නාවල පිටියේ අනුරාධා සුධම්මිකා භික්‍ෂුණිය
(නිරුක්ති, පර්යාය වචන, මූලාශ්‍රය)
බණ” යන වචනයෙන් ‘ප්‍රකාශ කිරීම’ යන අදහස ද ‘බණවයි යන්නෙන් – ප්‍රකාශ කරවයි’ යන අදහස ද ලැබේ. මෙය හෙළ බසට ආවේණික වූ වචනයකි. එයින් ‘බැණැ, බණවැයි’ ආදී ‘ශබ්ද පරිණාම’ සහ ‘අර්ථ පරිණාම’ වීමෙන් ‘කතා කිරීම’ යන අදහස ලැබේ.
‘කතා කිරීම’ කළ යුතු යැයි බුදු දහමින් උපදෙස් දෙන ලද කතා අතර ‘දාන කථා, සීල කථා, සග්ග කථා, කාමානං ආදීනවං’ ආදී වශයෙන් ද නොකළයුතු කථා අතර ‘රාජ කථා චෝර කථා, ඉත්ථි කථා’ ආදී වශයෙන් ‘පාලි මූලාශ්‍රයන්හි යෙදෙන විශේෂ කථා ගැන ලේඛනයන්හි අපට හමු වේ. එයිනුත් ‘ධර්මය’ කථා කිරීම අර්ථ සම්පන්න කථා ලෙස හැඳින්විය හැකිය. එයින් ශ්‍රාවකයාගේ සිත අර්ථසම්පන්නව හෙවත් ධනාත්මකව වර්ධනය වීමක් සිදුවේ.
පාලි භාෂාවෙන් ‘ධම්ම දේසනා’ ලෙස ද සංස්කෘත භාෂාවෙන් ‘ධර්ම දේශනා’ ලෙස ද හෙළ බසින් ‘දම් දෙසුම, බණ දෙසුම’ ලෙස ද භාවිතයට පැමිණ තිබෙන්නේ ශාස්තෘන්වහන්සේගේ ඉගැන්වීම් පැහැදිලි කර දීමය. වෙනත් භාෂාවන්හි යෙදුම් සමග ‘බණ දෙසීම’ හෝ ‘ධර්ම දේශනා කිරීම’ කෙරෙහි සිංහල භාෂාවේ භාවිතය අප්‍රමාණ ගෞරවාර්ථයෙන් යුතුව යෙදී තිබේ. පාලි සංස්කෘත භාෂාවන්හි බලපෑම නිසා සිංහලයේ මූල භාෂාවන්හි වචන තත්සම, තත්භව ආදී වශයෙන් භාවිතයට පැමිණ තිබේ. ‘ධර්ම දේශනා’ යනුවෙන් විදග්ධ සම්ප්‍රදාය නියෝජනය වන සිංහල භාෂා ව්‍යවහාරය ගැමි ජන වහරේදී ‘බණ කීම’ යනුවෙන් භාවිත වේ.
වර්තමාන ජන සමාජයේ “බණ” අහන්ට යනවා, බණ කියන හාමුදුරුවෝ, “බණ” කියන්නේ කවුද? ‘බණ’ වර දෙසන්නෙ කොයි හාමුදුරුවෝද? රැයක් පහන් වනතුරු “බණ”, “බණ පිරිකර” ආදී වශයෙන් විවිධත්වයෙන් යුතු ව්‍යවහාර අසන්නට ලැබේ. එසේම “බණ මඩුව, බණ සාලාව, බණ පොත්” ආදී යෙදුම් ද හමු වේ. ඒ අනුව අපට දැනට ශේෂ වී ඇති ලාංකේය ලේඛන අතරින් සිංහල භාෂාවට අනුගත මෙම වචනය පළමුවරට හමුවන්නේ ක්‍රි.ව. 6, 7, 8 වන සියවස්වලට අයත් සීගිරි ගී සමුච්චයෙහි ය.
‘බණ’ යන වචනය කීමෙහි බිණීමෙහි යෙදේ. ‘බණත’ යනුවෙන් – කියන යන අරුත ද ‘බණතුජු – බණතුදු’ යන්නෙන් කථා කරතත්, කථා කළත් යන අරුත ද ලැබෙන බව සඳහන් වේ. සීගිරි ගීයක් ලියන ලද තැනැත්තකු සීගිරි සිතුවම්වලට සජීවී බවක් ආරෝපණය කරමින් එහි ඇති සීගිරි චිත්‍රවල ළඳුන් තමා ‘කථා කළත් කථා නොකරන බව ‘බණතුජු නොබෙණෙයි’ යනුවෙන් සඳහන් කර තිබේ.
“බණතුජු නොබෙණෙයි ඝ කථා කළත් නොකථා කරයි’ඝ කථා කළත් කථා නොකරයි” යනුවෙන් සිංහලයට ආවේණික වචන, වාක්‍ය රටාව දක්වා පරිණාමය වී තිබේ.
එමෙන්ම දේශනා කිරීම ‘දේසෙති’ යන පාලි ක්‍රියාපදය පරිණාමය වී සිංහලට පැමිණ ඇති නවතම වචනය වජාරයි ඝ වදාරයි’ යන වචනයයි. එහි වණ පෙරළියකින් ‘ජ’ වෙනුවට ‘ඳ’ පැමිණ ‘වදාරයි’ යනුවෙන් සකස් වී ඇත.
‘වජාරයි, වජාරති ඝ වදාරයි, වදාරති’ ආදී වශයෙන් වර නැඟෙන ශුද්ධ ආඛ්‍යාත පද මෙන්ම වජාරන, වදාරන බණ, බණ වජාරන හිමි, ආදී ක්‍රියා විශේෂණ මෙන්ම නාම විශේෂණ ලෙස ද විවිධ අවස්ථාවන්හි සිංහල භාෂාවෙහි වරනැඟෙනු දැකිය හැකියි.
‘වදාරණ බණ’ යන්නෙහි වර්තමාන කාල විශේෂණ පදයක් ලෙස ද ‘වදාළ බණ’ යන්නෙහි අතීත කාලය දනවන කෘදන්ත විශේෂණ පදයක් ලෙස ද යෙදී ඇති අයුරු හඳුනාගත හැකියි.
‘බණනවා, කථා කරනවා’ යන අදහස මෙහි ‘බණ’ යන වදනෙහි ගැබ් වී තිබේ. සාමාන්‍ය ව්‍යවහාරයේ වචන කථා කිරීමට වඩා ‘බුද්ධ ධර්මය කථා කිරීම’, ‘බුද්ධ ධර්මය සාකච්ඡා කිරීම’ නිසා කථා කිරීම යන්නෙහි අර්ථ සංවර්ධනයක් වී ඇති බව පැහැදිලි වේ.
‘බණ’ නම් වූ වචනය සැලකීමේදී එය ගැමි වහරෙහි යෙදෙන්නක් සේ පෙනෙන්නකි. මෙම වචනයේ ශබ්දකෝෂාර්ය විමසීමේදී, ධම්පියා අටුවා ගැටපදයේ සහ සිඛවළඳ හා සිඛවළඳ විනිස ග්‍රන්ථයන්හි ‘ධර්මය’ යන අරුත යෙදෙන බව ද ‘බණ අසුන’ යන්නෙන් ‘ධර්මාසනය’ ද (බුත්සරණ), බණකතා යන්නෙන් ධර්මකතාව ද (හංස සංදේශය), ‘බණ ගේ’ යන්නෙන් ‘ධර්ම ශාලාව’ (ථූපවංශය), ‘බණදහම්’ (ගිරා සංදේශය) යන්නෙන් ධර්මය ද, ‘බණපලඟ‘’ (අමාවතුර) යන්නෙන් ධර්මාසනය ද ‘බණපිරිස්’ (සද්ධර්මරත්නාවලිය සහ බුත්සරණ) යන්නෙන් ධර්මශ්‍රවණය කරන පිරිස ද ‘බණපොත්’ යන්නෙන් ධර්ම පුස්තක ද ‘බණමග’ (කාව්‍යශේඛරය) යන්නෙන් ධර්ම මාර්ගය ද ආදී අර්ථයන්හි යෙදේ.
ඉංග්‍රීසි ශබ්දකෝෂයේ පැහැදිලි කරන්නේ (sermon) ආගමික සංකල්ප ගැන, ආධ්‍යාත්මික සංවර්ධනය ගැන කතා කරන දීර්ඝ දේශන’ යන අරුතකි.
ලාංකේය ලේඛනවලින් අපට ලැබෙන “බණ” නම් වූ හෙළ වදන සීගිරි ගීවලින් පසුව හමුවන්නේ මිහින්තලා පුවරු ලිපිවලිනි.
“වසන් බණ රන් එක්කළන්ද්…’ වස්සාන බණ කියන හිමියනට රන් එක් කළඳක්” යනුවෙන් එකල ඒ ඒ නිලතල දරන පිරිසට දියයුතු පඩිනඩි සඳහන් වේ. ‘පවරුන් බණැස් මෙතෙක් මෙ ඉසා …” (පවාරණ දින ධර්ම දේශනාවේ දී එම ප්‍රමාණයම ද) “බණ වජාරන දැමිනට් ඉසා” “සුතත් දෙසන විනයදැමි…” ආදී වශයෙන් ‘බණ වජාරන’ යන දෙපදය පරිණාමය වී ඇත්තේ ‘බණ වදාරන’ ලෙස ය.
බෞද්ධයන්ට “බණ” යන වචනය විශේෂ වී ඇත්තේ ආධ්‍යාත්මික සැනසිල්ල හා බැඳුණු ඉගැන්වීමේ ක්‍රමය නිසයි. ඉන්දියානු සමාජයේ වේද ග්‍රන්ථ හැදෑරීම, ජ්‍යෝතිෂ්‍ය, කල්ප, නිරුත්ති ආදී දසඅටක් වූ ශිල්ප ඉගෙනීම මෙන්ම ඉගැන්වීම යන කරුණු රාජ්‍ය පාලනය සමග බැඳී තිබිණි. එම හැදෑරීම ගෞතම බෝසත් ජීවිතය සමග ද බැඳී තිබිණි.
බණ ඇසීමෙන් සිත් නිවී සැනසේ. අර්ථ සම්පන්න කටයුතු සිදුකිරීමට ධෛර්යය සැපයේ. බණ අසන කෙනා හෙවත් ධර්මය ශ්‍රවණය කරන්නා තුළ ආධ්‍යාත්මික සංවර්ධනය සිදු වේ.
කථා කිරීමේදී අරුත් සුන් වචන භාවිතයෙන් නොදියුණු හිත් දූෂ්‍ය වේ. කථා කිරීමෙන් පුද්ගලයෙක් ධනාත්මකව වෙනස් වේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් බණ දෙසුම් පවත්වන දේශකයාණන් වහන්සේත් බණ ඇසීමට සලස්වන යම් පිරිසක් හෝ කෙනෙක් වේ නම් ඒ අයත් කුසල් උපදවා ගනිති. බණ දෙසුම් සඳහා ස්ථානයක් (ධර්ම ශාලාවක්) ධර්මාසනයක්, දහම් පොතපත සපයා දෙන කෙනෙක් සම්පූර්ණ කරගන්නේ සත්පුරුෂ ධර්මයකි. කල්‍යාණ මිත්‍ර ධර්මයකි. අපේ සිත් සකස් කරගැනීමට යම් කෙනෙක් උපකාර කරන්නේ නම් මේ ලෝකයේ කළයුතු උසස්ම කල්‍යාණ ධර්මය එයයි.
‘බුධ් ඝ බෝධ් ඝ බෝධනෙ – බෝධති’ යන සංස්කෘත ආඛ්‍යාතයට, නිර්වචනයට, පදයට අනුව ‘අවබෝධය ලැබීම’ යන අරුත ලැබේ. එහෙයින් බුද්ධිමත්, ප්‍රඥාවත් පුද්ගලයා හෙවත් යම් ධර්මතාවක් අවබෝධ කළ හැකි පුද්ගලයා බෞද්ධ නම් වේ. ‘බුද්ධිමත්, ප්‍රඥාවත්’ යන අරුතින් ‘බෞද්ධ’ යන පදය සෑදී තිබේ. අපගේ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ කථා කළ වචන, දෙන ලද උපදේශ මේ ලෝකයේ පවතින සත්‍යය බව බෞද්ධ හැම දෙනාම පිළිගනිති. එම පවතින ස්වභාවය, යථාර්ථය හඳුනා ගැනීම, ධර්මතා නමින් ද එම යථාර්ථය ඉගැන්වෙන දහම කියා දීම ‘ධර්ම දේශනා’ යනුවෙන් හඳුන්වනු ලැබේ.
බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්මය කියා දීමෙන් මිනිස් සිත් හැදීම ද විනය හෙවත් සංස්කෘතිය කියාදීමෙන් සදාචාරවත් (සද්ූආචාරවත්) බව ද අපේක්ෂා කොට තිබේ. බුදුන් වහන්සේගේ ධර්ම දේශනා ‘ධර්ම-විනය’ පදනම් කරගත් දේශනා විය. සිංහල බසට පාලි භාෂාව කොතරම් සමීපද කිවහොත් එම වචන ඒ අයුරින්ම භාවිතයට පැමිණ තිබේ. ‘ධම්ම පදය’ යනු එවැන්නකි. බෞද්ධයාගේ අත්පොත ලෙස හඳුන්වන මෙම ග්‍රන්ථය, බුද්ධ දේශනාවන්ගෙන් උපුටාගත් ගාථා හාරසිය විසිතුනකින් හා වර්ග විසිහයකින් සමන්විත වේ. ‘ධම්ම’ යන වචනය පාලියෙන් යෙදේ.
අනුරාධපුර යුගයේදී රචිත සිංහල ග්‍රන්ථයක් ලෙස හමු වන ධම්පියා අටුවා ගැටපදයේ ‘ධම්ම’ යන පාලි වචනය වෙනුවට පළමුවරට ‘ධම්’ යන වචනය හමු වේ. පාලි ධම්මපදට්ඨකථාවේ ගැටලු පදවලට අරුත් සපයමින් ලියන ලද ගැටපදය – ග්‍රන්ථ නාමය ඍජුවම සිංහල බසට පරිවර්තනය කර ඇත්තේ “ධම්පියා (ධම්මපදය) අටුවා ගැටපදය” යනුවෙනි. එහි ‘ධම්’ යනුවෙන් මහාප්‍රාණ ‘ධ’ යෙදී ඇති අතර පශ්චාත්කාලීනව ‘ද’ අල්ප අක්ෂරය ලෙස උච්චාණය කරනු ලැබේ. එමෙන්ම ලේඛනයට ද එය ප්‍රවේශ වී ඇත්තේ “ධම්ම” ඝ ධම් යනුවෙනි.
බණ, දහම වීම ගැන සඳහනක් අපට හමු විය.
“බණ යනු බස යන අරුත් ඇත්තේයැ. “මගද සකු ඈ බණ” යනු සිදත් සඟරාකරුවෝ ම ඒ එසේ යොදති. බණනුයේ බණයි.
බණ යන්නෙහි මුල් අරුතත් බස යනු වුවද එය යෙදෙනුයේ ‘දහම’ යන අරුතෙහියැ. ‘බණ දෙසීම, බණ ඇසීම ඈ තන්හි එසේ යෙදී ඇති’ යනුවෙන් කුමාරතුංග මුනිදාස හෙළහවුලේ නිර්මාතෘවරයාණන් සඳහන් කොට ඇත.

ධර්ම දේශනා කිරීමේදී පිළිපැදිය යුතු කරුණු හෙවත් හික්මිය යුතු ආකාරය ගැන සාමණේර- සාමණේරීන් මෙන්ම භික්ෂු – භික්ෂුණීන් (උපසම්පදා ලද පැවිදි පිරිස මෙ නමින් හැඳින්වේ) ද හික්මිය යුතු ආකාරය ගැන ඉගැන්වෙන ශික්ෂාපද ‘සේඛියා’ නම් වේ. ඒවා හැත්තෑපහකි. එම ශික්ෂා පද හැත්තෑපහෙන් දොළහක් ඇත්තේ ‘පාවහන් නොපැලඳ පාවහන් පැලඳ සිටි කෙනකුට බණ නොකිය යුතු’ ආදී ‘බණ දෙසීම’ සම්බන්ධයෙන් හික්මිය යුතු කරුණු වශයෙනි. එම ශික්ෂාපද ‘බණ දෙසීම’ ගැන පාදුකා වර්ගයේ ඇති සේඛියා හෙවත් හික්මිය යුතු ශික්ෂා පද ලෙස නම් කර තිබේ.
අනුරාධපුර යුගයෙන් පසුව අපට හමුවන පොළොන්නරු සාහිත්‍ය යුගයේ දී ‘බණ’ නම් වූ වචනය හමු වන්නේ ‘ධර්ම’ යන සංස්කෘත පදයෙනි. ඒ ගුරුළුගෝමී පඬිවරයා විසින් රචනා කරන ලද ධර්මප්‍රදීපිකාවෙනි. ‘ධර්මයට දල්වන ලද පහන’ යන අරුතින් ගුරුළුගෝමී පඬිවරයා ‘ධර්මප්‍රදීපිකා’ නම් ග්‍රන්ථ නාමය සඳහන් කරන බව එම ග්‍රන්ථාවසානයේ දක්වා ඇති ශ්ලෝකය ඇසුරින් මාහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා සඳහන් කර තිබේ.
ධර්මප්‍රදීපිකා යන නාමයෙහි ‘ධර්මයට දල්වන ලද පහන’ යන අරුත ගැබ් වන අතර එය රචනා කර ඇත්තේ සද්ධර්මය ප්‍රකාශ කිරීමට බවත් මේ ලෝකයේ “ධර්මය හිරු ලෙස බැබළේවා” යන කතුවරයාගේ ප්‍රාර්ථනාවත් ග්‍රන්ථාවසානයේ සඳහන් වේ.
ගුරුළුගෝමී පඬිවරයාගේ දෙවැනි කෘතිය ‘අමාවතුරයි’ යි . එහිදී ඔහු මෙබඳු සඳහනක් කරයි.
‘අදම්‍ය පුරුෂයන් සධම් දෙස්නෙන් දමා අමා මහනිවන් දැක්වූ සේ සියබසින් මා විසින් සැඛෙවින් කියනු ලැබේ.’
එහි දමනය කළ නොහැකි සත්වයන් දමනය කර ඇත්තේ සදහම් දෙසීමෙන් බව අවධාරණය කෙරේ.
සරණ ග්‍රන්ථ ත්‍රිත්වයට අයත් ‘දහම් සරණ’ කෘතිය ධර්මය, ධම්ම, දම් යන වචන වෙනුවට ‘දහම්’ යන සිංහල වචනය යොදා තිබේ.
බුද්ධ භක්ති කාව්‍යයක් ලෙස සැලකෙන ‘බුත්සරණ’ කෘතිය ලියා ඇත්තේ බුදුන්වහන්සේ කෙරෙහි භක්ති ජනනය වන ආකාරයෙනි.
‘සද්ධර්මරත්නාවලිය’ රචනා කර ඇති ධර්මසේන යතීශ්වරයාණන් වහන්සේ එම මාහැඟි ධර්ම ග්‍රන්ථය ලියා ඇත්තේ,
‘….සුභික්ෂ දුර්භික්ෂ දෙකට වැසි ම මුල් ද එසේම අකුසලින් දුරුව කුසල්හි පිහිටා සිත් සතන් පවිත්‍ර කරන්නවුන්ට ධර්මාභියෝගය මුල.’
ධර්මාභියෝගය නම් නිශ්ශරණාධ්‍යාශයෙන් බණ ඉගැන්මය. හෙද වැළිත් කෘතාධිකාර මහ පිනැති කෙනෙකුන්ට මුත් විදුරු පර්වත විදින්ට කුහුඹුවන්ට බැරියා සේ, සෝවාන් පුඟුලන් අපාය ගාමිණී අකුසල්හි හැසිරෙන්ට බැරියා සේ, සියලු ලෙසින් ම කෘත පුණ්‍යතා නැතිව ජාත්‍යන්ධයන්ට අන්ධ යෂ්ටිය නැතිව ගමන් බැරියා සේ ලක්ෂණය දැන ලක්ෂණානුසාරයෙන් ඉගෙන දැන ගැන්ම නුවණ මඳවුන්ට බැරිය.
‘එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳවත් කුසලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් ‘බණ’ දැන පින්කමැ හැසිර නිවන් සාධාගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා ‘සද්ධර්මරත්නාවලිය’ නම් වූ ප්‍රබන්ධයක් කරම්හ.
පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විල`ඩ්ගනාදී වූ අඩු-වැඩි ඇතත් ඒ නොසලකා, පැන් හා කිරි මුසු වූවත් කිරි පමණක් තෝරා හැර ගන්නා හංසයන් මෙන් ද, ශාස්ත්‍ර දන්නවුන්ගේ ජාති අඩු වූවත් උන්ගේ තරම් නොසලකා ශාස්ත්‍ර පමණක් සලකා ශාස්ත්‍ර උගන්නවුන් මෙන් ද…. සද්ධර්ම රත්නාවලී නමැති බෙහෙදින් මෝහ නමැති පටලය නැති කොට නුවණැස අඳුරු හැර, කුසල් මහ වතට නිවන් පුරයට සුවයෙන් යායුතු.
‘බණ’ දැනගත යුතු වන්නේ කුමක් සඳහා ද? බණ ඇසිය යුතු වන්නේ කුමක් සඳහාද? කෙසේ ද? යන කාරණා මෙහි අන්තර්ගත වී තිබේ.
මෙම මාහැඟි ධර්ම ග්‍රන්ථයේ නාමය ‘සද්ධර්ම රත්නාවලී’ යන්නෙන් ‘සදහම්’ නමැති රත්නයන්ගෙන් සැදුණු වැල’(සදහම් රුවන් වැල) යන අදහස ද සංස්කෘත භාෂාවෙන් බිඳගත් තත්සම පද ලෙස ගෙන තිබේ.
‘ධර්මාභියෝග’ යන වචනය ‘ධර්ම’ යන්න ද සංස්කෘත තත්සම පදයක් ලෙස යොදා ගෙන තිබේ. එමෙන්ම කතුවරයාණන් වහන්සේ ස්වකීය ග්‍රන්ථයේ අන්තර්ගතය ‘බණ’ නමින් ඉතාම සරලව, ගැමි වහරට ගැළපූ හෙළ වදනින් පැහැදිලි කර ඇත.
දඹදෙණි යුගයේ රචනා වූ තවත් ධර්ම ග්‍රන්ථයක් නම් ‘පූජාවලී පොත් වහන්සේ’ යන ගෞරවාර්ථයෙන් හැඳින්වූ ග්‍රන්ථ රත්නයයි.
‘අප රජහට බෝධිසත්ව පාරමිතායෙන් යෙදුණා වූ බණක් වදාළ මැනවැයි දේව ප්‍රතිරාජ ඇමැතියාණන් කළ ආරාධනය පිළිගෙන අපගේ ද අභිමතාර්ථ සාධනය උදෙසා ධර්ම ව්‍යාඛ්‍යානයක් කරම්හ. සත්පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතු.’
මෙම උද්ධෘතයට අනුව කථිත ව්‍යවහාරයේදී ‘බණ’ ලෙස ද ලිඛිත ව්‍යවහාරයේදී ‘ධර්ම’ යන වචනය ද යෙදී ඇති බව පැහැදිලි වේ.
‘ධර්මය’ ගැන පැහැදිලි කිරීම ව්‍යාඛ්‍යාන කිරීම ලෙස ද හඳුන්වා තිබේ.
‘සද්ධර්මයේ’ අද්භූත කරුණු අටක් ඇති බව පහාරාද සූත්‍රය ඇසුරෙන් පූජාවලියේ ගෙනහැර දක්වයි.
එපමණක් නොව ‘බුදුන් වහන්සේ ‘ධර්මය’ ගුරු තැන්හි තබා ගැනීමෙන් ධර්මයට දැක්වූ ගෞරවය කොපමණදැයි පැහැදිලි වේ. බුදුන් වහන්සේගේ මලනු නන්ද මහ තෙරුන් වහන්සේ ධර්ම දේශනා කළ දිනෙක තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ බව ද ‘සාධු සාධු නන්’ ඉතා මැනවින් ඔබ ධර්ම දේශනා කළේයැ’යි ප්‍රශංසා කළ බව ද සඳහන් කළ ආකාරය පහත දැක්වේ.
“තව ද එක් කලෙක අප බුදුන් මල්, නන්ද මහ තෙරහු මහ පිරිස් පිරිවරා ධර්මාසන නැඟී හිඳ රාත්‍රී බණ වදාරති. එදා බුදුහු නන්දයා අද රාත්‍රී බණක් කියයි. මාගේ ධර්මයෙහි බොහෝ දෙනා ආදර කරන පරිද්දෙන් අද මම ද බණ අසමි’යි සිතා සුගන්ධ ගන්ධ කුටියෙන් බාහ්‍යව ගඳකිළි නිසා වත්තෙහි වැඩ සිට වලා ගැබකින් මුවහ වූ පුන්සඳක් සේ සියලු පිරිසට නොපෙනීම තුන්යම් රෑම සිටිපිය නොසොල්වා සිට බණ අසා මහ තෙරුන් අලුයම බණ සමහර කළ කල බුදුහු සරත් වලාගැබකින් පෙනුණු හිරු මඬලක් සේ මහ පිරිසට පෙනී ශ්‍රී මුඛයෙන් නිකුත් සුවඳින් බණ පිරිස සුවඳ පිඩක් සේ කරමින් සාධු සාධු නන්දය, මාගේ අදහස් නොවරදාම බණ කීයෙහිය.’ යි ස්තූති කළ සේක. එවේලෙහි මහ පිරිස් බුදුන් දැක ඉපිළ පැන නැංගහ. එවේලෙහි මහ තෙරුන් වහන්සේ ආසනයෙන් පැන නැඟී ගොස් බුදුන් වැඳ සිට “ස්වාමීනී” නුඹ වහන්සේ රාජ සුකුමාලව, බුද්ධ සුකුමාලව, තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි කෙසේ නම් සිට බණ අසා වදාළ සේක්ද? යි දැන්වූ සේක. එවේලෙහි බුදුහු “නන්දය එක් දවසක් මා බිම සිට බණ ඇසූයේ කවර විස්මයෙක් ද? ඉදින් තාගේ, මාගේ ආයුෂ්කාලය මුළුල්ලෙහිත් සමහර නොකොට බණ කියන්නේ වී නම් මෙසේ සිටම අසන්නෙම් වේ දැයි වදාළ සේක’ එවේලෙහි බොහෝ ශ්‍රාවකයෝ බුදුන්ට සාධුකාර දී වදාළ සේක. එතැන් පටන් බොහෝ සත්වයෝ ද ධර්මයෙහි මහත් වූ ආදර කළහ.
එම සිද්ධිය ධර්මප්‍රදීපිකාවේ ද අන්තර්ගත වී ඇති අතර පූජාවලියේ සරල සිංහල බසින් කියා ඇත්තේ එකල ගැමියන්ට ආවේණික, වැටහෙන භාෂා රටාව අනුගමනය කරමින් විය යුතුය.
දඹදෙණි යුගයෙන් පසුව එළැඹුණු කුරුණෑගලපුර යුගයේ ජාතක පොත් වහන්සේ රචනා වී ඇත. එය ආරම්භ කර ඇත්තේ මෙලෙසිනි.
“… බුද්ධවංශය හෙවත් බුදුන් වහන්සේගේ ජීවිත කථාව සිංහල භාෂාවෙන් රචනා කරන්නෙමි. හේ මනාව ඇසිය යුතු” යනුවෙනි. එම ග්‍රන්ථයෙහි අන්තර්ගතය,
“ධර්මසංගාහක භික්ෂූන් විසින් යම් ධර්මයක් සංග්‍රහ කරන ලද්දේ ද ඒ ධර්මය ජාතක ධර්ම නම් වේ…” යනුවෙන් පැහැදිලි කර ඇත.
මෙම උද්ධෘතයෙහි ‘ධර්ම’ යන සංස්කෘත වචනය තත්සම ලෙස භාවිත කොට තිබේ.
ගම්පොළ රාජධානි යුගයේදී රචනා වූ රසවාහිනියේ අනුවර්තනයක් ලෙස මෙන්ම පරිවර්තනයක් ලෙස සැලකෙන සද්ධර්මාලංකාරයේ ද ‘සද්ධර්ම’ යන වචනය භාවිතා කර තිබේ.
“ධර්ම සංග්‍රහ වර්ගය, නිදාන වර්ගය… ආදී මෙසේ සූවිසි වර්ගයකින් හා සංක්ෂේප කථාවන් හා සමග අමෘත රසධාරාවක් සේ සිටියා වූ එක්සිය පස් පනසක් පමණ වස්තු කථාවෙන් අලංකෘත කොට සරහා සද්ධර්මාලංකාර නම් වූ ධර්ම ව්‍යාඛ්‍යානයක් දක්වමි. එද වනාහි භාෂාව වෙනස් වුවද පාලි ධර්මය ම හෙයින් සියල්ලවුන් විසින් ආදර සහිතව ඇසිය යුතුමය.”
මිනිස් සිත යහපත වෙත යොමු කරන යම් පැහැදිලි කිරීම් ඇති ද එය බුද්ධ දේශනා හෝ ශ්‍රාවක දේශනා ලෙස හඳුනා ගත හැකිය. පුද්ගලයාගේ යහපත සලසන, පුද්ගල සිත ධනාත්මකව වර්ධනය කරන යම් දෙසුමක් වේ ද එය ‘සද්ධර්ම’ ලෙස භාවිත කර තිබේ.
කුරුණෑගල යුගයෙන් පසුව හමු වන කෝට්ටේ යුගයේදී ද සිංහල කෘතිවල ‘බණ’ යන වචනය යෙදී ඇත.
කාව්‍යශේඛරය මහා කාව්‍යය රචනා කර ඇත්තේ කාව්‍යාලංකාර හා බණමග වෙන්ව දැනෙන ලෙසින් බව කතුවරයා විසින්ම සඳහන් කර ලැබ ඇත.
‘රජරුවන මන රඟ
සිවුසැටබරණ හා ඇඟ
තේරී පෙනෙන රඟ
දැනේ කිවිලකර හා ‘බණ මග’
බණමග යනු ‘ධර්ම මාර්ගය’ වෙනුවට භාවිත කළ හෙළ වදනයි. කවියට ගැළපෙන ලෙස එම වචනය ගැළපූ ආකාරය ලෝවැඩ සඟරාවේ ද සඳහන් වී ඇති ආකාරයෙන් පැහැදිලි කරගත හැකිය.
‘බණ නම් නිබොරුය මුනිවරයන්නේ’
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
යනුවෙන් මෙහි සඳහන් වන්නේත් මුනි බණ හෙවත් ‘බුදු බණ’ ගැනය.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ‘බණ’ ලෙස හඳුන්වන්නට බෞද්ධ අප කවුරුත් පුරුදු වී සිටින බවත් ‘බණ’ කියූ සැණින් බෞද්ධ භික්ෂුවක හෝ භික්ෂුණියනගේ දෙසුමක් සිහිපත් වන බවත් ඉතා සාමාන්‍ය ස්වභාවයයි.
‘බණ කියන තැන’ ‘බණ කියන ස්ථානය’ ‘බණමඩුව’ ලෙස හැඳින්වේ. ‘ධර්ම ශාලාව’ වියත් වහර ලෙසත් ‘බණ මඩුව’ නොවියත් වහර හෙවත් ජනවහර ලෙසත් භාෂාවේ භාවිතයට පැමිණ තිබේ. වර්තමානය වන විට භාෂාව පරිණාමය වීමේ ප්‍රතිඵලයක් ලෙස භාවිතා වන්නේ එක්කෝ ‘බණ සාලාව’ නැත්නම් ‘ධර්ම ශාලාව’ යන ව්‍යවහාරයයි.
‘බණ’ හඳුන්වන තවත් විශේෂණ පද කිහිපයක් හමු වේ. ලංකා සංස්කෘතියට අනුව කෙනකු මියගිය විට සත් දිනකින් කියවන ‘මතක බණ’, මසකින් කියවන ‘මාසික බණ’, ‘තෙමස් පූර්ණය නිමිති කොට ගෙන දේශනා කරවන ‘තුන් මාසේ බණ’, ‘වාර්ෂික බණ’ හෙවත් ‘සාංවත්සරික බණ ආදී වර්ගීකරණයක් ද හඳුනා ගත හැකිය.

