කපිල පීරිස්
පර්යේෂණයක් යනු යම් දෙයක් සිද්ධියක් තත්වයක් පිළිබඳව දැන දැක ගැනීමට කරනා දෙයකි. අපට සියල්ල ගෝචර වන්නේ ෂඩ් ඉන්ද්‍රියන් ඔස්සේය. මේ ගෝචර වන සංවේදනයන් මූලිකවම දැන ගන්නේ අදාළ ඉන්ද්‍රියනට සබැඳී විඤ්ඤාණය මගිනි. ඇසට රූපයක් ගැටුණ විගස ඒ අදාළ දැන ගැනීම සඳහා චක්ඛු විඤ්ඤාණය පහළ වේ. පෙරළා ඇස රූපය සහ ඒ නිසා හටගත් දැන ගැනීම ලෙස වන චක්ඛු විඤ්ඤාණය යන තුනෙහි එකතුව ලෙස අදාළ ඵස්සය (ස්පර්ශය) ඇති වේ. වේදනාව ඇති වන්නේ මේ ස්පර්ශය නිසාය. අප යමක් හඳුනාගන්නේ (සඤ්ඤාව) මේ වේදනාව ඔස්සේය. මෙහිදී වැදගත් වන්නේ මනෝසම්පස්සජා වේදනාය. එනම් සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා යන වේදනාවන්ය. මෙහිදී අප මතක තබා ගත යුතු ඉතා වැදගත් කාරණය වන්නේ මේ මූලික හඳුනාගැනීමේදී ම වේදනාව මැදිහත් වන බවය. එපමණක් නොව මේ හඳුනාගැනීම තුළ මේ වේදනා සෝමනස්ස කර ගැනීමේ කැමැත්තක් ආශාවක්, තණ්හාවක් ද ඇති බවත් අප පැහැදිලිව තේරුම්ගත යුතුය. ඉතින් මේ තණ්හාව මේ වේදනා යම් හෙයකින් සොම්නස් නම් එය තවදුරටත් දිගටම සොම්නස්ව තබා ගැනීම පිණිස අදාළ චිත්තාභ්‍යන්තර දිට්ඨි සංකාර සමග ගලපමින් චේතනාත්මකව තවත් සංඛාර දිට්ඨි ගොඩනගයි. එසේම ඒ වේදනාව දෝමනස්ස එකක් වූයේ නම් එය බැහැරලීමට ද්වේෂයෙන් සංඛාර ගොඩනගයි. මෙය තණ්හාවේ ක්‍රියාවයි. එනම් තණ්හාවෙන් උපාදාන වන්නේ ඒ අයුරින්ය.
උපේක්ෂා සහගත වේදනාවන්හි දී මුලාව තුළ තණ්හාව සොම්නස සොයා විවිධ සංඛාර ගොඩනගමින් සිත අවුල් කරනු ඇත. දැන් මේ සංඛාර දිට්ඨි මත පදනම් වෙමින්ය, දිගින් දිගටම අරමුණු, විතර්ක, ධම්ම, ආශ්‍රව මතු වන්නේ. මේ සමඟ ඇති වන මනෝසම්පස්සජා වේදනාය නැවත නැවත මේ චක්‍රය ඇති කරවන්නේ. ඇත්තටම අපට ගැටලුකාරී අනිත්‍යය ඇත්තේ මේ චක්‍රයේය. මේ සංඛාර අරමුණු චක්‍රය අනිත්‍යය. එය කෙලෙසකවත් අපට සොම්නසම ගෙනදෙන පරිදි අපේ වසඟයේ තබාගත නොහැක. මෙයයි දුකේ උපත!
ආර්ය පර්යේෂණයේදී සිදුවන්නේ අපේ සෑම සිතකම හටගන්නා මනසිකාර චෛතසිකය කුළු ගන්වා මේ වේදනා චක්‍රය පිරිසිඳ දැක ගැනීමට යොමු කිරීමයි. මෙසේ මනසිකාරයෙන් මේ අනිත්‍ය වූ දුක් ගිනි චක්‍රය නිරීක්‍ෂණය කළ හැකි නම්, මේ සක්කාය දිට්ඨි චක්‍රය, මම නොවන බවත්, මගේ නොවන බවත්, මගේ වසඟයේ තබා ගත නොහැකි බවත් පසක් වනු ඇත. එනම් මේ පංචස්කන්ධ ක්‍රියාවලියේ සොබාවය පෙනෙනු ඇත. මේ අනුව අප අවට ඇති අප ආශ්‍රිත විවිධ පුද්ගලයන් විවිධ වස්තූන් විවිධ තත්වයන් ආදිය මෙන්ම අපගේ ප්‍රසාද රූප ලෙස ගැනෙන ඉන්ද්‍රියන් පමණක් නොව ඒ ආශ්‍රිතව දිට්ඨි සංඛාර අරමුණු චක්‍රයද අපේ වසඟයේ නැති බව පැහැදිලි වනු ඇත. එනම් මේ කිසිවක් දිගුකාලීන සදාතනික සොම්නස් වේදනා උදෙසා මෙහෙයවිය නොහැකිය. එහෙත් මේ තත්ත්වය නොදන්නා තාක් (මනසිකාරය යෝනිසෝමනසිකාරය වී) සිතේ විවිධ සංඛාර දිට්ඨි ගොඩනැගී සක්කාය දිට්ඨිය පෙරටුව නැවත නැවත දිට්ඨි සංඛාර අරමුණු නමැති අනිත්‍ය වූ දුක් චක්‍රය ක්‍රියාත්මක කරයි. මේ චක්‍රය බාහිර සිට දැන දැක එය සමනය කළ හැක්කේ යොනිසෝමනසිකාරයටය. සොම්නස් වේදනා සොයමින් සංඛාර – දිට්ඨි ගොඩනගමින් ඒ නිසා අරමුණු පහළ වෙමින් ඒ සම්පස්සයන් නිසා හටගන්නා සැබැවින්ම දුක් දොම්නස් සහගත වූ චක්‍රය අඩපණ කළ හැක්කේ යෝනිසෝමනසිකාරයටය. යෝනිසෝමනසිකාර චෛතසිකයට මෙහිදී සම්මුති මම ලෙස පෙනී සිටිය හැක. මේ සම්මුති මට මේ දුක් චක්‍රය පණගන්වන තණ්හා-චේතනා චක්‍රය දුර්වල කළ හැක. මේ චක්‍රය දුක් ගින්නක් බව (තාවකාලිකව කවර සුවයක් ලැබුවත්) අවසානයේ එමගින් දැවී යාම නියත බව දැන දැක මේ සම්මුති මම ක්‍රියාත්මක විය යුතුය. මෙලෙස අවසානයේ ඉතිරිවන්නේ සොම්නස් නන්දිය උදෙසා වූ සියලු අනිත්‍ය වූ දිට්ඨි සංඛාර වලින් තොර වූ ප්‍රභාස්වර වූ සිතය, අනිදස්සන විඤ්ඤාණය ය මෙයයි අවසාන නිවීම.
ව්‍යාජයක්ව ක්‍රියාත්මක වෙමින් දුක්-දොම්නස් වේදනා ඇති කරන්නේ සියලු සොම්නස් වෙනුවෙන් කියා සියලු දිට්ඨි සංඛාර ගොඩනගන සක්කාය දිට්ඨියයි. ඇත්තටම නැත්තේ, එලෙසම නැති බව තේරුම්ගත යුත්තේ මේ සක්කාය දිට්ඨිය නමැති මමය. මම ලෙස ගත හැකි කිසිවක් නැත්තේ නැත. නැත්තේ මේ සංඛාර-දිට්ඨි පොදියට වැද තව තවත් එවැනි සංඛාර දිට්ඨිම ගොඩනගමින් වේදනාව ගෙඩනගමින් වේදනාව සොම්නස් කිරීමට වලිකන සක්කාය දිට්ඨිය නමැති මමය. වියකා දැමිය යුත්තේ ඒ මමය. ඒ සඳහා යොදාගත යුත්තේ යෝනිසෝමනසිකාර මමය. යෝනිසෝ මනසිකාර මට මේ දුක්ගිනි චක්‍රය නිවීමේ විභවය ඇත. නියමිත අයුරු සතිපට්ඨානය වැඩුවහොත් මේ දුක්ගිනි චක්‍රය නිවිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ ඇපවෙති. දුක්ගිනි චක්‍රය ක්‍රියාත්මක වන්නේ (පටිචඡසමුප්පාදය) හේතු -ඵල ඔස්සේය. එය අනත්ත දහමකි. එය කිසිවකුගේ වසඟයේ නැති දිගින් දිගටම දුක් දොම්නස් ඇතිකරවන්නකි. එහෙත් මේ චක්‍රය සිඳලීමට යෝනිසෝමනසිකාරයට (ප්‍රඥා චෛතසිකය සමඟ) මැදිහත් විය හැක. දුකින් මිදීමට ඇත්තේ පටිපදාවක් බව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරා ඇත්තේ ඒ නිසාය.
බුදුදහමේ දැක්වෙන මම නැත, අනත්ත ආදිය ඉතා පරිස්සමින් තේරුම්ගත යුතුය. අපේ වේදනා චෛතසිකය දිගින් දිගටම සොම්නස්ව තබාගත හැකි මමක් නැත. එනම් කිසිවක් අපේ සොම්නස් වේදනාවම උදෙසා සංස්කරණය (චිත්තඅභ්‍යන්තර) කළ හැකි කිසිවෙක් හෝ නැත. එසේම එසේ කළ හැකි කිසිවක් ද නැත. (සබ්බේ ධම්මා අනත්තා) එනම් අපේ වසඟයේ (සොම්නස උදෙසා) තබා ගත හැකි කිසිවක් නැත. තම වේදනා චෛතසිකය දිගටම සොම්නස්ව තැබිය හැකි ලෙස කිසිවක් සංස්කරණය කොට වසඟයේ තබාගත හැකි කිසිවෙක් නැත. එයයි අනත්තය යනු. එහෙත් මේ සොම්නස්-දොම්නස් චක්‍රයෙන් මිදුණු නිවීම උදෙසා ක්‍රියාත්මක විය හැකි මමක් සිටි එයයි සම්මුති මම එය ධර්ම මාර්ගය ආරම්භයේදී යෝනිසෝමනසිකාරය ලෙස පැහැදිලිව ගත හැක.
දැන් මේ යෝනිසෝ මනසිකාරය මම ලෙස ගැනීම තුළ දහමට ආත්මවාදයක් ඇතුළු වේද?, යෝනිසෝ මනසිකාරය අනිත්‍ය නැද්ද, නිවනේදී යෝනිසෝ මනසිකාරයට කුමක් වේද? ආදී අනවශ්‍ය දාර්ශනික ප්‍රශ්න මෙහිදී අදාළ නැත. මෙවැනි ප්‍රශ්න වලට ඍජු පිළිතුරු ධර්මයේ ඇත්තේද නැත. අනිත්‍ය, අනත්තය ආදිය පුළුල් ලෙස දහම තුළ තේරුම් ගත යුතුය යන්න අපගේ අදහසය. අනිත්‍ය යනු අපට දුක් ඇති වන අනිත්‍යයයි. එය වූ කලී අනෙකක් නොව සංඛාර – දිට්ඨි – අරමුණු චක්‍රයේ අනිත්‍යයි.
අනත්තය යනු මේ චක්‍රය දිගටම සොම්නස ආශ්වාදනීයව පවත්වාගත හැකි කෙනෙක් – ආත්මයක් නැත යන්නයි.
අපේ සිරුරේ හෝ අප සතු යම් දෙයක යම් කොටසක් අනිත්‍ය නොවුණහොත් ඒ දුක නැතිවනවාද? පංචස්කන්ධය තුළ “මමක්” ආත්මයක් නැත ලෙස දැක්වෙන්නේ ඒ තුළ ඇති සියල්ලම ක්ෂණයක් ක්ෂණයක් පාසා හෝ ඊටත් වේගයෙන් වෙනස් වන නිසා නොව චිත්තාභ්‍යන්තර වේදනාව සොම්නස්ව දිගටම පවත්වාගත හැකි කිසිවෙක් නැති නිසාය.
පටිච්චසමුප්පාදයේදී සංඛාර ලෙස දැක්වෙන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර ආනේජ්ජාබි සංඛාර යන්නය. පංචස්කන්ධ ක්‍රියාවලියේදී සංඛාර ලෙස ගැනෙන්නේ වේදනා, සඤ්ඤා හැර ඉතිරි චෛතසික පනසය. මේ සියල්ල චිත්තාභ්‍යන්තර ධර්මතාවයන්ය. අපට දුක ඇති කරන්නේ සංඛාර අරමුණු චක්‍රයේ අනිත්‍යයයි. එසේ නොමැතිව කැලේ ගහක අනිත්‍ය නොවේ. එසේම බාහිර හා සිරුරේ කිසිදු අනිත්‍යයක් අපට දුක් දෙන්නේ නැත. දුක් සොම්නස් දෙන්නේ ඒවා ඇසුරු කර ගෙන චිත්තාභයන්තර'(සොම්නස වෙනුවෙන්) සාදාගන්නා සංඛාර වල හා (අරමුණුවල) අනිත්‍යය. මේ අනුව අපේ සිරුරේ යම් කොටසක් නිත්‍ය වූවත් ඒ නිත්‍ය භාවය ඒ ආශ්‍රිත චිත්තාභ්‍යන්තර සංඛාර – අරමුණු චක්‍රයේ (සොම්නස් ලෙස) අනිත්‍යය නැති කළ නොහැකි එකක් නම් එමඟින් ද දුක නිවෙන්නේ නැත.
මේ දුක් -සොම්නස් ගින්න නිවීමට ආර්ය පර්යේෂණයේ යෙදිය යුත්තේ යෝනිසෝ මනසිකාරය මුල් කර ගෙනය. එවිට ඊට සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩිය හැක. එවිට මෙතෙක් දුක් ගිනි චක්‍රය ඔස්සේම සොයමින් හඹාගිය සොම්නස- සතුට ඉන් ඔබ්බට ගිය නිවීමක් ආශ්‍රිත ධම්ම විචය තුළ ලබන්නා වූ ප්‍රීතියක් ලෙස ලද හැකිය. චිත්තාභ්‍යන්තර දිට්ඨි, සංඛාර, අරමුණු, චක්‍රය පිටතින් විනිවිද දැකිය හැකිනම් මේ ලෝකයේ කළ හැකි වටිනාම -වැදගත්ම නිරීක්ෂණය එයයි. දුක් සොම්නස් වේදනාවන් සිඳලන ඒ මහා දැකුම ඇති කරන නිරීක්‍ෂණය එයයි. එයයි ආර්ය පර්යේෂණය – සතර සතිපට්ඨානය.
ඉතින් දහම් මඟ ආරම්භයේදීවත් අවම වශයෙන් යෝනිසෝ මනසිකාරය (සති සම්පජඤ්ඤය) මම ලෙස ගෙන ඉන් බාහිර සියල්ල එනම් මූලික වශයෙන් – දිට්ඨි චක්‍රය (කෙළෙස් සහිත) ආදිය මම නොවන මගේ නොවන මගේ ආත්මය නොවන දෑ ලෙස සලකා ක්‍රියාත්මක විය හැකිනම් එමගින් දුක් චක්‍රය කොපමණකින් නිවාගත හැකිද මේ ගිනි චක්‍රය නිවීමත් සමග බිහි වන්නේ සතර බ්‍රහ්ම විහරණයයි. පහළවන්නේ පූර්ණ දැක්මයි, ප්‍රඥාවයි මේ ප්‍රඥාව සමග ක්‍රියාත්මක වන්නේ කරුණාවයි .එතෙක් සොම්නස් සොයමින් බාහිරේ ක්‍රියාත්මක වූයේ තණ්හාවය. ඒ තණ්හාවෙන් මිදුණ කෙනා ක්‍රියාත්මක වන්නේ කරුණාවෙනි.
මේ දිට්ඨි – සංඛාර අරමුණු අනිත්‍ය චක්‍රය ක්‍රියාත්මක වන්නේ අවිද්‍යාව නිසාය. එනම් මේ චක්‍රය තුළ වේදනාව සොම්නස තියාගත හැකිය යන මිථ්‍යාව නිසාය. මේ මිථ්‍යාවෙන් මිදුණු විගස මේ චක්‍රය තුළ ලුහුබැඳ යාම අතහැරේ එයයි නිවීම. එවිට කරුණාවෙන් ලෝකයේ ක්‍රියාත්මක වීම ඇරඹේ. මේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ මේ මොහොතේ ය. අතීත අත්දැකීම් මත යහපත් අනාගතයක් වෙනුවෙනි. මෙහිදී මේ මොහොත ඉතා නැවුම්ය. අතීතයට උපාදාන වී පශ්චාත් තාප වීම්, උදම් ඇනීම් කිසිවක් නැත. එසේම අනාගතයට උපාදාන වී පුරසාරම් දෙසීම්, බිය කිසිවක් ද නැත. සියල්ල මේ මොහොතට අදාළ වී ඇත. මේ ක්‍රියාත්මක වන්නේ නික්ලේශී පිරිසිදු සැබෑ මමය. එහි රාගයක්, ආශාවක් තබා ඡන්දයක්වත් (දුකින් මිදීමේ කැමැත්ත) නැත. නිවන තෙක් හේතුඵල දහමෙන් මිදුණ ඡන්දය පවතී. එසේම සෝවාන් ඵලයෙන් පසුවත් සක්කාය දිට්ඨි ය ප්‍රහාණය වී අස්මීමානය පවතී. මේ සියල්ලෙන් මිදුණ බ්‍රහ්ම විහරණයකි නිවීමේ ඇත්තේ අයෝනිසෝ මනසිකාරයෙන් හේතුඵල දහම තුළ ක්‍රියාත්මක වූ සංඛාර දිට්ඨි අරමුණු දුක් චක්‍රය යෝනිසෝ මනසිකාරයෙන් මැඩ පැවැත්විය යුතුය. එහිදී යෝනිසෝමනසිකාරයට යම් ස්වච්ඡන්දතාවයක් ඇත. (හේතුඵල දහමට එරෙහිව යන) එසේම ශ්‍රද්ධාව, වීර්යය ද ක්‍රියාත්මක වේ. එහෙත් දිට්ඨි සංඛාර කෙළෙස් පොදිය වියැකීමත් සමග,
මේ සියල්ල දුරුවී යයි. නිවනේ කිසිදු ස්වච්ඡන්දතාවයක් නොමැත. ආත්මීය භාවයක් නොමැත .(”සබ්බේ ධම්මා අනත්තාහි ධම්මා යන්නට නිවන ද අඩංගු බව ඇතැම් තැනක සඳහන් වේ.”) මේ කිසිවකින් තොරව ලෝකය තුළ ක්‍රියාත්මක වන්නේ බ්‍රහ්ම විහරණයයි.
අභිධර්මයට අනුව අරමුණු සමග ඉන්ද්‍රිය ගැටෙන විට ඇතිවන්නේ සිත්වැල්ය. (චිත්ත වීථි) වරකට මේ වැලේ සාමාන්‍යයෙන් සිත් 17ක් ඇති ිවේ. මේ සෑම සිතකම ඵස්ස, වේදනා, චේතනා ,සඤ්ඤා, මනසිකාර හා නාම ධර්ම (චෛතසික) ඇත. ඊට අමතරව ඒ ඒ සිතට අදාළ අකුසල චෛතසික සහිත සංඛාර, මේ සංඛාර දුර්වල කෙරුමේ සෝබන (කුසල) චෛතසික සහ තවත් චෛතසික ඇත. වේදනා චෛතසිකය එක් එක් සිත්වල එක් එක් ආකාරයට ප්‍රකට (තීව්‍ර) වේ. සද්ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර ඇසුර ඇතිවිට ධම්මානු ධම්ම පටිපදාව සහිත යෝනිසෝමනසිකාර චෛතසිකය අරමුණු හා සංඛාර අතර ඇතිවන ගැටුමේදී තව තව සංඛාර ඇති වීම පාලනය කිරීම මඟින් වේදනාව යළි යළි හට ගැනීම සමනය කෙරේ. සංඛාරවල අනිත්‍යය – පරඬැල් බව මෙහිදී වැදගත්ය. මේ අනුව මනසිකාරය ප්‍රබල වනවිට (යෝනිසෝ මනසිකාරය) සිත්වල පාලනය ඊට හිමිවන අතර දුක්ගිනි ඇතිකරන වේදනා චෛතසිකය දුර්වල වේ. මේ අනුව ඉන්ද්‍රිය ඇසුරේ ක්‍රියාත්මක වූ සිත් වැලේ වේදනා චෛතසිකය දුර්වල වීම යනු ඒ අදාළ නාමරූප ක්‍රියාවලියේ වේදනාව වියැකී යාමයි. මෙයයි නිවීම. ඒ අනුව සත්වයා ලෙස ගැනුණ ඉන්ද්‍රිය අනුබද්ධ සිත් වැලේ තිබූ වේදනාව දුරු වේ. සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය දුරුවන අතර යෝනිසෝ මනසිකාරය අස්මීමානය ඇසුරේ ක්‍රියාත්මක වේ. අවසානයේ සියලු දිට්ඨි- සංඛාර දුරු වූ විට අස්මිමානය – යෝනිසෝ මනසිකාරය ද වියැකී යයි. (තවදුරටත් සංඛාර දුරු කිරීමේ තම කාර්යභාරය අවශ්‍ය නැති නිසා) මෙවිට සිත්වැල පිරී යන්නේ සතර බ්‍රහ්ම විහරණයෙන්ය.
මේ අභිධර්ම විග්‍රහයට අනුව මනසිකාරය, පටිච්චසමුප්පාදයෙන් දැක්වෙන දුක් චක්‍රය නිමීමට යෙදුණත් එයට, නිත්‍ය ආත්මීය භාවයක් නොලැබෙන බව පැහැදිලිය.

