බුදුදහම හා ආර්ථික ජීවිතය

cmadurawala
5 Min Read

පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමි

පසුගිය කලාපයේ පළවු ලිපියෙහි ඉතිරි කොටස

මේ නොගැළපිල්ල නිසා අද යුගයේ බොහෝ ගැටලු පැන නැඟී ඇත. එබැවින් සිඟාලක සූත්‍රයෙන් මේ සම්බන්ධතාව දක්වා ඇති අයුරු අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය.

ඒ සූත්‍රය අනුව ශ්‍රමය ගෞරවයට පාත්‍ර විය යුත්තකි. එබැවින් සේවකයා සේව්‍යයාගේ උපස්ථානයට භාජනය විය යුතු බවත් සේව්‍යයා සේවකයාගේ අනුකම්පාවට භාජනය විය යුතු බවත් එහි දැක්වේ. ඒ අනුව සේව්‍යයාගෙන් සිදුවිය යුතු උපස්ථාන පහකි. ඒවා ලබන සේවකයා කරුණු පහකින් සේව්‍යයාට අනුකම්පා කරයි.

සේව්‍යයාගේ උපස්ථාන

යථාබලං කම්මන්ත සංවිධානෙන: යම් පුද්ගලයකුගේ ශක්තිය, කුසලතාව, හැකියාව, තරාතිරම සැලකිල්ලට ගෙන කටයුතු පැවරිය යුතුවේ. ඒ අනුව කාර්යයන්හි නියුක්ත කළ යුතු වේ. ඒ හැර පුද්ගලයාට ඉසිලිය නොහැකි වන පරිදි වැඩ පැවරිය යුතු නොවේ. ඇතැම් කර්මාන්ත ශාලාවල සම්මත කාලවේලා ඉක්මවමින් ද පුද්ගලයන් සේවයේ යොදවන බව ඇතැම් විට අසන්නට ලැබේ. එහිදී සේවකයන්ගේ ජීවිතය බොහෝ වෙහෙසට හා පීඩාවලට පත්වීම සිදුවේ. එහෙත් ආර්ය ශ්‍රාවකයකු වන ගෘහපතියෙක් කිසිවිටෙක සේවකයා පීඩාවට පත්වන අයුරින් කටයුතු නොපවරයි.

සමයෙ වොස්සග්ගෙන: සේවකයා නිසි කලට වැඩ කටයුතුවලින් නිදහස් කළ යුතු වේ. සේවකයා සේව්‍යයාගේ වහලකු නොවන්නේ එවිටය. සේවකයාගේ මනුෂ්‍යත්වය පිළිබඳ ගෞරවය ආරක්ෂා වන්නේ එවිටය.

භත්තවෙතනානුප්පදානෙන: සේවය සඳහා වැටුප් හා ආහාර ප්‍රදානය කළ යුතුය. ආහාර වෙන මත් වැටුප වෙන මත් ලබාදීම මෙයින් අදහස් කර ඇත. කෑම වියදම සඳහා වැටුප් ගෙවීමේ ක්‍රමයක් ඊට ඇතුළත් නැත. ආහාරය වෙනම සපයනු ලබන අතර සමාජයේ ජීවන තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා වැටුප ප්‍රදානය කළ යුතු වේ.

ගිලානුපට්ඨානෙන: රෝගාතුර වූ විට වෛද්‍ය පහසුකම් සලසා දිය යුතු වේ. සමහර පෞද්ගලික ආයතනවල සේවයේ නියුක්තව සිටින අය අසනීපව දින කීපයක් සේවයට නොපැමිණ නැවත සේවයට පැමිණීමේදී ඔවුන් නියුක්තව සිටි කාර්යයන්හි වෙනත් සේවකයකු යොදවා ඇති අවස්ථාවන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. මෙබඳු තත්ත්වයක් හමුවේ රෝගයක් වැලඳුණ විට ශ්‍රමිකයාගේ අනාගතය කෙබඳු වේද? ඒ හැර සේවාවේ නියුක්ත කාලය ඇතුළත දී සිදුවන අනතුරු සඳහා වන්දි මුදල් ලබාගැනීමේ දී ද සේවකයා මුහුණ පාන අනෙකුත් අවහිරතාවන් පිළිබඳව අපට අසන්නට ලැබේ. ‘ගිලානුපට්ඨානෙන’ යන ගුණාංගය අප සමාජයෙන් ගිලිහී යෑම මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇත. මෙහිදී වෛද්‍ය පහසුකම් සලසා දීම යනුවෙන් අදහස් වන්නේ සේවා කාලය තුළදී අසනීප වන අවස්ථා සම්බන්ධයෙන් වෛද්‍ය පහසුකම් සලසා දීම පමණක් නොවේ. ගෙදර දී ලෙඩ වුවත් ඔහුගේ ජීවිතයේ සුවපත් භාවය සඳහා කටයුතු සම්පාදනය කිරීම සේව්‍යයාගේ වගකීම වේ.

අච්ඡරිය රසානං සංවිභාගෙන: වැටුපට අමතරව සේවා ස්ථානයේ විශේෂ වූ ලාභ ප්‍රයෝජන සලසා දීම මින් අදහස් කෙරේ. ව්‍යාපාරයක වාර්ෂිකව සේවකයන් අතර ලාභ බෙදාදීම වැන්නක් මීට අයත් වේ.

බුදුපියාණන් වහන්සේ ධනය ශ්‍රමය මත බිහිවන බව වදාරා ඇති අතර ඒ ශ්‍රමය නිසි පරිදි ක්‍රියාවට නැඟීම සඳහා ඉහතින් දක්වා ඇති සදාචාරාත්මක ගුණාංගයන්හි පිහිටා සිටිය යුතු බවද දේශනා කර ඇත. එවිට ශ්‍රමය කැප කිරීම දාස කර්මයක් බවට පත් නොවේ. ශ්‍රමය අභිමානවත් දෙයක් බැවින් ඊට දාස කර්මයක ආකල්පය දියයුතු නොවේ.

මේ අයුරින් සේව්‍යයා සේවකයාට උපස්ථාන කරන අතර සේවකයා සේව්‍යයාට පෙරළා අනුකම්පාව දක්වා සිටිය යුතු වේ. ඒ අනුව සේවකයාගෙන් ඉටුවිය යුතු වගකීම් පහකි.

සේවකයාගේ අනුකම්පාව

පුබ්බුට්ඨායී: නියමිත වේලාවට හෝ ඊට කලින් හෝ කටයුතු සඳහා පැමිණෙයි. විශේෂ හේතුවක් නොමැති නම් ප්‍රමාද වී සේවයට පැමිණීමට කල්පනා නොකරයි.

පච්ජානිපාතී: සේවා කාලය ඉක්මවීමට ප්‍රථමයෙන් සේවයෙන් මඟ හැරයෑමට කල්පනා නොකරයි.

සුකතකම්මකරා: කළ යුතු කාර්යයන් මනා සංවිධානයකින් යුතුව ක්‍රමානුකූලව හා විධිමත්ව සැලකිල්ලෙන් ඉටුකරයි.

දින්නාදායිනො: ලබා ගන්නේ දුන් දේ පමණි. නොදුන් දෙයක් ලබාගැනීමට (සොරකමට) නොපෙළඹේ. අද බොහෝ දෙනාගේ ආකල්පය වී ඇත්තේ සේවා ස්ථානයෙන් පැහැර ගතහැකි යමක් වේද එය තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රහසින් සේවා ස්ථානයෙන් බැහැර ගෙන යෑමයි.

කිත්තිවණ්ණහරා: සේවා ස්ථානයේ මෙන්ම සේවා ස්ථාන ප්‍රධානයාගේ ගුණ කීර්තිය පතුරුවයි. ප්‍රශංසා කරයි.

මේ සේව්‍ය සේවක සදාචාරාත්මක බැඳීම උල්ලංඝනය නොවන්නේ නම් දැනට අප සමාජයේ පවතිනවාට වඩා ඵලදායී තත්ත්වයක් ශ්‍රම සහභාගිත්වය සම්බන්ධයෙන් අපේක්ෂා කළ හැකිවනු ඇත. එහෙත් සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන ගුණාංගයන්ගෙන් සමන්විත ආර්ය ශ්‍රාවකයන් සමාජයේ බොහෝ සෙයින් අඩු වී ඇති බැවින් එම ශ්‍රම ඵලදායිත්වය නැති වී ගොස් ඇත. ‘ලෞකික සමාජ ව්‍යාපාරයට අදාළ අංග බුදුදහමේ නිවන් මාර්ගය හා සම්බන්ධතාවක් නොමැත’ යන අදහසට එල්බ ගෙන සිටීම වැනි තත්ත්වයක් ඇති වීමට හේතු වී ඇත. එය සද්ධර්ම ප්‍රතිරූපයන්හි එල්බ ගැනීමයි.

පැරණි සමාජයේ ශ්‍රමය පිළිබඳ ආකල්පය

ලංකාවේ පැරණි සමාජය තුළ ශ්‍රමය සකස් වී තිබූ අයුරු සොයා බැලීම් ද කරුණු තේරුම් ගැනීමෙහි ලා වැදගත් වේ. පැරණි යුගයේ ශ්‍රමය මිල කළ යුතු දෙයක් ලෙස නොසැලකුණි. එකල පැවතියේ පොදු ශ්‍රම සහභාගිත්වයකි. ගමක කෘෂිකාර්මික භූමිය පොදු ශ්‍රම සහභාගිත්වය දක්වන ස්ථානය විය.

මතුසම්බන්ධයි

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *