කව්ද මේ “මම”?

cmadurawala
9 Min Read

කපිල පීරිස්

මම යන්න හෝ ඒ ගැන කතා කිරීම ඇතැම් බෞද්ධයනට නයාට අඳු කොළ සේය. බුදු දහමේ දැක්වෙන අනාත්ම ලක්ෂණය සමඟ ‍මේ “මම” යන්න මුළුමනින්ම එහිදී ප්‍රතික්ෂේප කෙරේ. එසේම “මම” යන්න හුදු සම්මුතියක් පමණක් බවත් යථාර්ථයක් ලෙස නොපවතින බවත් ඇතැම් අවස්ථාවලදී ප්‍රකාශ වේ. එසේම “මම” ක් නොමැති නම් දුක් විඳින්නේ කව්ද කර්ම රැස් කරන්නේ විපාක විඳින්නේ කව්ද කෙටියෙන් ගත හොත් දුකින් මිදෙන්නේ, නිවන් දකින්නේ කව්ද යනාදී ප්‍රශ්නද අතොරක් නැතිව නැගේ. එසේම සද්ධර්මය අසමින් දැනගෙන මාර්ගය වඩන්නේ කව්ද? මේ සියල්ල අනාත්මීයව සිදුවන දේද? එසේනම් මාර්ගය වැඩීමේදී අදාළ වන වීර්යය යනු කුමක්ද? කෙනෙකුට මාර්ගය වඩාගෙන යාමේදී මේ ආදි ගැටලු මතු නොවන්නේ නම් ඒ අය මේ ලිපිය මින් ඉදිරියට කියවිය යුතු නොවේ. එහෙත් කෙනෙකුගේ සිතේ මාර්ගය වැඩීමට උත්සාහ ගැනීමේදී මෙවන් ගැටලු පැන නගින්නේ නම් ධර්මය තුළින්ම මේවා නිරාකාරණය කරගෙන අදාළ මග වැඩීමට අදාළ මූලික ප්‍රවේශයකි මෙහි දැක්වෙන්නේ.

සත්වයා යනු සංසාරගත පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියයි. මිනිසා සැලකූ විට ෂඩ් ඉන්ද්‍රියයන් (ප්‍රසාද රූප) දරාගත් මාංශ කයක් සහ ඒ ඉන්ද්‍රියන් සය ඇසුරු කරගත් නාම කායක් (මූලික වශයෙන් ඵස්ස, වේදනා ,චේතනා, සංඛාර මනසිකාර ) සහිත ප්‍රපංචයකි. මේ නාම කායේ (සිතේ) මූලික නාම ධර්ම වලට අමතරව ලෝභ, ද්වේෂ, මෝහ, පදනම් කරගත් විවිධාකාර සංස්කාර දිට්ඨි (කැමැති , අකැමැතිකම් ගැන විනිශ්චයක් ලබාදෙන) ගොන්නක් ඇත. සක්කාය දිට්ඨිය ලෙස සැලකෙන දිට්ඨි සංස්කාරයක්ද මෙහි ඇත. සියලු‍ කැමැති අකැමැති කම්, විනිශ්චයක් ගොනු වී ගැට ගැසී ඇත්තේ මේ සක්කාය දිට්ඨියටය. අපට “මම” යන හැඟීම ඇතිවන්නේ මේ සක්කාය දිට්ඨිය නිසාය. සිතේ ඇති අතෝරක් නැති කැමැති, අකැමැති කම් සහිත, විවිධ විනිශ්චයන් (හොඳ නරක ආදි ) ලබා දෙන සංස්කාර දිට්ඨි වලට පෙරටු ගාමියා මේ “මම” හෙවත් සක්කාය දිට්ඨියයි. ඒ කැමැති අකැමැති කම් අනුව ලෝකයේ (මේ සිරුරද ඇතුළුව) අදාළ කටයුතු සිදුවිය යුතුය. එසේ වන විටය සතුටු සොම්නස් වේදනා ඇති වන්නේ, සක්කාය දිට්ඨිය පෙරටුකරගත් මේ සංස්කාර පොදියේ ක්‍රියාවලිය ඒ අනුව සිදුවේ. ෂඩ් ඉන්ද්‍රියනයට ලැබෙන අරමුණු අනුව ඇති වන දැන ගැනීම් (විඤ්ඤාණ) චිත්තාභ්‍යන්තර සංස්කාර-දිට්ඨි (විවිධ විනිශ්චයක් ලබාදීමට සකසා ඇති)සමග ගැටී‍මේදී හොඳ ලෙස විනිශ්චය ලැබෙන විට සතුට සොම්නසද නරක ලෙස විනිශ්චය ලැබෙන විට දුක, දොම්නසද ඇතිවේ.

දැන් මේ සක්කාය දිට්ඨිය හෙවත් “මම” තව තවත් විවිධ සංස්කාර ගොඩනගමින් නිරතුරුවම සතුට සොම්නස අදාළ ෂඩ් ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ ලබාගැනීමට විශාල පොරයක යෙදී සිටී . එහෙත් විශේෂයෙන් මේ අනිත්‍ය වූ චිත්තාභ්‍යන්තර සංස්කාර දිට්ඨි පොදිය ඔස්සේ මේ සතුට සොම්නස දිගටම රඳවාගත නොහැකිය. චිත්තාභ්‍යන්තර සංස්කාර දිට්ඨි පොදිය අනිත්‍ය වනවා පමණක් නොව ඒවායේ හරයක්ද නැත කෙසෙල් කඳක් බඳුය. විශ්ලේෂණය කරගෙන ගිය හොත් අවසානයේ මේ සංස්කාර හොඳ නරක, සතුටු අසතුටු විනිශ්චයක් ලබාදීමට සුදුසු වන්නේ කෙලෙසකද යන්න ඒ සඳහා ඒවායේ ඇති නිසග ගුණයන් මොනවාද යන්න සොයාගත නොහැකිය. එනම් එමගින් සතුටු අසතුටු දුක් දොම්නස් ලබාදීම පිළිබඳව ඇති කතා හුදු මායාවක් පමණය. එහෙත් මේ සියල්ල පසෙක තිබියදී මේ පංචඋපාදනස්කන්ධ ක්‍රියාවලිය (පටිච්ච සමුප්පාදයයෙන් මධු පිණ්ඩික සූත්‍රයෙන් අභිධර්මයේ චිත්ත විථිමගින් ) දිගටම ක්‍රියාත්මක වේ. මෙන්න මෙයයි අනාත්මීයව සිදුවන දුක් චක්‍රය. මෙය අනාත්මීය වන්නේ අන්කිසිවක් නිසා නොව මේ “මම” ට එහෙම නැතිනම් සක්කාය දිට්ඨියට කොපමණ වෙහෙස ගත්තද වේදනා චෛතසිකය දිගටම සතුටින් සොම්නස්ව තබාගත නොහැකි නිසාය. එනම් එය තම (මගේ) වසඟයේ තබාගත නොහැකිය. මීට මූලිකම හේතුව වන්නේ චිත්තාභ්‍යන්තර සංස්කාරවල අනිත්‍යය හා පරඬැල් සොබාවයයි. එනම් මේ “මම”ට ෂඩ් ඉන්ද්‍රිය ඇසුරුකරගත් අරමුණු ඔස්සේ ලැබෙන ඵස්සයන් ඔස්සේ එසේම විවිධාකරයට තව තවත් සංස්කාර ගොඩනැගීම තුළ කිසිදා ඔය බලාපොරාත්තුවන සතුට සොම්නස සැනසීම ලබාගත නොහැක. ඉතින් එසේනම් මේ “මම” සක්කාය දිට්ඨිය යනු කව්ද? මේ “මම” යන්න සාවද්‍ය කරුණු මත වැරදි අවබෝධ-දැනුම් මත ගොඩනැගුන මායාවකි. තමාට කළ නොහැකි දේවල් කිරිමට නිස්කාරණයේ වෙහෙසෙන මායාවකි. මේ මායාවේ මෙහෙයවීමෙන් සිදුවන (අනාත්මීය) ක්‍රියාවලිය තමයි පටිච්චසමුප්පාදයයෙන් දැක්වෙන්නේ. මේ නිසා වේදනා චෛතසිකය නිරතුරුව සොම්නස්-දොම්නස් චක්‍රයේ ගිලී පවතී. එයයි දුක. එසේම තව තවත් කර්ම සංස්කාර රැස් කරමින් සංස්කාර චක්‍රය දිගටම පවත්වාගනී. මෙය කිසිවෙකුගේ බලපෑමෙන් සිදු වන්නක් නොව හේතුඵල දහමේ ප්‍රතිඵලයකි. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ දැන දැක ගත් සංසාරයේ මූලික සත්‍ය හතරින් පළමු වැන්න වන දුක්ඛ ආර්යය සත්‍ය හා එය ඇති වන අයුරු ඉතින් දුක නැති කිරීමට නම් නැවැත්විය යුත්තේ මේ පටිච්චසමුප්පාද චක්‍රයයි දැන් එය කරන්නේ කව්ද? දැන් අප තුළ කිසිදු ආකාරයක වීර්යයක් වැඩිය හැකි කිසිදු ආකාරයක ස්වයං භාවයක් ඇති කිසිවක්, කිසිදු ආකාරයක “මම” ක් නොමැති නම් මේ දුකින් මීදීමේ කටයුත්ත කර ගන්නේ කෙසේද? මේ සඳහා යොදාගත හැකි ප්‍රබල චෛතසිකයක් ඉහත දක්වූ නාම කාය ගොන්නේ ඇත. ඒ වූ කලි මනසිකාරයයි. මේ මනසිකාර චෛතසිකය අයෝනිසෝව (එනම් මූල හේතු සොයා විශ්ලේෂණය කිරීමට ඊට ඇති විභවය පසෙකලා ඇති විට) ඇති තාක් දිගටම ක්‍රියාත්මක වන්නේ දුක් චක්‍රය නමැති පටිච්චසමුප්පාදයයි. එහෙත් මේ මනසිකාර චෛතසිකයට සද්ධර්ම ශ්‍රවණය ලැබෙන විට, කල්‍යාණමිත්‍ර ඇසුර ලැබෙන විට එය අදාල සත්වයාව (නාම රූප ගොන්න ) ධම්මානුධම්ම පටිපදාවට යොමු කරයි. එවිට ක්‍රියාත්මක වන්නේ යෝනිසෝමනසිකාරයයි. පට්ච්චසමුප්පාද චක්‍රය විනිවිද දැකිය හැක්කේ එවිටය. දුක ඇති වීම එහිදි විශද වේ. එවිට ඒ හේතු ප්‍රහාණය වන්නේ ඉබේටමය. පටිච්චසමුපාදය යනු එකම පරම හේතු ඵල දහමයි. එය දුක ඇතිවීම අවසානික හේතුව දක්වා අපව (මනසිකාර චෛතසිකය) ගෙන යයි. කිසිදු කල්පිත දේව අදේව බලවේයකට සම්බනධ නොකොට ඒ හේතු සිඳලීම දක්වා මග පෙන්වයි.

මේ අනුව මනසිකාරයේ (ඇත්තටම යෝනිසෝමනසිකාරයේ) ක්‍රියාව පටිච්චසමුප්පාද ක්‍රියාවලියට එරෙහි වන්නකි. මනසිකාර ක්‍රියාවලිය හේතුඵල දහමක් නොව එය වීර්යයෙන් වැඩිය යුත්තකි. ඒ සඳහා බාහිර කිසිවක සෘජු බලපෑමක් නැත. දුක ඇතිවිම හේතුඵල දහමකි. එහෙත් ඉන් මිදීම වීර්යයෙන් වැඩිය යුතු මාර්ගයකි. එය අප විසින් කළ යුතුය. අප තුළ සිටින සක්කාය දිට්ඨිය නැමැති “මම” ට දිගටම වේදනා චෛතසිකය සොම්නස්ව පවත්වාගත නොහැක. එහෙත් මේ සොම්නස් දොම්නස් දුක් චක්‍රය සිඳලා ඒ ලෞකික සැප දුක ඉක්මවා ලු‍ සහනය මිදීම නිවීම ඇති කිරීමෙහිලා සමත් මනසිකාර නැමැති “මම” ට හැකිය. මේ මනසිකාර “මම”ට සෝතාපන්න වීමේදී සක්කාය දිට්ඨිය නැමැති “මම”ව මුළුමනින්ම සිඳලිය හැක. එහෙත් නිර්වාණා බෝධයේදි මේ වුවමනාවද දුරු වීමත් සමඟ එයද (අස්මීමානය ලෙස පෙනී සිට යෝනිසෝ මනසිකාරය) දුරුවී යයි.

භාග්‍යවතුන් වහන්සේ තම සද්ධර්මය මගින් එළි දරව් කරන්නේ සියලු‍ සත්වයාගේ මූලිකම ගැටලුව වන දුක හා ඉන් මීදීම පිළිබඳවය. යථාර්ථ අවබෝධය යනුද එයයි. ඉන් බැහැරවූ විවිධ දර්ශන මතවාදවල සඳහන් වන ඊනියා වාස්තවික යථාර්ථ මේ දහමට අදාළ නැත. අපෙන් (අප මනසින්) පරිබාහිර යථාර්ථයන් ඇත්ද නැද්ද ආදිය විකාරයන්ය. මේ වාස්තවික යථාර්ථ මනෝවිකාර ( සංඛාර දිට්ඨි) සිතේ තබාගෙන දහමේ අනත්ත යන්න තේරුම් ගැනීමට යාමේ ගැටලුව නිසාය, මෙහිද මුලින්ම දැක්වූ ආකාරයේ ප්‍රශ්න මතුවන්නේ. දහමේ අනන්තය යනු තම සතුට සොම්නස වෙනුවෙන් දිගටම තම වසඟයේ තබාගත හැකි කිසිවක්, කිසිවෙත් නැත යන්නය. මේ සඳහා මූලිකම හේතුව වන්නේ මේ සොම්නස් දොම්නස් සඳහා අරුත් ගන්වන චිත්තාභ්‍යන්තර සංස්කාර දිට්ඨිවල අනිත්‍ය හා පරඩැල් සොබාවයයි. බාහිර (සිරුරද ඇතුළුව) ලෝකයේ අනිත්‍යද මෙහිදි බලපාන නමුදු ඒ අනිත්‍ය දුකට හේතු වන්නේ චිත්තාභ්‍යන්තර අනිත්‍ය වූ සංස්කාර ඇති තාක්ය. අනන්තය තේරුම්ගත යුත්තේ වේදනා චෛතසිකය නිරතුරුව සොම්නස්ව පවත්වාගතහැකි බලවේගයන්, “මම”ත්, ආත්මයත් නැත යන්න ලෙස විනා අනිත්‍ය වෙනස්වීම නිසා සාරවත් දෙයක් ස්ථිර දෙයක් නැත යන්න ලෙස නොවේ.

බාහිර කිසිදු වස්තුවකට හෝ යම් තත්වයකට අප නොඇලිය යුත්තේ, උපාදාන නොවිය යුත්තේ ඒ බාහිර දේ හි අනිත්‍ය ස්වභාවය ට වඩා ඒ උපාදාන වීම තුළ අප සිතේ හට ගන්නා සංස්කාර (ඒ තුළින් සතුටු ලබාගැනීමට) වල අනිත්‍යය නිසාය.

දුකින් මිදීම යනු සතා මිනිසා ලෙස ක්‍රියාත්මක වන නාම රූප පොදිය පංචස්කන්ධ ක්‍රියාවලිය පංචඋපාදානස්කන්ධ ස්වරූපයෙන් මිදීමටය එවිට වේදනා චෛතසිකය සොම්නස් දොම්නස් චක්‍රයෙන් මිදේ.එයයි සැනසිම, නිවීම එවිට අදාල විඤ්ඤාණය හුදු ක්‍රියා සිත් වැලක් පමණක් බවට පත්වේ. රූපය දිරා විනාශ වූ විට ඒ අනිදස්සන, අක්‍රිය විඤ්ඤාණයට නැවත පිළිසිඳීමක් ඇති කිරීමේ විභවයක් නැත. එනම් සසර අවසානය! පට්ච්චසමුප්පාදයේදී සංස්කාර කර්ම රැස් වන්නේ තණ්හා උපාදාන අවස්ථාවේදිය එහිදි අපි උපාදාන වීම නොව අපව උපාදාන වීමය සිදු වන්නේ. මේ ක්‍රියාවද අනත්තය. අයෝනිසෝමනසිකාරයෙනි සිදු වන්නේ. එහෙත් යෝනිසෝමනසිකාරයට මෙතනදි මේ චක්‍රය පාලනය කළ හැක. මෙතැන ඇති මේ පාලනය අතට ගත හැකි තත්වයය. මධුපිණ්ඩික සූත්‍රයේදී කෙරෙන ක්‍රියා සහ කරන ක්‍රියා ලෙස පෙන්වන්නේ අභිධර්මයේ කුසල යනු යෝනිසෝමනසිකාර මුල්කර ගත් ක්‍රියාය, අභිධර්මයේ අකුසල යනු යෝනිසෝමනිසිකාර මුල් කරගත් ක්‍රියාය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *