විභජ්ජවාදී බුදුරජාණන් වහන්සේ

cmadurawala
9 Min Read

අතිපූජ්‍ය අම්පිටියේ රාහුල නාහිමි

ලොව ඇතිතාක් හැම දෙයක්ම ඇතිතාක් විශේෂ විභාගයන් හෙළි කොට වෙන වෙනම බෙදා දේශනා කළ බැවින් විභජ්ජවාදී නම් වන සේක. උන්වහන්සේ මේ කුසල්ය, එයින් මෙතෙක් කාමාවචරය, මෙතෙක් රූපාවචරය, මෙතෙක් අරූපාවචරය, මෙතෙක් භවගාමී කර්මය, ඔවුහු මේ මේ තියෙන් රැස් කරන ලද්දාහු නම් වට්ටානුසාරී (සසර ඇවිදින්නට = පැවැත්මට හේතු) වෙති. මේ මේ නියෙන් රැස්කරන ලද්දාහු නම් විවට්ටූපනිස්සය (සසර දුකින් මිදෙන්නට = නිවන් ලබන්නට උපකාර) වෙති. මෙසේ ගති – කාල – උපධි – ප්‍රයෝග විපත්තීන්ගෙන් බාධිත වූහු නම් නිසි සේ විපාක නොදෙති. නොඑසේ වූහු නම් සපුරා විපාක දෙති. මේ මේ කුසල් නෛර්‍ය්‍යාකණිකයහ, (නිවනට පමුණුවති) යන ආදී වශයෙන් කුසලයන් මෙන් අකුසලයන් ද, අව්‍යාකෘතයන් ද, රූප වේදනා ආදී ස්කන්ධයන් ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී ධාතුන් ද චක්ඛු, සෝතාදී ආයතනයන් ද ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි ආදී ඉන්ද්‍රිය ධර්මයන් ද දුක්ඛ සමුදය ආදී සත්‍යයන් ද වෙනත් නොයෙක් දහම්හි ඇතිතාක් ප්‍රභේදයන් වෙන් වෙන් කොට බෙදා වදාළ බැවින් සකල ධාතුවෙහිම පහළ වූ එකම (අසහාය වූ) විභජ්ජවාදි ශාස්තෘන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේමය.

විමසන්නටත් සිතන්නටත් දුන් නිදහස

කොතරම් උසස් තැනැත්තකු විසින් වුවත් නිකම් කී පළියටම කිසිම කීමක් එපමණින් විශ්වාස නොකොට තමන්ගේ නුවණිනුත් විමසා බලා කරුණු සහිතව මැනැවැයි වැටහේ නම් පිළිගත යුතු යැයි වදාළ සේක. බුද්ධ ධර්මය විමසා බලා පරීක්ෂා කළ තරමටම එය දීප්තිමත් වේ. එහි රසාස්වාදය ද විඳිය හැකි වේ. මිනිසා විසින් සිතිය යුතු ආකාරය ද කාලාම සූත්‍රාදීන්හි මැනැවින් දක්වා තිබේ. ‘ඒවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානො විවටෝ පකාසිතෝ ජිනන්පිලොතිකෝ’ යනුයෙන් මහණෙනි, ම’විසින් ධර්මය මනාකොට දෙසන ලදී. හෙළිකොට දක්වන ලදී. විවෘත කරන ලදී. පවසන ලදී. වැසුම් පහකරන ලදී යි ප්‍රකාශ කළ සේක. බුද්ධ ධර්මයෙහි කිසිවක් සඟවා තබා නැති බවත් සියල්ල විවෘත කොට ඇති බවත් එබැවින් බුදු දහම හොඳ හැටි පරීක්ෂා කර බලාම පිළිගත යුතු බවත් වදාළ සේක.

නෛර්‍ය්‍යාණික මාර්ග දේශකයන් වහන්සේ

බුද්ධාගම එකාන්තයෙන් නෛර්‍ය්‍යාණික = නිවනට පමුණුවන හෙවත් සසර දුකින් මිදීමට හේතුවන ධර්මයෙකි. වෙන වචනයකින් කියතොත් මෝක්ෂ මාර්ගයෙකි, සත්ත්වයාගේ මෙලොව පරලොව දියුණවට කරුණු මහා රාශියක් දේශනා කොට ඇතත් බුද්ධ ධර්මය වදාළේ රාග, ද්වේෂ, මෝහාදී ක්ලේශයන් නසා පරම විශුද්ධිය වූ නිවන ලැබීමටය. සංසාර විමුක්තිය පිණිසය. ඊට ඇත්තේ එකම මාර්ගයෙකි.

‘එසෝව මග්ගෝ නතත්‍ථඤඤේ – දස්සනස්ස විසුද්ධියා’

මාර්ගඵල සංඛ්‍යාත දර්ශනයාගේ විශුද්ධියට (නිවනට) ඇත්තේ මේ මාර්ගයම ය (ආර්ය අෂ්ටාංගික මාර්ගය මැයි) අන් මඟක් නැත.

‘එතම්හි තුම්හේ පටිපන්නා – දුක්ඛස්සන්තං කරිසස්ථ
අක්ඛාතෝ වේ මයා මග්ගෝ – අඤ්ඤාය සල්ලසත්‍ථනං’

‘මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්නා වූ තෙපි සියලු දුක් කෙළවර කරව්. රාගාදි උල් උදුරන්නා වූ නිවනට පමුණුවන්නා වූ මේ ආර්යෂ්ටාංගික මාර්ගය ප්‍රත්‍යක්ෂ ඥානයෙන්ම දැන ඒකාන්තයෙන් මා විසින් ප්‍රකාශ කරන ලදී.’

‘තුම්හේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරෝ තථාගතා’

‘තොප විසින් මාර්ගාධිගමය පිණිස වීර්යය වැඩිය යුතුය. තථාගතවරු හෙවත් සර්වඥවරයෝ හුදෙක් නිවනට පමණුවන මඟ කියා දෙන්නාහු ම වෙති’ යි වදාළ සේක.

සීල – සමාධි – පඤ්ඤා යන ගුණකඳු තුනෙන් පිරිපුන් මේ අරිඅටැඟි මඟ නෛර්‍ය්‍යාණික මාර්ගය ද = මෝක්ෂ මාර්ගය ද වේ. මේ මෝක්ෂ මාර්ගය ගැන මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහතා කීවේ මෙසේය :- ‘මම ලෝකයේ සියලුම වැදගත් ආගම් විමසීමි. ඒ එක් ආගමයෙකවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආර්යෂ්ටාංගික මාර්ගයට වඩා යහපත් වූ හෝ සාරවත් වූ හෝ ධර්මයක් මා විසින් නොදක්නා ලදී. එබැවින් මම ඒ ආර්යෂ්ටාංගික මාර්ගයට අනුව පිළිපදිමි. මෙසේ බලන කල මැදුම් පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වෙන මේ අරිඅටැඟි මඟ නෛර්‍ය්‍යාණික මාර්ගය ද මෝක්ෂ මාර්ගය ද වේ.

මහා වීරයන් වහන්සේ

තම තමාගේ කිලිටිවීම හා පිරිසුදුවීම තම තමා කෙරෙහිම මිස වෙන තැනැත්තෙක් වෙන කෙනකුන් කිලිටිත් නොකෙරෙයි. පිරිසුදුත් නොකෙරෙයි යනු සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ යන ආදීන් නොයෙක් තන්හි ප්‍රකාශ කොට මිනිසුනට කාගේවත් රිස්සට බලාපොරොත්තුවෙන් ඉන්නට නොදී තම තමන්ගේ කටයුතුවල ඔවුන් උනන්දු කැරැවූ සේක. නොයෙක් අදෘශ්‍යමාන දෙවිවරුනට යාඥා නොකොට නැකැත් ගරු කොට සලකමිනුත් කල් යව යවා බලා නොහිඳ ප්‍රඥා පූර්වක වූ වීර්යයෙන් තම තමන්ගේ කටයුතු සම්පූර්ණ කරගන්නට වදාළ සේක. කොපමණ බාධා පැමිණියත් අභිමතාර්ථය මුදුන් පැමිණෙන තෙක්ම පසුබට නොවී ඉදිරියටම යන්නටත් අද අදම කටයුතු දේවල් හෙට අනිද්දාට කල් නොදමන්නටත් විරියෙන දුක්ඛං අච්චේති යනුවෙන් වීර්යයෙන් සියලු දුක් ඉක්මවන්නටත් අනුශාසනා කළ මහා වීරයන් වහන්සේය.

පිරිනිවන්පානා ප්‍රස්තාවයෙහි ඉතා ගිලන්ව පරිනිර්වාණ මඤ්චකයෙහි වැද හෙව සිටියදීත් තමන් වහන්සේ සොයා ආ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා වළක්වන්ට ඉඩ නොදුන් සේක. තමන් වහන්සේ වෙතට ඔහු කැඳවා ඇසූ ප්‍රශ්නයන් විසඳ ධර්ම දේශනා කොට ඔහු සෝවාන් ඵලයෙහි පිහිටුවා ලීමෙන් එබඳු දුර්වල ප්‍රස්තාවයෙහිදු තමන් වහන්සේ වෙත පැවැති නොපසුබස්නා ධෛර්යය ප්‍රකාශ කොට වදාළ සේක.

මහා ප්‍රාඥයන් වහන්සේ
දශබලඥාන

‘ඨානාඨානං විපාකෝ ච – මග්ගං සබ්බත්‍ථ ගාමිනං
නානා ධාතුයෝ ලෝකේ – අධිමුත්ති ච පාණිනං
ජානාති ඉන්ද්‍රියානං ච – පරෝපරියතං මුනි
ඣානාදි සංකිලේසාදි – ඤාණං විජ්ජාත්තයං තථා’

යනු හෙයින් ස්ථානාස්ථාන දන්නා නුවණ ය හෙවත් ඒ ඒ දෙය ඒ ඒ ලෙසින් වන්නට කරුණු මෙය නොවන්නට කරුණු මේ යැයි ඒ ඒ දෙයට කරුණු නොකරුණු පිරිසිඳ දන්නා නුවණය, කර්ම විපාක ඥානය හෙවත් තුන්කල්හි වූ සියලු කර්මයන්ගේ නානාවිධ විපකයන් තතු පරිදි දන්නා නුවණය, සුගති දුගති ආදී හැම තන්හි ප්‍රතිසන්ධි වශයෙන් යන පිළිවෙත් (මාර්ග) දන්නා නුවණය, අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා නුවණය, සත්ත්වයන්ගේ ඔවුනොවුනට වෙනස් විසිතුරු පෙවෙත් ඇති ආශයානුශය චරිතාධිමුක්තීන් වෙසෙසා දන්නා නුවණය, ඔවුන්ගේම ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන්ගේ මුහු කළ නොකළ උස් පහත් තරම් දන්නා නුවණය. ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසුම් පිරිසුදුවීම් සමවැදීම් නැඟීම් තොරතුරු වෙසෙසා දන්නා නුවණය, පෙර වුසූ කඳ පිළිවෙළ දන්නා නුවණය, සත්ත්වයන්ගේ ච්‍යුති උත්පත්තීන් දක්නා නුවණ ය ආශ්‍රවක්‍ෂය දන්නා නුවණ ය යන මේ දශ විධ ඥාන බලයෙන් යුක්ත වූ සේක.

චතුර් වෛශාරද්‍ය ඥානය

බුදුරජාණන් වහන්සේ ‘මම සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි, හෙවත් බුදු බව ලදිමි’ කී කල ‘ස්වාමීනි ඔබවහන්සේ විසින් මෙනම් ධර්ම කෙනෙක් අවබෝධ නොකරන ලදහ’යි කියන්නට නිසි කෙනෙක් ලොව නැත. ‘ක්‍ෂීණාශ්‍රවයෙමි හෙවත් රහත් වූයෙමි’ යි කී කල ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙතෙක් ආශ්‍රවයෝ (කෙලෙස්) නොනසන ලදහ’යි කියන්නට නිසිකෙනෙක් ලොව නැත. ‘මේ ධර්මයෝ ස්වර්ගයට මෝක්‍ෂයට අන්තරායකරයහ’ කී කල ‘නැත මේ ධර්ම අන්තරායකර නොවෙයි’ කියන්නට නිසි කෙනෙක් ලෝකයෙහි නැත, ‘මේ ධර්මයෝ නෛර්‍ය්‍යාණිකයහ (නිවනට පමුණුවති) යි කී කල ‘නැත මේ ධර්මයෝ අනෛර්‍ය්‍යාණිකයහ’යි කියන්නට නිසි කෙනෙක් ලෝකයෙහි නැත.

මේ සතර තන්හි බුදුරජාණන් වහන්සේගේ විශාරද භාවය මෙනෙහි කරන බුදුනට උපන් නුවණ චතුර්වෛශාරද්‍ය ඥානය නම් වේ.

ෂට් අසාධාරණ ඥාන

බුදුරජාණන් වහන්සේගේ ඥානයෝ බොහෝ වෙති. ඒ ඥාන අතරෙන් බොහෝමයක් මහ රහත්නට ද සාධාරණ වෙති. කිසිම ශ්‍රාවකයකුට නැති බුදුරජාණන් වහන්සේට පමණක්ම ඇත්තා වූ ඥානයෝ සදෙනෙක් වෙති. අන් කිසිවකුට නැති හෙයින් ඒ සනුවණ අසාධාරණ ඥාන නමින් හඳුන්වනු ලැබේ. ඔවුහු නම් :- ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය, ආසයානුසය ඤාණය, යමකපාටිහීර ඤාණය, මහාකරුණාසමාපත්ති ඤාණය, අනාවරණ ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය යන මොහුය.

