ආලෝක ෆර්ඩිනැන්ඩු
ජනවාරි මස 22වැනි දින ලෝකවාසි බෞද්ධයන්ට සංවේගජනක පුවතක් අසන්නට ලැබිණ. එනම්, අපරදිග ලෝකයට බුදුසමයත්, විපස්සනා භාවනාවත් හඳුන්වා දීමේ තවත් පුරෝගාමියකු වූ මහ තෙරනමකගේ අපවත් වීම පිළිබඳ පුවත යි. ලොව පුරා ‘තිච් ඥතාන්’ නමින් ප්‍රකට මෙහිමියන්, අග්‍රගණ්‍ය භාවනා ආචාර්යවරයකු සේ ම, ශාස්ත්‍රවන්තයකු ද – කවියකු ද – ලේඛකයකු ද වූ හෙයින් බොහෝ දෙනා ආමන්ත්‍රණය කිරීමේ දුලබ වරම ද, බුදු සමය දාර්ශනික ව, කාව්‍යාත්මක ව සේ ම ආධ්‍යාත්මික ව ද ඉගැන්වීමේ පින් මහිමය ලද අතළොස්සක් ශ්‍රේෂ්ඨ පුරුෂයන්ගේ ගණයට අයත් වූ තෙරනමකි.
තිච් ඥතාන් හිමියන් ගැන මෙරට බොදුනුවන් බොහෝ දෙනකු දැන ගත්තේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ට පින් සිදු වන්නට ය. කදිම සිංහල වහරකින් පඤ්ඤාවංස හිමියන් විසින් ප්‍රංශ බසින් පරිවර්තනය කරන්නට යෙදුණු ඥතාන් හිමියන්ගේ මාහැඟි කෘති කිහිපයක් ම වෙයි. ඒ ඇතැම් පරිවර්තන කෘති ඒවායේ ඉංග්‍රීසි පරිවර්තන ද අභිබවා සිටින බව අතිශයෝක්තියක් නො වේ. එම කෘති ද, පසු ව තවත් පරිවර්තක භවතුන් අතින් ද සිංහලට නඟනු ලැබූ උන්වහන්සේගේ කෘති ද නිසා, මෙරට බොදුනුවන් සැලකිය යුතු පිරිසකට ඥතාන් හිමියන් අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැත. තව ද, සයිමන් නවගත්තේගමයන්ගේ ‘සංසාරාරණ්‍යය අසබඩ’ නවකතාවට ද ඥතාන් හිමියන්ගේ කෘතියක ඇසුර නො මඳ ව ලැබී ඇත. උන්වහන්සේගේ කෘතීන්හි ඉංග්‍රීසි පරිවර්තන මෙරට බෞද්ධ පොත්හල්වලට ආගන්තුක වන්නේ ද නො වේ. මේ ආකාරයට, තරමක් විමසා බැලීමේ දී පෙනෙන්නේ, උන්වහන්සේගේ ලියැවිලි ද – ඉගැන්වීම් ද, කාලයක් මුළුල්ලේ අප සමාජයට අපූර්ව ඥානාලෝකයක් ලබා දී ඇති බවයි.
තිච් ඥතාන් හිමියන් ඉපැදුණේ මධ්‍ය වියට්නාමයේ හ්‍යු නුවර, ‘ක්සුවැන් බාඕ’ නමිනි. ප්‍රකට වියට්නාම් කවියකු වූ ‘දින් ෂියෝ’ උන්වහන්සේගේ පවුලේ ආදි මුත්තෙකි. වයස දහසයේ දී ‘තු හ්‍යු’ නම් සෙන් පන්සලට ඇතුළු වූ බාඕ, එහි අවුරුදු තුනක් ආධුනිකයකු හැටියට භාවනා පුහුණුව ලැබී ය. පසු ව, ‘බාඕ ක්වෝක්’ නම් ප්‍රකට ආශ්‍රමයේ පැවිද්ද ලැබී ය. මෙයින් පසු උන්වහන්සේ ශාස්ත්‍රීය අධ්‍යයන කෙරේ ද යොමු වූයෙන්, සයිගොන් නුවර (වර්තමාන හෝ චි මිං නුවර) වෙත ගොස්, සයිගොන් විශ්වවිද්‍යාලයයෙහි අධ්‍යාපනය හදාරන්නට ද, සයිගොන් ආශ්‍රමයන්හි දේශන පවත්වන්නට ද කටයුතු කළ හ.
මේ වනාහි සයිගොන් නුවර දේශපාලනික ව බෙහෙවින් උණුසුම් වුණු වකවානුවකි. 1945 දී ප්‍රංශයෙන් නිදහස දිනාගෙන බිහි කළ නව වියට්නාම් රාජ්‍යය බොහෝ දේශපාලන පෙරළිවලට, සංකූලතාවලට හසු විය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ප්‍රංශය විසින් යළි වියට්නාමයට අයිතිවාසිකම් කියනු ලැබීමෙන්, 1955 දී වියට්නාම් යුද්ධය හටගෙන, උතුරු – දකුණු ලෙස එරට දෙකඩ විය. සෝවියට් දේශය ප්‍රමුඛ වාම කඳවුරට හිතෛෂි උතුරු වියට්නාම් රාජ්‍යය ද, ඇමරිකාව ප්‍රමුඛ දක්ෂිණාංශයට හිතෛෂි දකුණු වියට්නාම් රාජ්‍යය ද බිහි වූයේ එපරිද්දෙනි. ඥතාන් හිමියන් හැදී වැඩුණු ගම් පෙදෙස ද, පුහුණු වූ ආශ්‍රම ද යන හැම අයත් වූයේ දකුණු වියට්නාමයට ය. මෙවකට දකුණු වියට්නාමය පාලනය කළ ‘දින් දියෙම්’ උග්‍ර ආගම්වාදී කතෝලිකයකු වූ අතර, හ්‍යු නුවර අගරදගුරු පදවිය දැරුවේ ඔහුගේ සොයුරා ය. බොහෝ බොදුනුවන් වාසය කළ මෙනුවර වරක් වෙසක් සැමරුම් තහනම් කරන්නට පවා දියෙම්ගේ ආණ්ඩුව කටයුතු කළේ ය. මේ ආගම්වාදි ආඥාදායකයාගේ සහ සොයුරු අගරදගුරුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්, නිහඬ ව, පද්මාසනයෙන් අචල ව වැඩ හිඳ, සිය සිරුරට ගිනි තබාගත් ‘තිච් ක්වැං දුක්’ හිමියන්ගේ රුව අදටත් ලොව පුරා සංසරණය වන්නකි.
මෙබඳු උග්‍ර මර්දනයක් හමුවේ අප තිච් ඥතාන් හිමියන්ටත් සයිගොන් නුවර වැඩි කලක් දේශන පවත්වන්නට ඉඩ ලැබුණේ නැත. උන්වහන්සේ වෙත ද රාජ්‍ය මර්දනයේ හස්තය දිගු වන්නට විය. රටින් පිටත් වන්නට සිතූ ඥතාන් හිමියෝ, ශිෂ්‍යත්වයක් ලැබ, ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වී, තුලනාත්මක ආගම් හදාරන්නට වූ හ. ඉක්බිති කොලොම්බියා විශ්වවිද්‍යාලයයේ බුදුසමය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස පත් වූ හ. මේ වකවානුවේ උන්වහන්සේ ඉංග්‍රීසි, ප්‍රංශ, පුරාණ චීන, සංස්කෘත සහ පාලි භාෂා වෛශාරද්‍යය ලැබූ හ.
1963 දී දින් දියෙම් බලයෙන් පහ කෙරුණු අතර, ඥතාන් හිමියෝ යළි වියට්නාමයට වැඩම කොට ශාසනික කටයුතුවල නියැලෙන්නට වූ හ. මෙකල උතුරු – දකුණු වියට්නාම් ගැටුම උග්‍ර වූ අතර, ඇමරිකානු හමුදාවත් දකුණු වියට්නාමයත් එක් ව උතුරු වියට්නාමයට පහර දෙන්නට වූ හ. මෙය ලෝක ඉතිහාසයේ මහත් ඛේදජනක යුද්ධයක් වූ බව කවුරුත් දන්නා කාරණයකි. 1966 දී ශාස්ත්‍රීය සමුළුවකට ඇමරිකාවට වැඩම කළ උන්වහන්සේ, මාටින් ලූතර් කිං මුණගැසී, වියට්නාමයේ සිදු කෙරෙන ඇමරිකානු ප්‍රහාරයන් නවතා දමන්නැ යි හඬ අවදි කළ හ. ඇමරිකානු තරුණයෝ බොහෝ දෙනෙක් යුද්ධයේ ඛේදය දැක කම්පා වී ඊට විරෝධය පළ කරන්නට වූ හ. මෙය ඇමරිකාවත් දකුණු වියට්නාමයත් යන පාලන තන්ත්‍රයන් දෙක ම අසතුටු කරන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. අනෙක් අතට, වාම කඳවුරේ සටන් වැදුණු කණ්ඩායම් ද මේ යොජනාවලට රිසි වූයේ නැත. සිය ශාසනික සේවය ද, සාමයේ පණිවුඩය ද පහසු වන පරිදි ප්‍රංශයට වැඩම කරන්නට තීරණය කළ ඥතාන් හිමියෝ, එහි ‘ප්ලම් විලේජ්’ නමැති විහාරය ගොඩනඟා, මානවවාදි වූත්, ප්‍රඥාවත් – සෞන්දර්යයත් මනා සේ මුසු වූත්, අපූර්ව ආකාරයකින් බුදුන්වහන්සේගේ පණිවුඩය ලොවට බෙදා දෙන්නට වූ හ. ප්‍රංශ බසින් ලියූ ඥතාන් හිමියන්ගේ කෘති ලෝකය පුරා මහ සුළඟක් සේ හමා යන්නට වූයේ මේ වකවානුවේ ය.
උන්වහන්සේගේ කෘති සුවිශේෂ වන්නේ ඇයි? ඒ, බුදුන්වහන්සේ වදාළ ධර්මය ජීවමාන ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ්‍ය කිරීමේ ආධ්‍යාත්මික ප්‍රතිපදාව ද, සරු බසින් එම ධර්මය නූතන ලෝකයා වෙත ලබා දීමේ ලේඛන කෞශල්‍යය ද, ශාස්ත්‍රවන්තභාවය ද යන සියල්ල උන්වහන්සේ පුරා සිටි හෙයිනි. ඊට පෙරාතුව සෙන් බුදුසමය බටහිර ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ ජපන් ජාතික මහැදුරු ‘ඩී. ටී. සුසුකි’ විසිනි. එම මාහැඟි කෘති බොහෝ සෙයින් එවකට, එනම් දහනවවැනි සියවසේ පොත් කියැවූ බෙහෙවින් විවේකී, ශාස්ත්‍රකාමී පාඨකයා එල්ල කොට ලියැවුණු අතර, වඩා ලිහිල් සහ කාව්‍යාත්මක බසින් අවරදිග නූතන පාඨකයා වෙත සෙන් දහම් පණිවුඩය ගෙන එනු ලැබුවේ, තිච් ඥතාන් හිමියන්ගේ අපූර්ව කෘති කිහිපය ඔස්සේ ය. ශාස්ත්‍රීය පරිචය කොතෙක් ලැබ සිටිය ද, අත්‍යවශ්‍ය මොහොතක සඳහන් කරනු හැර, ශාස්ත්‍රීය මූලග්‍රන්ථවලින් දුර්බෝධ පාඨ උපුටාදැමීමක් උන්වහන්සේගේ කෘතීන්ගේ නැත. එසේ වුව, ඒවා කවර ශාස්ත්‍රවන්තයකුට වුව මුහුණ ලා සිටීමේ පෞරුෂ්‍යයෙන් හෙබි ය. කවියකුට සෞන්දර්ය රසින් කියැවිය හැකි සේ සුනම්‍ය ය. දාර්ශනිකයකුට කුහුල ඇති කරවන සුළු ය. ඒ සියලු දෙනට ධර්මයට පිවිසෙන්නට දොරටු හරින මේ කෘතීන්හි මාහැඟි ම රස විඳින්නට හැක්කේ, ජීවමාන ව ධර්මය පුහුණු වන්නකුට ය. එබැවින්, ආධුනිකයන්ට කදිම කමටහන් සේ, භාවනා ආචාර්යවරුන්ට කදිම දහම් රස උල්පත් ද එම කෘතීන්ගේ හිඟ නැත.
එසේ ධර්මය ජීවමාන ව පුහුණු වන විට නිකායාන්තර බෙදීම් බොඳ වී යන්නා සේ ම, ඒ – ඒ නිකායයන් විසින් ඉතිහාසයේ ඒ ඒ භූමිභාගයන්ගේ බිහි කළ අගනා කෘතීන්ගෙන් උදවු ලබාගන්නට ද හැකි වේ. සෙන් බුදු සමය සෑහෙන දුරට මහායාන සම්ප්‍රදායයෙහි විඥානවාදි නිකායෙහි අදහස් අවශෝෂණය කරගෙන තිබෙන මුත්, ඊට වෙනස් මාධ්‍යමක බුදු සමයේ ද – ථෙරවාද සම්ප්‍රදායයේ විසුද්ධිමග්ගයේ ද ඇසුරත් ලබමින්, ජීවමාන බෞද්ධ සම්ප්‍රදායයක් බිහි කරන්නට ඥතාන් හිමියන්ට හැකි විය. තව ද, සෙන් බුදුසමයෙහි ප්‍රධාන නිකායයන් දෙකකි, එනම්, උතුරු සහ දකුණු යනුවෙනි. උතුරුදිග නිකාය ක්‍රමික ව අවබෝධය කරා යෑම නිර්දේශ කළ අතර, දකුණුදිග නිකාය නිර්දේශ කළේ ක්ෂණික ව අවබෝධය ලැබීම ය. ධ්‍යානයටත් – කායානුපස්සනාවටත් නැඹුරු වූ උතුරු නිකායෙහි භාවනාව ද, චිත්තානුපස්සනාවට නැඹුරු වූ දකුණු නිකායෙහි හාවනාව ද යන දෙක ම මැදහත් යෝගියකුට මනා සේ උදවු කොට ගත හැකි වෙයි. තිච් ඥතාන් හිමියන්ගේ කෘති මේ සම්ප්‍රදායයන් දෙක ම අවශෝෂණය කොටගෙන ඇති අතර, උන්වහන්සේගේ ප්ලම් විලේජ් ආශ්‍රමයේ භාවනා පුහුණුව ථෙරවාද සම්ප්‍රදායයෙහි එන ආනාපානසතිය සහ සක්මන ද, සෙන් සම්ප්‍රදායයේ එන දෛනික කටයුතුවල සිහිය පිහිටුවීම ද යන ක්‍රම තුන ම උපයෝගී කරගන්නා එකකි. තව ද, එය ධර්ම සාකච්ඡාවෙන් නො අඩු වන අතර, දක්ෂිණ සෙන් නිකායයෙහි ඇතැම් උපායයන් මෙහි ලා මහත් සේ උදවු වන්නට පුළුවන. දක්ෂිණ සෙන් සම්ප්‍රදායයෙහි අපූර්ව හඳුන්වා දීමක් ලෙස සැලකිය හැකි, විතර්කය වෙනුවට ප්‍රඥාංකුරය අවදි කිරීමෙහි ලා යොමු කරවන ‘කොආනය’ නම් අභ්‍යාසය එවන් ධර්ම සාකච්ඡාවක් සඳහා කදිම ය. බැලු බැල්මට ප්‍රහේලිකාවක් බඳු වැකියක් වන කොආනය, දුෂ්කර බුද්ධිමය අභ්‍යාසයක් නො ව, යථාව විනිවිද දකින්නට උදවු වන ආධ්‍යාත්මික අවියකි. “ඔබේ දෙමවුපියන්ගේ උපතට පෙර ඔබේ මුහුණේ හැඩය කෙබඳු ද?” යන කොආනය ඥතාන් හිමියන් විසින් ප්‍රඥාපාරමිතා හෘද සූත්‍ර අටුවාවේ දී කදිමට යොදාගෙන තිබේ. “කය තුළ මම සිටිමි, කය නම් මම වෙමි,” යි මිනිසා තුළ ඇති සිතුවිල්ල ප්‍රඥාවෙන් විනිවිද දකින්නටත්, එම දෘෂ්ටිය කඩා දමන්නටත් උපකාරි වන එය කදිම කමටහනක් ද වේ.
මීට අමතර ව නූතන මිනිසා සඳහා අගනා සිහි එළැවීමේ උපක්‍රම කිහිපයක් ද උන්වහන්සේ විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. දුරකථනය භාවිතා කිරීමේ භාවනාව, පලතුරක් වැලඳීමේ භාවනාව, රිය පැදවීමේ භාවනාව ඉන් කිහිපයකි. අවිවේකී අසතියෙන් ආයුෂය ගෙවී යන නූතනයාට පුහුණු මඟට පිවිසෙන්නට මේවා කදිම දොරටු බැව් අමුතුවෙන් කිව යුතු නැත.
උන්වහන්සේ පිළිබඳ තරමක් අප්‍රකට තොරතුරක් ද මෙහි ලා සඳහන් කළ යුතු ය. එනම්, මෙරට දී උන්වහන්සේ විසින් මුතු කැටයක් පිළිබඳ අපූරු භාවනාවක් මෙහෙයවා ඇති බවයි. ආගම් පිළිබඳ සමුළුවක් පිණිස උන්වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවේ, එක්තරා පුහුණු සැසිවාරයක් සඳහා උන්වහන්සේත්, හින්දු පූජකතුමකුත්, කිතුනු පූජකතුමකුත් එකතු ව එහි එක් වැඩසටහනක් මෙහෙයවනු ලැබ තිබේ. එහි ලා මුතු කැටය පිළිබඳ භාවනාව උන්වහන්සේ ඉදිරිපත් කර ඇත්තේ, සජ්ඣායනයකින් ආරම්භ කරමිනි. එම සජ්ඣායන කාලය තුළ, සහභාගී වන අය සිරුරත් මනසත් සැහැල්ලු කරගෙන, ඉක්බිති තමා මුතු කැටය යැ යි සිතාගත යුතු ය. වතුරට වැටෙන මුතු කැටය පහළට -පහළට ගොස්, අවසානයේ, ස්වකීය උප්පත්ති ස්ථානයේ ම සෙමෙන් තැන්පත් වෙයි. සහභාගී වන්නන් සජ්ඣායන කාලය තුළ මෙය අත්දැකිය යුතු ය. “සජ්ඣායනය අවසන් වන විට සියලු දෙන අතීතයට හෝ අනාගතයට හෝ නො ඇලුණු මනසිකාරයෙන් යුතු ව, මේ මොහොතේ සිය පැවැත්මේ අපූර්වත්වය අත්දකිනු ඇතැ,” යි උන්වහන්සේ සඳහන් කරති. මෙය අප බැඳ තිබෙන දැඩි රැහැන්වලින් මොහොතකට මුදවා, පුහුණුවෙහි මූලිකාංග හැඳිනගන්නටත්, යෝනිසෝමනසිකාරයෙහි හැඩය වටහාගන්නටත් කදිම අභ්‍යාසයකි. කෙසේ වුව, මේ වැඩසටහනට එතරම් හොඳ ප්‍රතිචාර නො ලැබුණු බවත් උන්වහන්සේ සඳහන් කොට තිබේ. එම සමුළුවට පැමිණි ඇතැම් උගතුන් ආධ්‍යාත්මික පක්ෂය පිරිහෙළමින් කථා කොට ඇති අතර, අන්‍ය සම්ප්‍රදායයක් දෙස විවෘත ව බලන්නට ඇතැම් අයට නො හැකි වීම නිසා, අවාසනාවන්ත ලෙස, උන්වහන්සේගේ ලංකාගමනයෙන් මහඟු ඵල ලැබීමේ අවස්ථාව අහිමි වී ගිය බවක් පෙනේ.
එම ලංකාගමනයේ කරුණා රසින් අනූන සිදුවීමක් මෙහි ලා සඳහන් කරනු වටී. උන්වහන්සේ බංකුවක හිඳ සිටිනු දුටු ගැමි ළමුන් කණ්ඩායමක් එතැනට පැමිණ, උන්වහන්සේ වට කරගෙන තිබේ. ඉතා මිත්‍රශීලී ලෙස ළමුන් පිළිගත් උන්වහන්සේ, ඔවුන්ගේ උරහිසින් අල්ලාගෙන බොහෝ වේලා ගත වුවත්, භාෂා ගැටලුව නිසා ඔවුන් සමඟ කතා කරන්නට නො හැකි වී තිබේ. ඉන් පසු උන්වහන්සේ මෙරට මුල් බුදුසමය පවතින රටක් බව සිහි කොට, “බුද්ධං සරණං ගච්ඡාමි,” පාඨය කී විට, දරුවන් උන්වහන්සේ සමඟ තිසරණෙහි පිහිටන ගාථාව සජ්ඣායනා කොට ඇත.
මෙරට දී ලැබූ අත්දැකීම් කෙසේ වුවත්, ථෙරවාද සම්ප්‍රදායය ප්‍රමුඛ වූ තවත් රටක් වන තායිලන්තය නම් උන්වහන්සේ පිළිගත්තේ මහත් හරසරිනි. තිච් ඥතාන් හිමියන්ගේ ප්ලම් විලේජ් හි ශාඛාවක් තායිලන්තයේ පිහිටුවීම ඓතිහාසික සිදුවීමකි. ථෙරවාද සහ මහායාන සම්ප්‍රදායයන් පිළිපදින භික්ෂූන් වහන්සේලා එක ම ධර්ම පීඨිකාවක අත් අල්ලාගනිමින්, එක ම ආශ්‍රම භූමියක බවුන් වඩනා සොඳුරු දසුන, මෙම ‘තායි ප්ලම් විලේජ්’ ආශ්‍රමය බොහෝ දෙනාගේ අවධානයට යොමු කරන්නට හේතු විය.
අප රටට වරක් හෝ වැඩම කරන්නට වරම් ලැබුණත්, වියට්නාමයේ අසල්වැසි තායිලන්තය උන්වහන්සේ පිළිගත්තත්, ඥතාන් හිමියන්ට වියට්නාම මවුබිමට යළි පා තබන්නට සුදුසු වාතාවරණයක් නම් නො වී ය. 1976 වසරේ දී උතුරු වියට්නාමයෙහි බලය පිහිටුවාගෙන සිටි වාම කණ්ඩායම් විසින් දකුණු වියට්නාමය නතු කරගැනීම සමඟ, උතුරත් දකුණත් එකතු වී, ‘වියට්නාම් සමාජවාදි ජනරජය’ බිහි විය. සාමය දේශනා කරනා ආධ්‍යාත්මික නායකයන්ට ගැරහීමත්, ඔවුන් විදේශික ඉත්තන් සේ සැලකීමත්, මර්දනයට ලැදි පාලකයන් ලොව කොතැනත්, කවදත් අනුදක්නා පිළිවෙත යි. වියට්නාමයේ ඉන් පෙර බලය අත් කොටගෙන සිටි දක්ෂිණාංශික ඒකාධිපතියන් සේ ම, නව රජයේ වාමාංශිකයන් ද උන්වහන්සේ දෙස බැලුවේ සැකයෙනි. අද බොහෝ දෙනකු පහසුවෙන් අමතක කර දමන කරුණක් වන්නේ, ආසියාතික කොමියුනිස්ට් පාලන තන්ත්‍ර හැම එකක් ම වාගේ බෞද්ධයන් ව නො රිස්සූ බව යි. ඉතින් මවුරටට යන්නට උන්වහන්සේට වරම් නොමැති විය. එය එක්තරා අතකින් ලෝකයට වෙස් වළාගත් ආශීර්වාදයක් විය. මන්ද, ප්‍රංශයේ වැඩ හිඳීම නිසා උන්වහන්සේට දහම් පණිවුඩය ලොව බොහෝ දෙනාට දායාද කරන්නට හැකි විය. එය සම වන්නේ, චීනය විසින් තිබ්බතය ආක්‍රමණය කිරීමෙන් පසු භාරත දේශයේත්, යුරෝපයේත්, ඇමරිකාවේත් හට ගත් තිබ්බත බෞද්ධ ප්‍රබෝධයට ය. උපන් රට අහිමි වූ දලයි ලාමා හිමිපාණන් ලොව දිනාගත්තා සේ, ඥතාන් හිමියන්ට ද ලෝකයාගේ මහත් ගෞරවය ද – ආදරය ද දිනාගන්නට හැකි වූයේ, විප්‍රවාසික වන්නට සිද්ධ වූ නිසායැ යි පෙනෙන්නට තිබේ.
බොහෝ කලක් විප්‍රවාසික ව වැඩ හිඳි උන්වහන්සේ 2007 වර්ෂයේ දී යළි වියට්නාමයට වැඩම කළේ, මවුරටට එන්නට අවසර දෙන්නැ’ යි කළ ඉල්ලීම අවසානයේ වියට්නාම රජය විසින් පිළිගනු ලැබීම හේතුවෙනි. එහෙත් එම සංචාරය පාලකයන්ගේ සැකයෙන් ද, උකුසු ඇසින් ද, විවේචනයෙන් ද ගැලවුණේ නැත. යළිත් ප්‍රංශයට වැඩම කළ උන්වනහ්සේ සුපුරුදු පරිදි ප්ලම් විලේජ් හි වැඩ වසන්නට වූ හ. ඒ අතර, සිය ජීවිතයේ අවසාන භාගය කුඩා කල වැඩ සිටි ‘තු හ්‍යු’ පන්සලේ ගත කරන්නට අවසර දෙන්නැ යි කළ ඉල්ලීම වියට්නාම් නව රජය විසින් පිළිගනු ලැබිණ. ඒ අනුව, 2014 වර්ෂයේ උන්වහන්සේ එම පන්සලට වැඩම කොට, එහි කාලය ගත කළ හ. මේ වකවානුවේ උන්වහන්සේගේ ශරීර සෞඛ්‍යය පිරිහුණු නමුත්, මනා විවේකයෙන් ද – සමාධියෙන් ද වාසය කළ හ. 2022 ජනවාරි මස 22වැනි දින අපට අසන්නට ලැබුණේ, අවුරුදු 92ක් ආයු වැලඳූ උන්වහන්සේ ආයු සංස්කාරය අවසන් කළ බව යි.
අපවත් වන්නට පෙරාතුව දිනෙක උන්වහන්සේ සිය අවමංගල්‍යය සිද්ධ කළ යුතු අන්දම ගැන පැවසූ මේ වැකිය ද ලොව බොහෝ දෙනාගේ සිත්හි පහන් හැඟුම් උපදවී ය.
“…මා මිය ගිය පසු මගේ භස්මාවශේෂයන් තැන්පත් කොට ස්තූපයක් සදන්නට මගේ වියට්නාම ශ්‍රාවකයකුට අවැසි වී තිබේ. ‘අපේ ආදරණීය ඇදුරුතුමාණෝ මෙහි වැඩ හිඳිති,’ යි එහි ඵලකයක ලියා තබන්නට ද ඔහුටත් – අන්‍යයන්ටත් අවැසි ය. ඔවුන්ට ස්තූපයක් තනන්නට ම ඕනෑ නම්, එහි ‘මම මෙහි නො වෙමි,’ යි ලියා තබන්නැ යි මම කීමි. මේ වැකිය ලෝකයාට තේරුම් ගන්නට අපහසු නම්, ‘මම පිටත ද නො වෙමි,’ යි තව වැකියක් එක් කරන්නට යෝජනා කළෙමි. එයත් තේරුම් ගන්නට බැරි නම්, තුන්වැනි – අන්තිම වැකියක් යෝජනා කළෙමි: ‘ඔබ ආනාපානය ද සක්මන ද වඩනා කල ඒ මාර්ගයෙහි මා හමු විය හැක්කේ ය.’…”