පිරිසිදු සිතින් කරන කුසලය

cmadurawala
15 Min Read

ආචාර්ය කුකුල්පනේ සුදස්සි හිමි

ඒක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්වතෙක් දානයක් දුන්නොත් එය මහත් ඵලයි. ගුණවතෙක් දානයක් දුන්නොත් එය මහත් ඵලයි. ධ්‍යාන ලාභියෙක් දානයක් දුන්නොත් එය මහත් ඵලයි. ඇයි මෙහෙම දේශනා කරන්නේ? සිල්වත් බව ඇතිවෙන්න ඇතිවෙන්න ගුණවත් බව ඇතිවෙන්න ඇතිවෙන්න ධ්‍යානාදී භාවනාවන් නැවත නැවත සිද්ධ කරන්න සිද්ධ කරන්න මනස පවිත්‍ර වෙනවා. මනස පවිත්‍ර වූ තරමට කරන්නා වූ කුසලය ශක්තිමත් වෙනවා. එහි මනා පැහැයක් ඇති වෙනවා. අර නිල්පාට පොවන්නට අවශ්‍ය කෙනා පිරිසිදු සුදු රෙදි කෑල්ලක් අරගෙන නිල්පාට තීන්ත භාජනයේ එබුවානම්, බුදුහාමුදුරුවො දේශනා කරනවා ඒ තැනැත්තා බලාපොරොත්තු වෙන වර්ණය එයින් ලැබෙනවා “තං කිස්ස හේතු” මොකක්ද ඒකට හේතුව? “පරිසුද්ධත්තා භික්‍ඛවෙ වත්‍ථස්ස” මහණෙනි, ඒ වස්ත්‍රය පිරිසිදුයි. පිරිසිදු නිසා ඒ තැනැත්තා කරන්නට යන කාර්යයේදී ඔහුගේ පරමාර්ථය සඵල වුණා. ඇයි සඵල වෙන්නේ? වස්ත්‍රය පවිත්‍ර නිසා.

සිත අපිරිසුදු වුණොත්

ඒ නිසා පින්වතුනි, මේ ලෝකයේ අපට යම්කිසි පරමාර්ථයක් සඵල කරගන්නට අවශ්‍යනම් පවිත්‍ර වූ සිතකින්ම එය සිද්ධ කළ යුතුයි. අපවිත්‍ර වූ සිතින් යමක් කරයි ද කියයි ද සිතයි ද එය කිලුටක්මයි. බොහෝ මනුෂ්‍යයෝ පින්දහම් කරනවා. බොහෝ මනුෂ්‍යයෝ දන් දෙනවා. බොහෝ මනුෂ්‍යයෝ සිල් ගන්නවා. බොහෝ දෙනෙක් භාවනා කරනවා. සංඝාවාස ගොඩනගනවා. ඒ වගේම නොයෙකුත් ආරාම උiාන ආදිය හදනවා. බොහෝ පින්කම් කරනවා. මේ තරම් මනුෂ්‍යයො කරන්නා වූ පින්කම් දිහා බැලුවොත් ඔවුන් කුමන පරමාර්ථයක් ඇතිව ද මේ කරන්නේ? කීර්තිය බලාපොරොත්තුවෙන්, ප්‍රශංසාව බලාපොරොත්තුවෙන්. මාන්නයෙන්. අන් අය පරද්දන්නට. තමන්ටත් යමක් කරන්නට පුළුවන්කම තිබෙන බව පෙන්නන්නට. මේ ආදී දහසකුත් එකක් අයහපත් මනෝභාවයන්ගෙන් අපේ මනස කිලුටුවෙලා නම්, කරන්නා වූ පින්කම දුබල වෙනවා. එයින් එක්තරා පිනක් සිදුවුණත් එය සසර ගමනේ සැරිසරන සත්‍වයාට යම් ආමිස ලාභයක් ගෙන දෙන්න පමණයි සමත් වෙන්නේ. එය තවදුරටත් භව ගමනේ මේ සත්ත්වයා දුක් විඳිමින් ඇදගෙන යන්නා වූ තවත් එක් සංස්කාර පරම්පරාවක් පමණයි. නිවන් දකින්නට එය හේතු වෙන්නේ නෑ.

නිවන නමැති බලාපොරොත්තුව තිබුණත්, නිවන නමැති සායම් මේ වස්ත්‍රයට පොවන්න ඒ තැනැත්තා බලාපොරොත්තු වුණත්, අරගෙන තිබෙන වස්ත්‍ර කිලුටුයි. කිලුටු වස්ත්‍රයකින් නියමිත වර්ණය ලබන්නට බෑ. එයින් බුදුහාමුදුරුවෝ දේශනා කළා යමෙකුට පාරමිතා පුරන්නට අවශ්‍ය නම් එය පවිත්‍ර වූ සිතකින්ම විය යුතුයි. යමෙකුට නිවන් දකින්නට අවශ්‍ය නම්, ඒ සඳහා ප්‍රතිපත්ති පුරන්නට අවශ්‍ය නම් එය ශුද්ධ වූ සිතකින්ම විය යුතුයි. ශුද්ධ වූ සිත ඇතිකර ගන්නේ කොහොමද? නැවත නැවත සිත අනුව සොයා බැලිය යුතුයි. ඒ අනුව අනුපස්සනා කළ යුතුයි. සතිපට්ඨානයේ පිහිටුවිය යුතුයි. නැවත නැවත යමෙක් සතිපට්ඨානය පුහුණු කරමින් සිත අනුව සොයා බලනවාද? ඒ තැනැත්තා සිතේ දෝෂ දකිනවා. සිතේ දෝෂ යම්කිසි කෙනෙක් හරි හැටි දකිනවාද? ඒ තැනැත්තාට පුළුවන්කම තියනවා සිත පවිත්‍ර කර ගන්නට. එසේ යමෙක් පවිත්‍ර කරනවාද ඒ තැනැත්තා තමන්ගේ පරමාර්ථය වෙත ඉක්මනින් ළඟා වෙනවා. තමන්ගේ පරමාර්ථය සාක්ෂාත් කර ගන්නවා.

දිනපතා පිරිසුදු කළොත් පහසුයි

මේ විදිහට කිලිටි වෙන්නා වූ වස්ත්‍රය නැවත නැවත සේදුවොත් පමණයි අපට එහි කිලුට දකින්නට පුළුවන් වෙන්නෙ. ඒ වගේම සේදීම පහසු වෙන්නෙ. පින්වතුනි ගෙදර පාවිච්චි කරන කඩමාල්ල, ඒ වළං බාන්නට ගන්න සුදු වස්ත්‍රය දිනපතාම හෝදනවා නම්, ඒ කාර්යය බොහොම පහසුයි. විනාඩි කීපයකින් ඒක කරලා අහවර කරන්න පුළුවන්. හැමදාමත් එක්තරා මට්ටමකින් ඒ රෙදිකෑල්ල පවත්වා ගන්නට පුළුවන් අපහසුවක් නැතිව. නමුත් මාස දෙක තුනක් මේ වස්ත්‍රය සුද්ධ නොකර තියලා පින්වතුන් එය සෝදන්නට ගත්තොත් එහි ස්වභාවය කුමක්ද? සබන් දාලා ඒ කුණු ඉවත් කරන්නට බෑ. වෙන උපක්‍රමයක් කරලා ඒ කුණු ඉවත් කරන්නට බෑ. කොතෙක් ඉවත් කළත් එක්තරා අඳුරු පැහැයක් ඒ තුළ ගැබ්වෙලා තියනවා. ඇයි මේ? කුණු වැඩි වෙන්න වැඩි වෙන්න එය ශක්තිමත් වෙනවා. එය ඇතුළට කා වදිනවා. එහි කිඳා බහිනවා. එය පවිත්‍ර කරන්නට ලෙහෙසියෙන් බෑ. එය පවිත්‍ර කිරීම පහසු නෑ.

මම ලෙනේ ඉන්නකොට කැලයට ඇතුල්වෙලා ලෙන ළඟට යන තෙක් ඒ පාර හැමදාම අතුගාලා ශුද්ධ කරනවා. ඒ මක්නිසාද? කූඩැල්ලන්ගෙන් සර්පයන්ගෙන් ආදිය කරදර පැමිණෙන්නට පුළුවන් නිසා. මේ කාර්යයට මට යන්නේ දවසකට පැය භාගයක් පමණයි. බොහොම ඉක්මනින් කොළ ටික එහාට මෙහාට අතුගාලා දාලා පාර ශුද්ධ කර ගන්නට පුළුවන්. පසුගිය මාසයක් පමණ මම ලෙනට යන්නෙ නැතුව හිටියා. ඊට පසුව නැවත වතාවක් ලෙනට යන පාර ශුද්ධ කරන්න උත්සාහ කළා. පැය එක හමාරක් එක දවසක උත්සාහ කළා ඉවර කර ගන්නට බැරි වුණා. දෙවැනිදා තව පැය එකහමාරක් උත්සාහ කළා. ඒත් බැහැ. තුන්වැනි දවසෙත් පැය එකහමාරක් උත්සහ කළා. ඒත් නිම වුණේ නෑ. හතරවැනි දවසෙත් පැය එකහමාරක් උත්සාහ කරලා තමයි ඒ කටයුත්ත නිම කර ගත්තෙ. දවස් හතරක් පැය එකහමාර බැගින් පැය හයක්. වෙනදා ගත කරන කාලය වගේ දොළොස් ගුණයක් මට ගත කරන්නට සිද්ධ වුණා ඒ පාර ශුද්ධ කරලා නිම කරගන්නට. ඒ කුමක් නිසාද? නැවත නැවත අපවිත්‍ර වෙලා. එය කිඳා බැහැලා. එය කා වැදිලා එය ශුද්ධ කිරීමට අපහසු වෙලා. යමෙක් යමක් නැවත නැවත දිනපතා ශුද්ධ කරනවා නම් දිනපතා පවිත්‍ර කිරීම පහසු කාර්යයක් වෙනවා. ඒක ලේසි කාර්යයක් වෙනවා. ඒකට වැඩි ආයාසයක් අවශ්‍ය නැහැ. ඒ වගේම හැමදාම පවිත්‍රත්වය රැක ගන්නත් පුළුවන්. අර විදිහේ අඳුරු බවක් පවතින්නෙත් නෑ.

ඒ ආකාරයට බුදුහාමුදුරුවො දේශනා කරනවා සතිපට්ඨානය, මේ විදර්ශනාව, එහෙම නැත්නම් මේ අනුපස්සනාව නැවත නැවත කරන්නට ඕන. ඒක මාසෙකට දවසක් සිල් ගත්තු දවසට පමණක් නොවෙයි. භාවනා පන්තියට ආපු දවසට විතරක් නෙමෙයි. අවුරුද්දකට වරක් භාවනා ස්ථානයකට ගිහිල්ලා දවස් කීපයක් නැවතිලා පමණක් නොවෙයි. එහෙම කිරීමවත් හොඳයි. නමුත් ඊට වඩා නැවත නැවත ශුද්ධ කරන්නට අපි උත්සාහවත් වන්නට ඕන.

නමුත් අලසයි

පින්වතුන්ට ඒ විදියට නැවත නැවත ශුද්ධ කිරීමෙන් සැබෑ පවිත්‍රත්වයට යන්නට පුළුවන් වුණත් අපේ මනස ඒකට කැමති නෑ. අපි ඒකට නැඹුරු වෙන්නේ නෑ. අපට ඕනේ එක පාරටම ඒක කර ගන්නට. මිනිස්සුන්ට ඕනෑ වෙනවා සිත නැවත කිලිටි නොවන හැටියටම පවිත්‍ර කරන්නට. ඒ නිවනයි. රාගයෙන් සිත පවිත්‍ර කරන්නට, ද්වේෂයෙන් සිත පවිත්‍ර කරන්නට, මෝහයෙන් සිත පවිත්‍ර කරන්නට මිනිස්සුන්ට ඕනෑ වෙනවා. එහි පූර්ණ පවිත්‍රත්වයක් මිනිස්සුන්ට ඕනෑ වෙනවා. ඒ නිසා බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරනවා මේ පිනෙන් මම නිවන් දකිම්වා කියලා. බණ අහලත් ප්‍රාර්ථනා කරනවා. තව බොහෝ පින්කම් කරලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා මට මේ පිනෙන් නිවන් ලැබේවා කියලා. ඇයි? මිනිස්සුන්ට හැබෑවටම පවිත්‍රත්වය අවශ්‍යයයි. නමුත් අලසයි.

