පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි
දැනට බොහෝදෙනා වටහාගෙන ඇති පරිදි එදිනෙදා ජීවිතය හා ආගමික ජීවිතය දෙකක් ලෙස සැලකීම වැරදි සහගතය. නිවන් මඟට පිවිසි, නිවන් මඟෙහි නියුක්ත පුද්ගලයාගේ දෛනික ජීවිතය, ධර්මයෙන් තොර පුද්ගලයාගේ දෛනික ජීවිතයට වඩා හැම අතින්ම විධිමත් බව තේරුම් ගත යුතුය. සැණෙකින් මනුෂ්‍යයාට ලෞකිකත්වය ප්‍රතික්ෂේප කළ නොහැකිය. බුදු දහම නිවන් මඟ පවසන්නේ ඒ බව දැනගෙනය. ඒ නිසා මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ සමාජමය වූ සෑම අංශයක් පිළිබඳව ම ධර්මානුකූල පදනමක් මත පිහිටා සාකච්ඡා කර ඇත. මෙය ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයාගේ සමාජීය ජීවන රටාවයි.
මෙහිදී අපගේ විශේෂ අවධානය යොමු වන්නේ මවුපිය දූ දරු සම්බන්ධතාවේ ස්වභාවය පිළිබඳවයි. බුදු දහම ‘පවුල’ හැඳින්වීමට යොදන වචන දෙස බැලීමේදී දාරක සංරක්ෂණය අපේක්ෂා කර ඇති සැටි පැහැදිලිව පෙනේ. අං. නි. චතුක්ක නිපාතයේ සබ්‍රහ්ම සූත්‍රය මෙහිදී මූලාශ්‍රය කරගත හැකියි.
සබ්‍රහ්මක කුල
‘කුල’ යන වචනයෙන් අදහස් වන්නේ ‘පවුල’ යන්නයි. ‘සබ්‍රහ්මක කුල’ යනු බ්‍රහ්මයන් සහිත පවුල යනුයි. බ්‍රහ්ම නාමයෙන් ගැනෙන්නෝ මවුපියවරුය (බ්‍රහ්මාති මාතාපිතරො). මවුපියවරුන් එ නමින් හඳුන්වන්නේ දරුවන් කෙරෙහි බ්‍රහ්ම විහරණය පවත්වන නිසයි. එනම් අව්‍යාජ ලෙස දරුවාට සතුරු නොවන මිතුරු ගති පැවැත්වීමත් (මෙත්තා), දරුවා දුකට පත් වනවිට සසල හදින් පිහිට වීමත් (කරුණා), දරුවාගේ සැපතේදී දියුණුවේදී අවංක ව සතුටු වීමත් (මුදිතා), ඇතැම් විට වරදක් කළ ද දරුවා කෙරෙහි මධ්‍යස්ථ භාවයෙන් කටයුතු කිරීමත් (උපෙක්ඛා) නිසයි. මේ අනුව බුදු දහම දකින්නේ ළමා කේන්ද්‍රීය පවුලක් බව පෙනේ.
සපුබ්බාචරියක කුල:
මෙයින් අදහස් වනුයේ පූර්ව ආචාර්යවරුන් සහිත පවුලයි. පූර්ව ආචාර්ය යනු මවුපියන්ට නමකි (පුබ්බාචරියාති භික්ඛවෙ මාතාපිතුන්නං එතං අධිවචනං). ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ව්‍යවහාර කුසලතාව ලබාදෙන බැවින් පුබ්බාචරිය යන ව්‍යවහාරය කෙරේ. හිඳිය යුතු සැටි, සිටිය යුතු සැටි, යා යුතු නොයා යුතු තැන් හඳුන්වා දීම පූර්වාචාර්ය කටයුත්තයි. ළදරුවා මුලින්ම කරන්නේ විවිධ අත්දැකීම් ග්‍රහණය කර ගැනීම මගින් වටපිටාව තේරුම් ගැනීමයි. ඒ නිසා සුදුසු පරිදි අත්දැකීම් ග්‍රහණය කරවීම (ගාහාපෙන්ති) අවශ්‍යය. කරුණු තේරෙන්නට පටන් ගත් කල්හි ශික්ෂණයට පත් කළ යුතුය. (සික්ඛාපෙන්ති) මේ කරුණින් ද පෙනෙන්නේ බුදු දහම ‘පවුල’ දෙස අවධානය යොමු කරන්නේ ළමා කේන්ද්‍රීය ආකල්පයකින් බවයි.
සපුබ්බදෙව කුල:
මෙහි අර්ථය ‘පූර්ව දේවතාවරුන් සහිත පවුල’ යන්නයි. දේවතාවරු නම් රැකවරණය සලසන්නෝය. දරුවාගේ ජීවිතය මූලික වශයෙන් රැකදෙන්නෝ මවුපියවරුය. එබැවින් ඔවුහු පූර්ව දේවතා නම් වත්. මේ අර්ථය සලකා බලනවිට ද බුදු දහම පවුල ළමා කේන්ද්‍රීය සංවිධානයක් ලෙස සලකන අයුරු පෙනේ.
මවුපිය කාර්යභාරය
“බහුකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලෝකස්ස දසසෙතාරො”
“මහණෙනි, මවුපියවරු දරුවන්ට බොහෝ උපකාරශීලීහු වෙති. මෙහෙයවන්නෝ වෙති. පෝෂණය කරන්නෝ වෙති. මේ ලෝකය හඳුන්වා දෙන්නෝ වෙති.”
අං. නි. සුප්පතිකාර සූත්‍රයේ එන මේ කරුණුවලින් පෙනෙන්නේ දරුවා සමාජයට යෝග්‍ය, එහි ක්‍රියාත්මක වීමට හැකි පුද්ගලයකු ලෙස සැකසීම මවුපිය කාර්යභාරයක් වන බවය.
(1) ආපාදකා : මෙයින් අදහස් වනුයේ දරුවාගේ කායික මානසික කුසලතා වර්ධනය ඇති කිරීමය. දරුවකුගේ මිනිස්කම පිබිදෙන ආකාරයට දරුවා පිළිබඳව සංරක්ෂණශීලී සම්බන්ධතාවක් ඇති කර ගැනීම මෙයින් අදහස් කෙරේ. අපගේ අටුවාචාර්යන් වහන්සේලා ‘ආපාදකාති අනුපාලකා’ යනුවෙන් විග්‍රහයක් දක්වමින් ‘දරුවන් නිසි මඟ මෙහෙයවීම’ ‘ආපාදකා’ යනුවෙන් ගැනෙන බව ප්‍රකාශ කර ඇත. දිවි පැවැත්ම සඳහා අවශ්‍ය වැටහීම ලබාදීම මෙයින් අපේක්ෂා කෙරේ. මවුපියවරුන් පූර්ව ආචාර්යවරුන් වන්නේ ද එබැවිනි.
දරුවා විධිමත් අධ්‍යාපනයකට යොමු කිරීමට පෙර ලැබිය යුතු ව්‍යවහාරික කුසලතාවක් මෙයින් අපේක්ෂා කරනු ලැබේ. ළදරු අවස්ථාවේ දරුවා අනතුර, විපත නොහඳුනයි. එබැවින් තමාම තමා රැකෙන්නට දැනගන්නා තෙක් දරුවා ආරක්ෂා කළ යුතුබව අං. නි. කාමෙසු පලාළිත සූත්‍රයෙහි දක්වා තිබේ.
“යතො ච ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධො හොති අලං පඤ්ඤෝ අනපෙක්ඛො පන භික්ඛවෙ ධාති තස්මිං කුමාරො හොති, අත්තගුත්තොදානි කුමාරො නාලං පමාදාය” (අං. නි. III 10 පිට. බු. ජ. මු.)
මහණෙනි, යම් අවස්ථාවක සිට ඒ දරුවා අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්නේ ද එකල්හි ඒ දරුවා කෙරෙහි ‘දැන් කුමරා තමා ම රැකෙයි. ප්‍රමාදයට යෝග්‍ය නොවෙයි’ යනුවෙන් දැන තවදුරටත් ආරක්ෂා කරන්නට අවශ්‍ය නොවෙයි. දරුවාගේ ජීවිතය නිසි ලෙස මෙහෙයවීම යනු මෙයයි.
(2) පෝසකා : මෙයින් අදහස් වන්නේ පෝෂණයයි. එහෙත් ශරීර පෝෂණය පමණක් මෙහිදී අදහස් නොකෙරේ. මානසික අත්දැකීම්වලින් පෝෂණය කිරීම ද මෙයට ඇතුළත් වේ.
බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව ආහාර වර්ග සතරකි.
එනම් :
- කබලිංකාරාහාරය
- ඵස්සාහාරය
- මනෝසඤ්චේතනාහාරය
- විඤ්ඤාණාහාරය
- කබලිංකාරාහාරය : මෙයින් අදහස් වන්නේ ශරීරය පෝෂණය වීම සඳහා අවශ්‍ය භෞතික ආහාරයයි. මහා තණ්හා සංඛය සූත්‍රයෙහි මවුපිය සම්බන්ධතාවෙන් ගැබ් ගැනීම සිදුවීමේ පටන් ක්‍රියාත්මක මිනිසකු දක්වා සිදුවන වර්ධන ක්‍රියාවලිය පිළිබඳ අනුපිළිවෙළ විස්තරයක් එයි. නිසි පරිදි ගැබ මුහුකුරා ගිය පසු නිරෝගී උපතක් ලබාදීමෙන් අනතුරුව මව දරුවා සිය ලෝහිතයෙන් පෝෂණය කරන බව එහි සඳහන් වේ. (තමෙනං ජාතං සමානං සකෙන ලොහිතකෙන පොසෙති) බණ දහමට අනුව ලෝහිතය යනු මවු තනය හෙවත් කිරි බවද සඳහන් වේ. (ලෝහිතං හෙතං භික්ඛවෙ අරියස්ස විනයෙ යදිදං මාතු ථඤ්ඤං) මේ අයුරින් දරුවාගේ වැඩීම සලසන ආහාරය කබලිංකාර ආහාරයයි.
මේ අනුව සිදුවන පෝෂණයේ අංශ දෙකක් ඇත. එනම්:
- ශරීරයේ වැඩීම (වුද්ධි)
- ඉන්ද්‍රිය පරිපාකය
‘වුද්ධිමන්වාය ඉන්ද්‍රියානං පරිපාකමන්වාය’ යනුවෙන් භාවිත වන්නේ එයයි. මෙහි ඉන්ද්‍රිය පරිපාකය ලෙස දක්වන්නේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් රූප, ශබ්දාදී දැනීම්වලට නිසි පරිදි සංවේදී විය හැකි ලෙස වැඩීමය.
- ඵස්සාහාරය : ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන් මගින් ලබන අත්දැකීම් ස්පර්ශ කිරීමයි.
- මනෝසඤ්චේතනාහාරය : පුද්ගලයා ලබන විවිධ ඉන්ද්‍රියානුසාරී අත්දැකීම් නැවත නැවතත් සැලකීමෙන් සිතට දෙන ආහාරයයි.
- විඤ්ඤාණාහාරය : රූප, ශබ්දාදී අරමුණු පිළිබඳව දැනගැනීමයි. රූපයකි, ශබ්දයකි ආදී වශයෙන් කෙරෙන විජානනය යි.
මේ ආහාර වර්ග සතර (භෞතික, මානසික) උපන් සත්ත්වයන්ගේ පැවැත්ම සඳහාත්, උපදින්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසත් පවතින ආහාර සතරකි. භෞතික ආහාර දීමත් මානසික වැඩීමට සරිලන අත්දැකීම් ලබාදීමත් පෝෂණය බව දත යුතුය. තම කුඩා දරුවා ඇකයේ තබාගෙන වැඩි කාලයක් සිටීමට සමහර මවුවරු කැමති වෙති. එහිදී දරුවාගේ ඉන්ද්‍රිය පරිපාකයට ඇති අවකාශ අඩු වී යයි. ඉන්ද්‍රියයන් මගින් විවිධ හැඳිනීම් ලබා ගැනීමට දරුවා තුළ ඇති උනන්දුව නොවැළැක්විය යුතුය. ඒ අනුව දරුවන් සුරතලුන් මෙන් පමණක් ඇති දැඩි නොකළ යුතුය. කුඩා කල සිට අත්දැකීම් ලබමින් ඉන්ද්‍රිය පරිපාකයට අවකාශ ලැබිය යුතුය.
මෙහිදී කලින් සඳහන් කළ කාමෙසු පලාළිත සූත්‍රය සිහියට ගැනීම ඉතා වැදගත්ය. බාහිර අත්දැකීම් ලබමින් ඒ අත්දැකීම් පිළිබඳව අවබෝධ කරගනිමින් අනතුරු හා ඉන් ගැලවීම වටහා ගන්නාතුරු දරුවා පිටුපස සිට ආරක්ෂා කළ යුතුය. ප්‍රමාදයට සුදුසු නැති,
තමා ම තමා රැකෙන්නට දත් අවස්ථාව දක්වා දරුවා ආරක්ෂා කළ යුතුය. දරුවා හුරතලකු ලෙස පමණක් සලකා කටයුතු කළහොත් වන්නේ දරුවා ඒ ඒ වයස් ප්‍රමාණය අනුව ලබා සිටිය යුතු අවබෝධය නොලැබී යෑමයි. එසේ වීමේදී සිදුවන දුර්විපාකය නම් හිතා මතා නිවැරැදි තීරණයක් ගෙන ක්‍රියා කිරීමට අවශ්‍ය පෞරුෂය දරුවා තුළ සකස් නොවීමයි. ඇඟපත තිබීම ම පුද්ගලයකු ලෙස සම්පූර්ණ වීම නොවේ.
(3) ඉමස්ස ලෝකස්ස දස්සෙතාරො : ලෝකය පෙන්වා දෙන, හඳුන්වා දෙන අය වශයෙන් මවුපියන් මෙහිදී හඳුන්වා දී ඇත. ලෝකය හඳුන්වාදීම යනු ලෝකයේ ඉටු – අනිටු, රුචි – අරුචි තත්ත්වයන් හඳුන්වා දීමයි. අංගුත්තර නිකාය අට්ඨකථාවේ මෙය අටුවා කර ඇත්තේ මෙසේය:
“මවුපියන් දරුවා උපන් දවසේ ම දෙපයින් ගෙන කැලයට, ගඟට, ප්‍රපාතයට දමන්නේ නම් ලෝකයේ ඉටු – අනිටු තත්ත්වයන් දැනගන්නට නොලැබෙයි. එසේ නොකර දරුවා වර්ධනය කරමින් පෝෂණය කරමින් කටයුතු කරන නිසා මේ ලෝකයේ දුක හා සැප තත්ත්වයන් මවුපියන්ගෙන් දැක ගනියි. දරුවාට මේ ලෝකය හඳුන්වා දෙන්නවුන් හැටියට මවුපියන් සලකන්නේ ඒ නිසාය.”
මේ අයුරින් “ආපාදකා, පොසකා, ඉමස්ස ලොකස්ස දස්සෙතාරො” යන පදනම මත දරුවා ඇති දැඩි කළ යුතුය. ළමයාගේ පාසල් ඉගෙනුම ආරම්භ වන්නේ එයින් අනතුරුවය. ළමයාට ළමා අවස්ථාවෙහි ළමයකු හැටියට සිටින්නට ඉඩ හළ යුතුය. ළදරු වියේ සිටම විවිධ අත්දැකීම් ග්‍රහණය කර ගැනීම යනු දරුවා ලෝකය හඳුනා ගැනීමයි. දරුවාට උචිත අත්දැකීම් ලබාදීම ගැන මවුපියවරු සැලකිලිමත් විය යුතුයි. මවුපියවරුන් කටයුතු කළ යුත්තේ මේ කරුණු පිළිබඳව වැටහීමක් ඇතිවයි. මවු පියවරුන් පූර්ව ආචාර්යවරුන් සහිත පවුල දරුවාට පෙර පාසලක් වෙයි. අනුකරණයෙහි සමත් දරුවාට හොඳ අත්දැකීම් ලබාදීම ගැන අප සැලකිලිමත් විය යුතුයි. දෙමාපිය ජීවන චර්යාවන් දරුවාට බලපාන බව අමතක නොකළ යුතුය.
මාණවකයකු ලෙස සම්පූර්ණ වීමට ලබන අත්දැකීම්වලින් පෝෂණය වීමෙන් අනතුරුවයි. අද ඇති විධිමත් අධ්‍යාපනයට යොමු විය යුත්තේ. බණ දහම තුළින් මේ කරුණු දැන පැරණි සිංහලයා ක්‍රියා කළ නිසා අපට සියවස් ගණනාවක් පැරණි සමාජ ඉතිහාසයක් උරුම වී තිබේ. එහෙත් අපට අතීතයේ පොදු අධ්‍යාපන වැඩපිළිවෙළක් නොතිබුණා යයි අද බොහෝදෙනා වරදවා සිතති. නැත්නම් සිතා මතාම ඒ දුර්මත බිහි කරති. අවුරුදු පහෙන් විධිමත් අධ්‍යාපනය ලැබීමට පැරණි ලංකාවේ දරුවන් යොමු කළ බව සද්ධර්මාලංකාරයේ උත්තරෝලිය වස්තුවෙහි සඳහන් වී තිබේ.
“එකල මේ ශ්‍රී ලංකාද්වීපයෙහි මනුෂ්‍යයෝ පස් හැවිරිදි කුමාරවරුන් තමන් තමන් විභවානුරූපව නොයෙක් ආභරණයෙන් සරහා මහත් වූ මඟුලෙන් ශික්ෂාග්‍රහණය කරවති.”
මාතෘත්වය : දාරක සංරක්ෂණයේදී මවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මවගේ ස්වභාවය පිළිබඳව කරුණු දැනගැනීමට සෝනනන්ද ජාතකය ඉතා වැදගත් වෙයි. එහි මව සුහදා, ජනෙත්ති, තෝසෙන්තී, පෝසෙන්තී යන වචන සතරෙන් හඳුන්වා ඇත.
- සුහදා : දරුවා කෙරෙහි ආදරය දක්වන බැවින් මව එනමින් හැඳින්වේ. මවක තුළ තම දරුවා පිළිබඳව සෙනෙහස වැඩි වන්නට පටන් ගන්නේ ‘දොහලිනී’ වශයෙන් හැඳින්වුණ දොළදුක ඇතිවන අවස්ථාවේ සිටයි. සෙනෙහස, ආදරය දරුවාට අවශ්‍යය. මෙය බුදුරජාණන් වහන්සේ විසින් ද ඉටු කර ඇති අවස්ථා දැකිය හැකියි. සත් අවුරුදු වියේ පැවිදි වූ කුමාර කාශ්‍යප හිමියන්ට බුදුරජාණන් වහන්සේ යම් රස මිහිරි දැයක් ඇතිවිට ‘මෙය කාශ්‍යපට දෙන්නැ’යි හිමි නමක් අත යවන සිරිතක් තිබුණි.
ළදරු වියේ පැවිදිව සිටි චුල්ලපන්ථක හාමුදුරුවෝ, මහා පන්ථක හිමියන් විසින් විහාරයෙන් නෙරපා හරින ලද අවස්ථාවේ හඬමින් සිටියෝය. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කර ළදරු හිමියන් හිස අත ගා සනසා අතින් ගෙන විහාරයට වැඩියහ. මේ සෙනෙහස චුල්ලපන්ථක හිමියන් කෙරෙහි කොතරම් බලපෑවා ද කිවහොත් රහත් භාවයට පත් වූ පසුත් ඒ ගැන උද්වේගයෙන් සිහිපත් කරන සැටි චුල්ලපන්ථක ථේර ගාථාවේ සඳහන් වේ.
“භගවා තත්ථ ආගඤ්ඡි – සීසං මය්හං පරාමසී
බාහාය මං ගහෙත්වාන – සංඝාරාමං පවෙසසී”
“භාග්‍යවතුන් වහන්සේ එතැනට පැමිණි සේක. මාගේ හිස පිරිමැද්දාහ. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසවූහ.” දරුවකුගේ ජීවිතය විධිමත් කිරීමට, නීරෝගී මානසික තත්ත්වයක් ඇති කිරීමට සෙනෙහස අත්‍යවශ්‍ය වේ.
- ජනෙත්තී : කුස පිළිසිඳ ගත් දරුවාට නිරෝගී උපතක් ලබාදෙන බැවින් අම්මා ‘ජනෙත්තී’ යන නාමයෙන් හැඳින්වේ. (ජනයන්තී’ති ජනෙත්තී)
- තෝසෙන්තී :
“ථන ඛීරෙන ගීතෙන – අංග පාපුරණෙන ච
රොදන්තං පුත්තං තොසෙති – තොසෙන්තී තෙන වුච්චතී”
තන කිරි දී ගයා නළවා ශරීර ස්පර්ශය ලබාදීමෙන් හඬන්නා වූ දරුවා සතුටු කරන බැවින් අම්මා ‘තෝසෙන්තී’ නාමයෙන් හඳුන්වනු ලබයි. මනුෂ්‍යයා බාහිර ලෝකයට නිසි පරිදි සංවේදී වන පුද්ගලයකු කිරීම මෙයින් අපේක්ෂා කෙරේ.
- පෝසෙන්තී : දරුවාට නිසි කායික මානසික පෝෂණය ලබාදෙන බැවින් අම්මා ‘පෝසෙන්තී’ යයි හඳුන්වනු ලබයි.
දරුවන් ඇති දැඩි කිරීමේදී සෙල්ලම් කිරීමේ අවශ්‍යතාව ගැන ද අප දත යුතුය. ළමා ශරීරයෙන් වැඩෙනවිට, ඉන්ද්‍රිය පරිපාකයට පත් වනවිට මේ ක්‍රීඩා සමයට පිවිසෙයි. මහා තණ්හා සංඛය සූත්‍රයෙහි මේ පිළිබඳව සඳහන් කර තිබේ. (මෙහි ගැබ් ගැනීමේ පටන් දරුවගේ වර්ධන ක්‍රියාවලිය විස්තර වේ.)
“ස ඛො සො භික්ඛවෙ කුමාරො වුද්ධිමන්වාය
ඉන්ද්‍රියානං පරිපාකමන්වාය යානි තානි කුමාරකානං
කීළාපනකානි තෙහි කීළෙති, වංකකං, ඝටිකං
මොක්ඛිචිකං, චිංගුලකං, පක්කාළ්හකං, රථකං, ධනුකං”
මහණෙනි, ළමයා ශරීරයෙන් වැඩෙනවිට ඉන්ද්‍රියන් මුහුකුරා යනවිට නගුලෙන් සෙල්ලම් කිරීම, දිග දණ්ඩකින් කෙටි දණ්ඩකට ගැසීමේ ක්‍රීඩාව (ගුඩු ගැනීම), කරනම් පැනීම, හුළං පෙත්ත කරකැවීම, කොළවලින් සාදාගත් නැළියෙන් වැලි මැනීම, සෙල්ලම් රථයෙන් ක්‍රීඩා කිරීම, සෙල්ලම් දුන්නෙන් විද ක්‍රීඩා කිරීම ආදී යම් කුමාර ක්‍රීඩා සමූහයක් වෙයි නම් එම ක්‍රීඩාවන් කරයි.
මේ සෑම ක්‍රීඩාවක්ම දරුවා විවිධ ඉගෙනුම්වලට යොමු තරක බව දත යුතුය. මේ තුළින් දරුවා අත්දැකීම්වලින් පෝෂණය වෙයි. ජීවිතය ක්‍රමවත්ව පවත්වාගෙන යෑමට ශක්තිය ලැබෙන්නේ ඒ අත්දැකීම් තුළින්ය. ප්‍රාථමික පාසලේ පළමු වසරේ සිටින අවස්ථාවේ පටන්ම උදේ පාසලේ සිටීමටත් සවස ටියුටරියේ සිටීමටත් බල කරනු ලැබීම දරුවාට ඔරොත්තු දේ ද යන්න අද යුගයේ සිතා බැලිය යුත්තකි.
මවුපිය වගකීම :
බුදුරජාණන් වහන්සේ දරුවන් පිළිබඳ මවුපිය කාර්යභාරය සිගාලක සූත්‍රයේදී ළදරු වියට පමණක් සීමා නොකොට සමාජ සාමාජිකයකු වීම දක්වා පුළුල් කර තිබේ. ඒ අනුව මවුපියන් තුළ දරුවන් කෙරෙහි සානුකම්පිත බව අංග පහකින් ප්‍රකට විය යුතුය. දරුවන් පාපයෙන් වළක්වා ලීමත් (පාපා නිවාරෙන්ති) යහපතෙහි පිහිටුවීමත් (කල්‍යාණෙ නිවෙසෙන්ති) යන අංග දෙක අනුව දරුවා සදාචාරවත් කිරීම මූලික වශයෙන් දෙගුරුන්ගේ කාර්යයක් බව දැක්වේ. ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය පරිදි ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරවීම ඊළඟ කාර්යයි. (සිප්පං සික්ඛාපෙන්ති) අධ්‍යාපනික අංශය මවුපිය වගකීමට ඇතුළත් වී ඇති සැටි ඉන් පෙනේ.
සමාජ ජීවිතයේදී විවාහයට වැදගත් කමක් හිමි වේ. ඒ අනුව සුදුසු පරිදි විවාහ ජීවිතයට අවකාශ සලසා දීම මවුපිය වගකීමකි. (පතිරූපෙන දාරෙන සංයොජෙන්ති) ඒ අයුරින් සමාජ ජීවිතය ඇරඹූ දරුවාගේ ආර්ථික ස්ථාවරත්වය සලසා ලීම අවසාන කාර්යයයි. එබැවින් සුදුසු අවස්ථාවෙහි මවුපිය දායාදය පවරා දිය යුතුයි. (සමයෙ දායජ්ජං නිය්‍යාතෙන්ති) මේ අනුව සදාචාරය, අධ්‍යාපනය, විවාහය, ආර්ථික සුරක්ෂිත බව දරුවා සම්බන්ධයෙන් සලසා ලීම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අනුමත කරන බව දත යුතුය.
මවුපිය උපස්ථානය
මේ අයුරින් දාරක සංරක්ෂණය විධිමත් ව අවබෝධයකින් යුතුව ඉටු කරන්නේ නම් මවුපියන්ට පෙරළා ලැබෙන ප්‍රතිලාභය දරුවන්ගේ සෙනෙහෙබර උපස්ථානයයි. තමා පෝෂණය කළ මවුපියෝ වයෝවෘද්ධ වනවිට ඔවුන් අතින් පෝෂණය වෙති. (භතො නෙසං භරිස්සාමි) ඔවුන්ගේ කුදු මහත් කටයුතු සම්පූර්ණ කරදෙයි. (කිච්චං නෙසං කරිස්සාමි) පවුලේ සම්ප්‍රදාය, ගෞරවය හොඳින් ආරක්ෂා කරයි. (කුලවංසං ඨපෙස්සාමි) මවුපියන් දරුවාට පවරා දෙන දායාදය හොඳින් ආරක්ෂා කරයි. (දායජ්ජං පටිපජ්ජාමි) අවසාන වශයෙන් මවුපියන් මියගිය පසු දක්ෂිණා පිරිනැමීමෙන් පුණ්‍යානුමෝදනා කරයි. (අථ වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුපදස්සාමි)
මේ අයුරින් බුදුසමය සාකච්ඡා කරන්නේ ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයාගේ දාරක සංරක්ෂණයේ ස්වභාවය බව දත යුතුය. මේ කරුණු උගෙන, සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා ගුණ වඩා තමාගේ ලෞකික ජීවිතය නිරවුල් කර ගනිමින් ක්‍රියා කරන්නට බෞද්ධ වූ සැමගේ අධිෂ්ඨානය විය යුතුය.