  1. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය

මෙය සත්ත්වයන්ගේ ශ්‍රද්ධා, වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන්ගේ මුහු කළ නොකළ උසස් පහත් තරම් දන්නා නුවණයි. මොහුට ශ්‍රද්ධා අඩු ය, මොහුට වැඩිය, මොහුට සමය, මොහුට වීර්යය අඩු ය, මොහුට වැඩිය, මොහුගේ ඉන්ද්‍රිය ධර්ම තියුණු ය, මොහුගේ නොතියුණු ය. මොහු ධර්මාවබෝධයට සුදුසුය. මොහු නුසුදුසු ය යනාදී වශයෙන් සත්ත්වයන්ගේ ඉන්ද්‍රිය ප්‍රභේද දැනගත හැකි වන්නේ මේ නුවණින් සත්ත්වයනට ධර්මය අවබෝධ කැරැවීමෙහිලා මේ නුවණ බොහෝ උපකාර වෙයි. මේ නුවණින් තොර වූ හෙයින් අගසවු සැරියුත් මාහිමියන් වහන්සේ පවා ඇතැම්විට ඇතැමකුට ධර්මාවබෝධ කැරැවීමෙහි නොසමත් වූහ. බුදුරජාණන් වහන්සේම මේ නුවණින් පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් විමසා බලා ඔවුන් හට ගැළැපෙන සේ දහම් දෙසා ඔවුන් මඟ පලයනට පමුණුවන සේක.

  1. ආසයානුසය ඤාණය

‘ආසය’ යනු මිථ්‍යා දෘෂ්ටි, සම්‍යක් දෘෂ්ටි, කාම සිතිවිලි, විහිංසා සිතිවිලි, නෛෂ්ක්‍රම්‍ය සිතිවිලි ආදිය වැඩි වශයෙන් පුරුදු පුහුණු කළ සිතට නමකි. අරමුණක් ලැබුණු කල්හි උපදින්නට පිළිවන් සේ සිත්හි සැඟවී වාසය කරන කාමරාග, භවරාග, ප්‍රතිඝ, මාන, දෘෂ්ටි, විචිකිත්සා, අවිද්‍යා යන බලවත් ක්ලේශයෝ සත්දෙන ‘අනුසය’ නම් වෙති. සත්ත්ව සන්තානයන්හි හෙවත් සත්ත්වයන්ගේ සිත්හි පෙර පුරුදුවලට අනුව කිනම් ආසයයක් කිනම් අනුසයක් බලපවත්නේ දැයි දැනගන්නේ මේ නුවණින්ය. මෙය ද සත්ත්වයනට ධර්මාවබෝධ කැරැවීම පිණිස මහොපකාරී වේ. ඒ ඒ සත්ත්වයන්ගේ ආසය අනුසය බලා ඊට සරිලන ලෙස දහම් දෙසන්නේ මේ නුවණිනි.

‘අද්දසා ඛෝ භගවා බුද්ධචක්ඛුනා ලෝකං ඕලෝකේනේනා අප්පරජක්ඛේ මහාරජක්ඛේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ’ යනාදීන් වදාළ ලෙස ‘භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරණ සේක් කෙලෙස් අඩු කෙලෙස් වැඩි ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය තියුණු වූ එසේම නොතියුණු වූ හෙවත් මෘදු වූ ඉන්ද්‍රිය ධර්මයන් ඇති සත්ත්වයන් දැක වදාළ සේකැ’යි කියවෙන තැන්වල බුද්ධ චක්‍ෂුස හෙවත් බුදු ඇස නම් මෙකී ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණ, ආසයානුසය ඤාණ යන දෙනුවණයි. බුදු රජාණන් වහන්සේ මේ දෙනුවණින් ධර්ම අවබෝධ කරන්නට සමත් වූ සත්ත්වයන් පිළිබඳ කෙලෙස් බලපවත්නා වූ ප්‍රමාණය හා ශ්‍රද්ධා ඉන්ද්‍රියයන් දියුණු වී තිබෙන ප්‍රමාණයත් දැනගෙන ඔහුට ගැළපෙන පරිදි ධර්ම දේශනා කරන සේක.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *