‍යාලංකාර සභාවේ ලේකම් පදවිය ද දීර්ඝ කාලයක් හෙබවූ නාහිමිපාණන් වහන්සේ 2003 වර්ෂයේ නිකිණි පුර පසළොස්වක් පොහෝ දිනය යෙදුණු අගෝස්තු මස 11 වැනි දින අපවත් වී වදාළහ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *