නාවලපිටියේ අනුරාධා සුධම්මිකා භික්‍ෂුණිය
බෞද්ධයන් වන අපගේ ශාස්තෘන්වහන්සේ හෙවත් ආධ්‍යාත්මික ශික්ෂණයට මග පෙන්වූ ගුරු උතුමාණන්වහන්සේ බුදුරජාණන්වහන්සේ ය. බුදුවහන්සේ කතා කළ වචන බුද්ධ දේශනා ලෙස හැඳින්වේ. බුද්ධ දේශනාවන්හි මූලික අරමුණ වී ඇත්තේ කෙලෙස් සහිත සත්වයන් නිකෙලෙස් භාවයට පත් කොට සසර ගමන නැවැත්වීමයි. සැබවින්ම පුද්ගලයකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය සිදුවීම ධර්මශ්‍රවණයෙන් සිදු වන්නකි. කෙලෙස් සහිත පුද්ගලයන් කෙලෙසුන් ප්‍රහීණ කළ පිරිස් බවට පත් වීම සඳහා වචන භාවිත කරන මිනිසුන් අතර බුදුරජාණන්වහන්සේ ජ්‍යෙෂ්ඨ වූහ. බුදුන්වහන්සේ සිදු කළ ප්‍රාතිහාර්යය නම් පුද්ගල අධ්‍යාත්මය සංවර්ධනය කිරීමයි. එතරම්ම උන්වහන්සේගේ වචනවල සත්‍යය ගැබ් වී තිබිණි. ලෝක යථාර්ථය හෙවත් හේතු ඵල දහම බුදුන්වහන්සේගේ මූලික ඉගැන්වීම විය. එහෙයින් බුද්ධදේශනා නිවැරදිව අධ්‍යයනය කරන පුද්ගලයා ‘යථාර්ථය’ දහමින් වටහා ගනී.
කිසියම් දෙයක් ඇතිවීමට අවම හේතු දෙකක් (ද්විහේතුක පටිසන්ධි) ද උපරිම හේතු තුනක් (ත්‍රිහේතුක පටිසන්ධි) ද බලපෑමට පිළිවන. හේතු බිඳදැමීමෙන් හෙවත් නැවැත්වීමෙන් ප්‍රතිඵල නැති වන බව බුද්ධ දේශනාව විය. සමස්ත බුද්ධ දේශනාවන්හි ගැඹුරුම තැන එයයි. චතුරාර්ය සත්‍යයෙන් ඉගැන්වෙන්නේ ද එයයි. එම ගැඹුරු දහම වටහා ගැනීමේ ඥානය ‘ධර්මඥානය’ ලෙස ද එබඳු වහා වැටහීමේ නුවණ ඇති පුද්ගලයා ‘පටිභානවන්තං’ හෙවත් ප්‍රතිභාව සහිත පුද්ගලයා ලෙස ද හැඳින්වේ. අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන යනුවෙන් හඳුන්වන ‘චතුපටිසම්භිදා’ හෙවත් ‘සිවුපිළිසිඹියා’ වන්හි ප්‍රධාන කරුණු හතරෙන් එකක් වන්නේ “පටිභාන” හෙවත් ප්‍රතිහාව යන්නයි. එය අවසන් ‘පටිසම්භිදාවයි’. පුද්ගලයාගේ වැටහීමේ ප්‍රමාණයට ඔහුගේ හෝ ඇයගේ නුවණැතිබවේ ස්වභාවය හඳුනාගත හැකිය. ඒ අනුව පුද්ගලයා සතු කෙලෙස් ප්‍රහීණ කිරීමේ ප්‍රධාන පියවර හතරකි. එනම් සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකෘදාගාමී මාර්ගය, සකෘදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අරිහත් මාර්ගය, අරිහත් ඵලය’ යන තත්ත්ව අටට පත්වීම මෙම ප්‍රතිසම්භිදා ඥානයෙන් සිදුවන්නකි. ‘අෂ්ටාචාර්ය පුද්ගල මහා සංඝරත්නය’ ලෙස හඳුන්වන්නේ මෙම ආධ්‍යාත්මික අවස්ථා හතරට පත් වූ සිවුවනක් පිරිසය. එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන පුද්ගල වර්ග හතරයි.
එම පුද්ගල වර්ග හතර ඉහත සඳහන් කළ ආධ්‍යාත්මික ශාන්තියේ විශේෂ අවස්ථා අටට පත්වීම සඳහා යම්කිසි මගක් ඇත්නම්ත ඒ ධර්මතා දකින නුවණ හෙවත් ප්‍රතිසම්භිදාව පහළ කර ගැනීමයි. පටිසම්භිදා, සිවු පිළිසිඹියා යනු ද එම හැකියාව හඳුවන්වන වචනයයි. ‘ධර්මය’ නම් මේ ලෝකයේ පවතින සත්‍යයයි. එය ධර්මතා නමින් ද හඳුන්වනු ලැබේ. එම යථාර්ථය තනිවම අවබෝධ කරගැනීම ‘සම්මා සම්බුද්ධ’ නම් වේ. ගුරූපදේශයකින් තොරව අවබෝධ කරගන්නා ලෝක යථාර්ථය අන්‍යයන්ට අවබෝධ කරදීම බුද්ධ දේශනා මෙන්ම ධර්ම දේශනා ලෙස ද සඳහන් කළ හැකිය. එබඳු විශිෂ්ට ඥානයකින් හෙබි බුදුන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කර ධර්මාවබෝධය ලබන පුද්ගලයා බුද්ධශ්‍රාවක, ශ්‍රාවිකා නමින් හැඳින්වේ. එබඳු ශ්‍රාවකයකු විසින් තවත් ශ්‍රාවක පිරිසක් අරමුණු කොට ගෙන ධර්ම කරුණු පැහැදිලි කිරීම ‘ධර්ම දේශනා’ හෙවත් ‘බණ දෙසුම්’ ලෙස ද ‘ධර්මය දේශනා කරන්නා’ ‘ධර්ම දේශකයාණන් වහ්නසේ’ ලෙස ද හැඳින්වේ. එම දේශිත ධර්මය ශ්‍රවණය කරන පිරිස ධර්ම ශ්‍රාවක පිරිස ලෙස ද හැඳින්වේ.
2.2. ධර්මදේශනා ස්ථාන
ධර්ම දේශනා කරන ස්ථානය මහමග හෝ ගසක් යට හෝ විය හැකිය. පර්වත ලෙනක විය හැකිය. මැනවින් සකස් කරන ලද ශාලාවක විය හැකිය. එලෙස ධර්ම දේශනා සිදු කිරීමට වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වී, ධර්මය ශ්‍රවණය කිරීමය සුදුසු ලෙස සකස් කළ සාලාව ‘ධර්ම ශාලා’ ‘ධර්ම මණ්ඩප’ ලෙස හඳුන්වනු ලැබේ. ‘මණ්ඩපඝමඬුව’ යනුවෙන් ද සංස්කෘත පදයක් සිංහලට පරිණාමය වී තිබේ. ‘බණ මඩුව’ යනුවෙන් හැඳින්වෙන වචනය සිංහල භාෂාවට ආවේණික වූවකි. හෙළ වදන් සකස් වී ඇත්තේ පාලි හෝ සංස්කෘත භාෂාවන්ගෙන් බිඳී, එනම් තත්සම හෝ තත්භව හෝ වචන මාලාවකිනි. සමහර වචන නිෂ්පන්න හෙවත් සිංහලයේම උපන් වචන වෙයි. ඒ අනුව මෙහි ‘මඬුව’ යන වචනවය බිඳී ඇත්තේ ‘මණ්ඩප’ යන සංස්කෘත වචනයෙනි. ලංකාවේ විශ්වවිද්‍යාල හැඳින්වීමේදී ද විද්‍යෝදය මණ්ඩපය විද්‍යාලංකාර මණ්ඩපය ආදී වශයෙන් එම විශ්වවිද්‍යාල හෙවත් ශාස්ත්‍රශාලා ද ආරම්භක යුගයේදී හඳුන්වා තිබේ.
සිංහල ලේඛන ඉතිහාසයේ ශේෂව ඇති ග්‍රන්ථවලින් අපට හමුවන පැරණිම ග්‍රන්ථයකි, පාලි මහාවංශය. ඒ හැර මිහින්තලා පුවරු ලිපිවල ද ධම්පියා අටුවා ගැටපදය, සිඛවළඳ හා සිඛවළඳ විනිස, ධර්මප්‍රදීපිකාව, අමාවතුර, පොළොන්නරුවේ ගල්විහාර කතිකාවත, බුත්සරණ, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, විශුද්ධිමාර්ග මහා සන්නය මෙන්ම දඹදෙණි කතිකාවත යන ලේඛන මෙහිදී වරින්වර පර්යේෂණයට ලක් කරනු ලැබේ.
2.3. ප්‍රථම ධර්ම දේශනාව
අප මහ ගෞතම බුදුරජාණන් වහන්සේ, ‘බෝධිසත්ව’ හෙවත් බුද්ධිය වර්ධනය කිරීමේ මහා ක්‍රියා දාමයේ යෙදී ආත්ම භාව පන්සියයකටය ආසන්න කාලයක් ඇවෑමෙන් ආධ්‍යාත්මික ශක්තියේ උත්කෘෂ්ටය අවස්ථාවට පත් වන අවසන් ආත්ම භාවයේ ‘ගෞතම සිද්ධාර්ථ’ නමින් රජකුලයේ ඉපදිණි. වැඩිවිය පත්ව පැවිදිව සය වසරක දුෂ්කරක්‍රියා සමයකින් අනතුරුව ගෞතම බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. එතෙක් පැමිණි ධර්ම මාර්ගයේ තමන් වහන්සේගේ අත්දැකීම් බුදුන්වහන්සේ මේ සසර අසරණව සරණ, තුන්ලෝකයටම අයත් සත්ව වර්ගයා වෙත අපමණ මෙත් සිතින් දේශනා කළහ. එලෙස උන්වහන්සේගේ අත්දැකීම් තමන්වහන්සේට උපකාර කළ පස්වග තවුසන් සමගත් දහඅට කෝටියක් දෙව්බඹුන් සමගත් බෙදා හදාගත් අවස්ථාව ‘ප්‍රථම ධර්ම දේශනාව’ ලෙස ඉතිහාසගත වී තිබේ. එය ‘දම්සක් පැවතුම් සුතුර’, ‘ධම්මචක්කප්පවත්තන සුත්ත, ධර්මචක්‍රප්‍රවර්තන සූත්‍රය’ ලෙස ද පිළිවෙළින් සිංහල පාලි සංස්කෘත භාෂාවන්හි යෙදී තිබේ.
‘සූත්‍ර’ යන්නෙන් ස්මරණය හෙවත් මතක තබා ගැනීමේ පහසුව පිණිස ‘කෙටියෙන් කියැවෙන කරුණු’ යන අදහස ද ‘එකින් එක පිළිවෙළින් ඇමිණිය හැකි’ යන අරුත ඇති ‘නූල’ යන අදහස ද ලබා දෙයි. නූලක ඇමිණුනු පබළු ඇට බඳුව එකිනෙක ක්‍රමානුකූලව බැඳී ඇති ධර්ම කාරණා බුද්ධිමත් කෙනකුට හේතුඵල දහම ඉගැන්වීමට පහසු කරවයි. සූත්‍ර දේශනාවක ප්‍රධාන අරමුණ එයයි.
එම ප්‍රථම ධර්ම දේශනාව බරණැස ඉසිපතනාරාමයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව එම සූත්‍රාරම්භයේදීම සඳහන් වේ. එනම්, බුදුහු ගස් සෙවණක පිරිස පිරිවරා මේ දෙසුම පැවැත්වූහ. කාලයත් සමග පිරිස සංඛ්‍යාත්මකව වැඩී, හැටදෙනකුගෙන් සමන්විත වූ විට එම බුද්ධශ්‍රාවක පිරිස මෙබඳු උපදේශයක් ලබා දෙමින් විසුරුවා හැරියහ.
‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා එකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ’
‘මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස තමන්ටත් දෙව් මිනිසුන්ටත් හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙක් එකමග නොයන්න. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ හාත්පසින් යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත වෙන් වෙන් කරුණු මෙන්ම පරිපූර්ණ වූ ද පිරිසිදු බ්‍රහ්මචර්යාව ගැන ද ප්‍රකාශ කරන්න දේශනා කරන්න’ යනුවෙනි.
මේ සෑම අවස්ථාවකදීම බුදුන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් නිකෙලෙස්භාවයට පත් පිරිසක් ගැන සූත්‍රසාහිත්‍යය විමසීමෙන් පැහැදිලි කරගත හැකිය.
බුද්ධ කාලීනව සෑම වස් කාලයකදීම නුවණ වැඩෙන පින්කම් ලෙස සැලකෙන ධර්මය දේශනා කරවීම, ධර්මශ්‍රවණය කිරීම ආදී දෑ නිසා තම සිත් සතන් කුසලයෙන් පිරී ආධ්‍යාත්මික ශාන්තියේ උපරිතලවලට පත් කරගත් ශ්‍රවකයෝ වූහ. දිනෙන් දින ඉහළ යන රහතන්වහන්සේලා හෙවත් නිකෙලෙස් උතුමන් ගැන දැනගත් බොහෝ දෙනා ලෞකික ජීවිතයේ සියල්ල අත්හැර ලෝකෝත්තර තත්ත්වයට පත් වූහ.
බුදු බණ මෙන්ම එම විශේෂිත දේශනා දෙසූ ස්ථාන ද වැදගත් වේ. ඒවා ජයභූමි, නිකෙලෙස් භූමි ආදී වශයෙන් හැඳින්වේ. බණ හෙවත් ධර්ම දේශනයක භාෂාව ද වැදගත් වෙයි. වර්තමානය වන විට “බණ මඩුව” යන වදන භාවිත නොවන තරමට භාෂාව පරිණාමය වී ඇත. ‘පර්ණ ශාලා ඝ පණ්ණ සාලාඝ පන්සල යනුවෙන් බිඳී සැකසී ඇත්තේ වියළි අතු සෙවිලි කොට සකස් කරගත් සෙවණ සහිත ස්ථානයකටය. එබඳු ස්ථානයක අර්ථ සම්පන්න දේවල්, නිවන් අරමුණු කොට ගෙන කතාකරන දේවල් බණ දෙසුම් හෙවත් ධර්ම දේශනා හඳුන්වා තිබේ. කාලයත් සමග රජවරු, සිටුවරුන්ගේ දායකත්වයෙන් සකස් වූ විහාරාරාම නිසා පන්සල යන්න වෙනස් වූයේ සකස් කරන අමුද්‍රව්‍යවලින් බව පැහැදිලි කරගත හැකිය. ජේතවනාරාමය, වේළුවනාරාමය ආදී බුද්ධකාලීනව සැකසුණු විහාරාරාමයන්හි සිවුවනක් පිරිසටම එක්වර බණ ඇසිය හැකි ධම්සභා මණ්ඩපයක් පැවති බව සූත්‍ර සාහිත්‍යයෙන් ද හඳුනාගත හැකිය. ධර්ම ශාලාවන්හි ධර්ම දේශකයාණන්වහන්සේලා ද ධර්ම දේශනා කිරීම ද අත්‍යවශ්‍යය. එමෙන්ම ධර්මශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසක් ද සිටියහ. එම නිසා ධර්ම ශාලාව, ධර්ම මණ්ඩපය, බණ මඩුව ලෙස හැඳින්වීමට ද මේ කෘති ලියැවෙන යුගය වන විට ජනතාව පුරුදු වී සිටියහ. ඒ නිසාම ගැමියන්ගේ ව්‍යවහාරයේ තිබුණු ‘බණමඩුව’ අද ඔවුන් හඳුන්වන්නේ එක්කෝ ‘බණ ශාලාව’ නැත්නම් ‘ධර්ම ශාලාව’ යනුවෙනි.
2.4 භාරතීය ධර්මශාලා ඉතිහාසය
ක්‍රි.පූ. 6 වන සියවසේදී බුදුන්වහන්සේගේ පහළ වීමත් සමග ධර්මය දේශනා කිරීමේ රටා ද වෙනස් විය. රුක්මුල් වන සෙනසුන්, අම්බලම් ආදිය භික්ෂුන්වහන්සේලාගේ වාසස්ථාන ලෙස අනුදැන වදාළ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ආරාම පිළිගැනීම ද පසු කාලයේදී අනුදැන වදාළහ. ඒ අනුව ජේතවනාරාමය, වේළුවනාරාමය, නීග්‍රෝධාරාමය, පූර්වාරාමය, ඝෝෂිතාරාමය, කුක්කුටාරාමය, ජීවක අඹවනය ආදී බුදුන්වහන්සේට පූජා කරන ලද සහ උන්වහන්සේ ඇතුළු භික්ෂු මහා සංඝරත්නය වැඩ සිටි විහාරස්ථානවලදී ධර්ම දේශනා සිදු කළ අවස්ථා ත්‍රිපිටකය පුරා විසිරී තිබේ. බුදුන්වහන්සේ දහම් දෙසුවෝ වසර හතළිස්පහක කාලයකි. එනම් මාස වශයෙන් හාරසියපහක් (405) ද දින වශයෙන් 16436 ක පමණ කාලයක් තුළ දේශිත ධර්මය සුරක්ෂිතව භාණක පරම්පරා ඇසුරෙන් පවත්වා ගෙනැවිත් තිබේ. එම දහම මුද්‍රිත ග්‍රන්ථ පනස්දෙකකට (52) අන්තර්ගත කළ සමස්ත ත්‍රිපිටකය නූතනයේ දැකිය හැකිය. අප ඇසුරු කරන්නේ එලෙස සංග්‍රහ වී ඇති ථෙරවාද සම්ප්‍රදායට අයත් සූත්‍ර, විනය, අභිධර්ම නමින් සංස්කරණය කර ඇති ත්‍රිපිටකයයි.
දෙවිවරු පිරිවරාගෙන තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයේත් මනුලොව විවිධ ස්ථානවලදීත්, බුදුහු දහම් දෙසූහ. මංගල කරුණු ගැන විමසූ දෙවිවරුන්, මහාසමය සූත්‍රය දෙසූ දා පැමිණි දෙවිවරුන්, දම්සක්පැවතුම් සූත්‍රය දෙසූ දා නිවන් ලද දහඅට කෝටියක් දෙව්බඹුන් ගැන බුද්ධ දේශනාවල සඳහන් වේ. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය යනුවෙන් දෙවිවරුන්ටම දෙසූ ධර්ම කොට්ඨාසයක් සංග්‍රහ කර තිබීමෙන් ඒ බව වටහා ගත හැකිය.

මිනිස් ලොව විවිධ ස්තර නියෝජනය කරන දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, ගිහි, පැවිදි ආදී පුද්ගලයන් දහස් ගණන් සද්ධර්ම දේශනාවෙන් දමනය කොට අමා මහ නිවන් දැක්වූ ආකාරය ද ත්‍රිපිටකය පුරා වාර්තා වී තිබේ. එම ජීවිත පරිත්‍යාගය සහ කතා කළ වචනයන්හි අර්ථ සම්පන්න භාවය ධර්ම දේශනා ලෙස හඳුනාගත හැකිය. උන්වහන්සේ කිසියම් පුද්ගලයෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් විමසූ ප්‍රශ්නවලින් පැනගිය බවක් හෝ පරාජය වූ බවක් කිසිදු තැනක මෙතෙක් සඳහන් වී හෝ හමුවී නැත. උන්වහන්සේට වැඩිපුරම පීඩා ගෙනදුන් දෙව්දත් හිමි පවා මරණාසන්න මොහොතේ බුදුන් සරණ යෑමේ ආනිශංසයෙන් මතු පසේබුදු බවට පත්වන බව සඳහන් වී තිබේ.
බුදුහුගේ ප්‍රථම උදානයේ පටන්ගෙන අවසන් බුද්ධෝපදේශය වූ ‘හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ’ යන උපදේශය දක්වා වසර හතළිස්පහක් තරම් කෙටි කාලයක් අතරතුර දී අප්‍රමාණ කැපවීමෙන්, සත්වයන් සසර දුකින් මුදවාලීම සඳහා උපදෙස් දෙමින් මගපෙන්වමින් කටයුතු කළ ආකාරයත් දෙසූ දහමත් ජීවත් වූ ස්වභාවයත් ත්‍රිපිටකයේ වාර්තා වී තිබේ. බුදුහු කළයුතු සියලු කටයුතු නිමවා අවසන් පූජනීය හුස්මපොද මේ වාතලයට මුසු කළහ.
2.5 බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඉතිහාසය
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තන්හි ශාසන භාරධාරී මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ ඇතුළු මහ රහතන්වහන්සේලා විසින් කරන ලද සාකච්ඡාවට පසුව ‘මල් අසුනක විසිරී තිබෙන මල් පිළිවෙළකට සකසන්නා සේ’ විසිරී පැවති ධර්මය සංග්‍රහකොට සුරක්ෂිත කරගැනීමට කටයුතු යොදන ලදී.
ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දැක්වූයේ අජාසත් රජු විසිනි. රජගහනුවර සප්තපර්ණී ගුහා දොරටුව ඉදිරිපසදී පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්විණි.
වසර සියයකට පසුව කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් වාලුකාරාමයේදී හත්සියයක් මහ රහතන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් දෙවන ධර්ම සංගායනාව සිදු කෙරිණි.
තෙවන සංගායනාව ධර්මාශෝක මහාධිරාජයාගේ පූර්ණ රාජ්‍යානුග්‍රහයෙන් පැළලුප් නුවර අශෝකාරාමයේදී භික්ෂුන්වහන්සේලා දහසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. එය ධර්මාශෝක රාජ්‍ය යුගයේ දී (ක්‍රි.පූ. 260-218) ක්‍රි.පූ. 236 දී පවත්වන ලද බව වංශකතාවලින් පැහැදිලි කර ගතහැකිය.
තෙවන සංගායනාව පැවැත්වීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වූ ධර්මාශෝක මහාධිරාජයා, තමන්ට බුදුදහම වැලඳ ගැනීමට, සන්සුන් හැසිරීමෙන් උපකාර කළ නීග්‍රෝධ සාමණේරයන් වහන්සේට දවසට ලක්ෂයක් වටිනා පිරිකර යැවූ බව සිංහල පරිකතා ග්‍රන්ථයක් වූ ධර්මප්‍රදීපිකාවෙන් හමු වෙයි.
ක්‍රි.පූ. 3 වන සියවසේදී සිදු කළ තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුද දහම ව්‍යාප්ත කිරීමට රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් නවයක් විසිරුවා හරින ලදී. ඒ හැර බුදුන්වහන්සේට ධර්මස්කන්ධ 84000ක් දෙසූ බව දැනගත් අශෝක රජු ඒ එක් ධර්මස්කන්ධයකට එක් විහාරස්ථානය බැගින් වෙහෙර විහාර අසූහාර දහසක් සකස් කොට එකම දිනයක සම්බුද්ධ ශාසනයට පූජා කළ බව සඳහන් වේ. ඒ හැම විහාරස්ථානයකම භික්ෂුන්වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේලාට වැඩ සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමෙන් සිදු කරන ලද්දේ බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි. එම තෙවන සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස, සම්බුදු දහම ක්‍රි.පූ. 3 වන සියවසේදී ලංකාවාසී අපට ලැබුණේ ධර්මාශෝක රජුගෙන් මෙරට රාජ්‍ය නායකයා වූ දේවානම්පියතිස්ස රජුට එවන ලද ත්‍යාගයක් ලෙසිනි.
2.6 ලක්දිව බුදුසමයේ ඉතිහාසය
ක්‍රි.පූ. 236 දී තෙවන ධර්ම සංගායනාව පැළලුප්නුවර අශෝකාරාමයේදී පැවැත්වූ බව ඉහත සඳහන් කෙරිණි. එහි ප්‍රතිඵල ලෙස රටවල් නවයකට ධර්මදූත කණ්ඩායම් විසිරුවා හරින්නට කටයුතු කළත් ලංකාවේ එවකට රාජ්‍ය කළේත වැඩිහිටි වයසේ සිටි මුටසීව රජුය. එබැවින් එම සිත් එකවරම වෙනස් නොකළ හැකි නිසා ලංකාව වෙනුවෙන් නම් කළ මිහිඳු මහ රහතන්වහන්සේ, වසර දොළහක කාලයක් වේදිසගිරිය හෙවත් මිහිඳු-සඟමිත් මහ රහතන්වහන්සේලාගේ මව් දේවියගේ ගමෙහි කරවන ලද ආරාමයක වැඩ වෙසෙමින් ලංකාවේ සංස්කෘතිය, භාෂාව ආදිය හදාළහ. වසර දොළහකට පසුව මුටසීව රජුගෙන් පසු තිස්ස රජුගේ රාජ්‍යෝදයේදී මිහිඳු මාහිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කළ බව මහාවංශයේ ද සඳහන් වේ.
සංගායනා තුනකින් සංස්කරණය වූ දහමක් ශ්‍රී ලාංකේයයන්ට ලැබුණේ වසර දොළහකට පසුව නම් මිහිඳු මාහිමි ඇතුළු පිරිස වැඩම කළේ ක්‍රි.පූ. 224 බවත් ලක්දිවට බුදු දහම රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබුණු එම වර්ෂයෙන් පසුව ලංකාවේ රජු එය වැලඳ ගැනීමත් බුදු දහම රාජ්‍ය ආගම බවට පත් වූ බවත් අපගේ තර්කානුකූල පිළිගැනීමයි. පහත සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ වටහා ගැනීමේ පහසුව සඳහා සකසන ලද සටහනකි.
ක්‍රි.පූ. 7 වන සියවස -700-<601
ක්‍රි.පූ. 6 වන සියවස -600-<501 624 (බුදු උපත)
ක්‍රි.පූ. 5 වන සියවස -500-<401 544 (බුද්ධ පරි:)
ක්‍රි.පූ. 4 වන සියවස -400-<301
ක්‍රි.පූ. 3 වන සියවස -300-<201 236-12=224
ක්‍රි.පූ. 2 වන සියවස 200-<101
ක්‍රි.පූ. 1 වන සියවස -100<-1
ක්‍රි.ව. 1 වන සියවස +1>+100
ක්‍රි.ව. 2 වන සියවස +101>+200
ක්‍රි.ව. 3 වන සියවස +201>+300
2.7 ලාංකේය ධර්මශාලා ඉතිහාසය
මෙය කාලය වශයෙන් අනුමාතෘකා දෙකක් යටතේ සාකච්ඡා කළ හැකිය. ප්‍රාග් මහින්ද යුගය සහ පශ්චාත් මහින්ද යුගය යනුවෙනි.
ප්‍රාග් මහින්ද යුගය යනු මහින්දාගමනයට පෙර කාලසීමාවයි. එකල බුදුන්වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කළ බවත් තෙවන අවස්ථාවේදී තවත් ස්ථාන කිහිපයකට වැඩමවා සමාධි සුවයෙන් වැඩසිට එම ස්ථාන පූජනීයත්වයට පත් කළ බවත් මූලාශ්‍රයයන්හි සඳහන් වේ.
පශ්චාද් මහින්ද යුගය ලෙස හඳුන්වන්නේ මිහිඳු මාහිමයන්ගේ වැඩමවීමෙන් පසු කාලයයි. රාජ්‍ය අනුග්‍රහය ලද මිහිඳු මාහිමියෝ ප්‍රථමවරට ලංකාවේ පාලකයා වූ දේවානම්පියතිස්ස රජු ඇතුළු හතළිස් දහසක් පිරිසට මිහන්තලේදී ධර්ම දේශනා කළහ. එය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය නමින් වූ බුද්ධ දේශනාවකි. එම ධර්මය ශ්‍රවණය කළෝත රජු ඇතුළු හතළිස්දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ.
දෙවන අවස්ථාවේදී රජ මැඳුරේ සිටි අන්ත:පුර කාන්තාවන් පන්සීය දෙනෙක් ඇතුළු පිරිස උදෙසා විමානවත්ථු පේතවත්ථු හා සච්ච සංයුත්ත යන දේශනා මිහිඳු හිමියන් විසින් නන්දන උයනේ දේශනා කර ඇත. තිස්ස රජු මහමෙව්නා උයන උන්වහන්සේ ඇතුළු පිරිසට පූජා කිරීමෙන් පසුව මිහිඳු මාහිමියෝ කොහේ හෝ වැඩම නොකොට එහිම වැඩසිටියහ. එලෙස වැඩසිටියේ ධර්මය දේශනා කොට ධර්මය නොදන්නා පිරිසට පිහිටවීමේ හැකියාව උන්වහන්සේට මැනවින් පැවති නිසා බවද සඳහන් වේ. ‘මහමෙව්නා උයන’ ප්‍රධාන විහාරස්ථානය වූ බව ද ක්‍රි.පූ. 3 වන සියවසේදී ලක්දිව ධර්ම දේශනා කළ ස්ථාන ලෙස මිහින්තලේ සහ අනුරාධපුර ආශ්‍රිත ප්‍රදේශවල සහ වාසස්ථාන ලෙස සැලකෙන ගල්ගුහා හෝ ආරාම භූමි සඳහන් කළ හැකිය.
මිහිඳු මාහිමියන් වහන්සේ වැඩම වූ පසු ධර්ම දේශනා කිරීමට ශාලවක් සකස් කළ බව ද මැටියෙන් බැඳි එය වේළීම සඳහා ගිනි දල්වා පිලිස්සූ බව ද එයින් නැඟුණු කළු දුමෙන් එම ශාලාව කළු පැහැ වූ බව ද එය පසු කල කාළපාසාද පිරිවෙන නමින් ප්‍රකට වූ බව ද සඳහන් වේ. පිරිවෙන යනුවෙන් භික්ෂූන් වැඩසිටි විහාරස්ථානය ද අර්ථ ගැන්වුණු අතර සිංහල ගැමි වහරේ ඇති ‘බණ මඩුව’ යන යෙදුම කල්යත්ම ධර්ම දේශනා කරන ශාලාව යන අරුතින් වියත් වහරක් ලෙස ‘ධර්මශාලාව’ බවට පත් විය.
ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ක්‍රි.ව. 10 වන සියවස දක්වා වූ කාලය අනුරාධපුරය යුගය ලෙස සාහිත්‍ය යුග වශයෙන් බෙදා දැක්වීමේදී හඳුනා ගැනේ. එම යුගයේදී මහා විහාර පිරිවෙනේ ආචාර්යවරියන් ලෙස කටයුතු කළ සඟමිත් මහ රහතන් මෙහෙණින් වහන්සේ ඇතුළු භාරතයෙන් මෙසිරිලකට වැඩම කළ භික්ෂුණින්වහන්සේලා, ලාංකේය භික්ෂුණින්ට ධර්මය සහ විනය ඉගැන්වූහ. තමන්වහන්සේලා මැනවින් හදාරා තිබුණු විනය පිටකය: එනම් ‘පාරාජිකා පාලි, පාචිත්තිය පාලි,(සුත්ත විභංග) මහාවග්ග පාලි, ‘චුල්ල වග්ග පාලි. (බන්ධක විනය) පරිවාර පාලි යන ග්‍රන්ථ පහ අනුලා මහ රහතන් මෙහෙණින්වහන්සේ ඇතුළු ලාංකේය භික්ෂුණින් වහන්සේලා පන්සිය නමකට මහාවිහාර පිරිවෙනේ දී ඉගැන්වූ බව සඳහන් වෙයි. එමෙන්ම ජාතක කතා සහ විශේෂයෙන් බුද්ධ චරිතයත් උගන්වා ඇත. විහාරමහා දේවිය, සෝමා දේවිය වැනි වීර කාන්තාවෝ පැවිදි වී කාන්තා පාර්ශ්වයට සැනසිල්ල ලබා දීමට කටයුතු කළහ. විනය සහ අභිධර්මය උගෙන අනෙකුත් පිරිසට ඉගැන්වීමට ද මේ භික්ෂුණින්වහන්සේලා මැනවින් සමත් වූහ.
කාලයත් සමග මහාවිහාර පිරිවෙනට සමගාමීව ක්‍රි.ව. 4 වන සියවස පමණ විට අභයගිරිය නමින් ද සංවර්ධිත පිරිවෙනක් පැවති බව ඉතිහාසගත සාක්ෂිවලින් හමුවේ. විනයට මුල් තැන දුන් ලාංකේය ශාසන ඉතිහාසයේ ක්‍රි.ව. 4 වන සිවස විශේෂවන්නේ තිසෝලා හෙවත් දේවසාරා නමින් වූ වියත් භික්ෂුණින් වහන්සේ ප්‍රධාන භික්ෂුණින් වහන්සේලා කණ්ඩායමක් චීනයට වැඩමවා එහි භික්ෂුණි ශාසනය හෙවත් උපසම්පදා විනය කර්මය සිදු කොට එහි මෙහෙණි සස්න ස්ථාපනය කිරීමයි. එමෙන්ම අභිධර්මය හැදෑරීම සහ ඉගැන්වීම ද එකල භික්ෂුණින්වහන්සේලා සිදු කළ බවත් වාර්තා වී තිබේ.
අනුරාධපුර යුගයට අයත් ‘සීගිරි ගී‘ සමුච්චයෙහි පැවිද්දන්, සාමණේරීන් මෙන්ම ගිහියන් විසින් ලියන ලද දාර්ශනික අදහස් ගැබ්වුණු ගී හමු වේ. මේවා සාහිත්‍යාත්මක මෙන්ම සිතිවිලි විග්‍රහ කෙරෙන ගීයෙන් ලියන ලද බණක් යැයි සඳහන් කිරීම සුදුසුය.
2.8 පොළොන්නරු – දඹදෙණි යුග (ක්‍රි.ව. 11-13 සියවස්
මෙම යුගයේදී භික්ෂුන්වහන්සේලා ධර්මදේශනා කරන රීතිය පදනම් කරගත් ලේඛන ශෛලියෙන් මහා බණපොත් ලියැවී ආයේය. ධර්මප්‍රදීපිකාව පරිකතාවකි. එහි වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ බුද්ධ ධර්මය බව කතුවරයා වූ ගුරුළුගෝමී පඬිවරයාම සඳහන් කරයි.
‘බුත්සරණ’ විද්‍යාචක්‍රවර්තී නම් උපාධි නාමයකින් තමා හඳුන්වාගත් පඬිවරයකු විසින් ලියන ලද බුද්ධ භක්ති කාව්‍යයකි. එය ශ්‍රැති ගෝචර (අසා රසවිඳය හැකි) රටාවෙන් ලියන ලද්දකි.
‘අමාවතුර’ ගුරුළුගෝමී නම් පඬිවරයකු විසින් පුරිසදම්ම සාරථි පදය විස්තර කරමින් ලියන ලද බුද්ධචරිතය පිළිබඳ පරිච්ඡේද දහඅටකින් යුතු ගද්‍ය කාව්‍යයකි. බුදුන්වහන්සේ බෝසත් අවධියේ පටන්ම අදම්‍ය පුරුෂයන් දමනය කළ අයුරු පළමු පරිච්ඡේදවේදී ජාතකා කතා 206 ක් යොදා ගනිමින් සඳහන්කර තිබේ.

