දහම් ගීතය

cmadurawala
8 Min Read

ශ්‍රී සද්ධර්ම ශාසන ප්‍රසාදිනී, දේශාභිමානී පී.චන්ද්‍රරත්න

නවම් පොහෝ දින බෞද්ධ ජනයා හට වැදගත්වන හේතු කිහිපයකි. ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් හිමිවරුනට අගසව් තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම හා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම ඉන් ප්‍රධාන ය. අවසන් කරුණ හැර ඉතිරි ඒවා උන්වහන්සේගේ ගම්භීර වූ ධර්මය හා බැඳී පවතී. එබැවින් අද දින බොදු ගී විමසුමට ද ඒ හා බැදුණු ජනප්‍රිය ගීතයක් තෝරා ගනිමු. මොහිදීන් බෙග් ඉස්ලාම් භක්තිකයකු වුව ද ඔහුගේ ගීත රාශියක් අදටත් ජනප්‍රිය බොදු බැති ගීත වේ. “බුදුන්ගේ අමා ධර්මේ…” නම් ඔහුගේ ජනප්‍රිය බොදු බැති ගීයේ ප්‍රබන්ධය කරුණාරත්න අබේසේකරයන්ගෙනි. සංගීත සංයෝජනය පී.එල්.ඒ.සෝමපාලයන් විසිනි.

බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙළීලා බැඳී ප්‍රේමේ
විනාසේ වුණා මේ

මලේහි වසා බඹරා
උරා රොන් ගනීවි
එයින් ඌ පලා ගිය දා
මැරී මල් හැලේවී

මෙසේ ලෝක න්‍යායේ
ලෙසින් වේය පාපේ
වෙළීලා බැඳී ප්‍රේමේ
විනාසේ වුණා මේ

අස්ථිර වේ ජීවේ
තණ අගේ පිනි සේ
ස්ථිර නෑ ලෝකේ
ළඟා වේ විනාසේ

සොයාලා බැලූවෝතින්
පෙනේ මේ මනා සේ
වෙළීලා බැඳී ප්‍රේමේ
විනාසේ වුණා මේ

ගීතයෙහි පද රචනය පිළිබඳව විමසීමට පෙර සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබේ. එනම් මෙහි ගායන විලාසයේ හෙවත් තනුවෙහි ඇති අලංකාරයයි. ගීතයේ හැම කොටසක්ම ආරම්භ වන්නේ මන්ද ස්වරයකිනි. එය දෝරා නමින් හැඳින්වේ. එලෙස ආරම්භ පද පේළි දෙක ගයා අනතුරුව වෙළීලා බැඳී ප්‍රේමේ යන කොටස වේග රිද්මයකින් ගැයේ. මෙම ප්‍රතිවිරුද්ධ සංයෝගය නිසාම ගීතයට තවත් මිහිරක් එක්ව ඇත. කෙසේ වුව ද ඉතා සරල ප්‍රබන්ධයක් සේ පෙනෙන නමුදු මෙම ගීතය පුරා බුද්ධ ධර්මය නොදැනීම නිසා වන සංසාරික අතරමංවීම හෙවත් සංසාරයේ දුක්විඳීම පිළිබඳව පාපෝච්චාරණයක් වැනි අදහසක් කියැවේ.

ගීතය ආරම්භ වන්නේ බුදුන්ගේ අමා ධර්මය වටහා නොගැනීම හෙවත් නොතේරීම පිළිබඳව ය. මෙය බෙහෙවින් ගැඹුරු සංවාදයකට ලක්විය යුතු කරුණකි. තමන්වහන්සේ විසින් අවබෝධ කරගත් සර්‍වඥතා ඥානය කිසිවකුට දේශනා කිරීම ඵලක් නොමැති වේදැයි ද ඊට හේතුව එම ගම්භීර ධර්මය අවබෝධ කරගැනීමට සමත් අය නොමැති හෙයින් යැයි ද හැඟීමක් බුදුන්වහන්සේ තුළම පැවැති බව අරියපරියේසන සූත්‍රයෙහි දැක්වේ.

“මහණෙනි, ඒ මාගේ මේ අදහස විය. “මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරුය. දැක්මට අවබෝධයට නොපහසුය, ශාන්තය, ප්‍රණීතය. තර්කයෙන් බැසගත නොහැක්කේය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතුය….., මම දහම් දන්නෙහි නම් අන්‍යයෝ එය දැන නොගත්තාහු නම්, එය මට ක්ලාන්තයකි. එය මට වෙහෙසකි….” (මජ්ක්‍ධිම නිකාය – ප්‍රථම භාගය – බුද්ධ ජයන්ති මුද්‍රණය) පසුව එම තීරණය වෙනස් වුව ද උක්ත ගීතයේ මුල් කොටස ශ්‍රවණය වනවිට එක්වරම සිහියට නැඟෙනුයේ පෙර සඳහන් බුද්ධ දේශනාව ය. මුල් ස්ථායී කොටසෙහි අවසන් පද දෙක වූ වෙළීලා බැඳී ප්‍රේමේ… විනාසේ වුණා මේ”… යන්න ගීතය පුරා පුනරුච්චාරණය කෙරෙන අවධාරණය සහිත කොටසකි. එනම් ධර්මය නොතේරීම හෙවත් නොවැටහීම නිසා ඇතිවන බැඳීම් විනාශයට හේතුව බවය. මෙම ප්‍රකාශය ධර්‍මප්‍රදීපිකාවෙහි වඩා විචිත්‍ර ලෙස මෙසේ සඳහන් වේ.

“යම් සේ ඝර්වාභිතප්ත (උණෙන් පෙළෙන) පුරුෂයෙක් පිපාසාතුර වැ පානාගාරයට වැද වර්‍ණ ගන්ධ රස සම්පන්න විෂ සුරා දැක එහි ගිජු වැ හිත කාමයෙන් කියමන් නොගෙන වසරහ බී විනාශයට යෙද, එහෙයින් මැ යමෙක් පඤ්චකාමයෙහි ගිජු වැ විද්වජ්ජනයන් කියමන් නොගැන කාමපරිභෝග කෙරෙම් යි ත්‍රිවිධ දුශ්චරිත පුරාද, හෙ දෂ්ටධර්මයෙහි මැ මහත් අන්‍යව්‍යසනයට පැමිණ පරම්පරාය භවයෙහි පුරාද, හෙ දෂ්ට ධර්මයෙහි මැ මහත් අන්‍යව්‍යසනයට පැමිණ පරම්පරාය භවයෙහි මහත් අපාදුක් අනුභව කෙරේ. (ධර්‍මප්‍රදීපිකා – අභිසම්බෝධි කථා – 135 පිටුව)

මෙම ධර්‍ම කරුණම ඒ ඒ පුද්ගලයන් පිළිබඳව ඇතිවන බැඳීම හේතුවෙන් ඇතිවන විපාකය භක්ති ශතකයෙහි ද විස්තර කෙරේ.

ඉදම්පි යදි වෙද්මි පුත්‍රදාර
ස්වතනුගෘහාදි මරිචිතාම්බූතුලසම්
ස්ථගයති මමතා ච මාමහන්තා
තදපි හි මොහවිජෘම්හිතං ගරීයම්.
(84 – ශ්ලෝකය)

මේ දරුවෝය, අඹුවෝය, ස්වකීය ශරීරය වාසස්ථානය යන මේ ආදී වූ දෙය මිරිඟු දිය හා සමාන වන්නේය. කිසිසේත් දනිමි. එකකුදු වුවත් මමත්වය ද බුද්ධිය ද මා හෙවත් මාගේ ප්‍රඥාව මුවහ කෙරේ. ඒ, එසේමැයි අවිද්‍යා වගේ පැලඹීම දායකත්වයෙන් ඉතා මහත් වන්නේයි.

ගීතයේ පළමු අන්තරා කොටස ඇරඹෙන්නේ සංසාර බැඳීම පිළිබඳව මල හා බඹරා නිදසුන් කරගත් ප්‍රකාශයකිනි. සාමාන්‍ය පිළිගැනීම නම් බඹරා මල නොතළා රොන් රැගෙන යන බවය. මෙම ගීතයේදී රචකයා, රොන් රැගෙන ගිය පසු මල පරවී යන බව පවසයි. රොන් රැගෙන ගිය ද නොගිය ද මල පරවීම ස්වභාවික සංසිද්ධියකි. එහෙත් රචකයා පැවසීමට උත්සාහ දරන්නේ යම් දෙයක ප්‍රයෝජනය ලබාගත් පසු එය අමතක කිරීම බව පෙනේ. ඉන් අනතුරුව ගැයෙන කොටස වූ මෙසේ ලෝක න්‍යායේ… ආදී වශයෙන් ප්‍රකාශ කරන්නේ ලෝක ස්වභාවය එය බවත් එලෙසින්ම පාපයේ ද බැඳෙන බවත්ය. පෘථග්ජනයාගේ සිත කෙලෙසකින් නමුත් පාපී ක්‍රියාවේම බැඳේ. එය ලෝක න්‍යායකි. එම චිත්ත ස්වභාවය පිළිබඳව භක්ති ශතකයෙහි අපූර්ව පැහැදිලි කිරීමක් දක්නට ලැබේ.

යද නයනමයං වශෙ විධාතුං
යතනි තදා ද්‍රවති ශ්‍රවො යදා තත්
තදනු රසනනාසිකා ශරීරා
ණ්‍යහහ පරස්පරදුර්ග්‍රාහාණි වෛවම්
– 77 ශ්ලෝකය

මම ඇස වසඟ කරගැනීමට උත්සාහ කරමි. එවිට කන ශබ්ද නමැති අරමුණ කරා දුවයි. කන වසඟ කරගැනීමට උත්සාහ කරන විට දිව නැහැය හා සිරුර ද අරමුණු කරා දුවයි. අහෝ ඛේදයකි.

රචකයා ගීතය පුරා යළි යළි අවධාරණය කෙරෙන විනාසේ වුණා මේ… යන්න පෙර දැක්වූ ශ්ලෝකයේ අහෝ ඛේදයකි යන්නෙන් ගම්‍ය වේ.

ගීතයේ ඊළඟ අන්තරා කොටස ප්‍රකට කියමනක උපුටනයක් බව පෙනේ. එනම් ජීවිතය තණ අග පිණි බිඳක් සේ අස්ථිරය යන්නය. එය එක්වරම මතකයට නංවන්නේ ලෝවැඩ සඟරාවෙහි එන පහත දැක්වෙන පද්‍යයයි.

බණ නම් නිබොරුය මුනිවරයන් නේ
කය නම් නොතිරය අදහා ගන් නේ
පණ නම් තණ අග පිනි බිඳු වැන් නේ
පින නම් නොපමාවම කරගන් නේ
– 46 පද්‍ය

ජීවිත පිළිබඳව අනිත්‍ය ස්වරූපය ඉතා සරලව දැක්විය හැකි මෙම දාර්ශනික නිදසුන ගීත රචකයා ද එලෙසම යොදාගෙන ඇත.

මෙම ගීතයේ අවසාන කොටස අතිශය සරල පදවලින් යුක්ත නමුත් මෙහි පිටුපස ඇති ගැඹුරු දහම විමසිය යුතුම වේ. රචකයාගේ යෝජනාව වනුයේ සොයාලා බැලුවොතින් – පෙනේ මේ මනා සේ” යන්නය. මෙහිදී සෙවීම යනු ධර්මය පිළිබඳ විමසුම විනා අන් කවරක්ද? සියලු බැඳීම් ගෙනදෙනු ලබන්නේ සුවයක් ද? සංයුක්ත නිකායෙහි අන්ව වර්‍ගයේ සංයෝජන සූත්‍රයෙහි මීට පිළිතුර සඳහන්ය.

කිං සු සංයෝජනෝ ලෝකෝ – කිං සු තස්ස විචාරණං
කිස්සස්සු විප්පහානේන නිබ්බානමිති මුච්චනීති
නන්දි සංයෝජනෝ ලෝකෝ – චිතක්කස්ස විචාරණං
තණ්හාය විප්පහානේන – නිබ්බානමිති වුච්චතීති

ලොව කුමක් බැඳුම් කොට ඇත්තේ ද? එහි (ඇවිදීම කරන) පා කවරේද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන මේ යැයි කියනු ලැබේද?

(භාග්‍යවතුන් වහන්සේ) ලොව රාගය බැඳුම් කොට ඇත්තේය. (කාමාදී) විතර්කයෝ එහි පාදයෝයි. තෘෂ්ණාව වෙසෙසින් නසාලීමෙන් නිවන වේයැයි කියනු ලැබේ.

ගීතයෙහි අවසන් කොටසෙහි ද දැක්වෙන ‘වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා වේ’ යෙදුම පහදා දෙන්නේ අත්වන විනාශය බැඳීම් නිසා වූ බවය. ලෝකයෙහි බැඳීම් ඇතිවීම ස්වාභාවිකය. එම බැඳීම් හා විඳීම් අවබෝධයෙන් සිදුකළ හැකි නම් පසුතැවීමක් නොමැති බව සතිපට්ඨාන සූත්‍රයෙහි වේදනානුපස්සනා කොටසෙහි මෙසේ දැක්වේ. (සිංහල පරිවර්තනය)

“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිමියි (සම්‍යක් ප්‍රඥාවෙන්) දනී. දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවන් විඳිමි යි දනී. නො දුක් සැම වේදනාවක් විඳින්නේ නොදුක් නොසැප වේදනාවක් විඳිමියි දනී….”

එහෙත් ප්‍රශ්නය නම් පෘථග්ජනයා කෙසේ නම් එම තත්ත්වයට සිත දියුණු කරගනිතියි ද යන්නය. ගීතය පුරා යළි යළිත් ප්‍රකාශ වන්නේ එම පසුතැවීමේ ශෝකාලාපයයි. බැඳීම්වලින් වෙන්ව සිටීමේ අපහසුතාව භක්ති ශතකයෙහි මෙසේ දැක්වේ.

විශදමපි මන: ස්වභාවතො මෙ
චිරකෘතකිල්විෂකාලිමාවෘතං ස්‍යාත්
කුශලජලලවෛ: කථන්ත ධෞතම්
භවති මෘයද්‍යශවෙතසාර්ජිතෛස්තෛ:
– 79 ශ්ලෝකය

ස්වභාවයෙන්ම පිරිසිදුව මගේ සිත බොහෝ කලක් තිස්සේ සිදුවූ අවිද්‍යා තෘෂ්ණාදී කිලුටින් වසන ලද්දේය. මා විසින් මෙබඳු සිතින් රැස්කරන ලද කුසල් නමැති දිය බිඳුවලින් මේ කිලුටු කෙසේ නම් සේදිය හැකි ද?

බුදුන්ගේ අමා ධර්මේ…. ගීතය පුරා ප්‍රකාශිත සංවේදී ප්‍රකාශයට අතිශය සාධාරණ පිළිතුරක් උක්ත ශ්ලෝකයෙන් කියැවේ. මිනිසා සියලු බැඳීම්වල යළි යළිත් පහස සොයන්නේ එහි වේදනාවක් නොදකින්ට නොවේ. එහෙත් ඔහු නිවැරදි වීමට තැත් කරන මොහොතේ සිදුවූ සියල්ල නිවැරදි කිරීමට ඔහුගේ ධෛර්ය ප්‍රමාණවත් නොවේ. නිවැරදි මාර්ගය ඇති නමුත් එහි පිවිසීම අතිශය දුෂ්කරය. එහෙත් සියල්ල යහපත් වීමට නම් එහි ගමන් කළ යුතුමය. මොහිදින් බෙග් ගායන ශිල්පියා මහත් හැඟුම්බරව අපට පසක් කර දෙන්නේ එම ධර්මතාවයි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *