ජීවක කෞමාරභච්ච වෙදතුමා

rashi
By rashi
13 Min Read

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස්

අප මහා බුදුරජාණන්වහන්සේගේ සාසනයෙහි පෞද්ගලික ප්‍රසාදය ඇත්තවුන් අතර අග්‍ර තනතුරට පත් වූ ජීවක කෞමාරභච්ච වෙදතුමා, මෙම තනතුර ප්‍රාර්ථනා කළේ පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ බුද්ධ කාලයේ දී ය (අංගුත්තර නිකාය, එකක නිපාතපාලි, එතදග්ගයපාලි, හයවන වග්ගය නවම සුත්‍රය). එම ප්‍රාර්ථනය සමෘද්ධ කර ගැනීමට ජීවක කෞමාරභච්ච වෙදතුමා අප මහා බුදුරජාණන්වහන්සේගේ කාලයෙහි රජගහනුවර සාලවතී නම් වූ නගරශෝභනියගේ කුස පිළිසිඳ ගත්තේ ය. ලාභ සත්කාරයන් ගෙන් සමෘද්ධ ව සිටි සාලවතිය තමා ගැබිනියක වූ බව දැනගත් විට, තමාට ලැබෙන ප්‍රසාදය ගැබිනියක වූ නිසා අඩු වේ ය යි සිතා සිය ගර්භණී බව රහසක් ව පවත්වාගත්තා ය. ඇය දරුවා ලැබුණු පසු එම දරුවාව දිරූ කුල්ලක දමා, සිය සේවිකාවක ලවා කසළ ගොඩට දැමෙව්වා ය. රාජ සේවයට යමින් සිටි අභයරාජ කුමරා, කපුටන් විසින් වට කරගෙන සිටි දරුවා දැක සිය දරුවකු ලෙස හදා වඩා ගත්තේ ය. ජීවත් වන්නේ ය යන අරුතින් ජීවක ලෙස අභය රාජ කුමරා විසින් නම් තබන ලද මෙම දරුවා, අභයරාජ කුමරා විසින් පෝෂණය කරන නිසා කෞමාරභච්ච යන නම ද ලැබී, ජීවක කෞමාරභච්ච නමින් ප්‍රකට විය.

කුඩා කල පටන් ම ඉතා දක්ෂ තීක්ෂණ නුවණක් පැවැති ජීවක කෞමාරභච්ච කුමරු අභයරාජ කුමරා වෙත පැමිණ සිය මවුපියන් කවුරුන් දැ යි විමසී ය. එයට පිළිතුරු දෙන අභයරාජ කුමරා මව පිළිබඳව තමන් නො දන්නා බවත් පියා තමන් බවත් පැවසී ය. එවිට ජීවක කෞමාරභච්ච කුමරු තමන් රජකුලයක සිට ශිල්ප නො දැන නූගතකු ලෙස සිටීම නුසුදුසු බව තීරණය කර, අභයරාජ කුමරාට ද නො දන්වා තක්සිලාවට ගොස්, එහි වෛද්‍යාචාර්යවරයකු ගෙන් වෙදකම උගත්තේ ය. ඉතා හොඳ මතකයක් සහිත වූ ජීවක කෞමාරභච්චයනට, තමා දක්ෂ ලෙස ඉගෙනුම කළ ද, සත් වසක් අවසානයේ දීත් ඉගෙනුමෙහි කෙළවරක් නැති බව වැටහිණි. එම නිසා ඔහු සිය ගුරුවරයා වෙත එළඹ, තමා තව කොපමණ කල් උගත යුතු දැ යි ඔහු ගෙන් විමසී ය. එවිට ගුරුවරයා ද ඔහුට තක්සලා නුවර හාත්පස ගව්වක් දුර ඇවිද බෙහෙතට ගත නොහැකි දෙයක් සොයාගෙන එන ලෙස පැවසී ය. තක්සලා නුවර හාත්පස ගව්වක් දුර ඇවිද එවැනි කිසිවක් සොයාගත නොහැකි වූ නිසා ජීවක කෞමාරභච්චයෝ, ඒ පිළිබඳව සිය ගුරුවරයාට දැනුම් දුන් හ. සිය ශිෂ්‍යයාගේ දැනුම ප්‍රමාණවත් බව වටහා ගත් ගුරුතුමා, ඒ බව ජීවක කෞමාරභච්චයනට පවසා සුළු මුදලක් මඟ වියදම් ලෙස දී ඔහුට සිය නුවරට යෑමට අවසර දුන්නේ ය. එම මුදල ගෙන රජගහ නුවර බලා පිටත් වූ ජීවක කෞමාරභච්ච අතරමඟ සාකේත නුවර දී ම වියදම අවසන් වූ හෙයින්, එහි දී ම සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය. වෛද්‍යවරුනට සුව කළ නොහැකි වූ සාකේත නුවර සිටු දියණියගේ හිස රුදාව සුව කර උපයාගත් ධනය ලෙස රන් සොළොස් දහසක් ද, දාසයෙක් හා දාසියක් ද, අශ්ව රථයක් ද ලැබ පහසුවෙන් ම රජගහ නුවරට පැමිණියේ ය. අනතුරු ව අභයරාජ කුමාරයා මුණ ගැසුණු ජීවක කෞමාරභච්චයෝ තමාගේ පළමු වෙදකමෙන් උපයාගත් ධනය කුමරුට දක්වා, තමා වැඩූ පෝෂණය කළ මිල ලෙස එම ධනය පිළිගන්නා ලෙස ඉල්ලූ හ. එවිට අභයරාජ කුමාරයා, එය නැවත ජීවක කෞමාරභච්චයනට ම දී සිය නුවර ම නිවසක් සාදා ගන්නා ලෙස පැවසී ය.

අභයරාජ කුමාරයාගේ මැදිහත් වීමෙන් බිම්බිසාර රජතුමාට ප්‍රතිකාර කිරීමෙහි අවස්ථාව ලද, ජීවක වෙදතුමා, රජතුමාගේ භගන්දරාබාධය සිය නිය තුළ සඟවාගෙන ගිය ආලේපය රෝග පරික්ෂා කරන අවස්ථාවෙහි ආලේප කර රජතුමා සුවපත් කළේ ය. එයින් පැහැදුණු බිම්බිසාර රජතුමා පන් සියයක් කාන්තාවන් සියලු ආභරණයෙන් සරසා ඒවා මුදා ජීවක කෞමාරභච්චයනට දුන්නේ ය. එය නො පිළිගත් ජීවක වෙදතුමා තමාගේ යහපත් ක්‍රියාව සිහි කරන ලෙස රජතුමා ගෙන් ඉල්ලා සිටියේ ය. එවිට රජතුමා තමන්ට හා බුදුන් ප්‍රමුඛ සංඝයාට ප්‍රතිකාර කිරීමෙහි වගකීම ජීවක වෙදතුමාට පැවරී ය (මහාවග්ගපාලි, චීවරක්‍ඛන්‍ධකය, පළමු බණවර).

සිය රෝගියාගේ කායික රෝගය පමණක් නො ව මානසික තත්ත්වය ද හොඳින් අවබෝධ කරගෙන ප්‍රතිකාර කිරීමට දක්ෂ වූ මෙම වෙදතුමාගේ දක්ෂතාවය පිළිබඳ තොරතුරු රැසක් සූත්‍ර විනය පිටකයන්හි ඇතුළත් ව තිබේ. දොස් කීපීමෙන් පීඩිත වූ බුදුරජාණන්වහන්සේට තිස් වරක් විරේක කරවා සුවපත් කිරීම එවැනි එක් සිදුවීමකි. දොස් කිපීමෙන් පීඩිත වූ බුදුරජාණන්වහන්සේ ආනන්ද තෙරුන්වහන්සේ මඟින් ජීවක වෙද තුමන්ට ඒ පිළිබඳව දැනුම් දුන් හ. එවිට ජීවක වෙදතුමා, කිහිප දිනක් බුදුරජාණන්වහන්සේට තෙල් පොවා ශරීරය මොලොක් කරවන්නට උපදෙස් දී අනතුරු ව ඉතා සියුම් බුදු සිරුරට අපහසුවක් නො වන්නට මහනෙල් මල් මිටි තුනකට බෙහෙත් කවා ඒවා සිඹින්නට දී එයින් ම විරේකයක් වීමට සලස්වා බුදුරජාණන්වහන්සේ සුවපත් කළේ ය (මහාවග්ගපාලි, චීවරක්‍ඛන්‍ධකය, පළමු බණවර).

රජගහ නුවර සිටුවරයාට සත් වසක් මුළුල්ලේ බොහෝ වෛද්‍යවරුනට සුව කළ නොහැකි වූ හිස රුදාවක් විය. එම රෝගය උත්සන්න වී සිටුවරයා සත් දිනක් ඇතුළත මිය යන බව ඇතැම් වෛද්‍යවරු පැවසූ හ. එවිට රජගහනුවර වැසියෝ සිටුවරයාට ප්‍රතිකාර කිරීම සඳහා ජීවක වෙදතුමාව ලබා දෙන ලෙස බිම්බිසාර රජතුමා ගෙන් ඉල්ලා සිටිය හ. රජතුමාගේ ඉල්ලීමෙන් රජගහ නුවර සිටුවරයාට ප්‍රතිකාර කිරීමට ගිය ජීවක වෙදතුමා, සිටුතුමා සුවපත් කළ හොත් තමාට කුමක් ලබා දෙන්නේ දැ යි විමසී ය. තමා සතු සියලු දෙය වෙදතුමාට දී තමා ද වෙදතුමාගේ දාසයකු වන බව සිටුවරයා පැවසී ය. එවිට වෙදතුමා සත් මසක් වම් ඇලයෙන් ද, සත් මසක් දකුණු ඇලයෙන් ද, සත් මසක් උඩුකුරු ව ද දිගා වී, සිටින්නට සමත් දැ යි සිටුවරයා ගෙන් විමසා සිටියේ ය. එයට සිටුවරයා එකඟ වූ විට සැත්කමක් කර ජීවක වෙදතුමා සිටුවරයාගේ රෝගී තත්ත්වය ඉවත් කළේ ය. අනතුරු ව සත් දිනක් එක් ඇලයෙන් සිටි සිටුවරයා එම ඇලයෙන් සිටීමට තමාට නොහැකි බව පැවසී ය. ඔහු ජීවක වෙදතුමා සිටුවරයා තමාට වූ පොරොන්දුව මතක් කළ විට, තමා මිය ගියත් එම ඇලයෙන් තවදුරට සිටිය නොහැකි බව සිටුවරයා පැවසී ය. එවිට ඔහුට අනෙක් ඇලයට හැරෙන්නට වෙදතුමා අවසර දුන්නේ ය. දින සතක් යන විට එම ඇලයෙන් සිටීම ද සිටුවරයා ප්‍රතික්ෂේප කළේ ය. පෙර පරිදි ම පොරොන්දුව මතක් කර උඩුබැලි ව නිදන්නට වෙදතුමා සිටුවරයාට අවසර දුන්නේ ය. සත් දිනක දී සිටුවරයා එම ඉරියව්වෙන් සිටීම ද ප්‍රතික්ෂේප කළේ ය. එවිට පෙර පරිදි ම පොරොන්දුව මතක් කර, සැබැවින් ම සිටුවරයා සතිය බැගින් තුන් ඇලයෙන් සිටීම පමණක් සිටුවරයා සුවපත් වීමට ප්‍රමාණවත් වුවත්, එය මුලින් පැවසුවේ නම් සිටුවරයා එම කාලය නො ඉවසන නිසා, පෙර ලෙස පොරොන්දු කරගත් බව පවසා, සිටුවරයා සුවපත් ව ඇති බව වෙදතුමා ප්‍රකාශ කළේ ය. එසේ ම පොරොන්දු වූ පරිදි සියලු ධනය වෙදතුමාට දී තමාට දාසයකු වීම අවශ්‍ය නො වනා බවත්, රජතුමාට හා තමාට ලක්ෂය බැගින් ලබා දීම ප්‍රමාණවත් බවත් වෙදතුමා පැවසී ය. මරණ භයින් තැතිගෙන සිටි සිටුවරයාට, සිය රෝගයෙහි බරපතළකම වටහා දී රෝගයට ප්‍රතිකාර කිරීමේ දී රෝගියා ගෙන් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ජීවක වෙදතුමා ක්‍රියා කළ ආකාරය, රෝගියකුගේ මානසිකත්වය වටහාගෙන ප්‍රතිකාර කිරීමෙහි සැබෑ කැපවීම ප්‍රකට කරයි. වෛද්‍ය වෘත්තිය හුදෙක් වෘත්තියක් පමණක් නො ව අන් අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් වන සැබෑ කැපවීමක් බව ජීවක වෙදතුමාගේ චරිතය අපට පෙන්වා දෙයි (මහාවග්ගපාලි, චීවරක්‍ඛන්‍ධකය, පළමු බණවර).

උදේනයෙහි රජ වූ පජ්ජොත රජතුමා සැඩපරුෂ පෞරුෂයක් සහිත ක්ෂණික ව ප්‍රකෝපයට පත් වන තැනැත්තෙකි. පාණ්ඩුරෝගයකින් පීඩා විඳි රජතුමාට ප්‍රතිකාර කිරීමට රජ අණින් ගිය ජීවක වෙදතුමාට, ගිතෙල් රස අප්‍රිය වූ තමාට ගිතෙල් නොමැති ව බෙහෙත් පිසින ලෙස, පජ්ජොත රජතුමා දැනුම් දුන්නේ ය. එහෙත් ගිතෙල් නොමැති ව රජතුමාගේ රෝගය සුවපත් කළ නොහැකි හෙයින්, පිළියෙල කරන බෙහෙත පානය කර එයට ගිතෙල් දමා ඇති බව දැනගැනීමට පෙර එම රටින් පලා යෑමට අවශ්‍ය සියලු විධිවිධාන සලසාගෙන, රජතුමාට බෙහෙත ලබා දුන් වෙදතුමා, රජතුමා බෙහෙතට ගිතෙල් දමා ඇති බව දැනගැනීමට පෙර රටින් පලා ගියේ ය. බෙහෙතට ගිතෙල් දමා ඇති බව දැනගත් රජතුමා ඉන් කුපිත ව වෙදතුමා අල්ලාගෙන එන ලෙස අණ කළේ ය. ඒ සඳහා පිරිස පිටත් කර හැරියේ ය. එම පිරිස ගෙන් ද ගැලවී සිය රටට යෑමට ජීවක වෙදතුමා සමත් විය. තමා පජ්ජොත රජතුමා ගෙන් ගැලවී පලා ආ බව බිම්බිසාර රජතුමාට ජීවක වෙදතුමා දැන්වූ විට, වෙදතුමාගේ පලා ඒම අනුමත කළ බිම්බිසාර රජතුමා එසේ නො වූවේ නම්, පජ්ජොත රජ විසින් වෙදතුමාව මරා දමනු ලබනු ඇති බව පැවසී ය. රෝගය සුවපත් වූ පසු, පජ්ජොත රජතුමා වරයක් ලබා දීමට පැමිණෙන ලෙස ජීවක වෙදතුමාට දැනුම් දුන්න ද, ඒ සඳහා හෝ වෙදතුමා නැවත පජ්ජොත රජතුමාව හමු වීමට නො ගියේ ය. එම නිසා ජීවක වෙදතුමාට පඬුරු වශයෙන් තමාට ලැබුණු සියලු වස්ත්‍රයනට වඩා අග්‍ර වූ ඉතා වටිනා සීවෙය්‍යකවසත්‍ර යුග්මයක් වෙදතුමාට යැවී ය (මහාවග්ගපාලි, චීවරක්‍ඛන්‍ධකය, පළමු බණවර).

ජීවක කෞමාරභච්ච වෙදතුමා අපට වැදගත් වන්නේ එතුමාගේ වෛද්‍ය වෘත්තිය නිසා ම පමණක් නො වේ. එතුමන්ගේ මැදහත් වීම නිසා පැණවුණ ශාසන ප්‍රතිපදාවන් ද වන නිසා ය. චීවරක්‍ඛන්‍ධකය ආරම්භ වන්නේ ම ජීවක වෙදතුමාගේ උපත හා චරිතාපදානය විස්තර කරමිනි. බුද්ධකාලීන ගිහි පැවිදි සමාජයන්හි ප්‍රකට චරිතවල චරිත කථා සවිස්තරාත්මක ව දැක්වෙන්නේ අටුවාවල ය. එහෙත් ජීවක වෙදතුමා පිළිබඳව චීවරක්‍ඛන්‍ධක විස්තරය අටුවා කථාවලට ද වඩා සවිස්තරාත්මක ය. ක්‍රමානුකූල ය. ජීවක වෙදතුමා බුදුසසුන විෂයෙහි කෙතෙක් වැදගත් වන්නේ ද යන්න එයින් ම පැහැදිලි වේ.

එතෙක් පාංසුකූලික චීවරයෙන් යැපුණ බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පාංසුකූලික චීවරයට අමතර ව ගහපති චීවර භාවිතයට අවසර ලබා දෙන්නේ ජීවක වෙදතුමාගේ ඉල්ලීමක් පදනම් කරගෙන ය. බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පාංසුකූලික චීවරයට අමතර ව ගහපති චීවර භාවිතයට අවසර ලබා දෙන ලෙසත්, තමාට පජ්ජොත රජතුමා ගෙන් ලැබුණු අගනා සීවෙය්‍යකවසත්‍ර යුග්මය බුදුරජාණන්වහන්සේට පූජා කිරීමට තමා කැමැති බවත්, එය පිළිගන්නා ලෙසත් ජීවක වෙදතුමා බුදුරජාණන්වහන්සේ ගෙන් ඉල්ලා සිටියේ ය. වෙදතුමාගේ එම ඉල්ලීම පිළිගත් බුදුරජාණන්වහන්සේ, ගහපති චීවර භාවිතයට අවසර ලබා දී, යමකු කැමැති නම් පාංසුකූලික චීවරයට අමතර ව ගහපති චීවර භාවිත කළ හැකි බව ප්‍රකාශ කළ සේක (මහාවග්ගපාලි, චීවරක්‍ඛන්‍ධකය, පළමු බණවර). මෙම චීවර පූජාව අවසන බුදුරජාණන්වහන්සේ විසින් කරන ලද අනුමෝදනාව අවසන ජීවක කෞමාරභච්චවයෝ සොවාන් ඵලයට පත් වූ හ (පපක්‍දචසූදිනී, ජීවක සූත්‍ර වර්ණනාව).

බුදුරජාණන්වහන්සේ කම්බිලි භාවිතය අනුදැන වදාළේ ජීවක වෙදතුමා තමාට කසී රජු ගෙන් ලැබුණු පන් සියයක් අගනා කම්බිලිය බුදුරජාණන්වහන්සේට පිළිගන්නා ලෙස ඉල්ලා සිටීම නිසා ය. තමාට ලැබෙන අගනා දේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට පූජා කිරීමෙහි පුරුද්දක් ජීවක වෙදතුමා තුළ පැවැති බව මෙවැනි සිදුවීම් ප්‍රකට කරයි. එතුමා නිතර බුදුරජාණන්වහන්සේ දැක උපස්ථාන කිරීමෙහි අරමුණින්, සිය අඹවනය ආරාමයක් ලෙස සකසා පූජා කළේ ය. ජීවක අඹවනය යනු ජීවක වෙදතුමාණන් විසින්, එසේ ඉදි කර පූජා කරන ලද ආරමයයි (ජීවක සූත්‍ර වර්ණනාව).

එසේම බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට හා බිම්බිසාර රජතුමාට පමණක් වෙදකම් කරන නිසා සිය රෝග සුව කර ගැනීමෙහි අරමුණින්, බොහෝ රෝගීහු බුදු සසුනෙහි පැවිදි වී, සිය රෝග සුව වූ පසු සිවුරු හැර ගිය හ. මෙය දැනගත් ජීවක වෙදතුමා කළ ඉල්ලීමක් නිසා කුෂ්ට, ගණඩ, කීලාස, ක්ෂය, හා අපස්මර යන පංචාබාධයන් ගෙන් යුතු පුද්ගලයනට පැවිදි උපසම්පදා විය නොහැකි බවට වන පැණවුම ඇති විය.

අද පවා විවාදයට ලක් වන බුදුරජාණන්වහන්සේට හා භික්ෂු සංඝයාට මස් මාංස වැළඳවීම කළ හැකි ද, නැත් ද යන්න පිළිබඳ ගැටලුව බුද්ධකාලීන සමාජයේ ද කථාබහට ලක් වූවකි. ජීවක වෙදතුමා එම මතවාදය පිළිබඳව බුදුරජාණන්වහන්සේ ගෙන් විමසා බැලී ය. එහි දී බුදුරජාණන්වහන්සේ,

■ තමන් උදෙසා එම සතා මැරූ බව දකින ලද,

■ තමන් උදෙසා එම සතා මැරූ බව අසන ලද, හෝ

■ තමන් උදෙසා එම සතා මැරූ බවට සැක කරන ලද

සතකුගේ මාංස අනුභව නො කළ යුතු බව පවසති. එසේම යමකු බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් හෝ, බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයකු වෙනුවෙන් හෝ සතකු මරන්නේ නම්, එම පුද්ගලයා කරුණු පහකින් බොහෝ පව් රැස් කරන බව බුදුරජාණන්වහන්සේ එහි දී ප්‍රකාශ කරති.

  1. සතකු මැරීමට සතකු ගෙනෙන ලෙස නියම කිරීම,
  2. ඒ සතා බෙල්ලෙන් බැඳ ගෙනෙනු ලබන විට එම සතා යම් දුක් දොම්නසක් විඳින අවස්ථාව,
  3. එම සතා මැරීමට නියම කිරීම,
  4. ඒ සතා මරනු ලබන විට එම සතා යම් දුක් දොම්නසක් විඳින අවස්ථාව,
  5. යම් හේතුවක් නිසා බුදුරජාණන්වහන්සේ හෝ, බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයකු නො කැප වූ දෙයකින් වැළඳවීම.

යන අවස්ථා පහේ දී ම එම දානය දෙන පුද්ගලයා බොහෝ පවු රැස් කරන බව, බුදුරජාණන්වහන්සේ ජීවක වෙදතුමාට ප්‍රකාශ කළ හ (මජ්ක්‍ධිම නිකාය, මජ්ක්‍ධිම පණ්ණාසකය, ගහපති වග්ගය, ජීවක සූත්‍රය). මේ ආකාරයට හොඳින් සොයා බලා බුදුරජාණන්වහන්සේ හෝ, බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයන් විෂයෙහි වන විවිධ මතවාදවල දී ඒවා විමසා බලා ක්‍රියා කිරීමෙහි ස්වභාවය ජීවක වෙදතුමා තුළ පැවතිණි.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *