සාලිකේදාර ජාතකය

rashi
By rashi
9 Min Read

සුගත් වීරසූරිය

තිලෝගුරු බුදුරජාණන්වහන්සේ වැඩ වාසය කළ ජේතවන අරම භික්ෂූන් වහන්සේලා ගෙන් පිරී පැවතිණි. එනමුදු හැම භික්ෂුවක් ම එහි වැඩ විසිය යුතු යැ යි නීතියක් පනවා නො තිබිණ. කැමැති අයෙකුට එහි නවාතැන් ලැබුණේ ය. එහි ඉන්නට කැමැත්තක් නැත්නම් ඕනෑ ම භික්ෂුවකට කැමැති සුදුසු තැනක යන්නට ද සම්මා සම් බුද්ධ අනුමැතිය නිතැතින් ම හිමි වුණේ ය. බුදුරජාණන්වහන්සේගේ ප්‍රසංශාව බෙහෙවින් ලැබුණේ එහි දී වන අරම්, සොහොන් බිම් හෝ ජනයා ගෙන් ශූන්‍ය තැන් සොයා ගිය අයවලු‍න්ට ය. එම නිහඬ නිසසල තැන් සසර කතරින් එතෙර වීමට විදසුන් වඩන සිත්වලට එතරම් ම නිරාමිස විවේක සුවයක් රැගෙන ආවේ ය.

මේ භික්ෂූන් වහන්සේ ද එවන් වන අරණකට වී නිවන් පිණිස වූ සසුන් පිළිවෙත් පිරී ය. උන්වහන්සේට තිබුණේ සිවුරු දෙක තුනක් පමණි. අරණෙහි වූ කුඩා කුටිය තල අතුවලින් සෙවෙණි කර තිබිණ. හැම දවසක ම ගොම්මනෙහි සිට රෑ කාලය පුරාවෙහි ම එහි රැඳී හුන් උන්වහන්සේ උදැහැනැක්කේ ම සැවැත් නුවරට එහා වූ ගම් පියසකට වැඩි සේක. මුලින් මුලින් එය කාටත් ප්‍රශ්නයක් වුණේ නැත. එහෙත් දවස ගානේ ම මේ තුරුණු භික්ෂූන් වහන්සේ ගමට යන එක අනෙක් භික්ෂූන්ට කිසියම් සැකයක් ගෙන ආවේ ය.

“අර උන්නාන්සෙ හැම දා ම අරුමැක්කෙම ගම්මානෙ දිහාවට යනව. අඳුර වැටීගෙන එද්දි ආරාමෙට එනව. කොහෙ ද මේ යන්නෙ? හරි පුදුම වැඩක්. මේ ගැන හොයල බලල බුදු හාමුදුරුවන්ට කියන්න ඕනැ.” භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් ම කතා වූ හ.

අලු‍ත් දවසකට ඉර එළිය වැටුණේ ය. හුදෙකලාවේ අරම වැසි තුරුණු භික්ෂූන් වහන්සේ පෙර දා මෙන්ම සිය දාන පාත්තර ගෙන පිරිසිදු කරගත් හ. අරුණ නැඟෙන්නට කලින් ම සකසා ගත් කැඳ ටිකක් වෙනත් බඳුනෙක ලා පාත්තරයෙහි කොනක තැබූ හ. එහි ම තවත් තැනක බත් ටිකක් තබාගත් උන්වහන්සේ හැම දා ම වඩින පුරුදු ගමන යන්නට ආරාමයෙන් පිටතට පැමිණිය හ. උන්වහන්සේගේ ගමන් මඟ වැටී තිබුණේ සැවැත් නුවර ජේතවනාරාමය ඉදිරිපසින් ය. “අන්න අර හාමුදුරුවො නේ ද? අර අර අදත් යන්නෙ” භික්ෂූන්ගේ කුකුස යළි ඇවිලිණ. “අපි යමු. ඔව්. උන්නාන්සෙට නො දැනෙන්ට අපි උන්නාන්සෙ පිටිපස්සෙන් යමු.” එහිමි තෙම වෙත උකසු ඇස් යොමා හුන් භික්ෂූන් වහන්සේලා කතිකා කරගත් හ. ගමට වැඩි භික්ෂූන් වහන්සේ සැතපුම් ගණනක් ම මඟ ගෙවා ගමන් කළ හ. අවසන උන් වහන්සේ කිසියම් නිවහනකට පිවිසිය හ. නිවහනක් කීව ද එය සොඳුරු මහ මැඳුරක සිරිය ඉසිලූ නවාතැන්පළක් නො වී ය.

මහා දුප්පත්කමක හද සසල කරවන කතා ගොන්නක් ලෝකය ඉදිරිපිට තැබූ එය ඉතා කුඩා පැල්පතක් වී ය. ඉලු‍ක් සෙවෙණි කළ එහි වහල කාලයට තෙමී හොඳටෝ ම දිරා කාට්ටු වී තිබුණේ ය. ගෙදර ලොකු මිදුලක් නො වී ය. අල්ලක් තරම් වූ එහි කොනක මල් පඳුරක් වැවී තිබුණේ ය. මුළුතැන් ගෙයක ලකුණු පළ කළ එක ම එක ලිපක් තිබුණු තැන පැල්පත පිටුපසින් වී ය. ලිප ගිනි මොලවා තිබිණ. ලිප් ගල් තුන උඩ වූ හට්ටිය ඇතුළත වූයේ කිසියම් වතුරකි. ඒ උණු වතුර ද නොඑසේ නම් ලෙඩට උණු කරන කසායක් දැයි හරි හැටි පැහැදිලි වූයේ නැත. ලිපෙහි වූ දර කැබැලි කිහිපයෙහි ගිනි අඟු‍රු ඉතිරි කර ගිනි දලු නිවී තිබුණේ ය. එයින් නැඟු‍ණු දුමෙන් පෙදෙස ම වැසී පැවතිණි. වියපත් මවක් නිවුණු ගිනි යළිත් අවුළුවන්නට ඒ ගිනි පුළිඟු‍වලට පිඹිමින් සිටියා ය.

“අම්මේ, අම්මේ ඇයි ආයෙමත් ලිප ළඟට ගිහින්? මම කිව්ව නෙ මං එනකන් ලිප මොලවන්න යන්න එපා කියල. අම්මට දුම් වැදෙන්න හොඳ නෑ. ආයෙමත් ලෙඩ වේවි. තුරුණු භික්ෂූන් වහන්සේ ලිප ළඟින් ඉවත් කරගත් මහලු‍ මව වත්තම් කරගෙන ඇතුළු ගෙයට කැඳවාගෙන ආ හ. එයින් ඉක්බිති වැල් කැඩුණු පුටුව මත හිඳවා ලූ ඇයගේ මුවින් පිට වූයේ නො නවතින කැස්සකි. “ඔය දර දුමට ආයෙමත් කැස්ස වැඩිවෙලා.” බොඳ වුණු කඳුළු අතරින් වචන ගැටගැසූ තුරුණු භික්ෂූන් වහන්සේ කී හ.” මම කැඳ ටිකක් හදාගෙන ආවා. දැන් ඒකෙන් ටිකක් බොන්න. තව වෙලා ගියොත් ඒක නිවේ වි” යි උන්වහන්සේ සිය මෑණියන් වෙත රැගෙන ආ කැඳ පිළිගැන්වූ හ.

“කැඳ ටික බීල දවල් වුණාම කන්න මං අම්මට බතුත් අරගෙන ආවෙ” එහිමි මුවින් කියැවිණ .“ඔබ වහන්සේ මේ තරම් මං හනි ද් කරදර වෙනන් වවු මනා නෑ. අනේ ! මට ඒක වාවගන්න බෑ හාමුදුරුවනේ.” කඳුළු අතරින් එයට පිළිවදන් දීමට වචන ගැටගැසූ මවගේ පපුවෙහි ඉකියක් හිර වුණාක් මෙන් වී ය. “මට අම්ම කරදරයක් නෙවෙයි අම්මෙ” එයට උත්තර දුන් භික්ෂුවට ද හැඬුම් ආවේ ය.

තුරුණු භික්ෂුවගේ ගමන ගැන තොරතුරු හොයන්නට ආ භික්ෂූහු මේ හද දවන කතාවට රහසේ ම ඇහුම්කන් දී සිටිය හ. එයින් හද පෑරී ගිය උන්වහන්සේලා තුරුණු හිමි මුණ නො ගැසී ම ආපසු ජේතවනාරාමය වෙත ගිය හ. එමෙන් ම මේ දුක්බර කතාව උන්වහන්සේලා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙත සැළ කර සිටිය හ. බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේ වෙත ඒ භික්ෂුව කැඳවූ සේක. “ඇවැත්නි, ඔබ හැම දා ම මෑණියන්ට උවටැන් කරන්න ගෙදර යනව ද?” බුදුරජාණන්වහන්සේගේ කරුණාබරිත හඬ භික්ෂුවට ඇසිණ . “භාග්‍යවත් හිමියනි, පැවිදි වෙන්න පෙර ගෙදර හිටියේ මා පමණයි. මා පැවිදි වී ආරාමයට ආ පසු මෑණියන් ගෙදර තනි වුණා. ඒ නිසා හැම දා ම උදේ මෑණියන්ට උවටැන් කරන්න මා ගෙදර යනවා. දොහොත් මුදුන් දුන් තුරුණු භික්ෂූන් වහන්සේ කී හ.

බුදුරජාණන්වහන්සේ එයට සාදුකාර දුන් හ.

“මහණෙනි, මේ භික්ෂුව මහා උතුම් ගුණ ඇති කෙනෙක්.” යි මහත් සේ ඒ භික්ෂුවට ප්‍රශංසා කළ බුදුරජාණන්වහන්සේ මවු පියන්ට උවටැන් කිරීම අනන්ත කාලයක පටන් තිරිසන් සතුන් තුළ පවා වූ ගුණයක් බව ද දක්වා වදාළ හ. උන්වහන්සේ එහි දී සදෙසා වදාළ ඒ අතීත කතාව දහසක් තරම් භික්ෂූන් වහන්සේලා අතර මෙලෙසින් ගලා ගියේ ය.

එදා මගධ රට රජගහ නම් නුවරක් තිබුණේ ය. එයට ඊශානදිගින් පිහිටා තිබූ සාලින්දිය නම් ගම්මානය බෙහෙවින් දැකුම්කළු ගමක් වී ය. එක් බමුණෙක් එහි වූ විසල් කුඹුරක ඇල් වී වැපුරුවේ ය. එයට යාබද ව තිබුණේ ලොකු දිඹුල් වනාන්තරයකි. එහි එක් ගිරවෙක් බොහෝ ගිරවුන්ට නායකයා වී ජීවිතය ගත කළේ ය. කාලය හෙමි හෙමින් ගලා යද්දී බමුණා වපුළ ඇල් කුඹුර පීදී පැසුණේ මේ ගිරවුන්ට එය නිම් හිම් නැති සොම්නසක් රැගෙ ආවේ ය.

ඇල් වී කන්නට ගිරව් කුඹුරට පියඹා ආ හ. ඔවුහු ඇති තරම් වී කා ඉගිලී ගිය හ. නායක ගිරවා වී කා ඉක්බිති ව කුඹුරෙන් යන්නට ගියේ තුඩින් ගත් වී කරල් මිටියක් ද රැගෙන ය. කුඹුර රකින්නා මෙය දුටුවේ ය. මෙහෙම ගියොත් තවත් දිනයකින් දෙකකින් මුළු කුඹුර ම අවසන් වන බව හිතූ ඔහු එය බමුණාට දැන්වී ය. බමුණු නියමයෙන් ගිරා නායකයා අල්ලා ගැනිණ.

“ගිරව අනෙක් ගිරව් වී කාල යනවා. නුඹ ලොකු කරල් මිටියකුත් අරං යනවා. නුඹට මා එක්ක වෛරයක් තියෙනව ද? නැතිනම් නුඹ දිඹුල් වනයේ වී කොටුවක් පුරවනව ද?” බමුණා ඇසී ය.

“බමුණාණෙනි, නුඹ හා මගේ කිසි වෛරයක් නැහැ. මා ඒ වී අරන් ගිහින් ණයකින් මිදී ණයක් දී තවත් නිධානයකුත් තැන්පත් කරනවා.”

“මට එය තේරුම් ගත නොහැකියි.” බමුණා කී ය.

“මගේ අම්මාත් තාත්තාත් දෙන්නට ම වයසයි. ඔවුන්ට කෑම හොයා ගන්න බැහැ. මා කුඩා කල දී ඒ දෙන්නා මට කෑම බීම දී බොහෝ උපකාර කළා. ඒ දෙදනාට ම මං මේ වී ගිහිං දෙනවා. එය ගත් ණයකින් මිදීමක්. මගේ පැටවුන්ට තවම පියඹා යන්න බෑ. උන්ටත් මේ වී කන්න දෙනවා. එය ණය දීමක්. ඒ ණය ගන්න ඔවුන් මහලු‍ වන මාත් රැක බලා ගනී වි කෙදිනක හෝ. මේ දිඹුල් වනයේ පියඹා යන්න බැරි තවත් වියපත් ගිරවුන් ඉන්නවා. උන්ටත් මා ගෙන යන මේ වී දෙනවා. එය මා තැන්පත් කරන පුණ්‍ය නිධානයයි.” මෙය ඇසූ බමුණා ගිරවා ගැන බොහෝ පැහැදුණේ ය. ගිරවා නිදහස් කර ඇති තරම් කෑම සඳහා ගිරවාට විසල් ඇල් කෙතක් ද දුන්නේ ය.

මවුපියන් යනු අප සදා ආදරයෙන් රැක බලා ගත යුතු පිරිසකි. එය මෙම ජාතක කතාවේ මූලික හරය වී ඇත. එසේම අනෙක් පසින් අපේ සම්මා සම්බුද්ධ ශාසනය බොහෝ කල් පැවතීමට දිළිඳු මවුපියන් විසින් සසුන්ගත කෙරෙන කුල දරුවන් මහත් අනුබලයක් වී ඇත. බොහෝ විට ඒ පිනැති දරුවන් එසේ සසුනට ආ පසු ඔවුන්ගේ මවුපියන් කියාගන්නට බැරි අසරණකම්වලට ද පත් වූ අවස්ථා ඇත. බුදු සසුනේ දායක දායිකාවන්, උවසු උවැසියන් වන අප ඒ මාපියන්, පවුල් ගැන සොයා ඔවුන් ද රැක බලා ගත යුතු ය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *