විමල් අභයසුන්දර
වැලිතර උක්කට්ඨ වංස තිස්ස අරියවංසාලංකාර ශ්‍රී ඤාණතිලක තිස්ස අමරපුර චූල ගණ්ඨි නිකායේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වී දශක අටක සමරුව මැයි මස 22 වැනිදාට යෙදී තිබේ. ජාතික වීරාවලියේ අමුල්‍ය මිණි රුවනක් සේ පිළිගැනෙන, පාලි පණ්ඩිත ශිරෝමණි ඤාණතිලක මා හිමියන් පිළිබඳ අර්ධ ශත සංවත්සර අනුස්මරණය ජාතික වීර දිනයෙහිම යෙදී තිබීම ඉතිහාසයේ අසිරිමත් සිදුවීමකි.
මෑත අතීතයේ මෙරට පහළ වූ යුග පුරුෂයකු මෙන් මහා පුරුෂෝත්තමයකු වූ මහානායක මාහිමියන් වහන්සේ සුදුර්ලභ ප්‍රාඥයකු, සුවිශේෂ විශාරදයකු, අනභිභවනීය වාග්මීශයකු මෙන්ම ව්‍යක්ත ග්‍රන්ථ කර්තෘවරයකු ද වූහ.
1858 ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ පැවිදි බිමට පත් වූයේ 1871 දීය. එදා පටන් 1941 මැයි 22 වැනි දින අපවත්වන තුරුම ගෙවීගිය අවුරුදු හැත්තෑවක පමණ කාල පරිච්ඡේදය ආචාර්යාද්භූත විස්මය ජනක සිද්ධීන් ගහන වූ එකම ඓතිහාසික වෘත්තාන්තයකි.
භද්‍ර යෞවනයෙහි දීම මහා පණ්ඩිත රත්නයක් හැටියට මුළු දිවයින පුරා පතළ කීර්තියක් ඇතිව සිට ඤාණතිලක හිමියෝ විචිත්‍ර ධර්ම කථිකයකු ලෙස ද නිර්භීත වාගීශ්වරයකු ලෙසද ජනප්‍රිය වූහ. පාලි, සිංහල, සංස්කෘත යන භාෂාත්‍රයෙන් පද්‍ය කරණයෙහි සුදුර්ලභ ප්‍රගල්භත්වයක් ඇතිව සිටි එම හිමියෝ සිංහලෙන් මෙන් පාලියෙන්ද ක්ෂණික පද්‍ය නිබන්ධ කිරීමෙහිලා දැක්වූ සුවිශේෂ දක්ෂතා අදත් වර්ණ කථනයට පාත්‍රව පවත්නේ වෙයි. උන්වහන්සේ විසින් රචනා කරන ලද නිරුක්ති රතනාකර නම් සුවිශාල පාලි වාග් විද්‍යා ග්‍රන්ථය උන්වහන්සේගේ ගාථා නිබන්ධ කුසලතාව සහ පාලි ව්‍යාකරණ වෛශාරද්‍යය පුරා පළ කරන්නකි. ගාථා දස දහසකට අධික ය. මෙතෙක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවා නැත.
ගෞරවය
ශ්‍රී ලංකාවට පැමිණි තුන් වැනි රාමා චූලාලංකාර නම් සියම් (තායි) රජතුමාට පාලි භාෂාවෙන් පැවැත්වෙන ධර්ම දේශනාවක් ඇසීමට අවශ්‍ය විය. 1913 දී කැලණි රජමහා විහාරයෙහි පැවැත්වූ ශතාධික මහා දානමය පුණ්‍යකර්මයෙහිදී පළවුණු එම අභිරුචිය අනුව ආරාධනයක් ඉදිරිපත් විය. එම මහ දන් පින්කමට දිවයිනේ මහ වියත් පැවිදි පඬිවරු වැඩමකොට සිටියහ.
ඇරැයුම පරිදි පාලි භාෂාවෙන් බණ කීමට කිසිම පාලි භාෂා විශාරද ධර්ම භාණකයකු ඉදිරියට නොපැමිණි තැන, වැලිතර ඤාණතිලක මහ නාහිමියෝ වාදිභසිංහයකු සේ නැඟී සිටියහ. පුරා පැය තුනහමාරක් තිස්සේ පාලි බණක් කියැවුණේය. ධර්ම දේශනය කොතරම් චිත්තාකර්ෂණීය වූයේද යත්, ධර්ම ගාම්භීර්යයෙන් විචිත්‍ර වූයේද යත්, චූලාලංකාර රජතුමා ඤාණතිලක මාහිමියන් වහන්සේට ‘ශුද්ධෝත්තම’ හිස් හෝලිනස් (his holiness) යන ගෞරවොපාධිය ප්‍රදානය කළේය. පෙළ බස හොඳින් දැන සිටි සර් රොබට් චාමස් ලංකාණ්ඩුකාර තුමා “පාලි මහා චක්‍රවර්ති පණ්ඩිත ශිරෝමණී” යන සම්මාන නාමය පිරිනැමුවේය.
වැලිතර ශ්‍රී ඤාණතිලක තිස්ස මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ස්ව ප්‍රධානත්වයෙන් 1886 පෙබරවාරි මස 26 වැනි දින අමරපුර චූල ගණ්ඨි නමින් අභිනව භික්ෂු පරපුරක් පිහිට වූහ. වැලිතර පුෂ්පාරාම මහා විහාරය මධ්‍යස්ථානය කොට පවත්නා එම නිකායට අයත් විහාරාරාම ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුව, දිගාමඬුල්ල යන දිස්ත්‍රික්කවල එකසිය පහකට වඩා ඇත්තේය. මෙම විහාරාරාම කේන්ද්‍ර කොටගෙන සිදුවන ලෝක ශාසන සංග්‍රහය සහ අධ්‍යාපනික ශාස්ත්‍රීය සාහිත්‍යය හා සංස්කෘතිකමය සේවාදාමය අත්‍යුදාරය. මහ නාහිමියන්ගෙන් පසුව බණ්ඩාරමුල්ලේ අමරසිංහ, වැලිතර උත්තම ඤාණ, වැලිතර ඤාණවාස, වැලිතර ඤාණවිමල, වතුරෙගම ඤාණෝභාස යන මහ උගත් මහ පඬි හිමිවරු චූල ගණ්ඨි අමරපුර නිකායේ මහානායක පදවිය හෙබවූහ. ඉදානීන්තනයෙහි, වලගෙදර පතිරාජ දේව මන්තින්දාරාමාධිපති පණ්ඩිත ගල්වෙහෙර අමරඤාණ තිස්ස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ම මහා නායක පදවිය බැබළවූහ.
ඤාණතිලක මහ නාහිමියන් ගේ කාර්යභාරය දෙතුන් අංශයකට පමණක් සීමා වූයේ නොවේ. විවිධ ක්ෂේත්‍රයන් පුරා පැතිර පැවැත්තකි. ඒ සියල්ලෙහි අරමුණ වූයේ බුද්ධ දර්ශනයේ ආයත්‍යභිවර්ධනය හා ශාස්ත්‍රීය බුද්ධිය වර්ධනය කිරීමය. ස්වාධීනත්වය බෙහෙවින් අගය කළ මහ නාහිමියෝ තමන් ගේ ප්‍රධානත්වයෙන් නිකායක් ආරම්භ කළා පමණක් නොව පිරිවෙණක් ද පටන් ගත්හ. තමන් වහන්සේ ආධිපත්‍යය දැරූ නායක පන්සලෙහිම විජ්ජොභාස විජ්ජා මන්දිර නමින් පවත්වාගෙන ගිය එම පිරිවෙනේ මෙරට ගිහි පැවිදි ශිෂ්‍යයෝ ද බුරුම, සියම් (තායි), කාම්භෝජ, ලාඕස්, වංග හින්දු ආදී විජාතික ශිෂ්‍යයෝ ද අධ්‍යාපනය ලැබූහ. තොටගමුවේ විජයබා පිරිවෙණ සිහි ගැන්වූ මෙහි පාලි, සිංහල, සංස්කෘත භාෂාන්තරයන් හැරුණු විට, ජ්‍යොතිෂය, දේශීය සහ ආයුර්වේද වෛද්‍ය කර්මය ද ඉගැන්වූහ.
එවක එම ප්‍රදේශයෙන් පහළ වූ සිවිල් නිලධාරීන්, දොස්තරවරුන්, අධිනීතිඥවරුන්, ඉංජිනේරුවන් සහ දේශපාලනඥයන් ගෙන් වැඩි දෙනෙක් ඤාණතිලක මාහිමියන් ගෙන් පාලි, සිංහල උගත්තෝ වූහ. අතපොත් තබා ගත්තෝ වූහ. මාහිමියන් ලවා හාපුරා අකුරු කියවා ගැනීම ශාස්ත්‍රය පිහිටීමට සාධකයක් ලෙස පිළිගැනුණේය. සුගත සාසනෝදය පරිවේණාධිපතිව වැඩ විසූ පණ්ඩිත අහුංගල්ලේ විමලකිත්ති තිස්ස මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද සමස්ත ලංකා අමරපුර මහ සංඝ සභාවේ සභාපති මහා නායක ධුරන්ධරව වැඩ විසූ පණ්ඩිත කොස්ගොඩ ශ්‍රී ධම්මවංස මාහිමියන් වහන්සේ ද මූලික අධ්‍යාපනය ලබාගත් සේක් ඤාණතිලක මාහිමියන් වහන්සේ වෙතිනි. මුන් වහන්සේ කොළඹ කොටහේනේ දිපදුත්තමාරාම විහාරස්ථානයෙහි ද ටික කලක් පැවිදි නොපැවිදි ශිෂ්‍යයනට ඉගැන්වීමෙහි යෙදී සිටි වග වාර්තාගතය.
ග්‍රන්ථ කරණයෙහි ලා ඤාණතිලක මාහිමියන් දක්වා ඇති අසීමිත ශක්තිය වීමංසනය කිරීමෙන් සනාථ වන්නේ කාර්ය පරවශවීමේ අසාමාන්‍ය කුසල බලය සහ අසාමාන්‍ය බුද්ධි පාටවයයි. ඒ මහ නාහිමියන් තුළ පැවැති තීක්ෂණ භාෂා භාෂාන්තර ඥානයත් සමය සමයාන්තර ප්‍රාගුණයත් එහි දී අතුල්‍ය සහායක බලයක් වී ඇත. මුන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ දහඅටකි. එයින් පාලි ව්‍යාකරණ ග්‍රන්ථවලට සැපැයුණු සවිස්තර ව්‍යාඛ්‍යාය. සාසන වංස දීප මහා කාව්‍ය ව්‍යාඛ්‍යාව, ස්වකීය ආචාර්ය විමලසාර තිස්ස මහ නාහිමියන් රචනා කළ සාසන වංස දීප නම් පාලි කාව්‍යයට සම්පාදිත විස්තරාත්මක සන්නයකි. විදග්ධ මුඛ මණ්ඩන ව්‍යාඛ්‍යාව, ශෘංගාර තිලක ව්‍යාඛ්‍යාව, මෝහ මුද්ගර ව්‍යාඛ්‍යාව, අංජන නිදාන ව්‍යාඛ්‍යාව යන පොත් සතර සංස්කෘත ග්‍රන්ථවලට ලියන ලද සන්න පොත්ය. මෙම පොත් කීපයක් හේතු කොට ගෙන මහ නාහිමියනට ප්‍රදානය වුණු සම්මාන නාම කීපයකි. අරියවස ධජ, අරිය වංසාලංකාර, පවර නේරුත්තිකාතමාසභ්‍ය භූත, භදන්තාරිය, උක්කට්ඨ මහා තිස්ස අරියවංසාලංකාර කවිධජ යන සම්මාන නාමයෝ ද උන්වහන්සේට පිරිනැමූහ. සර් ජෝශප් වෙස්ට් රිජ්වේ ලංකාණ්ඩුකාරතුමා විසින් උන්වහන්සේ ගේ මුඛ මත්ත දීපනි ව්‍යාඛ්‍යා නම් ග්‍රන්ථය පිළිගෙන, අමරපුර ගණ ප්‍රධාන සංඝනායක ගෞරවෝපාධිය ප්‍රදානය කරන ලදී. උන්වහන්සේ ගේ මහා පාණ්ඩිත්‍යය සමකාලීන විදග්ධ පර්ෂදය අතර කොතරම් ඉහළින් සම්භාවනාවට පාත්‍රවී තිබුණේ දැයි වියත් වේ.
වැලිතර ශ්‍රී ඤාණතිලක තිස්ස මහානායක මාහිමියන් වහන්සේ සුමති ජන පණ්ඩිත සාහිත්‍ය ශෝභන ජීවිතය අවසානය දුටුව ද ඒ මහ නාහිමියන් ගෙන් සිදුවුණු කාර්යභාරය කිසිවිටෙකත් අමතක නොවන්නකි. උන්වහන්සේ ගේ වන්දනීය වූද පූජනීය වූද බලවේගය සජීවම ක්‍රියාත්මක වන්නක් වන බැවිණි. උන්වහන්සේ වැඩ විසූ නායක පන්සල දැන් සකලවිධ විහාරාංගයන්ගෙන් සමුපශෝභිතව සංවර්ධනය වෙමින් පවතී.

