දෙනගම සිරිවර්ධන
මේ සමන්පිච්ච මල්, සුවඳ දුම්, බුදුපියාණන් වහන්සේට පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!
මම ඒ සමාධි ප්‍රතිමා වහන්සේට මල් සහ සුවඳ දුම් පුදා නමස්කාර කළෙමි.
ශාන්ත, සමාධි සුවයෙන් වැඩසිටිනා බුදු පියාණන් වහන්සේ සමන්පිච්ච මලෙන් සහ සුවඳ දුමෙන් පිදූ මම බිම හිඳ ගතිමි. දෑස පියා ගතිමි.
“නමාමි බුද්ධං ගුණ සාගරන්තං”
ගුණ සාගරයක් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
ගුණ සාගරයක් වූ බුදුරජාණන්ට මම මගේ ජීවිතය ද පූජා කරමි.
මගේ සිතේ ඒ වචන මිමිණුවේය.
ඒ සමගම සිතෙහි තිගැස්මක් ද ඇති විය.
සමන්පිච්ච මල් පිරිසිදු පැන්වලින් නහවා තව දුරටත් පිවිතුරු බවට පත් කොට බුදු පියාණන්ට පිදූ මම මගේ ජීවිතය ද පූජා කළෙමි.
අති පිවිතුරු සුවඳ සමන්පිච්ච මල් සමග මගේ ජීවිතය ද පූජා කළෙමි.
“බුදු පුදට ගන්නේ යමක් ද එය පිරිසිදුවම ගත යුතුය.” මගේ ආදරණීය අම්මා මට ඉගැන්වූ පාඩමක් ඒ.
මා උන්වහන්සේට පූජා කළේ සමන්පිච්ච මල් බඳු පිරිසිදු ජීවිතයක් ද? පිරිසිදු පැන්වලින් සමන්පිච්ච මල් තවදුරටත් පිවිතුරු කළ මා මගේ ජීවිතය පිදුවේ කෙසේද?
ස්වාමීනි, මට සමාවුව මැනවි. සමන්පිච්ච මල් පැන් ඉස තවත් පිරිසිදු කොට පිදුවද මාගේ ජීවිතය කිළිටිය. මම නිසැකවම දනිමි. එය කෙළෙස්වලින් පිරී තිබේ.
කෙලෙස් යනු රාගය, ද්වේෂය, මෝහය.
මගේ සිත රාගයෙන් එනම් ඇලීම්, බැඳීම්වලින් ද්වේෂයෙන් එනම් ගැටීම්වලින්, මෝහයෙන් එනම් මුළාවෙන් පිරී තිබේ.
මා කිළිටියි. මා ඔබ වහන්සේට පිදීමට සුදුසු සමන්පිච්ච මලක් නම් නොවෙයි.
මගේ ඇස රූපයක් දැක ඇලෙයි, බැඳෙයි නැත්නම් ඒ සමග ගැටෙයි.
ඒ රූපය නිත්‍යයයි, සුන්දරයයි සිතා මුළාවෙයි.
මගේ කන ශබ්දයක් අසා ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමග ගැටෙයි. ඒ ශබ්දය නිත්‍යයයි, සුන්දරයයි සිතා මුළාවෙයි.
මගේ නාසය ගඳ-සුවඳ විඳ ඇලෙයි. බැඳෙයි, නැත්නම් ඒ සමග ගැටෙයි.
ඒ ගඳ-සුවඳ නිත්‍යයයි, සුන්දර යයි සිතා මුළාවෙයි.
මගේ දිව රසයක් විඳ ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමග ගැටෙයි.
ඒ රස නිත්‍යයයි, සුන්දරයයි සිතා මුළාවෙයි.
මගේ කය ස්පර්ශයක් විඳ ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමග ගැටෙයි.
ඒ ස්පර්ශය නිත්‍යයයි, සුන්දරයයි සිතා මුළාවෙයි.
මගේ සිත යම් අරමුණක් ගෙන එහි ඇලෙයි, බැඳෙයි, නැත්නම් ඒ සමග ගැටෙයි. ඒ අරමුණ නිත්‍යයයි, සුන්දරයි සිතා මුළාවෙයි.
ස්වාමීනි, මගේ සිත එබඳුය. ජීවිතය කිළිටිය.
එය සමන්පිච්ච මලක් මෙන් පිරිසිදු නැත. එය ඔබ වහන්සේට පිදීමට ඉදිරිපත් වූ මම යළි සමාව යදිමි.
ස්වාමීනි, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මම යළිත් සිත් යොමු කරමි. මගේ ඇසට රූපයක් පෙනෙන විට ඒ රූපයක් රූපයක් යි සිතා එයින් මිදෙමි. ඒ රූපය අයත් ගැහැනියකටය, පිරිමියකුටය. එය සුන්දරය, අසුන්දරය යන සිතිවිලිවලට ඉඩ නොදෙමි.
ඒ රූපය නිසා සතුටක්, මිහිරක් ඇති නොවේ. තරහක් අමනාපයක් ද ඇති නොවේ. රූපයක් දුටුවා එපමණයි. එය නිත්‍යයි. සුන්දරයි සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ රූපයක කවර සුන්දරත්වයක්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් සැදුණු රූපයේ ඇත්තේ පරමාර්ථ වශයෙන් ඒ ධාතු පමණි. එය මිනිසකු, ගැහැනියක පුද්ගලයකු ලෙස සලකන්නේ මුළාව නිසාය. මම මුළා නොවෙමි. ඒ රූපය අනිත්‍යයි. ඒ රූපය නොවෙනස්ව තබා ගැනීමට අනිත්‍යයට යෑමෙන් වළකා ගැනීමට නොහැකිය. රූපය මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතුය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්ම වන නිසාය. රූපය අනිත්‍යයි. අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.
ස්වාමීනි, මගේ කනට හඬක් ඇසෙන විට ඒ හඬක් හඬක් යනුවෙන් සිතනු මිස ඒ හඬ ගැහැනියකගේය,
මිනිසකුගේය,මිතුරියකගේය, මිතුරෙකුගේය. මගේ සතුරකුගේය නොසිතමි. එය හඬක් පමණි. එවිට මට ඒ හඬ නිසා ඇලීමක්, බැඳීමක් ඇති නොවේ. සතුරු හඬක් ය සිතී ගැටීමක් ද ඇති නොවේ.
ඒ හඬ නිසා සතුටක්, මිහිරක් ඇති නොවේ. තරහක්, අමනාපයක් ද ඇති නොවේ. හඬක් ඇසුණා පමණකි. එය නිත්‍යයි, සුන්දරයි සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ ශබ්දයක කවර සුන්දරත්වයක් ද? ඒ හඬ මිනිසකුගේය, ගැහැනියකගේය, කුරුල්ලකුගේය, සතුරකුගේය කියා සලකන්නේ මුළාව නිසාය. මම මුළා නොවෙමි.
ඒ හඬ අනිත්‍යයි. ඒ හඬ නොවෙනස්ව තබා ගැනීමට අනිත්‍යයට යෑමෙන් වළකා ගැනීමට නොහැකිය. හඬ මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතුය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. හඬ අනිත්‍යයි. අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.
ස්වාමීනි, මගේ නාසයට ගන්ධයක් දැනෙන විට ඒ ගන්ධයක්, ගන්ධයක් යනුවෙන් සිතනු මිස එය
ගැහැනියකගේය, මිනිසකුගේය, සතකුගේය, මලකය,
කුණුගොඩකය යනුවෙන් නොසිත එය ගන්ධයක් පමණි. එවිට මට ඒ හඬ නිසා ඇල්මක් බැඳීමක්, ආසාවක් ඇති නොවේ. පිළිකුළක්, තරහක්, අමනාපයක් ඇති නොවේ. ගැටීමක් ඇති නොවේ. ගන්ධයක් දැනුණා පමණි.
එය නිත්‍යයයි, සුන්දරයයි, සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ ගන්ධයක කවර සුන්දරත්වයක්ද? ඒ ගන්ධය ගැහැනියකගේය. මිනිසකුගේය, කුරුල්ලකුගේය. කුණු ගොඩකය කියා සලකන්නේ මුළාව නිසාය. මම මුළා නොවෙමි.
ඒ ගන්ධය අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීමට අනිත්‍යයට යෑමෙන් වළකා ගැනීමට නොහැකිය. ඒ ගන්ධය මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතුය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.
ස්වාමීනි, මගේ දිවට රසයක් දැනෙන විට ඒ රසයක්, රසයක් යනුවෙන් සිතනු මිස එය කිරිය, පැණිය, සීනිය, ඇඹුල්ය, තිත්තය, යනුවෙන් නොසිතමි. එය රසයක් පමණි. එවිට මට ඒ රස නිසා ඇලීමක්, බැඳීමක්, ආසාවක්, ගැටීමක්, අප්‍රසන්න බවක් ඇති නොවේ. රසයක් දැනුණා පමණි.
ඒ රසය නිත්‍යයයි, සුන්දරයි, සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ රසයක කවර සුන්දරත්වයක්ද? ඒ රසය සීනිය, කිරිය, පැණිය, තිත්තය, ඇඹුල්ය, කියා සලකන්නේ මුළාව නිසාය. මම මුළා නොවෙමි.
ඒ රසය අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීමට, අනිත්‍යයට යෑමෙන් වළකා ගැනීමට නොහැකිය. ඒ රසය මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතුය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි මම ඊට මුළා නොවෙමි එය අත්හරිමි.
ස්වාමීනි, මගේ ශරීරයට ස්පර්ශයක් දැනෙන විට ඒ ස්පර්ශයක්, ස්පර්ශයක් යනුවෙන් සිතනු මිස එය ගැහැනියකගේය, පිරිමියකුගේය, ගැරඬියකුගේය,
මදුරුවකුගේය යනුවෙන් නොසිතමි. එය ස්පර්ශයක් පමණි. එවිට මට ඒ ස්පර්ශය නිසා ඇල්මක්, බැඳීමක්, ආසාවක්, පිළිකුලක් ගැටිමක් අමනාපයක් ඇති නොවේ. ස්පර්ශයක් දැනුණා පමණි.
ඒ ස්පර්ශය නිත්‍යයයි. සුන්දරයයි සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ ස්පර්ශයක කවර නම් සුන්දරත්වයක් ද ඒ ස්පර්ශය ගැහැනියකගේය, පිරිමියකුගේය,
ගැරඬියකුගේය, මදුරුවකුගේය කියා සලකන්නේ මුළාව නිසාය. මම මුළා නොවෙමි.
ඒ ස්පර්ශය අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීම අනිත්‍යයට යෑමෙන් වළකා ගැනීමට නොහැකිය. ඒ ස්පර්ශය මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතුය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.
ස්වාමීනි, මගේ සිතට යම් අරමුණක් නැඟෙන විට එය අරමුණක්, අරමුණක් යනුවෙන් සිතනු මිස එය ගැහැනියක පිළිබඳවය, පිරිමියකු පිළිබඳවය, මිතුරකු පිළිබඳවය, සතුරකු පිළිබඳවය යනුවෙන් නොසිතමි. එය අරමුණක් පමණි. එවිට මට ඒ අරමුණ නිසා ඇලීමක්, බැඳීමක්, ආසාවක්, තරහක්, ක්‍රෝධයක් ඇති නොවේ. අරමුණක් හැඟුණා පමණි.
ඒ අරමුණ නිත්‍යයයි, සුන්දරයයි සිතා මුළාවේ නොවැටෙමි. අනිත්‍ය වූ අරමුණක කවර නම් සුන්දරත්වයක්ද? ඒ අරමුණ ගැහැනියක පිළිබඳවය, පිරිමියකු පිළිබඳවය, මිතුරකු පිළිබඳවය, සතුරකු පිළිබඳවය යනුවෙන් සිතන්නේ මුළාව නිසාය. මම මුළා නොවෙමි.
ඒ අරමුණ අනිත්‍යයි, එය නොවෙනස්ව තබා ගැනීමට, අනිත්‍යයට යෑමෙන් වළකා ගැනීමට, නොහැකිය. ඒ අරමුණ මගේ නොවන නිසාය. මගේ නම් මට පාලනය කළ හැකි විය යුතුය. එය මගේ ආත්මය නොවේ. එය අනාත්මයි. මම ඊට මුළා නොවෙමි. එය අත්හරිමි.
ස්වාමීනි, බුදුපියාණන් වහන්ස,
ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් ගන්නා අරමුණ, ඒ මොහොතේම අත්හරිමි. ඉතින් මගේ සිතට රාගය නොපිවිසෙයි. ද්වේෂය නොපිවිසෙයි. අනිත්‍යය, අනාත්මය වටහා ගන්නා හෙයින් මෝහය හෙවත් මුළාව ද සිතට නොපිවිසෙයි.
දැන් මගේ සිත පිවිතුරුය. කෙලෙසුන්ගෙන් මිදී තිබේ. සමන්පිච්ච මලක් මෙන් පිරිසිදුය.
ස්වාමීනි, දැන් මම මගේ ජීවිතය, සමන්පිච්ච මල් සමග ඔබ වහන්සේට පූජා කරමි. පූජා වේවා! පූජා වේවා!! පූජා වේවා!!!