පින්වතුන්ට හැමදාම හවසට විනාඩි දහයක් භාවනා කරන්න, චිත්තානුපස්සනාව වඩන්න, සිත ගැන හොයා බලන්න, දවසේ වෙච්ච අඩුපාඩු මොනවද කියලා හිතන්න කිව්වොත් කවුද මේකට සූදානම් වෙන්නේ? සීයට එක්කෙනෙක්වත් මේ කාරණයට සූදානම් වෙන්නේ නෑ. ඇයි ඒ? මිනිසුන්ට ඕනකමක් නෑ ඒකට විනාඩි පහක් දවසෙන් වෙන් කරන්න. එතරම් කැපවෙන්න සූදානම් නැහැ. නමුත් පූර්ණ පවිත්‍රත්වයක් ඒ අයට අවශ්‍යයි. ඒ නිසා අද කාලේ සමහර කෙනෙක් වෙනත් වෙනත් කෙටි ක්‍රම හොයනවා. වෙනත් වෙනත් උපක්‍රම හොයනවා. නිවන් දකින්නට, ඒ අය කල්පනා කරනවා මේක මේ විදිහට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක එක පාරටම කරගන්නට පුළුවන් අනාගතේ බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවො දැක ගත්තොත්, උන්වහන්සේගෙන් බණ පදයක් ඇහුවොත් සුටුස් ගාලා නිවන් දකින්නට පුළුවන් කියලා. ඒ විදිහට සැරියුත් හාමුදුරුවො නිවන් දැක්කෙ. මුගලන් හාමුදුරුවො නිවන් දැක්කෙ. පස්වන තවුසන් නිවන් දැක්කෙ. ඇයි මට බැරි වෙන්නේ? ඒ නිසා මමත් පතනවා මෛත්‍රී බුදුහාමුදුරුවො කියලා සියලු පින්කම් කරමින් මෛත්‍රී බුදුහාමුදුරුවො පතනවා. ඒ වගේම තව සමහරු කියනවා භාවනා කරලා වැඩක් නෑ ඕකෙන් පලක් නෑ. බණ අහන්නට ඕනෙ නිවන් දකින්න කියලා.

පුහුණුව අවශ්‍යයි

මේ විදිහට ධර්මයේ නාමයෙන් බොහෝ මිථ්‍යා දෘෂ්ටීන් මේ ශ්‍රී ලංකාව තුළ දස දහස් ගණන් බිහිවෙමින් තියෙනවා පින්වතුනි. ඒවට නැවෙන පින්වතුන් ඉන්නවා. ඒවා හැබෑවමයි කියලා පිළිඅරගෙන ඒවායින් අසරණ වුණු ඇතැම් පින්වතුන් අපට බොහෝ අවස්ථාවලදී මුණ ගැහෙනවා. ඒ අයට කිසිම අවස්ථාවක පැහැදිලි කරලා දෙන්න බෑ ඕක ඔහොම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. කිසිදාක කියා දෙන්න බෑ. සැරියුත් හාමුදුරුවො බණ පදයක් අහලා සෝවාන් වුණෙ කොහොමද කියලා ඒ අයට කවදාවත් තේරුම් කරලා දෙන්න බෑ. ඒ සෝවාන් වෙන්නට පුළුවන් වුණේ උන්වහන්සේගේ සිත බොහෝ සේ පවිත්‍ර කරලා තිබුණා.

භව ගණනාවක් අනත්ත වාරයක් සිත පිරිසිදු කරලා. පිරිසිදු කළා වූ සිත පඬු භාජනයේ එහෙම නැත්නම් සායම් භාජනයේ එබූ පිරිසිදු සුදු වස්ත්‍රයක් වගේ මනා පැහැය ගන්නවා. ඒකට අමුතු කාලයක් ගතවෙන්නේ නෑ. මේකට සිත පවිත්‍ර කරලා තියෙන්නට ඕන. පවිත්‍ර නොකෙරුවානම් ඒ තත්ත්වය ඇති කරගන්න බෑ.

ඒ නිසා එසේ බණ අහලා නිවන් දකින්නට හෝ මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකින්නට කරන ප්‍රාර්ථනාව සඵල වෙන්නට නම්, අපි තේරුම් ගන්නට ඕනෙ. මගේ සිතේ ස්වභාවය කොහොමද? මෙවන් සිතක් පවත්වාගෙන ගිහිල්ලා බණ අහලා මට පුළුවන් වෙයිද නිවන් දකින්නට? මේ අනන්ත සසරේ අපිට බුදුවරු හමුවෙලා නැද්ද? ඒ තරම් අභාග්‍ය සම්පන්න නැහැ මේ කිසිකෙනෙක්. ඕනෑ තරම් බුදුවරු හමුවෙලා ඇති. ඕනෑ තරම් බණ අහලා ඇති. ඇයි එහෙමනම් නිවන් නොදැක්කේ? අපේ සිත ඒකට සුදුසු තත්ත්වයට පිරිසිදු වෙලා නෑ. අපේ වස්ත්‍රය පවිත්‍ර කරගෙන නෙමෙයි අපි සායම් පොවන්න ගිහින් තියෙන්නෙ. ඒ නිසා අපේ ඒ කාර්යය සාර්ථක වෙලා නෑ.

සිත පිරිසිදු නම් වහා වැටහෙනවා

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් පවිත්‍ර කළාවූ වස්ත්‍රයක් සායම් බඳුනේ ඔබනවා නම් ඒ සැණින් ඔහුගේ ප්‍රාර්ථනාව ඉටුවෙනවා. එවන් පුහුණු කළ මනසක් ඇති උත්තමයින්ට පමණයි බුදු කෙනෙකුන් හමුවේ බණ අහලා නිවන් දකින්න හැකි වෙන්නෙ. ඒ තත්ත්වයට පත්විය හැක්කේ සිත අනුව නැවත නැවත සිහිය පවත්වමින් ක්ලේශයන් මැඩපවත්වාගෙන සිත පවිත්‍ර කළා වූ වීර්යවන්ත උත්තමයෙකුට පමණයි පින්වතුනි. එයින් පිටස්තර කිසිවෙකුටවත් ඒ තත්ත්වය සාක්ෂාත් කරන්නට අමාරුයි. බුදුහාමුදුරුවො සැරියුත් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි බණ කිව්වේ. මුගලන් හාමුදුරුවන්ට විතරක් නෙමෙයි බණ කිව්වෙ. පස්වග තවුසන්ට විතරක් නෙමෙයි බණ කිව්වෙ. කොසොල් රජතුමාට බණ කිව්වා. ඇයි නිවන් නොදැක්කේ? කොසොල් මහ රජ තුමාට දේශනා කළ සූත්‍ර සමූහයක් අපේ බණ පොත්වල ”කෝසල සංයුත්තය” ලෙස වෙනම සඳහන් වෙලා තියනවා. ඒ වගේම මල්ලිකා දේවියට දේශනා කළ සූත්‍ර බොහොමයක් සඳහන් වෙනවා. ඒ වගේම දේවදත්ත හාමුදුරුවො මුල් කරගෙන දේශනා කළ සූත්‍ර තියනවා. අජාසත්ත රජ්ජුරුවෝ මුල් කරගෙන දේශනා කළ සූත්‍ර තියනවා. කෝ ඒ අය නිවන් දැක්කද? කිසිකෙනෙක් නිවන් දැක්කෙ නෑ. ඇයි එහෙම වෙන්නට හේතුව? ඔවුන්ට ඒ සඳහා සුදුසු කම් තිබුණෙ නෑ. කුමක්ද සුදුසුකම? පුහුණු කළා වූ මනසයි. පුහුණු කළ පවිත්‍ර වූ මනස තුළට ඒ ධර්මය කිඳා බසිනවා. පුහුණු නොකළ, කිලිටි වූ මනසකින් ඒ තත්ත්වය ළඟා කරගන්නට පුළුවන් කමක් නෑ.

ඒ නිසා යම්කිසිකෙනෙකුන්ට පුළුවන්නම් නැවත නැවත තමන්ගේ මනස පවිත්‍ර කරන්නට, ඒ තැනැත්තාට තමන්ගේ අභිප්‍රාය මැනවින් ඉටුකර ගන්නට පුළුවන් වෙනවා. අර විදිහෙන් එය කරන්නට අලස වෙලා, දිනපතා ඉතා පහසුවෙන් ඉතා හිමින් කරන්නට පුළුවන් ඒ ක්‍රියාව පැත්තකට දාලා අපි එකවර සියල්ල කරන්න ගිහින් බොහොම වෙහෙසකට පත්වෙනවා. අපි දුකට පත් වෙනවා. එහෙම දුකට පත් වෙනකොට අපිත් එක්කලා ඇවිල්ලා කියනවා “අනේ හාමුදුරුවනේ මට හරියට කේන්ති යනවා. ඒ කේන්තිය අඩු කරගන්න මට ක්‍රමයක් කියා දෙන්න.” “උපාසකම්මෙ ඒකට හවසට මල් පූජා කරලා ටිකක් භාවනා කරන්න.” දවසක් කරනවා දෙකක් කරනවා. සතියක් කරනවා. “මේක කලාට පලක් නෑ. හාමුදුරුවනේ. කේන්තිය කොහොමටවත් අඩුකර ගන්නට බෑනෙ” කියලා ඉතින් අපි සමග ඇවිල්ලා මැසිවිලි කියනවා. ඇයි මේකට මැසිවිලි? දිනපතාම තමන්ගේ මනසට ඇතිවෙන්නා වූ ආවේගකාරී සිතුවිලි ගැන නුවණින් විමසා බලන්නට තරම් මනස සූදානම් නෑ. නමුත් තරහා යාම අඩු කරගන්නටත් ඕන.

නොපෙනෙන තැන පිරිසිදු කම

මෙන්න මේ විදිහේ තත්ත්වයකට අපේ මනස හුරුවෙලා තියනවා පින්වතුනි, අපි ශුද්ධ කරන්නට පවිත්‍ර කරන්නට පෙළඹෙන්නේ අන් අය දකිනවානම් පමණයි. එසේ නොදකිනවානම් ඕනෑම කුණු ගොඩක් ගෙයි මුල්ලේ තිබුණාට කමක් නෑ. ගේ පවිත්‍ර කරන්න, අතු ගාන්න, බිම පොලිස් කරන්න, මකුළු දැල් කඩන්න පින්වතුන් පෙළඹෙන්නේ මඟුල් ගෙයක් ළං වෙනකොට. එහෙම නැත්නම් පිංකම් ගෙයක් ළං වෙනකොට, එහෙම නැත්නම් තමන්ගේ නිවසට මිත්‍රයෙක් පැමිණෙන දවසට පමණයි. ඇයි මෙහෙම කරන්නෙ. ගෙදරට එන යන අය දැක්කොත් හොඳ නෑ. මේවා ශුද්ධ කරපං පුතේ කියලා ඔක්කොම එකතු කරගෙන බොහෝ මහන්සිවෙලා ගේ දොර පවිත්‍ර කරනවා අපි බොහෝ වාරවල දැකලා තියනවා. ඇයි එහෙම කරන්නේ? මිනිස්සු හිතනවා මේක අනිත් අය දැක්කොත් හොඳ නෑ කියලා. ඒක ලැජ්ජාවට කරුණක් කියලා. ඒක තමයි කියන්නේ ලෝක අපවාදයට බියෙන් පවිත්‍ර කරනවා. ඒකත් හොඳයි. ඒකත් කළ යුතුයි. නමුත් නිවන් දකින්නට උත්සාහ වන පුද්ගලයා ලෝක අපවාදයට බියෙන් පමණක් මේක කරලා හරි යන්නේ නෑ. එයට හැබෑ උනන්දුවක් තියෙන්න ඕන. එයට හැබෑම ඕනෑකමක් තියෙන්න ඕන පින්වතුනි. එහෙම නැතුව පවිත්‍ර කළාට පලක් නෑ.

බාහිර ජීවිතයේ අපි මේ කරන ක්‍රියාකාරකම් හැමදෙයක්ම අපේ මනස හා සම්බන්ධයි පින්වතුනි. අපේ මනසින් සිතලයි මේවා කරන්නේ. ඒ නිසා ගේ පවිත්‍ර කරගන්නට, තමන් පාවිච්චි කරන පිඟාන සෝදා ගන්නට. එය මැදලා පවිත්‍රව තියාගන්නට ඕන නැති මනුෂ්‍යයාට, නොපෙනෙන සිතක් පවිත්‍ර කරන්නට ඇති අවශ්‍යතාවය මොකක්ද පින්වතුනි? කිසිදාක එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නෑ. තමන් වතුර බොන කෝප්පේ මැදලා ශුද්ධ පවිත්‍ර කරලා තියා ගන්නට පෙළඹෙන්නේ නැත්නම් ඒ මනුෂ්‍යයා නොපෙනෙන සිතක් පවිත්‍ර කරනවා කියන්නේ? කිසිදාක සිද්ධ වෙන්නේ නෑ. තමන් කාපු බත් ටිකේ ඉතුරු වෙච්ච ඉඳුල් ටික කුණු ඉවත් කරන භාජනයේ ළඟට ගිහිල්ලා පිටතට විසිරෙන්නේ නැතිව ඒකට හලන්නට තරම් තමන්ට සංයමයක් නැත්නම් එවන් මනුෂ්‍යයා කරන භාවනාව මොකක්ද? එවන් මනුෂ්‍යයා ඇති කරන පවිත්‍රත්වය මොකක්ද? එවන් මනුෂ්‍යයා රකින ශීලය මොකක්ද? එවන් මනුෂ්‍යයාගේ මනසේ කවදාද සංවරයක් ඇති වෙන්නෙ? ඒ බඳුන ළඟට ගිහිල්ලා තමා නිසා ලෝකය අපවිත්‍ර නොවී, තමා නිසා අපවිත්‍ර වනදේ පවිත්‍ර කරන්නට තරම් තමන්ට සංයමයක් මනස තුළ නැතිනම්, නොපෙනෙන දෙයක් පවිත්‍ර කරන්න කිසිදාක සූදානම් වෙන්නේ නෑ පින්වතුනි.

මිනිස්සු දේව පූජාවකට යනකොට පොල් ගෙඩියක් හෝදනා කහ දියරෙන් බුලත් කොලෙත් හෝදනවා. සත පනහත් හෝදනවා. ඒ වගේම ඔලුවේ දෙහි ඇඹුල් ගාලා හෝදනවා නානවා. නමුත් බුද්ධ පූජාව තියන කොට ඒ එක ක්‍රියාවක්වත් කරනවද? ඇයි එහෙම නොකරන්නෙ? මිනිස්සු හිතනවා දේව පූජාවට ගෙනියන දේ දෙයියෝ දකිනවා. දෙයියෝ ජීවත් වෙනවා. බුදුහාමුදුරුවො නෑ. නැති වෙච්ච තැන කොහොමද ඒවා දකින්නේ? ඒ හැඟීම මිනිස්සුන්ගෙ සන්ථානයේ කිඳා බැහැලා තියනවා. මෙහෙම මේ කියන ආකාරයටම අපේ සිතේ මතු නූනට අභ්‍යන්තරයේ තියන සංකල්පය එයයි. දේව පූජාවක් තියන්න ග්‍රහ අපල දුරු වෙන්නට කියලා කිව්වොත් මිනිස්සු මොන දහදුක විඳගෙන හරි කතරගම ගිහිල්ලා රුපියල් දහසක් රුපියල් පන්දහසක් වුණත් ඒකට වියදම් කරනවා.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *