ආචාර්ය කුකුල්පනේ සුදස්සී හිමිපාණන්
සමහර අවස්ථාවල අපට කළ වරද සිහිවෙනවා. නමුත් ඒ සමග සිහිය සහ නුවණ අවදි නොවුණොත් ඒ සිහිපත් වුණු කාරණයම නැවත නැවත උපාදාන කරගෙන ඒකම භුක්ති විඳිනවා. ඒ නිසා යමක් ස්මරණය වනවිට, යමක් සිහිපත් වනවිට ඒ සමග සතිය සහ ප්‍රඥාවත් අවදි කරගන්න ඕන. එතකොට තමයි ඒ තැනැත්තාට එය අත්දැකීමක් වශයෙන් ජීවිතය ගොඩනඟා ගන්න උපකාර කරන්න පුළුවන් වෙන්නෙ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා; යම් කෙනෙකුට මේ විදියට ජීවිතේ දුර්වල තැන් හරියට දකින්නට පුළුවන් නම්, තමන්ට වැරදුණ තැන් හරියට දකින්නට පුළුවන් නම් එයම අත්දැකීමක් කරගෙන ඕනම මොහොතක ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්.
වලාකුළින් සඳ වැසුණාම, වලාකුළ මේ මොහොතේ ඉවත් කළ නොහැකියි කියලා එකක් නැහැ, ඕනම මොහොතක ඒ වලාකුළ ඉවත් වෙන්න පුළුවන්, ඊට සුදුසු සාධක ගොඩනැඟුණොත් වලාකුළ ඉවත් වේවා, ඉවත් වේවා කියලා හිතුවට ඉවත් වෙන්නේ නැහැ. ඒ වලාකුළින් සඳ වැසුණේ කෙසේද, ඒ හේතු වෙනස් වුණොත් වලකුළු බැහැර වී යළි ප්‍රභාව අවදි වෙනවා.
එහෙනම් ජීවිතේ දුර්වලකම් දකිනකොට, සිහිපත් වෙන කොට ඒකෙන් පශ්චාත්තාපයට පත්වීම නෙවෙයි අවශ්‍ය වෙන්නෙ, කුමක් නිසාද මා අතින් මේ වරද සිදු වුණේ, කුමක් නිසාද මා වරදට පෙළඹුණේ කියලා සිතලා බලලා නැවතත් එසේ නොවන්නට චිත්ත අධිෂ්ඨානයන් ඇති කරගෙන රැකෙන්න උනන්දු වීමයි.
එහෙම කරන්න පුළුවන් නම් ප්‍රබල කාරණයක් වුණත්, බරපතළ දුර්වලකමක් වුණත් අභිභවා යන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ලෝණ ඵල සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සිද්ධාන්තයයි. කර්ම අභිභවා යන්න පුළුවන්. දුර්වලකම් අභිභවා යන්න පුළුවන්. බරපතළම දුර්වලකමක් වුණත් ඒ සියල්ල අභිභවා යන්න පුළුවන්. එහෙම අභිභවා යා නොහැකි කිසිම දුර්වලකමක් මනුෂ්‍ය ජීවිතයක නැහැ.
යටකළ නොහැකි කර්ම පහයි තියෙන්නෙ.
නමුත් අපට නැවත ප්‍රශ්නයක් ඇති වෙනවා. දුර්වලකම අභිභවා යන්න හැකි වුණාට කර්මය? ඒ සිදු කරගත් අකුසලය කොහොමද අභිභවා යන්නෙ? එහෙම හිතනකොට ආපහු අපි කඩා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මයත් අභිභවා යා හැකි බව අභිබවා යා නොහැකි පාප කර්ම තියෙන්නෙ පහක් පමණයි.
- මාතෘ ඝාතනය
- පිතෘ ඝාතනය
- අරහත්ත ඝාතනය
- ලෝහිතුප්පාදය
- සංඝ භේදය
මේ ජීවිතේ මේ වෙනකොට ආනන්තර්ය පාපකර්ම කරගෙන නැති නම් සසරේ කරපු එකම ආනන්තර්ය පාපකර්මයක්වත් අප සතුව නැහැ කියලා අපට සතුටු වෙන්න පුළුවන්. ඇයි ඒ? පෙර භවයේ මියයන කොට අප සතුව ආනන්තර්ය පාපකර්ම තිබුණා නම්, මේ භවයේ අපි මනුලොව කෙසේ වත් උපදින්නෙ නෑ. අනිවාර්යයෙන් නිරයෙ උපදින්නේ. එහෙනම් මේ භවයේ මනුලොව ඉපදුණා කියන එකේ අර්ථය, පෙර භවයේ මියයන කොට අප සතුව කිසිදු ආනන්තර්ය පාපකර්මයක් ඉතිරිවෙලා නැති බවයි.
ආනන්තර්ය පාපකර්මයේ අවශේෂ විපාක ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. ආනන්තර්ය කියන්නෙ යම් කර්මයක උපපජ්ජවේදනීය වශයෙන් දෙවන භවයේ විපාක දෙන කොටසනෙ. මුගලන් හාමුදුරුවන්ට මාතෘ ඝාතන, පිතෘ ඝාතන අකුසල කර්මය දෙවන භවයේ නිරයෙ ඉපදීලා දුක්ඛ විපාක ලබන්න හේතු වුණා. ඒක තමයි ආනන්තර්ය කර්මය. ඒ විපාකය විඳලා එතැනින් නැවත මනු ලොවට ආවට පස්සෙ ආනන්තර්ය විපාකය අවසානයි. ඉන් අනතුරුව තියෙන්නෙ අපරාපරිය වේදනීය කර්ම කොටස. ඒ කියන්නෙ නිවන් දකිනතුරු යළි යළි ඉස්මතු වෙලා විපාක දෙන්නට අවස්ථාවක් ලැබුණොත් විපාක දෙන කොටස.

හැම කර්මයකම දිට්ඨධම්මවේදනීය කොටසක් තියෙනවා. උපපජ්ජවේදනීය කොටසක් තියෙනවා. අපරාපරියවේදනීය කොටසක් තියෙනවා. අහෝසි වෙන කොටසක් තියෙනවා. දිට්ඨධම්මවේදනීය කොටස ඒ ජීවිතයේදීම විපාක දෙනවා. උපපජ්ජවේදනීය කොටස දෙවන භවයේ විපාක දෙනවා. ඒ කොටස බලවත් වුණාම තමයි අපි ඒකට ආනන්තර්ය කර්මයයි කියලා කියන්නෙ.
බලවත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම, නොවැරදීම ඊළඟ භවයේ විපාකත්‍වයට පැමිණෙනවා කියන එක. එතකොට ආනන්තර්ය පාපකර්මය දෙවන භවයේ විපාක දුන්නහම සියල්ල අවසානයි කියන එක නෙවෙයි. අර උපපජ්ජවේදනීය කොටස පමණයි අවසාන වෙන්නෙ. නමුත් අපරාපරියවේදනීය කොටස නිවන් දකිනතෙක් අවස්ථාවක් ලැබුණොත් මතුවෙන්න පුළුවන්.
නමුත් ඒවා පිළිබඳව අපට ලොකු ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යතාවක් නැහැ. උත්සාහ කළොත් ඒ කර්ම යටපත් කරන්න පුළුවන් නිසා. යටපත් කරන්න නොහැකි වෙන්නෙ ආනන්තර්ය පාප කර්ම විතරයි. ඒ නිසා මේ වනවිට අප සතුව ආනන්තර්ය පාප කර්ම නැහැ කියලා අපට සතුටු වෙන්න පුළුවන් නම් අනිත් ඕනම පාපකර්මයක්, ඕනම දුර්වලකමක්, පිළිබඳව අපට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඒවා යටපත් කරන්න පුළුවන්.
කර්ම විපාක දෙන්නෙ මතු වුණොත් පමණයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා: කර්ම විපාක දෙන්නේ කරපු කරපු හැටියට නෙවෙයි. මතුවෙන, මතුවෙන විදියටයි කියන බව. මේක හරිම වැදගත් කාරණයක්. හොඳට මතක තියා ගන්න.
පව්කම් හෝ පින්කම් හෝ කළ කළ පමණට විපාක දෙන්නේ නැහැ. මතුවෙන මතුවෙන විදියටයි විපාක දෙන්නෙ. මතු වුණොත් විපාක දෙනවා. නැතිනම් නැහැ. අපි මෙච්චර කුසල් කරගෙන තියෙනවා. අච්චර කුසල් කරගෙන තියෙනවා කියලා හිතුවට වැඩක් නැහැ. ඒවා මතු වුණේ නැතිනම්. ඒ නිසානෙ කියන්නේ පෘථග්ජන පුද්ගලයාට ගති නියත නෑ කියලා. අපි මේ ජීවිතේ බොහෝ කුසල් කරගෙන තියෙන්න පුළුවන්. හැබැයි මරණාසන්න මොහොතේ මතු වුණේ නැතිනම් විපාක දෙන්නෙ නැහැ. වෙන ආත්මයක දී මතුවෙලා විපාක දෙන්න පුළුවන්.
ධර්මාශෝක රජතුමා අසූහාරදහසක් වෙහෙර විහාර හැදුවා. තමන්ගෙ දරුවො දෙන්නා ශාසනේට පූජා කළා. මහා පින්කම් කර ගත්තා. නමුත් මරණාසන්න මොහොතෙ මතු වුණේ ද්වේෂ සිතක් නිසා ඒ කුසල් විපාකත්වයට පැමිණෙන්න විදියක් නැහැ.
එහෙනම් කරපු කරපු හැටියට නෙවෙයි කර්ම විපාක දෙන්නෙ. මතුවෙන මතුවෙන හැටියටයි. අකුසල කර්මත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එක්තරා තරුණයෙක් තමන්ට ජීවනෝපායක් නොමැතිව අන්තිමට අළුගෝසු තනතුරට බැඳුණා රජයේ නිලලත් මනුෂ්‍ය ඝාතකයා හැටියට. අවුරුදු පනහක්ම මේ තනතුරේ සේවය කළා. සේවය කරලා නිදහස ලැබුණා. ඇත්තටම නිදහස දුන්නෙ ඔහුට තවදුරටත් එක කඩු පහරින් බෙල්ල කපන්න බැහැ. දෙතුන් වතාවක් කොටන්න ඕන. ගතේ ශක්තිය නෑ දැන්, වයස් ගත වෙලා.
ඒ නිසා රජ්ජුරුවෝ තීරණය කළා දැන් මොහු විශ්‍රාම යවල, වෙන කෙනෙක් මේ තනතුරට පත් කරන්න. දැන් ඔහු විශ්‍රාම අරන් ගෙදර ගියා. අවුරුදු පනහකට පස්සේ තමයි ගෙදර ආවෙ. අද කාලෙ වගේ නෙවෙයි. රජවරු ළඟ ඒ වගේ බරපතළ සේවයකට ගියා නම් එතනම තමයි. ඉතින් අවුරුදු පනහකට පස්සේ ගෙදර ඇවිත් ඇඟ පත සෝදා ගෙන කෑම කන්න සූදානම් වෙනකොට සැරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ලෝකයේ අසරණ මිනිසුන් දිහා බලනවා.

නිරෝධ සමාපත්තියෙන් නැගිටපු කෙනෙකුට දන් වේලක් දුන්නොත් එදාම විපාක ලැබෙන මහා පින්කමක්. මේ අනගි අවස්ථාව කාට හිමිකර දුන්නොත් හොඳයි ද කියලා උන්වහන්සේ ටිකක් ආවර්ජනා කරලා බැලුවා. බලනකොට මේ අසරණයව දැක්කා. ඔහු අවුරුදු පනහක් මනුෂ්‍ය ඝාතන කර්ම කරගෙන අද විශ්‍රාම ගිහින් ගෙදර ඇවිත් තියෙනවා. ආයුෂත් අවසානයි. අද හවස් වෙනකොට මිය යනවා. කෙළින්ම උපදින්නෙ නිරයෙ.
මොකද අනිවාර්යයෙන් මැරෙන මොහොතේ සිහිපත් වෙන්නෙ අර කරපු පාපකර්ම ටික. ඒ නිසා සැරියුත් හාමුදුරුවන්ට කල්පනා වුණා මොහු මේ අපරාධයට පෙළඹුණේ දුෂ්ටකම නිසා නොවෙයි, ජීවත් වෙන්න ක්‍රමයක් නැතිකම නිසා. ඒ නිසා මේ අසරණයාට පිහිට වෙන්න ඕන කියලා සැරියුත් හාමුදුරුවො ඒ නිවසට වැඩම කළා. අර මනුස්සයා බත්පත අරගෙන අනුභව කරන්න සූදානම් වෙනකොටම, සැරියුත් හාමුදුරුවො පාත්තරේ අරගෙන එතන වැඩ සිටියා.
“ස්වාමීනි, වසර පනහක්ම දනක් දෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. ඔබ වහන්සේ වැඩම කළ එක මහා භාග්‍යයක්.” කියලා අර බත් පත සැරියුත් හාමුදුරුවන්ට පූජා කළා. සැරියුත් හාමුදුරුවො ඔහුට පෙනෙන්නටම දානෙ ටික වළඳලා අනුමෝදනාව කරනවා. හැබැයි අනුමෝදනාව කරන කොට ඒක අහගෙන ඉන්නට තරම් මානසික සන්සුන් බවක් මොහුට නැහැ. මතක් වෙන්නෙම අර මරපු හැටි, කොටපු හැටි, ලේ ගලපු හැටි, අඳෝනා නගපු හැටි, ගෙවල් දොරවල්, දරුවො සිහිකරමින් කෑ ගහපු හැටි, බියෙන් වෙවුලපු හැටි, අවුරුදු පනහක අත්දැකීම් සුළු පටු දෙයක් නෙවෙයි. ඉතින් කොහොමද අමතක කරන්නෙ.
එතනදි සැරියුත් හාමුදුරුවෝ අහනවා. “ඔබ අනුශාසනාව ශ්‍රවණය කරගෙනද ඉන්නෙ. එහෙම නැතිනම් ඔබේ මනස වෙනතකද තියෙන්නේ.”
“ස්වාමීනි, මං කොහොමද බණ අහන්නෙ. මට සිහි වෙන්නෙම වසර පනහක් කරපු අකුසල කර්ම”
එහිදී සැරියුත් හාමුදුරුවො පුංචි උපක්‍රමයක් යොදනවා. කුසල් අකුසල් පිළිබඳව, කර්මය පිළිබඳව ඔහු එතරම් දැන උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ නොදන්නා බවම සාධකය හැටියට යොදා ගෙන මොහුගේ මනස වෙනතකට යොමු කළා. සමහර වෙලාවට දන්නෙ නැති එකත් හොඳට හිටින්න පුළුවන්. එනිසයි ඉහත සඳහන් කළේ සමහර වෙලාවට අකුසලයත් කුසලයට උදව් වෙන්න පුළුවන්. කුසලයත් අකුසලයට උදව් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නෙ මනස හසුරුවන ස්වභාවය මතයි.
එතකොට දැන් මේ තැනැත්තා කුසල් අකුසල් පිළිබඳව ලොකු පරිණත භාවයක් නැති කෙනෙක් නිසා සැරියුත් හාමුදුරුවො අහනවා. “ඔබම හිතලද මනුෂ්‍ය ඝාතනය කළේ?”
“නෑ ස්වාමීනි, මම හිතලා කරපු දෙයක් නෙවෙයි. රජ්ජුරුවො කියපු නිසයි මං මැරුවෙ.” ඊට පස්සෙ සැරියුත් හාමුදුරුවො දෙවෙනි ප්‍රශ්නෙ අහනවා.
“වෙන කෙනෙක් කියලා මැරුවහම ඔබට පව් සිද්ධ වෙනවද?”
මේ මනුස්සයට පින් පව් පිළිබඳව ලොකු පරිණත බවක් නැති නිසා මේ සැරියුත් හාමුදුරුවො අහන විදියෙන්, අහන ස්වරයෙන්, ඔහු හිතා ගත්තා. “ආ, රජ්ජුරුවො කියලනෙ මම මැරුවෙ. එහෙනම් මට පාපයක් නෑ.’ කියලා හිත හදාගත්තා. එහෙම හිත හදාගත්ත නිසා ‘දැන් මං ඒකට වැරදි කරුවෙක් නෙවෙයි.’ කියන සිතුවිල්ලත් එක්කම අර අවුරුදු පනහක් මුළුල්ලේ කරපු පාපකර්මය ගැන පශ්චාත්තාපයක් නැතිව භුක්තානුමෝදනාව ගැන අවධානය යොමු කරන්න පුළුවන් වුණා.
ඒ ගැන අවධානය යොමු කරගෙන, හිත පහදවා ගත්තා දුන් දානය ගැන. එදා හවස් වෙන කොට ඔහුගේ ආයුෂ අවසානයි. ඔහු මිය ගියා. මියයන මොහොතේ සිහිපත් වුණේ සැරියුත් හාමුදුරුවන්ට දුන් දානය, ඔහු දෙව්ලොව දේවාත්මභාවයක් ලැබුවා. එතකොට අර අවුරුදු පනහක් කරපු මනුෂ්‍ය ඝාතන කර්ම? කවදා හරි ඒවා විපාක දෙයි. නමුත් කරපු කරපු හැටියට නෙවෙයි. සසර ගමනේ කුසල් අකුසල් විපාක දෙන්නේ මතුවෙන මතුවෙන හැටියටයි. දෙපැත්තෙම ඔය විදියයි. ඒ නිසා අපට ආනන්තරිය පාප කර්මයක් හැරුණුකොට අවශේෂ දුර්වලකම්, අවශේෂ අඩුපාඩු, අවශේෂ පව්කම් අපි අතින් සිදුවුණා වුණත් ඒවා යටපත් කර නැගී සිටින්න පුළුවන්.

