අන්‍යයන් ගැන මීට වඩා සිතමු

rashi
By rashi
3 Min Read

අද මේ පුවත්පතේ 9 වැනි පිටුවේ පළ වන බෞද්ධ ආචාරධර්ම ලිපියෙන් අවධාරණය කෙරෙන්නේ අන් අය කෙරෙහි අප දැනට වඩා සංවේදී වීමේ වැදගත්කම ය.

අපි ඒ තේමාව ම යටතේ, ඒ ලිපියෙහි එන කරුණුවලට අමතර තවත් කරුණු කිහිපයක් මේ තීරයෙන් සාකච්ඡා කරමු.

එදිනෙදා අපට හමු වන බහුතරයක් දෙනා සංවේදී වන්නේ තමන් ගැන ය. තමන් කෙරෙහි සංවේදී වීම යම් සීමාවක් දක්වා ගැටලුවක් නොමැත. එය සමාජ ගැටලුවක් බවට පත් වන්නේ වන්නේ අන්‍යයන්ගේ වපසරිය ද ආක්‍රමණය කරන තරමට ම තමන් ගැන සංවේදී වන විට ය. සාධාරණ ලෙස සිතන අය ඒ සීමාව උල්ලංඝනය නො කරති. තමන්ගේ ක්‍රියාකලාපයෙන් අනෙකා පීඩාවට පත් වන බව ඒත්තු ගිය විගස ඔවුහු පියවරක් හෝ ආපස්සට ගනිති.

එහෙත් අද අපට ඇසුරු කරන්නට ලැබෙන බොහෝ මිනිස්සු ඒ ආකාරයේ සාධාරණ අය නො වෙති. ඔවුන්ගේ දැක්ම වී තිබෙන්නේ ජීවිතය ජයගන්නට නම් අකැමැත්තෙන් නමුත් අනුන්ගේ අවස්ථාවන් හා සම්පත් ද පාවිච්චි කරන්නට සිදු වන බව ය.

එය විවිධ ආකාරවලින් සිදු වේ. අප සාමාන්‍යයෙන් සොරුන් යැ යි කියන්නේ අන් සතු දේ බලහත්කාරයෙන් කොල්ලකන අයට ය. එහෙත් මුසා බස් කියමින් අනුන් මුළා කර තමන්ගේ ගොඩ වැඩි කරගන්නා අය ද කරන්නේ සොරකම ම ය.

අනුන් කෙරෙහි වන මේ අසංවේදී බව හේතුවෙන් සමාජයේ විශාල පිරිසක් දැඩි පීඩාවකට පත් ව සිටිති. විශේෂයෙන් ම අවංක හා වැඩි යමක් කරකියා ගැනීමේ හැකියාවක් නොමැති අය මේ අසාධාරණයට ඛේදජනක ලෙස ගොදුරු වෙති.

තමන්ගේ පැවැත්ම ම ප්‍රමුඛත්වයේ ලා සලකන සමාජයක් යනු එක ම පොර පිටියකි. සම්පත් සීමිත ය. ඒ සීමිත සම්පත් ප්‍රමාණය අත්පත් කරගැනීම සඳහා සැම විට ම පොරපිටියෙහි පොරබදන්නේ ඇති හැකි එක ම පිරිසකි. අසරණ අයට කරන්නට ඉතිරි ව ඇත්තේ ඒ දෙස හූල්ලමින් බලා සිටීම පමණි.

හැම දෙයක් ම ලැබෙන්නේ යහමින් මුදල් හදල් අත ගැවසෙන අයට බව මෙවැනි සමාජයක ආදර්ශ පාඨය වී ඇත. නිදසුනක් ලෙස අද වැඩි වියදමක් දරන්නට අපොහොසත් ජනතාවට ලැබෙන සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් දැ යි බලන්න. පිළිකා රෝගීන්, හෘද රෝගීන් මේ නිසා කෙතරම් අසරණ වනවා ද බලන්න. මෙය නරක ආදර්ශයකි. මෙයින් සිදු වන්නේ යහපත් මිනිසුන් ද අදමිටු ජීවනෝපායන් වෙත තල්ලු වීම ය. අනුන් වනසා හෝ වැඩියෙන් සම්පත් උපයාගෙන තමන්ගේ ජීවිත අවදානම අඩු කරගැනීමට ඔවුන් පෙලඹෙනු ඇත.

ඉහළ සිට පහළ දක්වා සියලු දෙනා මේ ආකල්පයෙන් ක්‍රියා කරන්නට ගිය හොත් යුක්තිසහගත සමාජයක් යන සංකල්පයට අත් වන කලදසාව කුමක් ද? බුදුදහමේ ඉගැන්වීම්වලට අමු අමුවේ පටහැනි වන ක්‍රියාකාරකම් කරමින් තම අභිවෘද්ධිය සලසාගන්නට කටයුතු කරන අය කෙතරම් දැවැන්ත පින්කම්වල යෙදුණත් ඇති ඵලය කුමක් ද? එයින් ඒ සියලු පාප කර්ම සේදී ඉවත් වන්නේ ද?

අපි මීට වඩා අන්‍යයන් කෙරෙහි සංවේදී විය යුතු වෙමු. ඔවුනට ද ජීවත් වීම සඳහා ඇති අයිතියට ගරු කළ යුතු වෙමු.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *