සුප්‍රකට අමෙරිකානු කතුවර ඇලන් ජින්ස්බර්ග් ගේ මතකාවර්ජනයකින්
අනුවාදය: ආලෝක ෆර්ඩිනැන්ඩු
ආධ්‍යාත්මික දේට නැඹුරු වෙන්න ප්‍රධාන හේතුවක් වුණු යාළුවො දෙන්න මට මුණ ගැහෙන්නෙ 1945 දි. මේ දෙන්න මට වඩා ටිකක් වයසයි. විලියම් බරෝස් සහ ජැක් කෙරුවැක්… එතකොට මට දා හතයි. අපි ඒ කාලෙ සංවාද කළේ ලෝකයේ අලුත් සවිඥානිකත්වයක් නිර්මාණය කරන එක ගැන. 1945 කියන්නෙ පරමාණුව බිඳපු අවුරුද්ද නෙ… ඊගාවට පරමාණු බෝම්බෙ දාලා ශිෂ්ටාචාරෙත් බින්දා. එතකොට එල් එස් ඩී හොයාගත්තෙත් ඔය කාලෙ ම තමයි.
විලියම් බරෝස් උනන්දු වුණේ මොකක් හෝ විකල්ප සත්‍යයක් හොයන්න. ජැක් කෙරුවැක්ගෙ උනන්දුව යොමු වුණේ මරණය දිහාට. එයා බොහොම තරුණ කාලෙ ම තමන්ගෙ සහෝදරයා මිය යනව දැක්කා. තාත්තා මැරෙනකොටත් එයා එතැන හිටියා. එයාගෙ ඉස්කෝලෙ හොඳ ම යාළුවා ලෝක යුද්දෙන් මැරුණා. ඒක නිසා එයා දුක්ඛයත් අනිත්‍යයත් කියන දේවල් කල්තියා ම අත්දැකල තිබුණා. එයා කල්තියා ම ලෝකය අත්හැර දැමීමකට, නෙක්ඛම්මයකට, හෝ අඩු තරමින් ලෝකය දුක් ගොඩක් හැටියට බාරගන්න ලෑස්ති වෙලා හිටියා.
අපේ තව යාළුවෙක් වුණු නීල් කැසන්ඩි එඩ්ගා කේසිගෙ ආධ්‍යාත්මික පර්යේෂණවලට ඇදුණා. කැසන්ඩි හොඳ මොළකාරයා. එයා ඇත්තට ම ගැඹුරින් කේසි හදාරන්න ගත්තා. පුනර්ජන්මය ගැන හදාරන්න ගත්තා. කෙරුවැක්ගෙ ‘පාර දිගේ’ නවකතාවෙ ඩීන් මොරියාටිගෙ චරිතයට පාදක වුණේ කැසන්ඩි. ඉතින් කෙරුවැක් සැන් ෆ්‍රැන්සිස්කෝවලට ගිහින් කැසන්ඩි එක්ක කාලයක් නැවතිලා හිටියා. එහෙම ඉන්න අතරෙ කෙරුවැක් මට ලියුමක් ලියල කියනවා, “කැසන්ඩි හරි තොරොම්බල්කාරයා; කේසිගෙ බඩු නියමෙට විකුණනවා,” කියල… ඇත්තට ම කැසන්ඩි කියන දේවල මූලය හොයා ගන්න කෙරුවැක්ට උවමනා වුණා. එයා සැන් ජොසේ මහජන පුස්තකාලෙට ගිහින්, ඒ අදහස්වල හිමාලයානු මූලය ගවේෂණය කරන්න ගත්තා.
එයාට පුස්තකාලෙ දි හම්බ වුණා අමුතු පොතක් – ‘බෞද්ධ බයිබලය’ කියල. ඩ්වයිට් ගොඩාඩ් කියල කෙනෙක් ලියපු එකක්. ඒක බෞද්ධ සූත්‍ර, කතා ගණනාවක පරිවර්තනවල එකතුවක්… ශූරංගම, ලංකාවතාර, ප්‍රඥාපාරමිතා සූත්‍ර, මිලාරෙපාගේ කතාව, විනය නීති, ථෙරවාද – මහායාන – වජ්‍රයාන සූත්‍ර ඒකෙ අඩංගු වුණා. කෙරුවැක් මේවට හරි ආස වුණා, මොකද එයා පිළිගත්තු පැවැත්මේ දුක්ඛ ස්වභාවය එක්ක මේ පොතේ තිබුණු දේවල් හරි හරියට පෑහුණා. ඉතින් මෙයා එක සැරයක් මට ලියුමක් එවුවා, “පැවැත්ම දුකකි!” කියල ලියලා. මම ඒ කාලෙ නිදහස්කාමී යුදෙව් දරුවෙක්. මම හිතුවෙ මේ යකා මගෙ යුදෙව්කමට කොළොප්පම් කරනව කියලා. ඇයි, යුදෙව් සම්ප්‍රදායෙ තියනව නෙ, “ඔයි තෘයිස් ආ!” කියල එකක්…
මම ඒ කාලෙ විශ්වාස කළ ලිබරල් අදහස්වල හැටියට, ලෝකෙ යන්නෙ දියුණුවට. විද්‍යාවේත් කර්මාන්තවලත් එකතුවෙන්, වැඩ කරන ජනතාවගේ පාරාදීසය කරා යන ගමනක… කාර්, අහස් යාත්‍රා, අභ්‍යාවකාශ යානාවලින් හැදුණු මිහිපිට දිව්‍ය ලෝකයකට. එහෙම තියෙද්දි මේ යකා “පැවැත්ම දුකකි!” කිවුවහම, මම හිතුවෙ ම මට කොළොප්පම් කරනව කියල.
කෙරුවැක් අදහස් කරපු දේ මගෙ ඔළුවට වැටෙන්න සෑහෙන කාලයක් ගත වුණා. යුදෙවු ආගමේ තියන ‘තෘයිස්’ කියන වචනෙ, ‘දුක්ඛ’ කියන එකට හරි ළඟයි. ඒකෙ තේරුම, ‘කරදර’ වගේ එකක්. ලෝකෙ හැම දේක ම ‘තෘයිස්’ තියනවා… ආච්චිට මුත්‍රාගල්, තාත්තගෙ කකුලෙ ඔපරේෂන් එකක්, මාමගෙ රස්සාව නැති වෙලා, අනික් මාම බේබද්දෙක් – සැරින් සැරේ බිම ඇද වැටෙනකොට කෙළින් කරවන්න ඕනැ… ඔන්න ‘තෘයිස්’… ඉතින් මට හිතෙන්න ගත්තා, ඇත්තට ම ලෝකෙ හැටි එහෙම වෙන්නත් පුළුවන් නේ ද කියල. ත්‍රිලක්ෂණයේ තියෙන ‘දුක්ඛය’, සත්‍යයක් නේ ද කියල ඔන්න ඔහොම හිතෙන්න ගත්තා.
ත්‍රිලක්ෂණයේ තියෙන අනිත්‍යය නම් කොයි දෙයක් දිහා බැලුවත් පේනවා. අනාත්ම ලක්ෂණය තමයි දිරවගන්න අමාරු වුණේ. මොකද මගෙ ඇතුළෙ හිටියා, හරියට ශෙලී වගේ, බුද්ධිමය දේවතාවෙක්… ඒක ඇතුළාන්තයෙන් එන කාව්‍යමය හැඟීමක්… අර ශෙලී ගැන මැතිව් ආනෝල්ඩ් කිවුවෙ: “හිස්කම තුළ වේදනාවෙන් තටු ගසන සුන්දර දුබල සමනළයෙක්,” කියල. අන්න ඒ විදිහෙ රොමැන්ටික් ආත්මයක් මගෙ ඇතුළාන්තයේ ඉඳගෙන, කෙරුවැක් ගෙන් එන බෞද්ධ ඉගැන්වීමට අභියෝග කරනවා.
ඒ වුණාට කෙරුවැක් සැන් ෆ්‍රැන්සිස්කෝවලින් ඇවිදින් මා ඉස්සරහ ගායනයක් කළා. හරි ම ලස්සන තනුවක්. මාව වශී කරපු ශබ්ද මාලාවක්… මෙන්න මෙහෙම: “බුද්ධං සරණං ගච්ඡාමි – ධම්මං සරණං ගච්ඡාමි – සංඝං සරණං ගච්ඡාමි – දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි – දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි – දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි – තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි…”
මම ජීවිතේට එහෙම එකක් අහල තිබුණෙ නෑ. ඒ උච්චාරණේ හරි ද නැද්ද – හරියට කිවුව ද නැද්ද දන්නෙ නෑ, හැබැයි මම ඊට කලින් කවදා වත් පුරාණ භාරතීය නාදමාලාවක් අහල තිබුණෙ නෑ. ඒත් ඒකෙන් මම ආනන්දයට පත් වුණා, මුසපත් වුණා.
ඔය 1950-51 වගේ කාලෙක… ඔය කාලෙ තමයි මම ඇල්ඩස් හක්ස්ලිගෙ ‘ඩෝස් ඔෆ් පර්සෙප්ෂන්’ කියවන්නෙ. ඔය කාලෙ ම තමයි මං ‘පෙයෝටි’ විට හපන්න පුරුදු වුණේ. ඒ කාලෙ ඕව ටෙක්සස්වල මහපාරෙ විකුණන්න තිබුණා, තහනමක් තිබුණෙ නෑ… කෙරුවැක්, බරෝස් සහ මම ඔය කාලෙ සෑහෙන්න ඇවිද්දා. මනසත් ශරීරයත් අතර සම්බන්ධය ගැන උනන්දු වුණා. කොහොම වුණත් මට 1948 විතර අත්දැකපු අමුතු මානසික අත්දැකීම් තිබුණා. විලියම් බ්ලේක් තමන්ගෙ හඬින් ‘සූරියකාන්ත මල’ කවිය කියනව මට ඇහුණා. ආකාසයේ තියන අපරිමිත බව ඇතුළෙන් ම දැනෙන්න ගත්තා. ෆ්‍රොයිඩ් ‘සමුද්‍රමය අත්දැකීම්’ කියන්නෙ ඔහොම ඒවට, මම හිතන්නෙ. ජනේලය ඇරලා උස් ස්තම්භ සහ මුදුන්වලින් ඉහළ නගර අහස බලනකොට, මැකී ගිය අතීතයේ දවසක මහා අහසක් මෙතැන තිබුණු බව තදින් දැනෙන්න ගත්තා. මේව දෙකයි පනහෙ මනෝභ්‍රාන්ති කියල කෙනෙක් කියන්න පුළුවන්.
මේ අත්දැකීම් එක්ක ගනුදෙනු කරන්න භාෂාවක් මම දැනගෙන හිටියෙ නෑ. මම මාස අටක් පිස්සන්කොටුවක ඉඳන්, විශ්වය පවතිනව ද නැද්ද – මේක සැබෑවක් ද නැද්ද කියල කියා ගන්න උත්සාහ කළා. මට මොකක් හෝ ක්ෂණික අන්තර්ඥානයක් ආවා, නමුත් ඒක – මම ඒ භාෂාව දන්නෙ නෑ. ඒ ප්‍රතිපදාව දන්නෙ නෑ. ඒක ස්ථාවර කරගන්නෙ කොහොම ද, ඒක එක්ක වැඩ කරන්නෙ කොහොම ද කියල දන්නෙ නෑ. මාක් වැන් ඩොරන් කියල කොලොම්බියා විශ්වවිද්‍යාලෙ අපේ ගුරුවරයෙක් තමයි වෙලාවෙ හැටියට ආසන්න ම පැහැදිලි කිරීම කළේ: “ආ, ඔයාට ආලෝකය පේන්න අරන්..” එයා ඒක කිවුවෙ ක්‍රිස්තියානි අදහසකින්. ලයනල් ත්‍රිලිං වගේ ලිබරල් මහාචාර්වරු නම් කෙළින් ම කිවුවෙ, “උඹට ඔල්මාදෙ!” කියල… ඔවු ඉතිං, ඔල්මාදෙ නම් තමයි. හැබැයි මගෙ මේ ඔල්මාද භාෂාව තේරෙන කවුරු හරි හොයාගන්න – ධර්මය ටිකක් අහගන්න අහල දැනගන්න කෙනෙක් මට ඕනැ වුණා. ඔය කාලෙ සුසුකි රෝෂි කොලොම්බියා කොලේජ් එකේ ඉගැන්නුවා. එයා ළඟට කට්ටිය යනවා. නමුත් ඔච්චර ළඟ ඉඳලත් මට ඒක මඟහැරුණා.
මගේ අත්දැකීම්වල ආකාසයේ අපරිමිතකම වගේ ම තව පැත්තක් තිබුණා. හරියට අර හක්ස්ලිගෙ ‘දෙව් ලොව සහ නිරය’ පොතේ තියන විදියට, අහස දිහා බලාගෙන ඉන්නකොට හිතෙනව, දවසක මේ අහස කඩා වැටිල මාව පොඩි පට්ටම් වෙලා මම විනාශ වෙන්නයි යන්නෙ කියල. කෙරුවැක් “බුද්ධං සරණං ගච්ඡාමි” ලියන්නෙ ඔන්න ඔතැන ඉඳන්. “පැවැත්ම දුකකි; පැවැත්ම අනිත්‍ය ය; පැවැත්ම අනාත්ම ය.”