අතින් නො හළත් සිතින් අත්හැර…

rashi
By rashi
7 Min Read

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමි

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

මේ ලිපි පෙළෙන් අවධානය යොමු කරන්නෙ වර්තමානයේ ගිහි පැවිදි දෙපිරිස අතර ම බහුල ව කතාබහ කෙරෙන ප්‍රධාන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ‘අත්හැරීම’. අත්හැරීම නිවන් මඟට අත්‍යවශ්‍ය සුදුසුකමක්. නමුත් වර්තමානයේ බොහෝ දෙනා ඒ පිළිබඳව වැරදි වැටහීමකින් ක්‍රියා කරන බවත් එනිසා ම පැවැත්ම පිළිබඳ විවිධ අර්බුද මතු වන බවත් පෙනෙනවා. ඒ නිසා අත්හැරීම නිවැරදි අර්ථයෙන් පුහුණු කරන්නේ කවර ආකාරයෙන් ද කියන බවත් එහි දී අපට පටලැවෙන්න හා වරදින්න පුළුවන් තැන් කිහිපයකුත් පැහැදිලි කර දෙන්නටයි මෙහි දී උත්සාහ කරන්නෙ.

සැබැවින් ම අත්හළ යුත්තේ මොනවා ද?

වර්තමාන සමාජයේ අපට පෙනෙනවා සමහර අය බොහෝ දේ අත්හරින්නට වෑයම් කරනවා. නිවන් දැකීමේ අරමුණින් ම එය කරනවා විය හැකියි. නමුත් බොහෝ දෙනා ඒ කාර්ය කරන ආකාරය විමසලා බැලුවම පෙනෙනවා සැබැවින් ම අත්හළ යුත්තේ කුමක් ද, පැවැත්විය යුත්තේ කුමක් ද කියන මේ දෙක තරමක් පටලවාගෙන කියලා. ඒ මොකද? අපට නිවන් දකින්නට නොහැකි ව සසරේ දිගින් දිගට පවතින්නේ මේ බාහිර ලෝකයේ ද්‍රව්‍ය, පුද්ගලයන් හෝ සිදුවීම් නිසා නො වෙයි, ඒවා පිළිබඳව ඇති වන අවිද්‍යාව හා තෘෂ්ණාව නිසයි. තෘෂ්ණා බන්ධනයයි අපට නිවන් දකින්නට බාධා කරන්නේ.

එහෙම නම් නිවන් දැකීම සඳහා අපි අත්හළ යුත්තේ බාහිර ලෝකයේ ද්‍රව්‍ය හෝ පුද්ගලයන් නො වෙයි, ඒ සම්බන්ධ ව ඇති වෙන තෘෂ්ණාවයි. මේ කාරණය නිවැරදි ව තෝරා ගන්නට නොහැකි ව අද බොහෝ දෙනා කරන්නේ පුද්ගලයො අත්හරිනවා. ද්‍රව්‍ය අත්හරිනවා. අවස්ථා අත්හරිනවා. ඒ වගේ ම ස්ථාන අත්හරිනවා. මේ විදිහට ලෝකය තුළ පවත්වන්නට ඕන කරන බොහෝ දේවල් අත්හැරගෙන අත්හැරගෙන යන බවක් පෙනෙනවා.

සමහර වෙලාවට අපට අහන්නට ලැබෙනවා විවාහ දිවියට ඇතුළත් වෙලා ඉන්න තරුණ තරුණියන් ‘මම දැන් මහත්තයා ව අත්හැරලා ඉන්නේ. මම දැන් නෝන ව අත්හැරලා ඉන්නේ. දරුවොත් අත්හැරලා. දැන් රස්සාවෙනුත් අයින් වෙන්නයි යන්නේ.’ මෙහෙම කියනවා. මේ මෑතක දී එක අම්මා කෙනෙක් මගෙන් අහනවා ‘හාමුදුරුවනේ අපි මේ ජීවිතයේ ම නිවන් දකින්න වෑයම් කරනකොට මගුල් ගෙවල්වල යන්නත් හොඳ නෑ නේ ද?’ කියලා. ඒ අය මේ දෛනික ජීවිතය තුළ බරපතළ විකෘතියක් අර්බුදයක් දෙදරා යෑමක් ඇති වෙන තරමට අත්හැරීම පුහුණු කරමින් සිටිනවා. නමුත් සමහර විට කතා කරලා බැලුවොත් තෘෂ්ණාව, මාන්නය, ඊර්ෂ්‍යාව, මමත්වය, තමන් හුවා දැක්වීම, අනුන් හෙළාදැකීම වැනි දුර්ගුණ දෝරේ ගලනවා. නමුත් අර බාහිර ලෝකයේ දේවල් අත්හරින්නට වෑයම් කරනවා.

සැබැවින් ම කළ යුත්තේ ඒකෙ අනිත් පැත්තයි. බාහිර ලෝකය තියෙන හැටියට තියෙන්නට ඉඩහැරලා මනසේ මුළාව නිසා පහළ වෙන කෙලෙස් ධර්ම ටිකයි දුරු කරන්නට, අත්හරින්නට වෑයම් කළ යුත්තේ. නමුත් ඒ දුරු කළ යුතු කෙලෙස් ධර්ම මනසේ පිටාර ගලන්නට ඉඩහැරලා බාහිර ලෝකයේ ද්‍රව්‍ය සහ පුද්ගලයන් අත්හරින්නට නැඹුරු වීම තුළ නිවන් මඟ කෙසේ වෙතත් පැවැත්ම දෙදරා ගිහින් පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා සමාජයේ ඕනෑ තරම් අපි දැකලා තියෙනවා.

එතකොට තව පිරිසක් පැත්තක ඉඳලා වැරදි අර්ථකථනයක් කරනවා, මේ අයගේ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා තියෙන්නේ, ජීවිත අකර්මණ්‍ය වෙලා රටක් හැටියට ජාතියක් හැටියට පිරිහෙමින් පවතින්නේ, මේ දහම නිසයි කියලා. ඒ අය කරන චෝදනාව නිවැරදි නැහැ, නමුත් දහමේ නාමයෙන් තමයි බොහෝ දෙනා එබඳු පටලැවිලි ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන අත්හළ යුත්තේ කුමක් ද, පැවැත්විය යුත්තේ කුමක් ද කියලා.

නැවැත්ම හා පැවැත්ම

බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව කොටස් දෙකකින් යුක්තයි, නැවැත්ම සහ පැවැත්ම යනුවෙන්. පැවැත්විය යුත්තේ ලෝකයයි. නැවැත්විය යුත්තේ ක්ලේශයයි. ලෝකය කඩාකප්පල් කරන්න, විනාශ කරන්න, විකෘති කරන්න, නසා දමන්නට, බුදුහාමුදුරුවො දේශනා කරන්නේ නැහැ. නමුත් අවිද්‍යාව, තෘෂ්ණාව, උපාදානය ඒවා අහෝසි කළ යුතුයි. ඒවා නැසිය යුතුයි. ඒවා අත්හළ යුතුයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එහෙම නම් බිරිඳ, සැමියා, දරුවා, අම්මා, තාත්තා, ගේදොර, ඉඩකඩම්, යානවාහන, රට, ජාතිය, ශාසනය, ලෝකය, සොබාදහම මේවා පැවැත්විය යුතුයි. ඒවා සම්බන්ධ ව අවිද්‍යාවෙන් මුළාවෙන් අපේ මනසේ ඇති වෙන තෘෂ්ණාවයි අපි අත්හළ යුත්තේ.

මේ ජීවිතයේ ම නිවන් දැකීම පිළිබඳව උනන්දු වෙන, මේ ශාසනයේ ම යම් මාර්ග ඵලයක් ලබන්නට උත්සාහ කරන පිරිස වර්තමානයේ වැඩි වෙමින් පවතිනවා. ඒක සතුටු වෙන්නට පුළුවන් හොඳ ප්‍රවණතාවක්. බෞද්ධයො හැටියට අපට ඒක අගය කරන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපදාව තුළ අපි නිවැරදි වැටහීමක් ඇති ව කටයුතු කරන්නේ නැතිනම්, අන් අය කරන ආකාරය දිහා බලලා අපිත් යමක් කරන්නට වෑයම් කරනවා නම්, අර බෙලිගෙඩිය තල් අත්ත උඩට වැටිලා හාවා දුවගෙන යන කොට අහස කඩන් වැටෙනවයි කියලා අනෙක් සියලු සතුනුත් ඒ පස්සෙන් දුවගෙන ගියා වගේ වෙනවා. හැමෝ ම බියපත් වෙලා දිවි රැකගන්නට තමයි දුවන්නේ. ඒකෙ වැරැද්දක් නැහැ. නමුත් ඇත්තටම ගැටලුව මොකක් ද කියලා බැලුව ම කවුරුත් හරියට කාරණය හඳුනා ගත්ත කෙනෙක් නැහැ.

ප්‍රතිපදාව තමතමන්ට අනන්‍යයි

නමුත් නිවන් දකින්නට යන ගමන එහෙම නිනව් නැති ව යන්න පුළුවන් එකක් නෙවෙයි. තමන් ඉන්නේ කොතන ද? තමන්ගේ ඉලක්කය කුමක් ද? තමන්ගේ දුබලකම් මොනව ද? තමන්ගේ හැකියාවන් මොනව ද? තමන්ගේ පරමාර්ථය සාධනය කරගන්නට සුදුසු නිවැරදි ප්‍රතිපත්ති මාර්ගය ද තමන් මේ පුහුණු කරමින් සිටින්නේ? මේවා පිළිබඳව නැවත නැවත කල්පනා කරලා බැලිය යුතුයි. කුමක් නිසා ද? නිර්වාණගාමිණී ප්‍රතිපදාව න්‍යායක් වශයෙන් එකක් වුණාට පුද්ගලයන්ගේ වශයෙන් තම තමන්ට අනන්‍ය වෙනවා. අප හැම කෙනකු ම චතුරාර්ය සත්‍යයයි අවබෝධ කළ යුත්තේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වැඩිය යුත්තේ. නමුත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මා වැඩිය යුත්තේ සැරියුත් හාමුදුරුවො විදිහට නෙවෙයි. මට අනන්‍ය විදිහටයි. මම ඉන්නා තැන ඉඳලා මගේ දුබලකම් හඳුනාගෙනයි මම පුහුණු කළයුත්තේ. එහෙම පුහුණු කරලා යම් දිනෙක සැරියුත් හාමුදුරුවන්ගෙ තත්වයට අවශ්‍ය නම් කෙනකුට පත් වෙන්නට බැරිකමක් නැහැ. විශාඛාවගෙ සුජාතාවගෙ අනාථපිණ්ඩික සිටුතුමාගෙ තත්ත්වයට යම් කෙනකුට පත් වෙන්නට බැරිකමක් නැහැ. නමුත් ඒ චරිත දිහා බලාගෙන බාහිරින් ඒ වගේ හැසිරීම නිවැරදි ගමන් මග නෙවෙයි.

ඒක හුදෙක් අනුකරණය කිරීමක් පමණයි. ඒ නිසා තමන් යා යුතු ක්‍රමය අපි පරිස්සමින් තෝරාගන්නට ඕන. න්‍යායක් වශයෙන් ගත්තහම අපි හැම කෙනකුටම එක ම නිවන් මඟ, එක ම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නමුත් මේ දහම් මග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුපූර්වගාමී ප්‍රතිපදාවක් හැටියට. තමන් ඉන්නා තැන ඉඳලයි පියවර නැඟිය යුත්තේ, අන් අය සිටින තැන ඉඳලා නො වෙයි.

(මතු සම්බන්ධයි)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *