ජීවිතයේ අරුත කුමක්ද?

rashi
By rashi
10 Min Read

කපිල පීරිස්

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. මීට පිළිතුරු ලෙස විවිධ ආගම්, දර්ශන, මතවාද දරන උදවිය විවිධ පිළිතුරු සපයනු ඇත. සමහරෙක් සඳහන් කරනු ඇත්තේ තමන් තම ආගම දහමේ සඳහන් පරිදි කටයුතු කොට මරණින් මතු අදාළ දිව්‍ය සඟවාසයට, දිව්‍ය ලොක්යට යන බවය. තවත් සමහරෙක් පුද්ගල හෝ නිෂ්පුද්ගල ආත්මන් වැනි බලවේග සමග එකතු වීමට උත්සාහ කරන බව පවසනු ඇත. එසේම තවත් අය ශූන්‍යතාව වැනි තත්ත්වවලට පත්වීමට ප්‍රයත්න දරන බව සඳහන් කරනු ඇත. තවත් සමහරකු ඉපදුණු නිසා කාලා බීලා ජොලි කරලා පරලොවක් තිබුණත් එකයි නැතත් එකයි කියලා ජීවත් වෙනවා කියලා කියයි. මීට වඩා වෙනත් පිළිතුරු තිබිය හැක. උදාහරණයක් ලෙස මාගේ මිතුරකුගේ ජීවිතයේ අරුත වන්නේ හැකි පමණ තම වර්ගයා බෝ කිරීමය. මේ සියල්ල අතරේ බෞද්ධයන් සඳහන් කරනු ඇත්තේ මතු භවයේ අපායෙන් මිදී දිව්‍යලෝක සැප සම්පත් ලැබ අවසානයේ නිවන් දැකීමට අදාළ කටයුතු කරන බවය. තවත් අය සඳහන් කරනු ඇත්තේ මේ භවය හැකි පමණ සාර්ථක කර ගැනීමට ධාර්මිකව ජීවත් වන බවය. කෙසේ වුවත් මේ සියල්ලටම වඩා වෙනස් පිළිතුරු ද තිබිය හැක.

මේ සියලු ආකාරයේ පිළිතුරු පිළිබඳව සලකා බැලූ විට පෙනී යන්නේ මේවා හුදෙක් යම් යම් ආගම්, මතවාද, දර්ශන, සංස්කෘතික පසුබිම් ඔස්සේ තම තමාට සම්ප්‍රේෂණ වූ ඒවා පමණක් බවය. මේ කිසිවක සත්ත්වයා, මිනිසා යනු කවරෙක් ද? සත්ත්ව පුද්ගල ක්‍රියාකාරීත්වය කෙබඳුද? එය ක්‍රියාත්මක වන්නේ කවර සාංහාරිත පසුබිම් මතද? ආදී ප්‍රශ්න පිළිබඳව හුදු ශ්‍රැතවත් භාවය ඉක්මවූ තමා තුළින් තම අධ්‍යාත්මයට පිවිසීම තුළ කෙරෙන්නාවූ විමසීමක් දක්නට නැත. ජීවිතයේ අරුත කුමක්ද? වැනි ප්‍රශ්න ඇතිවීම මෙන්ම ඒවාට විවිධාකාරයේ පිළිතුරු ද නිර්මාණය වන්නේ කෙසේද? මේ සියල්ලටම මූලික පදනම සපයන තම සිත – මනස පිළිබඳව තමා දන්නේ මොනවාද? මේ ගැටලු පිළිතුරු සියල්ල මතු වන්නේ තම අභ්‍යන්තරයේ අධ්‍යාත්මයේ සිතේ හා මනසේ ඇතිවන ගැටලුවත් අසහනයත් අතෘප්තිකරභාවයත් නිසා නොවේද කියා? මූලිකවම විමැසිය යුතු නැද්ද? මේ ගැටලුකාරී, අසහනකාරී, අතෘප්තිමත් සිතේ ඇතිවන වන විවිධ ගැටලුවලට ඒ සිතින්ම, මනසින්ම සිතා විවිධ පිළිතුරු නිර්මාණය කරගැනීමට හෝ ඒවාට වෙනත් අය ලබාදී ඇති පිළිතුරු දරා ගැනීමට ප්‍රථම මේ සිතේ, මනසේ සහ අදාළ බාහිරයේ ක්‍රියාකාරීත්වය ගැන දැනගැනීමට උත්සාහ ගැනීම වඩාත් විද්‍යාත්මක නොවන්නේද?

මේ සඳහා වන සුවිශේෂී විද්‍යාත්මක ක්‍රමය (ඇත්තටම ආර්ය පර්යේෂණ) අනෙක් සාමාන්‍යයෙන් අප දන්නා විද්‍යාත්මක මතවලට වඩා බොහෝ වෙනස්ය. සාමාන්‍ය විද්‍යාත්මක විමසුම්වලදී අප සිතේ ක්‍රියාවලිය පසෙකලා බාහිරය ගැන ඒ සිත මතම පදනම් වී විමසමු. එය පදනම – අත්තිවාරම එහි ස්වභාවය, ශක්තිමත් භාවය ආදී කිසිවක් ගැන නොදැන කෙරෙන සුවිසල් ඉදිකිරීමක් බඳුය. එහෙත් ආර්ය පර්යේෂණ නම්වූ භාග්‍යවතුන් වහන්සේ වදාරන සුවිශේෂ විද්‍යාත්මක ක්‍රමයේදී අප යොමු වන්නේ අධ්‍යාත්මයටය, චින්තාභ්‍යන්තරයටය. අනෙක් සියල්ල විමැසෙන්නේ ඊට සාපේක්ෂකවය.

ඇත්තටම අප පෙළනා සියලු ගැටලුවල මූලික පදනම ඇත්තේ සිතේය. මේ මුළු ලෝකයම දිව යන්නේ, මෙහෙය වන්නේ මේ සිතේ ඇති වන සෝමනස්ස, දෝමනස්ස, උපේක්‍ෂා, වේදනා ඔස්සේ බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්ත්වයාගේ සංසාරික ප්‍රවෘත්තිය ගෙනහැර දක්වති. එසේම එය අවසානයේ දුකක් බවත්, මේ දුකට හේතුවක් ඇති බවත්, මිදීමක් ඇති බවත්, ඒ සඳහා පටිපදාවක් ඇති බවත් පෙන්වා වදාළ සේක. දැන් කෙනකුට සිතෙනු ඇත්තේ මෙයත් පෙර සඳහන් කළ පරිදි වෙනත් අයකුගේ අදහසක්, මතයක්, දර්ශනයක් නොවේද යන්නය. එහෙත් මෙහි පැහැදිලි වෙනසක් ඇත. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, කර්ම ඵල (කෙටියෙන් සඳහන් කළහොත් ලෞකික සම්මා දිට්ඨිය) ආදී කරුණු කාරණා උන්වහන්සේ වදාළ දුකින් මිදීමේ පටිපදාව වැඩීම ඇරඹුම සඳහා ආකාරවති ශ්‍රද්ධාවෙන් (අප දැනට දන්නා කරුණු කාරණාවලට අනුකූලව සංගතව)

පිළිගැනීම අවශ්‍ය වුවත් පටිපදාව වැඩීම ඇරඹෙත්ම අදාළ දුකින් මිදීම, සිතේ සහනය, තෘප්තිය වර්ධනය වීම අත්දැකිය හැකිය. එසේම තම අභ්‍යන්තරය අධ්‍යාත්මය සිත පිළිබඳවම කෙරෙන විමසුමකින් එහි ක්‍රියාකාරිත්වය දැනගැනීම ඉක්මවූ දැකගැනීමට ප්‍රවේශ වීම තුළ ඉහත සඳහන් බොහෝ ගැටලු පමණක් නොව ලෞකික සම්මාදිට්ඨිය පවා ප්‍රශ්න කිරීම කොපමණ අර්ථ ශූන්‍ය ද යන්න වැටහෙනු ඇත. අප කිසිවක් නොදන්නා උපකරණයකින් යම් පද්ධතියක් නිරීක්‍ෂණය කරමින් ඒ පද්ධතිය ගැන විවිධ ප්‍රශ්න ඇති කරමින්, ඒවාට විවිධ පිළිතුරු නිර්මාණය කිරීම කොතරම් හිස් ක්‍රියාවක්ද? අප පළමුව අදාළ උපකරණය ගැන දැනගත යුතුය. එලෙසම නොදන්නා මනසින් අනෙක් සියල්ල විමැසීම අර්ථ ශූන්‍යය.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන කරුණු කාරණා ශ්‍රැතමය ප්‍රඥාවෙන් දැනගෙන චින්තාමය ප්‍රඥාවෙන් ඒවා තම තමන්ට ගැළපෙන පරිදි යම් ආකාරයක සංගත ආකෘති බවට පෙරළාගත යුතුය. අනතුරුව පටිපදාව, එනම් සිත වැඩීම භාවනාව වෙත යොමුවිය යුතුය. එය සාමාන්‍ය පර්යේෂණ ක්‍රමවේදය නොවන බව පැහැදිලිව තේරුම් ගෙන නාම රූප ක්‍රියාවලිය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන සත්‍ය ස්වරූපය දැනගෙන එය දැක ගැනීමට ප්‍රත්‍යක්‍ෂ කිරීමට ගන්නා සුවිශේෂී උත්සාහයක් ලෙස මනාව අවබෝධ කළ යුතුය. අප සාමාන්‍යයෙන් දැනට දන්නේ භාග්‍යවතුන් වහන්සේ සොයා දැන දැක අප හට දේශනා කළ නාම රූප ක්‍රියාවලිය පිළිබඳව පමණය. එහෙත් එය දැක ගැනීම යනු මේ මොහොතේදීම එය සිදුවන විටදීම එය ගෝචර කර ගැනීමයි. එයයි දහම දැකීම. එවිට එය තවදුරටත් කාගේ හෝ නිර්මාණයක්, කතාවන් නොවේ. මේ නාම රූප ක්‍රියාව (පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය, චක්ඛුංච පටිච්ච රූපේච උප්පණ්ණි චක්ඛු විඤ්ඤාණං…. ආදී සියල්ලෙන් දැක්වෙන්නේ ද මෙයයි). මේ මොහොතේදීම ප්‍රත්‍යක්‍ෂයෙන් දැකිය හැකි නම් මේ ලෝකය සංසාරය තුළ තමා ‘මම’ යනු කවරෙක් ද යන්න අවබෝධ වනු ඇත. දෝමනස්සය පලවා හරිමින් සෝමනස්සය පසු පස ලුහුබඳින මේ දුක්ඛිත පොරය එවිට තේරුම් යනු ඇත. එසේම ඒ ඒ මොහොතේ මේ පොරයෙන් මිදී සතර බ්‍රහ්ම විහරණය තුළ කළ යුත්තේ කුමක්ද යන්න ද පැහැදිලි වේ. එය වූකලි මේ පොරයෙන් මිදුණු මනා අස්වැසිල්ලක ප්‍රවේශයකි.

භාවනාවෙන් සිත වඩා සතිය – යෝනිසෝමනසිකාරය වඩා චිත්ත ඒකාග්‍රතා සමාධි ඔස්සේයි මේ තත්ත්වයට පත්විය යුත්තේ. එහෙත් ඊට පෙර වුවද ඉතා ඕලාරික ලෙස එදිනෙදා ජීවිතයේදී ද මේ තත්ත්වයන් ඉතා සරල මට්ටමින් වුව ප්‍රගුණ කිරීමෙන් මහත් සහනයක් ලද හැකිය. මේ තත්ත්වයන් දැකගැනීම කෙසේ වෙතත් අවම වශයෙන් දැනගන්නා කෙනා පෙර සඳහන් කළ වැනි විවිධ මනෝමූලික ප්‍රශ්න ගොඩනඟමින් ඒවාට විවිධ පිළිතුරු නිමවමින් හිත සනසා ගැනීමට විකෘති ප්‍රයත්න නොදරනු ඇත.

මෙහිදී බොහෝ විට විවිධ සමාධි ආදිය ලැබුණ විට මතුභව – පෙරභව, ඇතැම් කර්ම ඵල ආදිය පිළිබඳ තතු දැකගත හැකි වුවත් ඒවා අතුරු ඵලයන් පමණය. මේ කිසිවක් පිළිබඳව සිත පෙළෙනා ගැටලු – සංකා, අතෘප්තිමත්භාවයන් මේ කෙනාට නැත. එහෙත් ඔහු ප්‍රථමයෙන්ම මේවා ගැන විවිධ පරිදි සිතමින්, කතා ගොතමින් සිටියේ නම් කිසිදා තම සිත මුළුමනින් සංසිඳවාලන කවර හෝ පිළිතුරක් නොලබනු ඇත. කෙලෙස් (දිට්ඨි, සංඛාර, ලෝභ, ද්වේෂ, මෝහ) සහිත සිතකින් සිතා කෙදිනකවත් ඒ සිත සංසිඳවිය නොහැක. නිවිය නොහැක. ඒ නිවීම සඳහා අප සිතේ සාදාගෙන ඇති එනම් සෝමනස්සය පතා සාදාගෙන ඇති කෙසෙල් කඳන් බඳු විවිධ දිට්ඨි මතවාදවල හරසුන් බව (ඒවායින් නිත්‍ය සෝමනස්සයන් නොලබන බව) ඒ දිට්ඨි සංස්කාරවල විවිධ අරමුණු (විශේෂයෙන් මනසේම ඇති ධම්ම ලෙස හැඳින්වෙන විවිධ මතක සටහන්, අනාගත අපේක්ෂාවන්, සැක සංකාවන් ආදිය) මොහොතින් මොහොත ගැටීම නිසා ඇතිවන වේදනාවන් ගැන, ඒවා කොපමණ අනිත්‍ය ද යන්න ගැන ඒවා කිසිවිටෙක ‘මම’ට අවශ්‍ය පරිදි ‘මම’ ගේ වසඟයේ තබා ගත නොහැකි බවත් (අනත්තය) ඒ ඒ මොහොතේම දැකගැනීමට උත්සාහ කළ යුතුය. එවිට මේ ලෝකයේ අප යෙදී සිටින මේ විකෘති පොරය අපගෙන් ගිලිහෙනු ඇත. මේ පොරයෙන් මිදුණු විට ඉතා සාර්ථකව මේ ලෝකය තුළ සතර බ්‍රහ්ම විහරණය මුල් කරගත් කුසල සිතින් ක්‍රියාත්මක විය හැක. එවිට අපට පෙර සඳහන් කළ පරිදි විකෘති මනසින් ඇසෙන ඊනියා දාර්ශනික ප්‍රශ්න සහ ඒවාට විසඳුම් සෙවීම මඟහැරෙනු ඇත. ලෝකයේ සැබෑ ප්‍රායෝගික ගැටලුවලට පමණක් අප සීමා වනු ඇත.

අපේ සියලු ගැටලු (දෝමනස්ස) මතු වන්නේ ෂඩ් ඉන්ද්‍රිය අරමුණු (විශේෂයෙන් මනසට ධම්ම අරමුණු) ආධ්‍යාත්මික සෝමනස්සය උදෙසා සකසා ගත් දිට්ඨි-සංඛාර (යම් යම් දෑ මේ මේ ආකාරයට වේ නම් මා සොම්නස්ය) සමග ස්පර්ශයේදීය. මේ දිට්ඨි – සංඛාර නොමැති සිතේ බාහිර අරමුණු වැදීමත් අර්ථවත් නැත. ඒ නිසාම වේදනා (සෝමනස්ස – දෝමනස්ස) නැත. මේ දිට්ඨි – සංස්කාර තිබියදී බාහිර අරමුණු සෑම විටම සෝමනස්ස වේදනා ඇති වන පරිදි සිදු කරගැනීම කළ නොහැක්කකි. ඒ අභව්‍ය උත්සාහයේ ප්‍රතිඵලය තමයි දුක! මේ දුකින් මිදීමට ඉතා වැදගත් ප්‍රවේශය වන්නේ මේ නිමිති – අරමුණු දිට්ඨි – සංඛාරවල ගැටීම සහ ප්‍රතිඵලය වන වේදනා ඇති කරවන ක්‍රියාවලියේ අනිත්‍ය වැඩීමය. එවිට මෙම අනිත්‍ය ක්‍රියාවලිය තුළ සෝමනස්ස සොයා පොරබැදීම තුළ දුක හට ගන්නා අයුරුත් මේ පොරබදන ‘මම’ යන්න හිස් ප්‍රලාපයන් බවත් පසක් වනු ඇත.

මේ නාම – රූප ක්‍රියාවලිය දන්නා කෙනා ක්‍රියාත්මක වන්නේ මේ මොහොතේදීය. සෝමනස්ස වෙනුවෙන් දිට්ඨි – සංඛාර නොමැති කෙනාට නිර්භයව, එඩිතරව මේ මොහොතේ කළ යුත්ත කළ හැක. ඔහු කොහොමත් සිටින්නේ නිවී සැනසීය. මේ කරන දෙයින් අමුතු නිවීමක් – සැනසීමක් ඔහුට අවශ්‍ය නැත. අප රථයක් පදවා ගෙන ගමනක් යන්නේ නම් අපට වැදගත් වන්නේ ඒ ගමනාන්තයයි. ඒ සඳහා ඒ ඒ මොහොතේ මාර්ගයේ සොබාවය, කාලගුණය, වාහනයේ තත්ත්වය ආදිය මත අප ක්‍රියාත්මක විය යුතුය. මාර්ගය, වාහනය ආදිය ගැන අවසාන ගමනාන්තයට අදාළ නොවන දිට්ඨි – සංඛාර වැඩක් නැත. එසේම අනෙක් අය ගමන් ගන්නා වාහන ගැන සැසඳීම ද අදාළ නැත. කළ යුත්තේ නිවැරදි ගමනාන්තය සඳහා මේ මොහොතේ කළ යුත්තය. නැතිනම් මේ මොහොත මෙන්ම ගමනාන්තය ද අසාර්ථක වනු ඇත.

නිවන නමැති ගමනාන්තයේ ලැබෙන සහනය පසෙක තිබියේවා. ඒ ගැන මෙනෙහි කිරීමෙන් පවා ලැබෙන සහනය සමග සැසැඳීමේදී ඒ ගමනේදී (ලෞකික කටයුතුවලදී) ලබන විවිධ දුක් කම්කටොලු අප එකිනෙකා අතර පවතින වෙනස්කම් නිසා මානය ඇසුරු කරගෙන හටගන්නා විවිධ දුක් ගැහැට, විවිධ සමාජ අසාධාරණකම් නිසා වන ගැහැට ආදිය කවර තරමේ නොගිණිය හැකි අඟුටුමිට්ටන්ද?

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *