මිතුරු ඇසින් වනපෙත බලමු: වන හා වනජීවී සංරක්ෂණය පිළිබඳ බෞද්ධ ආකල්ප

cmadurawala
14 Min Read

මහාචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි

ඈත ධූලියෙන් වැසී ගිය ඇත්රජය. මෑත සවණක් ඝන බුදුරැසින් බබළන බුදුරජාණෝ ය. ඈත කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජය. මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝ ය…”

සොළොස් කළයක් රා පොවනු ලැබ තිරිසන් ගති ඉස්මතු වූ කල්හි බුදුහිමියන් නසන්නට එවුණු නාලාගිරි හස්තිරාජයා උන්වහන්සේ වෙතට පැමිණි අවස්ථාව බුත්සරණ කතුවර විද්‍යාචක්‍රවර්තීන් විසින් විස්තර කරන ලද්දේ එලෙසිනි.

නාලාගිරි ඇතු ළැව් ගින්නක් මෙන්, දරුණු වූ හෙණයක් මෙන් භයානක වූ වේශයක් සහිතව බුදුහිමියන් වෙතට පැමිණි බව කියැවේ. ඡද්දන්ත කුලයේ ඇතුන් දස දෙනකුට ඇති කාය බලය තනි බුදුරදුන්ට ඇතත් උන්වහන්සේ නාලාගිරිට එරෙහි ව ඇඟිල්ලකුදු නොඑස වූහ. බුදුහිමියන් විසින් ඉසින ලද්දේ මෛත්‍රී ජලය පමණි. ළැව් ගින්න නිවුණි. නාලාගිරි ඇතා බුදුහිමියන්ගේ සිරිපා මුල වැඳ වැටිණි. නාලාගිරිට යහපතක්ම විය.

වනයෙහි වසන ඇතුන් වනයට බෙහෙවින් ඇලුම් කරතියි මඡ්ඣිමනිකායේ දන්තභූමි සූත්‍රයේ සඳහන් වේ. එබැවින් සිත්කලු වනයෙන් ඇතකු රාජධානියට ගෙනයනු ලැබීම ඇතුට දුකක් බවට හිස ජාතකයේ එන සඳහන වටහා ගන්නට තවත් අටුවා විස්තර අවශ්‍ය නොවේ. එහෙත් මිනිසුන් විසින් බලය යොදනු ලැබ සිය ග්‍රහණයට ගනු ලැබූ ඇතුන් මිනිසුන්ගේ වචනය අනුව පවතින බවද දන්තභූමි සූත්‍රයේ ම දැක්වේ. කොතෙක් හීලෑ වුවද ඇතුන් ඇතුළු සතුන් පිළිගැනීම ගිහිගෙයින් ඉවත් ව කහවත් හැඳ පැවිදි වූ තැනැත්තාට නොගැළපෙන බව චුල්ලහත්ථිපදොපම සූත්‍රයේ දැක්වෙයි.

මේ ඇරඹුම, ඇතුන් පිළිබඳ යමක් ලියන්නට නම් නොවෙයි. අලි ඇතුන් මරා දැමීම පිළිබඳවත් අලි ඇතුනට නොයෙක්විට හිරිහැර පැමිණ වීම ගැනත් මේ දිනවල බෙහෙවින් අසන්නට ලැබෙන බව සත්‍යයකි. එබඳු ව්‍යසනයකට මඟ පෑදෙන නොසැලකිලිමත්කම පිළිබඳව සැලකිලිමත් වන ලෙස අයදිමින් බණ පොතපත ඇසුරින් සොබා දහම පිළිබඳ කරුණු කිහිපයක් ගොනු කරන්නටයි. ‘ඇතා සියලු වනසතුන් අතර අග්‍ර වෙයි. ඇතු සුවසේ වෙසෙන කල සියලු සත්තු ද සුවසේ වෙසෙති. සොබා දහම ද අනුකූල වූයේ වෙයි’ යනුවෙන් සිතා ඇතු පිළිබඳ සටහනකින් ඇරඹිණි.

එක් අතකින් බලනවිට, තුරු ලිය වැනසීමෙහි යෙදුණෝ හැම කලෙක ම වූහ. මතු කල ද බිහි වනු ඇත. “එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතා අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ

බීජගාමභූතගාමසමාරම්භා අප්පටිවිරතා” (එසේ ම මහාණෙනි, තුරු – ලිය වැනසීමේ ක්‍රියාවෙන් වැළකුණා හූ ටික දෙනෙකි. තුරු – ලිය වැනසීමේ ක්‍රියාවෙන් නොවැළකුණාහූ බොහෝ දෙනෙකි.) යනුවෙන් ඒ බව පෙන්වා දී එබැවින් තමා උත්සාහවත් විය යුතු යැයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට දේශනා කළ අයුරු සංයුත්තනිකායේ බීජගාම සූත්‍රයේ සඳහන් වී තිබේ.

අනෙක් අතින් බලනවිට, සංයුත්තනිකායේ සනිදාන සූත්‍රයේ දැක්වෙන පරිදි තුරු-ලිය රැක ගැනීමෙහි උත්සුක වූවෝ ද හැම කලෙක ම වූහ. මතුවට ද පහළ වනු ඇත. “සෙය්‍යථාපි භික්ඛවෙ, පුරිසො ආදිත්තං තිණුක්කං සුක්ඛෙ තිණදායෙ නික්ඛිපෙය්‍ය, තමෙනං හත්ථෙහි පාදෙහි ච ඛිප්පමෙව නිබ්බාපෙය්‍ය, එවං හි භික්ඛවෙ, යෙ තිණකට්ඨනිස්සිතා, පාණා, තෙ න අනයව්‍යසනං ආපජ්ජෙය්‍යු” (මහණෙනි, යම් සේ පුරුෂයෙක් ගිනිගත් තණ හුළක් වියළි තණ ලැහැබක දමන්නේ නම් එය වහාම අතින් පයින් නිවා දැමිය යුතුය. මහණෙනි, එසේ කළ කල්හි තණ හා දැව ඇසුරු කළ යම් ප්‍රාණීහූ වෙත් ද ඔවූහු විනාශයට නොපැමිණෙන්නෝ ය) එබැවින් කවර අයුරකින් හෝ සොබා දහමට එරෙහි ව එල්ල වන විපත් වළක්වා එහි ස්වාභාවික පැවැත්මට ඉඩදීම සංවේදී මිනිසාගේ වගකීමක් ද වේ.

වනය විනාශ කරන්නන්ගෙන් එය රැකගන්නට වනසංරක්ෂණ නිලධාරියෙක් පත්කරන ලද්දේ අද ඊයේ නොවෙයි. බුදුරදුන් වැඩ සිටිය දවස ද වනසංරක්ෂණ නිලධාරීහු සිටියහ.

චූලගොසිංග සූත්‍රයේ සඳහන් වන ‘දායපාල’ එබඳු වනසංරක්ෂණ නිලධාරියෙකි. වනය දානය කරන දෙය ලබාගැනීම වරදක් නොවුණත් රිසිරිසි අයුරින් රිසිරිසි තැනින් වනයට ඇතුළු වී මල්, ඵල, ඉටි හෝ දැව ගෙන යෑම වනයට අවැඩ සැලසීමකි. එනිසා අවිචාරවත් ලෙස විනාශ කිරීමට ඉඩ නොදී එය රැකබලා ගන්නා තැනැත්තා දායපාල යැයි අටුවාව විස්තර කරයි. ඒ මෙසේය.

“දායපාලොති අරක්‍ද්ක්‍දපාලො. සො තං අරඤ්ඤං යථා ඉච්ඡිතිච්ජිතපදෙසෙන මනුස්සා පවිසිත්වා තත්ථ පුප්ඵං වා ඵලං වා නිය්‍යාසං වා දබ්බසම්භාරං වා න හරන්ති, එවං වතියා පරික්ඛිත්තස්ස තස්ස අරඤ්ඤස්ස යොජිතෙ ද්වාරෙ නිසිදිත්වා තං අරඤ්ඤං රක්ඛති, පාලෙති, තස්මා දායපාලොති වුත්තො.” (දායපාල යනු වනආරක්ෂකයා යි. හෙතෙම ඒ වනයට යම්සේ කැමැති කැමැති තැනින් මිනිසුන් ඇතුළු වී කැමැති කැමැති පරිදි එහි මල් හෝ ගෙඩි හෝ ලාටු (ඉටි) හෝ ලී දඬු නොගෙන යන පරිද්දෙන් වටකොට වැට බැඳි ඒ වනයට ඇතුළු වීමට යොදන ලද දොරටුවෙහි හිඳ ඒ වනය රකියි. පාලනය කරයි නුයි දායපාල යැයි කියන ලද්දේ.)

එදා ඒ නිලධාරියා තම කාර්යය මැනවින් ඉටු කළේය. වනයටත් වනයේ වසන සියලුදෙනාටත් ඔහුගේ ආරක්ෂාව සැලසිණි. ඔහුගේ අවසරයකින් තොරව ගොසිංග සාල වනයට කිසිවකුට ඇතුළු වීමට නොහැකි විය. එහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ පවා වැළැක්වීමට ඔහු ඉදිරිපත් වූ අයුරු මජ්ඣිමනිකාය චූලගොසිංග සූත්‍රයේ සඳහන් වේ.

අකුශල ධර්ම දුරු කොට කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීමෙන් පුද්ගලයා වැඩීමටත් දියුණුවටත් පත්වන ආකාරය පැහැදිලි කරදීම සඳහා සල්වනයක් සංරක්ෂණය කරන ආකාරය උපමා කොට කරන ලද දේශනයක් මජ්ඣිමනිකාය කකචූපම සූත්‍රයේ දී දැකගත හැකිය.

“මහණෙනි, යම්සේ ගමක් හෝ නියම් ගමක් හෝ අසල මහත් සල්වනයක් වේද, එය ද පිළිලයෙන් වැසී ගත්තේ වේද, එම සල්වනයට හිතැති කිසියම් පුරුෂයෙක් පැමිණ වක් වූ ඕජා ගලා බස්නා වූ සල් පැළ කපා ඉවත් කරන්නේ ය. ඇතුළත මැනවින් ශුද්ධ කරන්නේය. ඍජු වූ මැනවින් වැඩුණු සල් පැළ පෝෂණය කරන්නේ ය. මහණෙනි මෙසේ ඒ සල් වනය පසු කලෙක වැඩීමට දියුණුවට විපුලත්වයට පැමිණෙන්නේ ය.”

වනය පමණක් නොව වනජිවීන් රැකගැනීම සඳහා ද ගතයුතු ක්‍රියා මාර්ගය උපමාවක ස්වරූපයෙන් මජ්ඣිමනිකාය ද්වෙධාවිතක්ක සූත්‍රයේ දැක්වේ.

“සෙය්‍යථාපි භික්ඛවෙ අරඤ්ඤ පවනෙ මහන්තං නින්නං පල්ලලං, තමෙනං මහාමිගසංගො උපනිස්සාය විහරෙය්‍ය. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්‍ය අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමො, සො ය්වාස්ස මග්ගො ඛෙමො සොවත්ථිකො පීතිගමනීයො, තං මග්ගං පිදහෙය්‍ය වාරෙය්‍ය කුම්මග්ගං ඔදහෙය්‍ය ඔකචරං, ඨපෙය්‍ය ඔකචාරිකං එවං හි සො භික්ඛවෙ මහාමිගසංගො අපරෙන සමයෙන අනයව්‍යසනං තනුත්තං ආපජ්ජෙය්‍ය. තස්සෙව ඛො පන….”

(මහණෙනි, මහවනයෙහි වනලැහැබක මහත් වූ නොගැඹුරු කුඩා විලක් වේද එය ඇසුරු කොට මහ මුවරැළක් වාසය කරති. ඒ මුවරැළට අවැඩ කැමැති, අහිත කැමැති කිසියම් පුරුෂයෙක් ඒ විලට එන පහසු මාර්ග වසන්නේ ය. දුෂ්කර මාර්ගය විවෘත කරන්නේ ය. ජලයෙහි හැසිරෙන (ඡායා) මුවකු හා මුවදෙනක සිටුවන්නේ ය. මෙසේ පසු කලෙක ඒ මුවරැළ අනයව්‍යසනයට, කුඩා බවට පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ මුවරැළට ම වැඩ, හිත කැමැති කිසියම් පුරුෂයෙක් ඒ විලට පහසු මාර්ග විවෘත කරන්නේ ය. දුෂ්කර මාර්ගය වසා දමන්නේ ය. ඡායා මුවා සහ මුව දෙන බැහැර තබන්නේ ය. මෙසේ පසුකලෙක ඒ මුවරැළ වැඩීමට, පැතිරීමට, මහත් බවට පැමිණෙන්නේ ය.”

‘වනං ජින්දථ මා රුක්ඛං’ යනුවෙන් දේශිත දහමට අනුව ගස නොකපන ලෙස පැහැදිලිවම බුදුහිමියෝ කීහ. එහි සඳහන් ‘වනං’ යන්නෙන් ක්ලේශයන් ගැනිණි. ඒ අනුව නැසිය යුත්තේ කැපිය යුත්තේ කෙලෙස් මිස ගස් නම් නොවේ.

සම්‍යග්ඥානයෙන් යුක්ත වූ ආර්ය වූ සන්තෝෂයෙන් යුක්ත වූ එමෙන්ම ආර්ය ඉන්ද්‍රීය සංවරයෙන්ද ආර්ය වූ සිහි කල්පනාවෙන් ද යුක්ත වූ තැනැත්තේ මහ වනපෙත්ය. වෘක්ෂමූලයය. පර්වතය. කන්දර (කඳුරු) ය. ගිරිගුහා ය, සොහොන ය යනාදි විවේක සෙනසුන් ඇසුරු කරන බව බුදුහිමියන් විසින් දේශනා කරන ලද අයුරු මජ්ඣිමනිකායේ දේවදාහ සූත්‍රයේ සඳහන් වේ. එබඳු සිහි කල්පනාවෙන් යුත් ඇත්තනට එබඳු ම වූ මහ වනපෙත් ආදිය ඇසුරු කරන ලෙසට බුදුහිමියන් උපදෙස් දෙති යි ගණක මොග්ගල්ලාන සූත්‍රයේ සඳහන් වේ. එවන් උපදේශයක් දෙනුයේ සිය අත්දැකීමෙන් ම පසක් කරගත් සත්‍යය තවත් බොහෝ දෙනකුට අත්විඳින්නට අවස්ථාව සලසා දෙමිනි. එදා, එනම් විසා නැකතට සඳ පැමිණි වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනට පෙර දින, බුදු වූ දිනට පෙර දින ගයා නදී තෙර වූ සොඳුරු පරිසරය බුදු බව ලබනුවට අවැසි නිසසල බව සැලසූ අයුරු මජ්ඣිමනිකායේ අරියපරියෙසන සූත්‍රයේ මෙසේ දැක්වෙයි.

“…යෙන උරුවෙලා සෙනානි නිගමො තදවසරිං තත්ථද්දසං රමණියං භූමිභාගං පාසාදිකං ච වනසණ්ඩං නදිං ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං රමණීයං සමන්තා ච භූමිභාගො පාසාදිකො ච වනසණ්ඩො නදී ච සන්දති සෙතකා සුප්පතිත්ථා රමණීයා සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායාති. සො ඛො අහං භික්ඛවෙ තත්ථෙව නිසිදං අලමිදං පධානායාති.”

(මහණෙනි, ඒ මම කුසලය කුමක් දැයි සොයනසුලු වූයෙම් අනුත්තර, උතුම් නිර්වාණ පදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරන්නෙම්. උරුවේලායෙහි සේනානි ග්‍රාමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමිභාගය ද සිත් පහදවන වනලැහැබ ද වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු ගලා බස්නා නදිය ද හාත්පස ගොදුරු ගම ද වෙයි. ප්‍රධන් වීර්යය හෙවත් නිර්වාණාවබෝධය සඳහා වන උත්සාහය කරනු කැමැති කුලපුත්‍රයකුට ඒ සඳහා මෙය සුදුසු මය. මහණෙනි, ඒ මම ප්‍රධන් වීර්යය පිණිස මෙය සුදුසු ම යැයි සිතා එහි ම (බෝමැඬ) හුන්නෙමි.)

ගසක් යට ඉපදී ගසක් යට දී බුදු ව ගසක් යට දී ම පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර තුරු ලිය උපමා කොට කරන ලද දේශනා බොහෝ ය. ඒ හැරුණු විට උන්වහන්සේ වැඩ වසන තැන හැඳින්වුණේ ද “ආරාම” යන නම සහිතවය. ජේතවනාරාමය, වේළුවනාරාමය, පූර්වාරාමය එබඳු ප්‍රධාන ආරාම කිහිපයකි.

සමන්තපාසාදිකාවේ දී ‘ආරාම’ යන්නට අටුවා කියා ඇති පරිදි “ආරාමො නාම පුප්ඵාරාමො ඵලාරාමො” ආරාමය නම් මල් උයන, පලතුරු උයන යි. ඒ අනුව ‘ආරාමය’ යන්න තුරුලිය සහිත ස්ථානයක් හැඳින්වීම සඳහා යොදන ලද බව පෙනේ. බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වැඩසිටි ආරාම පිළිබඳව දැක්වෙන තොරතුරුවලින් පැහැදිලි වන්නේ ද එම ස්ථාන ගහ කොළ සහිත ව ස්වාභාවික වටපිටාවකින් යුක්ත වූ බවය. ජේතවනාරාමය, වේළුවනාරාමය, වැනි ප්‍රමුඛ ආරාම විශාල ගොඩනැඟීම්වලින් යුක්ත වුවද ඒවා පිහිටි භූමි උද්‍යාන ලෙස ම පැවැතිණ. රජගහනුවර ආරාම, වනභූමි හා පොකුණුවලින් රමණීය ව පෙනෙන බව මජ්ඣිමනිකායේ ගණකමොග්ගල්ලාන සූත්‍රයෙහි සඳහන් වේ.

රජගහ නුවර පැවැති වේළුවනයෙහි රමණීය බව ආනන්ද හිමියන් සහ වස්සකාර අතර වූ සාකච්ඡාවකදී ඔවුන් දෙදෙනා වෙතින්ම ප්‍රකාශ වී ඇති අයුරු ගොපකමොග්ගල්ලාන සූත්‍රයේ දී දැකගත හැකිය.

කරුණාවෙන්, මෛත්‍රියෙන් සිතක් යම් තරමකට පිරිණි ද ඒ පමණට ම සුන්දර වනපෙතට ද ඒ සිත දරන්නාගෙන් හානියක් නොවේ. කුලුණින්, මෙතින් යුත් සිතක් ඇති තැනැත්තා තුරුලියට මතු නොව තණපතකට ද හානියක් නොකරයි. සියතින් හි තණ බිඳ පන්සලක් සෑදූ අයෙක් ඒ නිසා ම ‘සරභංග’ නමින් ප්‍රකට වූහ. තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව උන්වහන්සේ ඒ ක්‍රියාවෙන් පසුව වැළකුණු බව සාරභංග ථෙරගාථාහි සඳහන් වේ. ලොමසකංගිය තෙරුන් වහන්සේ ද තමාගෙන් තණපතකට හෝ හානියක් නොවන ලෙසට කටයුතු කළ බව ථෙරගාථාහි සඳහන් කළහ.

තථාගතයන් වහන්සේ ගී ගැයුම් හෝ වැයුම් ආදියෙන් නැතිව හුදෙකලා වූ වනයන් ආශ්‍රය කිරීමත් එබඳු වනයන්හි හුදෙකලාව, එහෙත් සතුටු සිත් ඇති ව වාසය කිරීමත් භාරද්වාජගොත්ත බ්‍රහ්මණයාට නම් පුදුමයක් විය. ඉහාත්ම සුඛ විහරණයන් පශ්චිම ජනතාව කෙරෙහි වූ අනුකම්පාවක් යන හේතු දෙක නිසා තථාගතයන් වහන්සේ මහ වනපෙත් ඇසුරු කරන බව පෙන්වා දී ඇති අයුරු අංගුත්තරනිකායේ දැක්වේ.”

සමාධිය නොලබනවුන්ට වනපෙතෙහි සිත් ඇලවිය නොහැකි වෙයි. එබන්දනට වනපෙතෙහි විවේකය දුෂ්කර වෙයි. අභිරමණය සුකර නොවෙයි යනුවෙන් බුදුහිමියන් විසින් උපාලි හිමියන්ට කරුණු පැහැදිලි කර දෙමින් කරන ලද දේශනයක්ද අංගුත්තරනිකායේ එයි.

ශාරිපුත්‍ර, මෞද්ගල්‍යායන, මහාකාශ්‍යප, රේවත, ආනන්ද යන මහාශ්‍රාවකයන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේ වනපෙතෙහි සුන්දරත්වය දුටු අයුරු මජ්ඣිමනිකායේ මහා ගොසිංග සූත්‍රයේ දැක්වේ. එකී ක්ෂිණාශ්‍රවයන් වහන්සේලා ගොසිංග සාල වනහෙහි සුන්දරත්වය මෙසේ විස්තර කරති.

“රමණීයං ආවුසො ආනන්ද; ගොසංගසාලවනං, දොසිනා රත්ති, සම්බපාලිපුල්ලාසාලා දිබ්බා මඤ්ඤෙ ගන්ධා සම්පවන්ති…”

“ගොසංග සාල වනය සිත්කලුය. රාත්‍රිය සඳරැසින් යුක්ත ය. සල් තුරු මුල පටන් අග දක්වා පිපුණේ වෙයි. සුවඳ හමයි. ඒ සුවඳ දිව්‍යමය වූවක් ලෙස හඟිමි.’

අට්ඨකතාව කියන පරිදි ගොසංග සාලවනය සිත්කලු වූයේ සල්තුරු නිසාම පමණක් නොවේ. මුල සිට අග දක්වා හැම සල්තුරු මලින් සෑදී සිටීමත් එනිසාම දිව්‍යමය වූ සුවඳකින් පිරී යෑමත් හේතුවෙන් එසල් වනය සුන්දර සංකල්පනා බිහි කරනු පිණිස දායක වන්නට ඇති. ගමෙන් බැහැර ඇති නොයෙක් තුරු රැසින් ගැවසී ගත්, බොහෝ සෙවණ ඇති මල් පලවලින් යුත් විවිධ තුරු ඇති, දිය ඇති වනය රමණීය වෙයි. එබඳු වනයක සිත් අලවන්නට නොහැක්කෝ නම් කාම සම්පත් ම සොයන්නෝය. ඔවුනට එබඳු වනයක සුන්දර බව දක්නට නොහැකි වෙයි. සුපිපි තුරු ලිය, අතුපතර විහිදුණු වනස්පති දකින එබඳු ඇත්තන්ගේ මනසට නැඟෙනු ඇත්තේ එය “මුදලින්” කොතරම් අගය කළ හැකි ද යනු විය හැකිය. එසේ වුවත් රාගය දුරු කළ තැනැත්තෝ මේ එබඳු වනයක සුන්දර බව නිරාමිස නෙතින් දකිති. නිරාමිස සිතින් විඳිති.

“රමණීයානි අරඤ්ඤානි යත්ථ න රමති ජනො,
විතරාගා රමෙස්සන්ති න තෙ කාමගවෙසිනො’

එබඳු උතුමන් වසන තැන කුමක් වුවද එතැන රමණීය භූමියක් වන බවද කියැවේ.

“ගාමෙ වා යදි වාරඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ,
යත්ථ අරහන්තො විහරන්ති තං භූමිං රාමණෙය්‍යකං”

ඒ අනුව සියලු රමණීය බව අබිබවා මිනිසා පිළිබඳ රමණීය බව ම වැදගත් වෙයි. මිනිස් සිත රමණීය වූ විට අනෙක් සියලු දෑ රමණීය වෙයි. එබැවින් සුදේශික බුද්ධවචනයෙන්, ‘මනා ව නිමවන ලද ආරාම, වන, පොකුණු පිළිබඳ සුන්දරත්වය මිනිසා පිළිබඳ සුන්දරත්වයෙන් දහසයෙන් කොටසක් තරම් වත් නොඅගී’ යන්නෙන්, සමස්ත ස්වාභාවික පරිසරයම සුන්දර මිනිසාගෙන් සුරක්ෂිත බව හඟවයි.

“ආරාමචෙත්‍යා වනචෙත්‍යා පොක්ඛරඤ්ඤා සුනිම්මිතා,
මනුස්සරාමණෙය්‍යස්ස කලං නාග්ඝති සොළසිං”

එබඳු සුන්දර සිත් ඇති උතුමන් රැසක් පළමු කී රමණීය ගොසිංග සාල වනයෙහි වසන විට ඒ වනය කොතරම් සුන්දර වන්නට ඇත් ද?

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *