කය ලෙඩ වුණත් සිත ලෙඩ නො වෙන්නට – (දෙවැනි කොටස)

rashi
By rashi
8 Min Read

මේ මොහොත

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

(මේ ලිපියේ මුල් කොටස පසුගිය කලාපයෙහි පළ විය)

නකුලපිතු සූත්‍රයේ දි සැරියුත් හාමුදුරුවො නකුලපිතුට කියලා දුන්න විදියට මේ රූප, විඳීම්, හැඳිනීම්, චේතනා, දැනීම් සමුදය වන නිරුද්ධ වන ස්වභාව බව මේ මොහොතේ ලැබෙන අත්දැකීම් ඔස්සේ නුවණින් දකින්න පුළුවන් නම් මම, මගේ කියන මඤ්ඤනාව මැවෙන එක අඩු වෙනව. මෙතන කෙරෙන්නේ මුළාවෙන් පරාමර්ශනය කිරීම වෙනුවට නුවණින් සම්මර්ශනය කිරීම. දැන් අපට පැහැදිලියි, පංච උපාදානස්කන්ධ තේරුම් ගැනීමයි, මෙතන වැදගත් වෙන්නෙ කියන එක. මේ ගැන දැනගත යුතු පස් ආකාරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. සමුදය, නිරෝධ, අස්සාද, ආදීනව, නිස්සරණ කියන්නේ ඒ පස් ආකාරයයි.

  1. අප දරන මේ උපාදින්න ඕළාරික කය අයිති වෙන්නෙත් රූපස්කන්ධයට. සළායතනයට සම්බන්ධ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ඵොට්ඨබ්බ රූප, ධම්ම රූප අයිති වෙන්නෙත් රූපස්කන්ධයට. මේ රූපස්කන්ධය පැනවෙන්නෙ මහාභූතරූප ප්‍රත්‍යය කරගෙන. මෙතන වර්ණ රූප, සද්ද රූප ආදී වශයෙන් කියන රූප, සතරමහාභූත රූප ඇසුරෙන් මැවෙන නාමමාත්‍ර රූප. ඒවට කියනවා උපාදාය රූප කියලා. ඒ නිසා මහාපුණ්ණම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “චතතාරො ඛො භිකඛු, මහාභූතා හෙතු චතතාරොමහාභූතා පචචයො රූපකඛන්‍ධසස පඤඤාපනාය” කියලා. එතකොට අපට පෙනෙනව මහාභූත රූප නැත්නම් රූපස්කන්ධයක් පනවන්න බෑ. රූපය ප්‍රත්‍යය කරගෙන යම් සුව සොම්නසක් විඳිනව නම් ඒ තමයි රූපයෙහි ආස්වාදය. ඒ රූපය අනිත්‍ය, දුක්ඛ, විපරිණාමී බව තමයි එහි ආදීනවය. රූපයෙහි ඡන්දරාගය ප්‍රහීණ වීම තමයි රූපයෙහි නිස්සරණය.
  2. වේදනාස්කන්ධය පනවන්නෙ ඵස්සය ප්‍රත්‍ය කරගෙන. (ඵසෙසා හෙතු ඵසසපචචයො වෙදනාකඛන්‍ධසස පඤඤාපනාය) මෙතන ඵස්සය කිව්වෙ ආයතන හයෙන් ම රූප නිමිති ස්පර්ශ කිරීම. රූපය නැත්නම් ඵස්සය නෑ. (රූපෙ විභූතෙ න ඵුසනති ඵසසා)(සු: නි: කලහවිවාද සූත්‍රය, 276 පිට) වේදනා කිව්වෙ ආයතන හයේ ම ස්පර්ශයන් අනුව සමුදය වන වින්දනයයි. මේ තමයි වේදනාවේ සමුදය. ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනාව ප්‍රත්‍යයෙන් යම් සුව වින්දනයක් වේ නම් එය වේදනාවේ ආස්වාදයයි. ඒ වේදනාව අනිත්‍ය, දුක්ඛ, විපරිණාමී වීම එහි ආදීනවයි. වේදනාවේ ඡන්‍දරාගය ප්‍රහාණය වේදනාවේ නිස්සරණයයි.
  3. සඤ්ඤාක්ඛන්ධය පැනවෙන්නෙත් ස්පර්ශය ප්‍රත්‍යය කරගෙන. (ඵසෙසා හෙතු ඵසසපචචයො සඤඤාකඛනධසස පඤඤාපනාය) සඤ්ඤා කියන්නේ හඳුනාගැනීමයි. ස්පර්ශය නිරුද්ධ නම් සඤ්ඤාවත් නිරුද්ධයි. සඤ්ඤාවේ යම් සුව සොම්නසක් වේ නම් එය සඤ්ඤාවේ ආස්වාදයයි. සඤ්ඤාවේ අනිත්‍ය බව, දුක් බව, විපරිණාමී බව ආදීනවයයි. සඤ්ඤාව පිළිබඳ ඡන්‍දරාගය ප්‍රහීණ වීම නිස්සරණයයි.
  4. සංඛාරක්ඛන්ධය පැනවෙන්නේ ද ස්පර්ශය ප්‍රත්‍යයෙන්. (ඵසෙසා හෙතු ඵසස පචචයො සංඛාරකඛන්‍ධසස පඤඤාපනාය) සංඛාර කියන්නේ සළායතනික නිමිති පිළිබඳ විඳීම හැඳිනීම ඔස්සේ චේතනාමය වශයෙන් රැස් කරගන්නා සංකල්පයි. ඵස්ස නිරෝධයෙන් සංඛාර නිරෝධය වේ. සංඛාර ප්‍රත්‍යයෙන් යම් සුව සොම්නසක් උපදී නම් ඒ සංස්කාරයන්ගේ ආස්වාදයයි. එහි අනිත්‍ය බව, දුක් බව, විපරිණාමී බව සංස්කාරයන්හි ආදීනවයයි. සංස්කාර පිළිබඳ ඡන්‍දරාගය ප්‍රහීණ වීම නිස්සරණයයි.
  5. විඤ්ඤාණක්ඛන්ධය පැනවෙන්නේ නාමරූප ප්‍රත්‍යයෙනුයි. (නාම රූපං ඛො භිකඛු හෙතු නාමරූපං පචචයො විඤඤාණකඛන්‍ධසස පඤඤාපනාය)(සං: නි: 3, පුණණමා සූත්‍රය, 172 පිට) නාමරූප කියන්නේ වින්දන, හැඳිනීම්, චේතනා, ස්පර්ශ, මනසිකාර කියන නාමධර්මත්, ඒ ඔස්සේ ආයතන හයෙන් නිමිති කර ගන්නා රූපත් කියන සියල්ලටයි. මේ නාමරූප පිළිබිඹු වෙන්නේ විඤ්ඤාණයෙ. නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණස්ඛන්ධය පැනවෙනව කියන්න ඒකයි. ඒ තමයි විඤ්ඤාණයේ සමුදය. නාමරූප නිරුද්ධ නම් විඤ්ඤාණයත් නිරුද්ධයි. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් යම් සුව සොම්නසක් උපදී නම් ඒ විඤ්ඤාණයේ ආස්වාදයයි. විඤ්ඤාණයේ අනිත්‍ය බව, දුක් බව, විපරීණාමී බව ආදීනවයයි. විඤ්ඤාණය පිළිබඳ යම් ඡන්‍දරාගයක් වේ නම් එය ප්‍රහාණය වීම නිස්සරණයයි.

ස්කන්‍ධයන් පිළිබඳව සමුදය, නිරෝධ, අස්සාද, ආදීනව, නිස්සරණ කියන පස් ආකාරය හොඳට වටහාගන්න. මේ පස් ආකාරය නො දැක්ක නිසා අතීත සංසාරයක් ගත වුණා. අතීත වූයෙත් මේ සමුදය නිරුද්ධ වන සිත් ප්‍රවාහයි. මවාගත්ත මම මගේ කියන ස්කන්ධ ප්‍රවාහයයි. දැනුත් කරන්නේ එය ම නම්, මතුන් එය ම බලාපොරොත්තු වන්නේ නම් සසර දිගට ම සිදු වේ වි. මේ පංචස්කන්ධ සිත් ප්‍රවාහය සකස් වෙන්නේ මේ සවිඤ්ඤාණක කයත් බාහිර නිමිතිත් පිළිබඳ මම කියන මානයත්, මගේ කියන තණ්හාවත් නිසා බව හොඳින් තේරුම්ගන්න. අපි පෙර භවයෙන් මිය යන අවස්ථාවේ මානානුසය නිසා, තණ්හානුසය නිසා ඒ සවිඤ්ඤාණක කය, බාහිර සියලු නිමිති අතහරින්න කැමැති වෙලා නෑ. සවිඤ්ඤාණක කයයි, බාහිර නිමිතියි නම්, මම මගේ කියා ගත්තේ, ඒවා අතහරින්න කැමැති නෑ. ඒ වුණත් එතනට තිබූ ජනක කර්ම ශක්තිය ඉවර නම් අකැමැත්තෙන් නමුත් අතහැරෙනවා. ඊළඟට විඤ්ඤාණය කර්ම නියාමයේ හැටියට මවුකුසක මූලබීජයක් සවිඤ්ඤාණක කරගෙන මවාගත්ත නාම රූපය තමයි, දැන් මේ දරන කය. මේ කය ඔබගේ නො වේ. අනෙකකුගේ ද නො වේ. ප්‍රත්‍යයන්ගේ සමුදයෙන් සකස් වූ, චේතනාව විසින් පිළියෙල කරන ලද, වේදනාවට කරුණු වූ පුරාණ කර්මයයි කියල දැනගන්න. (නායං භිකඛවෙ, කායො තුමහාකං, නාඤෙඤසං, පොරාණමිදං භිකඛවෙ කමමං, අභිසංඛතං අභිසඤෙචතයිතං, වෙදයිතං දටඨබබං) මේ දේශනා සඳහන් වෙන්නෙ සං: නි: 2. නතුමහ සූත්‍රයෙ. (100 පිට)

මේ කය පමණක් නොවෙයි, ඇස, කන, නැහැය, දිව, කය, මන සියල්ල ම පුරාණ කර්මය බව සං: නි: 4, කම්ම සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් මේ සිදුවෙන්නෙ මම මවාගෙන පුරාණ කර්මය විඳිනව. ඒ විතරක් නම් කමක් නෑ. විඳින්නේ මම ඉදිරියට දාලා නිසා අලුත් කර්මත් කරනවා. අලුත් කර්ම කෙරෙන්නේ කොහොම ද? “දැන් කයින්, වචනයෙන්, සිතින් යම් කර්මයක් කෙරේ නම් මහණෙනි, මේ අලුත් කර්මයි.” (යං ඛො භිකඛවෙ, එතරහි කමමං කරොති කායෙන වාචාය මනසා. ඉදං චුචචති භිකඛවෙ, නව කමමං.)

එතකොට මේ කර්ම නිරෝධය කුමක් ද? “මහණෙනි, යම් කෙනෙක් කයින් කරන කර්ම, වචනයෙන් කරන කර්ම, සිතින් කරන කර්ම නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරනවා නම්, ඒ තමයි කර්ම නිරෝධය. (යො ඛො භිකඛවෙ කායකමම වචීකමම මනොකමමසස නිරොධා විමුතතිං ඵුසති, අයං වුචචති භිකඛවෙ කමම නිරොධො) (සං. නි. 04 කමම සූත්‍රය, 266 පිට) මේ කම්මනිරෝධගාමිනී පටිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

එහෙම නම් හිත සැප ඇති වන විදියට අප පිළිවෙත වඩන්නේ කොහොම ද? දැන් අර පුරාණ කර්මය වන ඇස, කන, නැහැය, දිව, කය, මන තමන්ගෙත් නො වෙයි නම් අනුන්ගෙත් නො වෙයි නම්, ඒත් ඒවා අරමුණු ගෙන දෙනව නම් කළ යුත්තෙ මොකක් ද? දැන් අපි දන්නවා ඇස සමුදය වෙන්නෙ රූප නිමිත්තත් එක්ක. රූප නිමිත්ත සමුදය වෙන්නෙ ඇසත් එක්ක. ඒවට තනියම සමුදය වෙන්න බෑ.

චක්ඛු විඤ්ඤාණය සමුදය වෙනව කියන්නෙ ඇසයි රූපයයි සමුදය වෙනව කියන එකයි. ඇසයි, රූපයයි, චක්ඛු විඤ්ඤාණයයි සමුදය වෙන්නෙ නෑ ඵස්සයෙන් තොර ව.

ඵස්සය සමුදය වෙනව කියන්නෙ වේදනාවත් සමුදය වෙනව කියන එකයි. එතකොට මෙන්න මේ ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත්, චක්ඛුසම්ඵස්සයත් චක්ඛුසම්ඵස්සයෙන් උපදින වින්දනයත් පටිච්චසමුප්පාද ධර්මන්‍යාය අනුවයි සමුදය වෙන්නේ. එහෙනම් ඒවා මම, මාගේ කරගන්න එක තමයි හිතේ ලෙඩේ. “යමක් ඔබගේ නො වේ නම් අතහරින්න” (යං භිකඛවෙ න තුමහාකං තං පජහථ) ඒවා ප්‍රහීණ වෙනකොට හිත පිණිස සුව පිණිසයි පවතින්නෙ. (තෙ වො පහීනා හිතාය සුඛාය භවිසසනති)

කන, නැහැය, දිව, කය මන කියන අනෙක් ඒවාට මේ ධර්ම න්‍යායය යොදල බලන්නයි තියෙන්නෙ (මේ කාරණය සං: නි: 4, නතුමහාක සූත්‍රයේ (172 පිට) පැහැදිලි වෙනවා.) මේ ආයතන හය ගැන කිව්වා වගේම පංචස්කන්ධ ගැනත් තේරුම් ගන්න ඕන. ඛන්‍ධසංයුත්තයේ නතුම්හාක සූත්‍ර දෙකකින් මේ කාරණයත් පැහැදිලි කෙරෙනවා. සිත ආතුර නො වෙන්න නම් ආයතන, ස්කන්ධ තමාගේ නො වන බව නුවණින් දකින්න ඕන. නුවණ වැඩෙන පමණට කර්ම රැස්වීමත් අඩු වෙනවා. නීරෝගී බවක් පණවන්න බැරි කයේත් ලෙඩ බොහෝ දුරට අඩු වෙනවා.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අනුව මූලාශ්‍ර පිටු අංක යොදා ඇත.)

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *