ඤාණ දස්සන විසුද්ධිය

cmadurawala
7 Min Read

සත්ත විසුද්ධියේ සත්වැනි විසුද්ධිය ලෙස දැක්වෙන්නේ ඤාණ දස්සන විසුද්ධියයි. සයවැන්න වූ පටිපදා ඤාණ දස්සන විසුද්ධියෙන් පසු උපදින්නේ ගෝත්‍රභූ ඤාණයයි. මෙම ඤාණය පටිපදා ඤාණ දස්සන විසුද්ධියටත්, ඤාණ දස්සන විසුද්ධියටත් අතරින් පිහිටි අතර වචනයෙන් විස්තර කළ හැකි දෙයක් නොවන බවත්, එය විදර්ශනාවට ගැනෙන්නක් බවත් විසුද්ධි මාර්‍ගය සඳහන් කරයි.

සෝතාපන්න මාර්‍ගඤාණය, සකදාගාමී මාර්‍ගඤාණය, අනාගාමී මාර්‍ගඤාණය සහ අරහත් මාර්‍ගඤාණය යන සතර මාර්‍ගඤාණයන් “ඤාණ දස්සන විසුද්ධි” නම් වන බව කෙටියෙන් දැක්වේ.

සත්ත විසුද්ධියේ සත්වැනි අවස්ථාව වනවිට යෝගාවචරයා මාර්‍ගඤාණ අවබෝධයෙන් පිරිසිදු බවට පැමිණේ. විදර්ශනා භාවනාවේ යෙදී සිටින මොහු පිළිවෙළින් උපචාර සමාධි හා අර්‍පණා සමාධි උපදවා ගැනීමෙන් ගෝත්‍රභූ ඤාණය උපදවා ගනී.

මෙම ගෝත්‍රභූ ඤාණය යනු “සංස්කාරයන්ගෙන් නැඟීසිටීමේ හා ඉවත්ව සිටීමේ ප්‍රඥාව” බවත්, උපත මැඬලන බැවින් අනුප්පාදයට පිවිසෙන බැවින් ගෝත්‍රභූ නම් වන බවත් විසුද්ධිමාර්‍ගය පෙන්වා දෙයි.

අනුලෝම ඤාණයත්, ගෝත්‍රභූ ඤාණයත් යන උභය ඤාණයන් විවිධ අරමුණුවල පවතින ආකාරය උපමාවක මාර්‍ගයෙන් විසුද්ධිමාර්‍ගයේ දක්වන්නේ මෙසේය.

“මහා ඇළකින් එගොඩවීමට කැමැති පුද්ගලයෙක් වේගයෙන් දුව ඇවිත් මෙතෙර ඇති ගසක අත්තක එල්ලෙන රැහැනක් හෝ රිටක් අල්ලාගෙන එගොඩට නැඹුරුව, බරව, ඇළට උඩින් පැන ඉවුර මත පිහිටා සිට රැහැන හෝ රිට අතහැර සෙමින් සිටින්නාක් මෙන් මෙම යෝගාවචරයා ද භව, යෝනි, ගති ආදියෙන් එතෙර ඇති නිවනෙහි සිටිනු කැමැතිව උදයබ්බයානුපස්සනා ආදිය කරණ කොටගෙන වේගයෙන් පැමිණ බොහෝ ආත්මභාව නමැති ගසෙහි අත්තක එල්ලෙන රූපස්කන්ධය නමැති රැහැන හෝ වේදනාදී කිසියම් රිටක් හෝ ත්‍රිලක්‍ෂණ ආවරණයෙන් අල්වාගෙන පළමුවන අනුලෝම චිත්තය මගින් එතෙරට පැන දෙවැනි අනුලෝම චිත්තයේ උපකාරයෙන් එතෙර නම් වූ නිවනට නැඹුරුව තුන්වැනි අනුලෝම චිත්තයෙන් මත්තට පැමිණ එම චිත්තය නිරුද්ධවීම සමග ගෝත්‍රභූ චිත්තයෙන් නිර්වාණ භූමියේ පිහිටයි.”

එම ගෝත්‍රභූ ඤාණ බලයෙන් ලෝභ, දෝස, මෝහ සිඳ දමා බොහෝ අනුසස් ඇති සෝවාන් මාර්‍ග ඤාණය උපදවා ගනී. ඒ පළමුවැනි ආර්ය පුද්ගලයා ය. අනතුරුව එම ඵල සිත ද උපදවා ගැනීමෙන් දෙවැනි ආර්ය පුද්ගලයා බවට පත්වේ.

ආර්ය පුද්ගලයන් අටදෙනෙකි.

“අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ” යනුවෙන් ශ්‍රාවක අටදෙනෙක් වන අතර “චත්තාරි ඒතානි යුගානි හොන්ති” යනුවෙන් යුගල වශයෙන් සතරදෙනෙක් වෙතැයි රතන සූත්‍රයේ ද සඳහන් වේ. ඒ අටදෙනා නම්, සෝවාන් මාර්‍ග පුද්ගලයා, සෝවාන් ඵලස්ථ පුද්ගලයා, සකදාගාමි මාර්‍ග පුද්ගලයා,

සකදාගාමි ඵලස්ථ පුද්ගලයා, අනාගාමි මාර්‍ගස්ථ පුද්ගලයා, අනාගාමි ඵලස්ථ පුද්ගලයා, අරහත් මාර්‍ගස්ථ පුද්ගලයා, අරහත් ඵලස්ථ පුද්ගලයා යනුවෙනි. මෙම අටදෙනා අතුරෙන් පළමුවැන්නාගේ සිට සත්වැන්නා දක්වා වූ සත්දෙනා “සේඛ” නම් වන අතර, අටවැන්නා “ අසේඛ” නම් වේ.

සොතාපන්න වීමෙන් අනතුරුව සකදාගාමි, අනාගාමි සහ අරහත් යන සතර මගඵලයන්ට පැමිණීමෙන් සසර කෙළවර කරගනී.

සතර ආර්ය මාර්‍ගඤාණ සහ ආර්ය පුද්ගලයන් පිළිබඳව සඳහන්වීම නිසා ඒ පිළිබඳව කෙටියෙන් හෝ සඳහන් කිරීම සුදුසු වේ යැයි සිතමි.

සොතාපන්න

පළමුවැනි ආර්ය පුද්ගලයා සොතාපන්න නම් වේ. මෙම පදයේ නිරුක්තිය සොත+ආපන්න යනුයි. සොත යනු සැඩපහරට නමකි. සැඩපහරෙහි ස්වභාවය එය හසුවූ පුද්ගලයා අතරමඟ නොරඳවා රැගෙන යෑමයි. මෙහිදී සොත යනුවෙන් අදහස් කරන්නේ ආර්ය මාර්‍ගය නමැති සැඩපහරයි. ආපන්න යනු පැමිණීමයි. ඒ අනුව ආර්ය මාර්‍ගය නමැති සැඩපහරට හසුවූ පුද්ගලයා සොතාපන්න නම් වේ. එම පුද්ගලයා සසර අතරමඟ නොරඳයි. අපායගාමී නොවෙයි.

“ත්වණ්ණං සංයොජනානං පජ්ඣයා සොතාපන්නො හොති අවිනිජාත ධම්මො නියතො සම්බොධි පරායනො” යනුවෙන් පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණයේ සොතාපන්නයා හඳුන්වා ඇත. කිසි දිනක අපායගාමි නොවන සොතාපන්න පුද්ගලයා නියතයෙන්ම සම්බෝධිය කරා පැමිණෙන බව එයින් කියැවේ. අපි නිතර භාවිතා කරන රතන සුත්‍රයේ ද “චතූහපායෙහිච විප්පමුත්තො චඡාභිඨානානි අභබ්භො කාතුං” යන්නෙන් දක්වන්නේ ද මේ අදහසමය. මේ තැනැත්තා අතින් කිසි දිනෙක බරපතළ අකුසල හයක් සිදු නොවේ. පඤ්ච ආනන්තරීය කර්‍ම සහ නියත මිථ්‍යාදෘෂ්ටිය යන සයයි. මේ බව අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අට්ඨාන පාළියේ ද සඳහන් වේ.

සොතාපන්න ආර්ය පුද්ගලයන් තිදෙනෙක් ගැන ධර්‍මයේ සඳහන් වේ. ඒකබීජී, කෝලංකෝල, සත්තක්‍ඛත්තුපරම යනු ඒ සිව්දෙනායි.

  1. ඒකබීජී සොතාපන්න ආර්ය පුද්ගලයා නැවත මිනිස්ලොවට පැමිණෙන්නේ එක්වරක් පමණි. එහිදී ඉතිරි මාර්‍ගඵල අවබෝධයෙන් දුක් කෙළවර කරගනී.
  2. කෝලංකෝල සොතාපන්න තෙමේ දෙව්ලොව හෝ මිනිස් ලොව දෙවරක් හෝ තුන්වරක් සැරිසරා දුක් කෙළවර කරගනී.
  3. සත්තක්‍ඛත්තුපරම සොතාපන්න ආර්ය පුද්ගලයා උපරිම වශයෙන් සත්වරක් පමණක් දෙව්ලොව හෝ මිනිස්ලොව සැරිසරා දුක් කෙළවර කරගනී.

රතන සූත්‍රයේ “නතෙභවං අට්ඨමං ආදියන්ති” යනුවෙන් දැක්වෙන්නේ එයයි. (අටවැනි භවයක් නැත.)

සකදාගාමි

දෙවන ආර්ය භූමිය වන්නේ සකදාගාමි භූමියයි. අපි බොහෝදෙනාට මෙය හුරුවී තිබෙන්නේ “සකෘදාගාමි” යන පදයෙනි. එය සංස්කෘත පදයයි. සකිං+ආගාමී යන පද දෙක සන්ධි වී සකදාගාමී යන පදය සෑදේ. සකිං යනු එක්වරක් පමණක්, ආගාමි යනු පැමිණෙන යනුයි. ඒ අනුව

සකදාගාමි යනු එක්වරක් පමණක් නැවත මේ මිනිස්ලොවට පැමිණ දුක් කෙළවර කරගන්නා ආර්ය පුද්ගලයායි.

(සකෘද්+ආගාමි = සකෘදාගාමි. එක්වරක් පැමිණෙන්නා) සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්‍ම දුරුකළ තැනැත්තා සෝවාන් පුද්ගලයා වන අතර කාමරාග, පටිඝ යන සංයෝජනයන්ගේ ශක්තිය අඩුකළ තැනැත්තා මෙම සකදාගාමි පුද්ගලයා වේ.

අනාගාමි

න+ආගාමි =අනාගාමි, යනු තුන්වැනි ආර්ය පුද්ගලයායි. කාමරාග, පටිඝ යන සංයෝජන ධර්‍ම සම්පූර්ණයෙන් නැතිකළ ආර්ය පුද්ගලයා අනාගාමි නම් වේ. මරණයෙන් පසු ශුද්ධාවාසයක ඕපපාතික වේ. එහිදී අරහත්වයට පැමිණ සසර දුක් කෙළවර කරගනී.

පුග්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේ අනාගාමි ආර්ය පුද්ගලයන් පස්දෙනෙක් පිළිබඳව සඳහන් වේ. 1. අන්තරා පරිනිබ්බායි. 2.උපහච්ච පරිනිබ්බායි. 3.අසංඛාර පරිනිබ්බායි. 4. සසංකාර පරිනිබ්බායි. 5. උද්ධංසොත අකනිට්ඨගාමි. යනු ඒ පස්දෙනායි.

  1. උපන් (පහළවූ) හැටියේම හෝ මැදිවියට පැමිණීමට පෙර ඉතිරි සංයෝජන නැතිකරගන්නා තැනැත්තා
  2. මැදි වයස ඉක්මවා පිරිනිවන් පෑමට ආසන්නයේදී ඉතිරි සංයෝජන නැති කරගෙන අරහත්වයට පත්වන්නා.
  3. අසංඛාර පරිනිබ්බායි යනු අපහසුවකින් තොරව අරහත්වයට පත්වන තැනැත්තා
  4. තරමක් අපහසුවෙන් ඉතිරි සංයෝජන දුරුකොට අරහත්වයට පත්වන පුද්ගලයා සසංඛාරී පරිනිබ්බායි වේ.
  5. මුලින්ම අවිහ බ්‍රහ්ම ලෝකයේ පහළව පිළිවෙළින් අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක යන බ්‍රහ්ම ලෝකවල ආයු විඳ ඉතිරි සංයෝජන දුරුකොට අරහත්ව පිරිනිවන්පාන ආර්ය පුද්ගලයා උද්ධංසොත අකනිට්ඨගාමි නම් වේ.

අරහත්

අරහ යන පදයේ විග්‍රහ වාක්‍ය කීපයක් ඇත. න+රහ=අරහ, අර+නහොති=අරහත, අර+හතත්තා=අරහත, සංසාර චක්‍රයෙහි අර නමැති කෙලෙස් දුරුකළ මේ ආර්ය පුද්ගලයා අරහත් නම් වේ. උද්ධම්භාගීය සංයෝජන සියල්ල දුරු කළ විට මේ ආර්යත්වයට පත්වේ. රතන සූත්‍රයේදී “ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං

තෙ ඛීණ බීජා අවිරුළහි චන්දා නිබ්බන්ති ධීරා යථායං පදීපො”

(පැරණි කර්‍ම ගෙවිණි, නව කර්‍ම ඇති නොවිණි, පුනර්භවය නැතිවිය, රාග සිත් පහවිය, කර්‍ම බීජ නැතිවිණි, හෙතෙමේ පහන නිවුණාක් මෙන් නිවීමට පත්වේ.) යනුවෙන් සඳහන් වන්නේ මේ සතරවැනි ආර්ය පුද්ගලයන් වහන්සේයි.

මෙම ලිපි පෙළේ ආරම්භයේදී සඳහන් කළ රථවිනීත සුත්‍රයේ සැරියුත් හිමියන් කර ඇති ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් පුණ්ණ මන්තානිපුත්ත තිස්ස හිමියන් ප්‍රකාශ කරන ලද්දේ තමන් වහන්සේ බ්‍රහ්මචරියාව ආරක්‍ෂා කරන්නේ අනුපදා නිර්වාණය සඳහා බවයි. එම අනුපදා පරිනිර්වාණය ලෙස සඳහන් වන්නේ මෙම උතුම් අරහත්භාවයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව දියුණු කරගැනීමෙන් මෙම උතුම් භූමියට පැමිණීමට උත්සාහවත් වෙමු.

අනුරපුර උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රදුන් අබියස “සන්නිපාත ශාලාවේ” සෑම පුර පසළොස්වක පෝදාකම පස්වරුවේ ගිහි පැවිදි උගත් පඬිවරුන් එක්ව සිදුකරන දහම් සාකච්ඡාවේ දී රථවිනීත සූත්‍රය ආශ්‍රිත සත්ත විසුද්ධිය අලළා විශ්‍රාමික ගුරු උපදේශක, ශාස්ත්‍රපති, ධර්මාචාර්ය වඩුගේ කරුණාරත්න සූරීන් විසින් පැවැත්වූ දසුමේ අවසන් කොටස මෙසේ නිමවේ. සකසා බුදුමගට යොමුකළේ සෙනරත් පොන්නම්පෙරුම

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *