පුරාණ රස විද්‍යා කතා (තිබ්බත බණපොත)

rashi
By rashi
7 Min Read

තිබ්බත සම්ප්‍රදායයේ මහා සිද්ධ යෝගීන් අසූ හතර දෙනාගේ කථාවලින්, පුරාණ රසවිද්‍යාව ගැන බොහෝ කරුණු හෙළි කොටගත හැකි එකක් නම්, හත්වැනි සියවස මැද භාගයේ ජීවත් වූ, ගුරු නාගාර්ජුනයන්ගේ කථාවයි.  මෙතුමන්, ඊට අවුරුදු පන් සියයකට පෙර ජීවත් වූ ද – මාධ්‍යමක බෞද්ධ සම්ප්‍රදායයේ පුරෝගාමී ආචාර්යපාදයන් වූ ද, සුප්‍රකට නාගාර්ජුන හිමියන් සමග පටලවා නො ගත යුතු ය.

අප කථානායකයන් වන ගුරු නාගාර්ජුනයන් යකඩ පර්වතයක් තඹ පර්වතයක් බවට හැරවූ බව ජනප්‍රවාදයේ එයි. එතුමන්ගේ මුල් අදහස වී ඇත්තේ එය රත්‍රන් පර්වතයක් බවට පෙරළීමටයි. මෙවිට මංජු ශ්‍රී බෝධිසත්ත්වයන් පෙනී සිට, රත්‍රන් කෙරේ ගිජු වන මිනිසුන් භේද වී මහත් ආරවුල් ඇති කර ගන්නා හෙයින් එසේ නො කරන්නැ යි අවවාද කළ නිසා,  පර්වතය තඹ බවට පෙරළා තිබේ.

බෞද්ධ ඇසින් බලා, රසවිද්‍යාවෙහි ප්‍රවර්ධනය පිණිස වූ මූල හේතු අභියෝගයට ලක් කරමින් බෝසතුන් විසින් කරනු ලැබූ අනතුරු ඇඟවීමෙහි අර්ථවත්කම, නොබෝ දිනෙකින් ම ගුරු නාගාර්ජුනයන්ට පසක් විය. එතුමන් තම පර්යේෂණයන්හි එක්තරා අදියරක දී තම යකඩ පාත්‍රය රත්‍රන් පාත්‍රයක් බවට හරවා තිබිණ. දිනක් නාගාර්ජුනයන් දන් වළඳමින් සිටිනා අතරතුර, පැල අසලින් යමින් සිටි සොරෙක්, අඩවල් දොරින්, මේ පාත්‍රය ද, දන් වළඳන නාගාර්ජුනයන් ද දැක, රන් පාත්‍රය සොරාගන්නෙමැ යි ඉටා ගත්තේ ය. සොරාගේ සිත දැකීමෙහි සමත් වූ ගුරු නාගාර්ජුනයෝ වහා ම පාත්‍රය කවුළුවෙන් එළියට විසි කර දැමූ හ. පාත්‍රය ගන්නෙමැ යි දොරෙන් ඇතුළු වූ සොරා මෙයින් මහත් වික්ෂිප්ත බවටත් ඉක්බිති ලජ්ජාවටත් පැමිණියේ ය.

හේ ගුරු නාගාර්ජුනයන් පාමුල දණ ගසා මෙසේ කී ය.

“අනේ ස්වාමීනි! ඇයි එහෙම කළේ? මා ඇතුළු වුණේ පාත්‍රය හොරාගන්ඩයි. දැන් තමුන්නාන්සේ ඒක තෑග්ගක් හැටියට මගෙ අතට ම ගන්ඩ විසි කර දාලා තියනවා. දැන් මගේ ආසාව අන්තර්ධාන වෙලා, හොරකම් කිරීම මහා අවැඩක් හැටියට මට දැනෙන්ඩ අරන්.”

ගුරු නාගාර්ජුනයෝ මෙසේ කී හ. “මා සතු ව යම් දෙයක් තියනව නම්, ඒක අන් අයත් එක්කල බෙදාගන්න එක තමයි කරන්ඩ ඕනැ. දැන් ඉතින් තියෙන දෙයක් කාල බීල, කැමති ඕනැ ම දෙයක් අරගෙන යන්ඩ. ඊට පස්සෙ තමුන්නැහෙට ආපහු හොරකමේ යන්ඩ මහන්සි වෙන්ඩ ඕනැ නෑ.”

ගුරු නාගාර්ජුනයන්ගේ කරුණාව දැක මහත් සේ පැහැදුණු මිනිසා, තමාට ධර්මය කියා දෙන්නැ යි ඉල්ලා සිටියේ ය. මේ මිනිසාගේ සිත තවමත් ධර්මයෙන් දුර වූ නමුත්, ඔහුට ඇත්තේ අවංක ශ්‍රද්ධාසම්පන්න හිතකැ යි ගුරු නාගාර්ජුනයන්ට දැකගත හැකි විය. එබැවින් මිනිසාට ලැබුණේ මෙවැනි උපදේශයකි.

“තමුන් ආසා කරන කොයියම් දෙයක් වුණත්, තමුන්ගෙ ඔළුවෙ හැදුණු අං දෙකක් (‘හාවකුගේ අං’ යන යෙදුම, ‘සැබැවින් නො පවතින’ යන අර්ථය උපදවනු පිණිස සංස්කෘතයෙහි සුලබ ව යෙදෙන්නකි – ලාමා ගෝවින්දයන් යෙදූ පාදක සටහන) වගේ කියල හිතන්න. ඔන්න ඔය විදියෙ භාවනාවක යෙදුණොත්, මරකත මැණිකක් වගේ ආලෝකයක් දැකගන්ඩ ලැබේ වි.”

මීළඟට ගුරු නාගාර්ජුනයන් කළේ, කුටියේ කොනක මැණික් කැට ගොන්නක් විසුරුවා දැමීමයි. එය ඉදිරියේ හිඳ භාවනා කරන්නැ යි අලුත් ශිෂ්‍යයාට උපදෙස් ලැබිණ.

ආධුනික යෝගියා සිය ඉමහත් ශ්‍රද්ධාව නිසා බොහෝ වේලා, උනන්දුවෙන් මේ භාවනාවෙහි යෙදී උන්නේ ය. මෙතෙමේ කොතරම් භාවනාවෙන් යෙදී උනි ද යත්, ඉන් අවදි වූ ඔහු දුටුවේ, තම හිසෙහි මතු වී තිබුණු අං දෙකකි!

සිය භාවනාවේ සාර්ථකත්වය දුටු යෝගියා සතුටින් ඉපිළ ගියේ ය; ජයග්‍රාහී හැඟීමෙන් ඔද වැඩුණේ ය. එහෙත් ටික දවසක් යද්දී ඔහු ත්‍රස්ත වූයේ, යන්තම් මතු වුණු අං දෙක දිනෙන් දින වර්ධනය වන බව දැකීමෙනි. වැඩුණු අං ඇති මොහුට බිත්තිවල – බාධකවල නො ගැටී යෑම් ඊම් පවා දුෂ්කර විය. අං දෙක ගැන  බය වන – ශෝක කරන තරමට ඒවා වර්ධනය විය. මුල දී වූ ජයග්‍රාහී මනස ක්‍රමයෙන් හීන වී ගොස්, අවසන ඔහු පරාජිත මානසිකත්වයකින් පෙළෙන්නට ගත්තේ ය.

වසර දොළහකට පසු, ගුරු නාගර්ජුනයන් තම ශිෂ්‍යයාගේ තතු පිරික්සීමට පැමිණෙන විට, ඔහු සිටියේ මහත් සිත් තැවුලෙනි.

එහෙත් ගුරු නාගාර්ජුනයෝ සිනා සී මෙසේ කී හ.

“තමන්ගෙ හිසේ හැබැහින් ම නැති අං දෙකක් නිසා තමුන් කොච්චර හිත් තැවුලට පත් වුණා ද, ඔන්න ඔහොම ම, ලෝක සත්ත්වයා තමන්ගෙ වැරදි පරිකල්පනවලට ඇලිලා සතුට අහිමි කරගන්නවා. ජීවිතයේ සියලු ආකාර සහ සියලු ආසාවන් වලාකුළු වගේ. නමුත් යම් කෙනෙක් ඒ මායාවන් ගෙන් මිදිලා හදවත පිරිසිදු කරගත්තොත්, උපතට – මරණයට පවා ඒ කෙනා ව පාලනය කරන්ඩ බෑ. ලෝකයේ තියන කොයි යම් දෙයක් වුණත්, හිසේ ඇතැ යි මවාගත්තු අං දෙකට වඩා වැඩි යමක් නො වෙන – මායාවක්, ආසා කරන්ඩ කියල දෙයක් නැති පීඩාවක් හැටියට දැක්කොත්, ඒ කෙනාට උපතේත් මරණයේත් චක්‍රයෙන් ගැලවෙන්ඩ පුළුවන්.”

මේ මොහොතෙහි යෝගියාගේ ඇස වසා සිටි දූවිල්ල දුරු විය. ඔහු සියල්ලෙහි ශූන්‍යභාවය දුටුවේ ය. ඔහුගේ ආශාවන් සහ වැරදි කල්පිතයන් සියල්ල සමග, හිසෙහි වූ අං දෙක ද අන්තර්ධාන විය. පසු කලෙක, ‘ගුරු නාගබෝධි’ ලෙස හැඳිවුණු සිද්ධ යෝගියා මෙතුමන් ය.

ගුරු නාගාර්ජුනයන්ගේ නමත් සමඟ ඈඳුණු තවත් අයකු නම්, ව්‍යාලි බ්‍රාහ්මණයා ය. ඔහු පෘථිවිය මත අමෘතය නොහොත්  ‘ජීව ඕජාව’ තනාගැනීමට වෙහෙසුණු රසවිද්‍යාඥයෙකි. මෙතෙමේ ජීවිත කාලයක් මුළුල්ලේ බොහෝ මිල ගෙවා වටිනා රසායනයන් ගෙන පර්යේෂණයෙහි යෙදුණු නමුත් අමෘතය තැනිය නො හැකි වූ තැන, අධෛර්යයට පැමිණ, සිය රස සූත්‍ර ග්‍රන්ථය ගංගා නම් ගඟට විසි කොට දමා, හිඟන්නකු හැටියට ගෙදරින් පිට ව ගියේ ය.

එහෙත් ඔහුට ඒ ග්‍රන්ථයෙන් මිදෙන්නට  නුපුළුවන් විය. දිය නෑමට ගඟට බට නගර ශෝභිනියක් මේ ග්‍රන්ථය දැක, එය පරෙස්සම් කොට, අනෙක් නුවරක සිඟමන් යදිමින් සිටි ව්‍යාලි බ්‍රාහ්මණයා වෙත ආපසු භාර කළා ය. අත්හැර දැමූ විද්‍යාව කෙරේ යළි නැඹුරු වූ සිතැති ව්‍යාලි බ්‍රාහ්මණයා ද, නගර ශෝභිනිය වෙතින් කෑම් බීම් ලබමින්, යළිත් පර්යේෂණයට බැසගත්තේ ය.

එහෙත් මෙවර ද අමෘතය හැදෙන හැඩක් නො විණ. එහෙත් එක්තරා දවසක, නගර ශෝභිනිය අතින් ඔහුට කෑම පිළියෙල වන විට, අත්වැරැද්දකින් ඇය අත වූ කුළුබඩු මිශ්‍රණයක් බ්‍රාහ්මණයාගේ රසායන භාජනයට වැටිණ. පුදුමයකි! වසර දාහතරක් තිස්සේ ව්‍යාලි බ්‍රාහ්මණයා අතින් තැනිය නො හැකි වූ අමෘත රසායනය, ඥානයෙන් ද කුලයෙන් ද හීන වූ ස්ත්‍රියක අතින් සැදී ඇත!

මේ කථාවෙහි සංකේත අර්ථය පැහැදිලි ය. ජීවයේ ද ස්වභාවයේ ද ඕජාව – මරණය දිනිය හැකි ඔසුව, වියළි බුද්ධිමය අභ්‍යාසයන් ගෙන් හෝ, ස්වාර්ථකාමී ප්‍රයත්නයෙන් හෝ සැදිය හැකි නො වේ. එය ඇත්තේ සැර බාල කරනු නො ලැබූ තථ්‍ය ජීවිතයෙහි ය; ප්‍රතිභානයේ අනායාසය තුළ ය.

රූපය : ලාමා ගෝවින්දයන් විසින් පුරාණ තිබ්බත කැටයමකින් පිටපත් කරනු ලැබූ ගුරු නාගාර්ජුන රුව

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *