අගත – අනගත චතුදිස සගස දිනෙ

cmadurawala
4 Min Read

මහාචාර්ය ජේ. බී. දිසානායක

බෞද්ධ සාරධර්ම

අනුරාධපුරයට නුදුරු මිහින්තලේ, වෙස්සගිරිය වැනි කඳු බෑවුම් මීට අවුරුදු දෙදහසකට පමණ පෙරදී කසාවතින් බැබළුණු බවට ලකුණු එහි පිහිටි ගල් ලෙන්වලින් හෙළිවෙයි. මේ ගල් ලෙන් හැම එකකම පාහේ කටාරම් කොටා ඇත. ඒ කටාරමට පහළින් පැරණි අකුරින් නෙළන ලද වැකියකි. එහි හැමවිටම පාහේ දක්නට ලැබුණු පද කීපයක් නම් ‘අගත අනගත චතු දිස සගස දිනෙ’ යනුයි. මෙයින් අදහස් කරන ලද්දේ කුමක්ද?

එම ලිපිය නෙළා ඇති ගල් ලෙන සංඝයා වහන්සේලාට (සගස) පූජා කරන ලද (දිනෙ) බව ඉන් අදහස් කෙරේ. එහෙත් එය පූජා කරන ලද්දේ අසවල් භික්ෂුන් වහන්සේට හෝ අසවල් නිකායට හෝ යැයි සඳහනක් එහි නොඑයි. ඒ වෙනුවට එහි දක්නට ලැබෙන්නේ දැනට පැමිණ සිටින්නාවූ ද (අගත) තවමත් නොපැමිණියා වූ හෙවත් අනාගතයෙහි පැමිණෙන්නාවූ ද (අනගත) සංඝයා වහන්සේලාට එය පිදුණු වගයි. එපමණක් ද නොව එම භික්ෂුන් වහන්සේලා එක් ගමකට හෝ පළාතකට හෝ දිසාවකට හෝ අයත් වන අය නොව සතර දිසාවටම (චතු දිස) අයත් අය බවද එහි සඳහන් වෙයි. ‘චතු දිස’ යනු හුදෙක් සතර දිසාවට වඩා සියලු දිසාවට යන අරුත් දනවන පදයකි.

මේ සියල්ලෙන් හෙළි වන්නේ කුමක්ද? එම ලෙන් සියලු සංඝයා වහන්සේලාට පූජා කොට ඇති බවයි. එනම් එම ලෙන් ‘සාංඝික’ බවයි. ‘සාංඝික වස්තුව’ යනු හුදෙක් එක් භික්ෂුන් වහන්සේ නමකට නොව මුළු මහත් සංඝ පරම්පරාවටම අයත් වස්තුවයි. ඇතැම් වස්තුවලට පොදු, සාංඝික අයිතියක් ඇති බව සිංහල බෞද්ධයන් ඇදහූ නියාව මෙයින් පෙනී යයි. පෞද්ගලික අයිතිය ඉක්මවා පවත්නා පොදු අයිතිය පිළිබඳ සංකල්පය ද එක් බෞද්ධ සාරධර්මයක් වශයෙන් හැඳින්විය හැකිය.

බෞද්ධයන් විසින් පිරිකර සහිතව පිදෙන දානය ද සාංඝික දානයකි. දානය පිළිගන්වනවිට භික්ෂුන් වහන්සේලා අප ලවා පාලියෙන් කියවන ‘බුද්ධ පමුඛස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම’ යන පාඨයෙන් කියවෙන්නේ එම දානය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සියලු භික්ෂු සංඝයා වහන්සේලාට පූජා කෙරෙන බවයි.

මේ ආකාරයෙන් ඇතැම් වස්තු පොදු අයිතියක් ඇති වස්තු වශයෙන් සැලකීම මෙන්ම පොදු පරිභෝජනය සඳහා ඇතැම් වස්තු ඇති කිරීම ද බෞද්ධ සම්ප්‍රදාය විය. මෙබඳු වස්තු නම් අම්බලම්, ගොනටු කඳ, ඒදඬු, මං මාවත්, ළිං – පොකුණු ආදියයි. අම්බලම අද ගරාවැටුණු තැනක් වුවද එදා ගමන් බිමන් ගිය මගීන්ගේ වෙහෙස මහන්සිය නිවා ගැනීමට ද රාත්‍රිය ගත කිරීමට ද ඉතා සුදුසු තැනක් විණ. මේවායෙහි නවතින මගීන්ට හිඳිනු හෝ නිඳනු පිණිස ඉදිකොට තිබුණු පුවරු ‘ගොනටු කඳ’ නමින් එදා හැඳින්වුණු බව පැරැන්නෝ කියති. ළිං – පොකුණු ආදිය අද වුවද ගැමියන් සලකන්නේ කාටත් අයිති පොදු වස්තූන් හැටියටය. මෙබඳු පොදු වස්තු ගොඩනැඟීම කොතරම් වටිනා කාරියක් හැටියට සිංහල බෞද්ධයන් විසින් සලකන ලද ද යත්, එය මතු අනාගතයේදී මෙතේ බුදුන් දැකීමට තරම් පින්කමක් හැටියට පැරණි සාහිත්‍යකරුවා දැක්විය. පූජාවලිය ලියූ සාහිත්‍යකරුවා කියා සිටි පරිදි මෙතේ බුදුන් දකින්නෝ සමහරෙක් නම් මෙසේය:

“හේ දඬු ලැවුවෝ දකිති, මාවත් එළි කළෝ දකිති, ගොනටු කඳ තැනවූවෝ දකිති, ළින් පැන් පොකුණු තැනවූවෝ දකිති…”

වන්දනාවේ යමින් ‘තුන් සරණේ’ කියූ ජන කවියා ද ප්‍රාර්ථනා කළේ ‘බන්දා දාගැප් ගොනටු කරන්ටයි’ යනුවෙනි. ‘ගොනටු’ කිරීම දාගැප් කිරීම තරම්ම වටිනා කාරියක් සේ ගැමියන් සැලකූ බව මෙයින් හෙළිවේ.

පොදු අයිතිය පිළිබඳ බෞද්ධ සාර ධර්මය හෙළි කරන තවත් අවස්ථාවක් නම් ගම්මඩු, කංකාරි ආදි ශාන්ති කර්ම විධියි. මෙබඳු යාතු කර්ම පවත්වනු ලබන්නේ එක් පුද්ගලයකු අරබයා නොව ගමේ සියලු දෙනාගේම සුබසිද්ධිය ප්‍රාර්ථනා කොට ගෙනය. මේ ශාන්ති කර්මයක් පැවැත්වීමට ගමේ සියලු දෙනාගේම සහයෝගය ද අවශ්‍ය වේ. එහි අවසානයේදී පැවැත්වෙන ‘දෙවියන්ගේ දානය’ ඇත්ත වශයෙන්ම ගමේ ලොකු කුඩා, උසස් පහත් සියලු දෙනා සඳහාම පැවැත්වෙන්නකි.

කොහොඹා කංකාරියේ අවසාන කොටසෙහි දක්නට ලැබෙන එක් අංගයක් වූ ‘ගබඩා කොල්ලය’ ද පොදු අයිතිය පිළිබඳ මේ අදහස තහවුරු කරන්නක් වශයෙන් විචාරකයෝ හඳුන්වති. මෙහිදී සිදුවන්නේ කොහොඹා කංකාරියට ගෙන ආ ඇතැම් වස්තු, එහි සිටින සියලුදෙනා අතර බෙදාහදා ගැනීමක් වශයෙන් සලකනු ලැබීමයි. මෙය සියලු දෙනාගේම පොදු අයිතිය සැලකිල්ලට ගන්නා අවස්ථාවක් වේ.

‘සම්මාදම’ ද මේ සාරධර්මයේම අංගයක් වශයෙන් සැලකිය හැකිය. පින්කමක් කිරීමේදී මෙන්ම එයින් ලැබුණු පින් අනුමෝදන් කිරීමේදී ද ගමේ සියලුදෙනාම ඊට සහභාගි කරවා ගැනීම බෞද්ධ චාරිත්‍රයයි. මෙය පුද්ගල අයිතියට වඩා පොදු අයිතිය බලවත් වන බව සිංහල බෞද්ධයන් ආදියෙහි සිටම ඇදහූ බවට කදිම සාධකයකි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *