දන්නා නුවණ දක්නා නුවණ කුමක්ද මේ ?

cmadurawala
9 Min Read

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන්

ආසව නම් කෙලෙස්ය. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයාගේ සිතෙහි මෙම කෙලෙස් පැසවමින් පවතී. මද්‍යසාරයක් මෙන් පල්වෙමින් වැගිරේ. මද්‍යසාරයන්හි ලක්‍ෂණ වන්නේ මත්වීම, සිහිමුළා වීම නම්, කෙලෙසුන් නිසා ද මුලාව සහ ප්‍රමාදය ඇතිවේ. මුලාව නම් වූ මෝහය නිසාම රාගාදි අකුසලයන්ට මූලෝත්පත්ති සැකසීමත් කුසලයන්ට යොමුනොවීම නම් වූ ප්‍රමාදයත් සිදුවෙයි.

දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු සසරමඟ කෙටිකර ගැනීමට නම්, විදර්ශනා ඥාන ශක්තියෙන් යුතු නුවණ දියුණු කළ යුතුය. මේ සඳහා දාන, සීල, භාවනා මග උපකාර කරගත යුතුය. එනමුත් තම සිතෙහි පැසවන රාගාදී කෙලෙස්වල දුරුවීම අවශ්‍යමය. මේ සඳහා උපකාරී වන ධර්ම පරියායක් භාග්‍යවතුන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී පැහැදිලි කොට පෙන්වා ඇත. එහිදී මෙසේ දේශනා කොට තිබේ. එනම්, මේ සඳහන් කරුණු ධර්ම මාර්ගය හා ගැළපෙන්නේ “යෝනිසෝමනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක දැනගන්නාවූ ද නුවණැසින් දැකගන්නා වූ ද පුද්ගලයාට බවයි. ඔහුට හෝ ඇයට සසර දිගු කරන ආශ්‍රව හෙවත් කෙලෙස් නැතිකරගන්නට පුළුවනි. මෙහි යෝනිසෝමනසිකාරය නම් යම් ධර්මතාවයන් පරමාර්ථ ධර්ම නුවණින් මෙනෙහි කිරීමයි. එනම් සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක නම් වූ ඕනෑම වස්තුවක පවතින හේතුව, ඵලය, භංගය පිළිබඳව අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්‍ෂණ ධර්මයට යටත් කොට දැන ගැනීමේ සහ දැක ගැනීමේ හැකියාවයි. මෙම අදහසම යම් තැනක “එළඹ සිටි සිහියෙන් යුතුවීම” යනුවෙන් ද දක්වා තිබේ. “අයෝනිසෝමනසිකාරය” නම් එසේ නුවණින් මෙනෙහි නොකිරීමයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දහම් කරුණ නුවණින් මෙනෙහි කරන්න. එය මෙසේයි. හටනොගත් ආශ්‍රවයන් පවා අයෝනිසෝමනසිකාරය නිසා හටගනී. හටගෙන තිබෙන ආශ්‍රවයන් පවා වර්ධනය වෙයි. එනමුත් යෝනිසෝමනසිකාරය නිසා නූපන් ආශ්‍රව හටගන්නේ නැත. හටගත් ආශ්‍රව පවා ප්‍රහීණ වෙයි. යෝනිසෝමනසිකාරයෙන් යුතු පුද්ගලයාට ඕනෑම රූප, ශබ්දා දී අරමුණක ඉෂ්ට අනිෂ්ට හෙවත් හොඳ නරක බව තතු සේ දැකගන්නට දැනගන්නට පුළුවනි. මේ නිසා හෙතෙම කැමති අරමුණෙහි සිතින් දැඩිව ගන්නාවූ උපාදානයකටවත් අකැමැති හෙවත් අනිෂ්ට අරමුණෙහි ගැටෙන්නා වූ පටිඝයකටවත් සිතින් සකස්වෙන්නේ නැහැ. අයෝනිසෝමනසිකාරයෙන් යුතු තැනැත්තා රාගාදී අරමුණෙහි ඉක්මනින් හෙවත් වහා බැඳෙයි. තදින් ඇලෙයි. පැණි රසයට කූඹියකු මෙනි. අකැමැති අරමුණෙහි වහා ගැටෙයි. දණ්ඩකින් පහර කෑ සර්පයකු මෙනි.

මෙම ආශ්‍රව හෙවත් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය සත් ආකාරයකින් මෙහිදී දක්වා තිබේ. ඒ මේ ආකාරයෙනුයි. දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ග නුවණින් පහකළ යුතු ආශ්‍රව පවතී. සංවරයෙන් පහකළ යුතු ආශ්‍රව පවතී. නුවණින් මෙනෙහිකොට බලමින් පහකළ යුතු ආශ්‍රව පවතී. වීර්යයෙන් යුක්තව ඉවසීමෙන් පහකළ යුතු ආශ්‍රව පවතී. දුරුකිරීමෙන් පහකළ යුතු ආශ්‍රව පවතී. බැහැර කිරීමෙන් නැති කළ යුතු ආශ්‍රව පවතී. විවේකය, විරාගය, නිරෝධය ඇසුරු කළ සහ බෝධිඅංගයන්ගෙන් සමන්නාගතව භාවනාවෙන් පහකළ යුතු ආශ්‍රව පවතී.

මෙහිදී අතුරු කතාවක් පැනනැඟේ. එනම්, කෙලෙස් ප්‍රහාණයේදී ආමිස පූජා හෙවත් වැඳුම් පිදුම්වලට ලැබෙන්නේ ළදරු අවධියේ ස්ථානයක් පමණක් බව ය. සීලයෙහි පිහිටා තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව උපදවාගෙන රාගාදී කෙලෙසුන්ගේ ප්‍රහාණයට මූලික පසුබිමක් සකස් කිරීමකි. එම නිසා තම ජීවිත කාලයම හෝ ජීවිත කාලයේ වැඩි කාලපරිච්ඡේදයක් වැඳුම් පිදුම්වලට හා සිරිත් විරිත් ලෙස සිදුකරන දානාදී පිංකම්වලින් පමණක් සසර කෙටිකර ගැනීමක් හෝ කෙලෙස් ප්‍රහාණයක් සිදුකළ නොහැකි වන්නේය. සිරිත් විරිත් මුල්කොට ගත් පිංකම් ලෙස අදහස් කරනු ලැබුවේ කෙනකු මියගිය පසු සිදුකරනු ලබන සත්දිනයේ, තුන්මාසයේ හෝ වාර්ෂික පිංකම් ද වරු පිරිත්, සර්ව රාත්‍රික පිරිත්, පෙරහැර, පහන් පූජා අන් අයට උදව් උපකාර වශයෙන් ආහාර, ඇඳුම් පැලඳුම්, නිවාස, බේත්හේත් ආදී පරිත්‍යාග කිරීම් ලෙසිනි. මේවා සිදුකිරීමෙන් සිතෙහි පින සකස් වෙයි. සුගතිය උරුම වෙයි. පින අවසන්වීමෙන් සුගතිය ද අවසන් වෙයි. සත්ත්වයා නැවතත් දුකට පත්වෙයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස හේතුවන සීල, සමාධි, ප්‍රඥා ගුණ මාර්ගයම ප්‍රශංසා කොට දේශනා කරති. එයට ප්‍රධාන වශයෙන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වන්නේය. මෙහිදී අප විසින් සිහිපත් කළ යුත්තේ කුමක් ද? ආමිස පූජාවෙන් පසුබිම සකස් කොටගෙන, ශ්‍රද්ධාව උපදවා, පුණ්‍යවන්තව, දස පාරමී ධර්මයන් ද දියුණු කරමින් සමථ විදර්ශනා භාවනා මාර්ගයට යොමු වීමයි.

දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ග නුවණින් පහකළ යුතු ආශ්‍රව කවරේදැයි ඉතාමත් සරල ලෙස විමසා බලන්න. එනමුත් ගැඹුරින් සිතට ගන්න. මේ දහම් පරියාය ආරම්භ වෙන්නේ මේ ආකාරයටයි. පළමුව අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා ගැන දැනගෙන සිටින්න. මේ තැනැත්තා ආර්යයන් වහන්සේලා නුවණින් හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයෙහි අදක්‍ෂයි. එනම් අවබෝධ කොට ගන්නට නොහැකියි. ආර්ය ධර්මයෙහි හික්මීම නොවෙයි. සත්පුරුෂයන් වහන්සේලා නුවණින් හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයෙහි අදක්‍ෂයි. සත්පුරුෂයා ධර්මයෙහි හික්මෙන්නේ නොවෙයි. මේ නිසා අශ්‍රැතවත් පෘථග්ජනයා මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනී. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනී. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා මේ පුද්ගලයා විසින් යම් ධර්මයක්, සිතුවිල්ලක් නොමෙනෙහි කළයුතු නම්, එම ධර්මයන් මෙනෙහි කරනු ලැබේ. යම් මෙනෙහි කළ යුතු යමක් වේ නම් එය මෙනෙහි නොකරයි.

මෙහිදී අප විසින් අපගේම සිත සහ සිතුවිලි පිළිබඳ මනා සිහියෙන් හෙවත් ආරම්භයේ සඳහන් කළ යෝනිසෝමනසිකාරයෙන් යුතු විය යුතුය. එවිට සිත අවධි වෙයි. මාර්ගයෙහි ප්‍රමුදිත වෙයි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව යමක් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නොකළ යුතු ධර්ම හෙවත් ආරම්මණ මේවායි. යම් දෙයක් සිහිකරන විට නැති හෝ නූපන් කාමශ්‍රව උපදී ද, සිතේ තිබෙන කාමාශ්‍රව වැඩේ ද නූපන් භවාශ්‍රව උපදී ද, සිතේ තිබෙන භවාශ්‍රව වැඩේ ද නූපන් අවිද්‍යා ආශ්‍රව උපදී ද සිතේ තිබෙන අවිද්‍යා ආශ්‍රව වැඩේ ද, එවැනි ධර්ම, දේවල්, සිතුවිලි, මෙනෙහි නොකළ යුතුයි.

මීළඟට දැනගත යුත්තේ කුමක් ද? යමක් මෙනෙහි නොකරනවා නම්, මේවා මෙනෙහි කළ යුතුය. ඒ මොනවාද? යමක් මෙනෙහි කරනවිට නූපන් කාමශ්‍රව නූපදී ද උපන් කාමාශ්‍රව නැතිවෙනව ද නූපන් භවාශ්‍රව නූපදී ද උපන් භවශ්‍රව නැතිවෙනව ද, නූපන් අවිද්‍යා ආශ්‍රව නූපදී ද උපන් අවිද්‍යා ආශ්‍රව නැතිවෙනව ද ඒවා මෙනෙහි කළ යුතු ධර්මයෝයි. සිතුවිලියි. අරමුණුයි.

මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කිරීමෙන් සහ මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් අශ්‍රැතවත් පෘථග්ජනයාට නැති ආශ්‍රව උපදියි. තිබෙන ආශ්‍රව තවත් වැඩිදියුණු වෙයි. මේ කියවන ඔබත් අයෝනිසෝමනසිකාරයෙන් යුතුව වැරදි විදියට, මේ ආකාරයෙන් සිත සිතා සිටිනවා දැයි මෙනෙහි කරන්න. අතීතයෙහි මම සිටිය ද, අතීතයෙහි මම සිටියේ නැද්ද, අතීතයෙහි කවුරු වී සිටින්නට ඇති ද, අතීත කාලයෙහි කවර ආකාරයකට සිටින්නට ඇති ද, අතීත කාලයේ කවරෙක්ව සිට කවුරු වගේ කෙනෙක් වෙන්නට ඇති ද අනාගතයේ මම ඉඳීවි ද, අනාගතයේ මම නොඉඳියි ද, අනාගතයේ මම කවර අයෙක් වෙයි ද, අනාගතයේ කෙසේ වෙයි ද? අනාගතයේ කවරෙක්ව සිට කවරෙක් වෙම් ද වශයෙනුයි. මීළඟට මේ පුද්ගලයාට කුමක්ද සිදුවෙන්නෙ? වර්තමානයේත් තමා කෙරේ සැක ඇතිකර ගනියි. මම කියා කෙනෙක් සිටිම් ද, මම නොවෙම් ද, මම කොහොම කෙනෙක් ද, මම කෙසේ වෙනව ද, මේ සත්ත්වයා කොතැනක සිට ආවේ ද, මෙතැනින් කොතැනකට යාවි ද වශයෙනුයි. මේ ආකාරයට ‘මම’ මුල්කරගෙන ආත්ම සංඥාවෙන් අතීත අනාගත, වර්තමානය ගැන සිතමින් සිටින අශ්‍රැතවත් පෘථග්ජනයාට මගේ වසඟයෙහි පවතින, මට කැමති ආකාරයට පවත්වාගත හැකි ආත්මයක් ඇතැයි සිතුවිලි උපදී. මගේ ආත්මය නැතැයි සත්‍ය වශයෙන් දෘෂ්ටියට පැමිණෙයි.

අයෝනිසෝමනසිකාරයෙන් සිතන අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා නිත්‍ය වූ ආත්ම සංඥාව ගැනීම නිසා, මගේය, මම වෙමි, දකින, අසන, දැනෙන, සිතන සියල්ල ස්ථිරයි. සිතෙමින් ඇලෙයි, බැඳෙයි, ගැටෙයි, හඬයි, වැලපෙයි. එසේම මගේ ආත්මය නැතැයි, සියල්ල මෙලොවට පමණයි යනුවෙන් සිතන පෘථග්ජනයා ද හොඳින් හෝ නරකින් ඇස, කන ආදී ඉන්‍ද්‍රියන් පිනවීමට පෙලඹෙයි. රාග, ද්වේෂ, මෝහ, තන්හා, මද මාන දෘෂ්ටීන්ට එකතුවෙයි. ඇලෙයි, බැඳෙයි, හඬයි, වැලපෙයි. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේගේ පැහැදිලි කිරීම මෙසේය. අයෝනිසෝමනසිකාරයෙන් යුතු පෘථග්ජනයා ජාතියෙන් දිරායෑමෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, දැඩි ආයාසයෙන් නොමිදේ. සියලු සසර දුකින් නොමිදේ යනුවෙනි.

යෝනිසෝමනසිකාරයෙන් යුතු ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමත් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමත් නිසා තම සිතෙහි නැති කෙලෙස් නූපදියි. උපන් හෙවත් පවතින කෙලෙස් නැතිකර ගනියි. උපතේ පටන් ඇති ජීවිතයේ මහලු බව, ව්‍යාධිය, මරණය, අකැමැති දෙයට මුහුණදීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දේවල් ඉටුකර ගැනීමට නොහැකිවීම ආදී යථාර්ථය නුවණින් දකියි. දහමෙහි මෙය නම් කරන්නේ දුක්ඛ වචනයෙනි. මේ සියලු ගැටලුවලට හේතුව (සමුදය) නුවණින් මෙනෙහි කරයි. මේ සියලු ගැටලු, දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිදහස්වීම, නැතිකිරීම (නිරෝධය) නුවණින් මෙනෙහි කරයි. මේ සඳහා ඇති ආර්ය වූ මාර්ගය (මග්ග) නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුට හෝ ඇයට මමය, මාගේය නම් වැරදි දැක්ම (සක්කායදිට්ඨිය), සැකය (විචිකිච්ඡා), සම්මා දිට්ඨි ආදී ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර මගක් අනුගමනය කිරීම (සීලබ්බත පරාමාස) නම් තුන් සංයෝජන (සසරට බැඳීම්) ප්‍රහාණය වෙත්. මේ මග දර්ශනයෙන් නැති කළ යුතු ආශ්‍රව හෙවත් කෙලෙස් යැයි අවබෝධකොට ගත යුතුය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *