ව්‍යග්ඝපජ්ජ සූත්‍රය

cmadurawala
11 Min Read

මෙලොව හිත සුව සඳහා අවශ්‍ය වන ධනය සැපයීම හා ධනය රැක ගැනීම ආදිය පිළිබඳවත් එමෙන් ම ලෝකෝත්තර අර්ථ සිද්ධිය සඳහා අනිවාර්යයෙන්ම වගා කළ යුතු ආගමානුකූල චරිත වර්ධනය පිළිබඳවත් පූර්ණ උපදෙස් සපයයි.

ව්‍යග්ඝපජ්ජ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි කක්කරපත්ත නම් කොලියන්ගේ නියම් ගමෙක්හි වැඩ වාසය කරන සේක.

එකල්හි වනාහි දීඝජාණුනම් කොලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට එළඹ උන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක්හි හුන්නේ ය. එකත් පසෙක්හි හුන් දීඝජාණු කොලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේ ය.

ස්වාමිනි! අපි ගිහිව පස්කම් සැප වළඳමින් අඹු දරුවන්ගේ පීඩා සහිතව හෝනාහු වසන්නමු. කසී රට උපන් සුවඳ සඳුන් පරිභෝග කරම්හ. මල් ගඳ විලවුන් දරම්හ. රන් රිදී මසු කහවණු ඉවසම්හ. ස්වාමිනි, භාග්‍යවත් තෙමේ ඒ අප හට මෙලෝ හිත සුව පිණිස පරලෝ සුව පිණිස යම් ධර්ම කෙනෙක් වෙද්ද අපට එසේ වූ ධර්මයක් ද දෙසන සේක්වා. ව්‍යාඝ්‍රපද්‍යය, මේ සතර ධර්මයෝ කුල පුත්‍රයන්ගේ මෙලෝ හිත පිණිස මෙලෝ සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක් ද යත්?

  1. නැඟී සිටින වීර්‍ය්‍යයයි කියන ලද උත්සාහ සම්පත්තිය,
  2. උත්සාහයෙන් උපයාගත් වස්තුව රැක ගැනීම යයි කියන ලද ආරක්ෂා සම්පත්තිය,
  3. යහපත් මිතුරන් සේවනය කිරීම යයි කියන ලද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය,
  4. වස්තුවෙහි පමණ දැන සමව ජීවත්වීම යයි කියන ලද සමජීවිකතාව යනුයි.

ව්‍යාඝ්‍රපද්‍යය, උත්සාහ සම්පත්තිය කවරී ද?

ව්‍යාඝ්‍රපද්‍යය, මේ ලෝකයෙහි කුල පුත්‍ර තෙමේ යම් කර්මාන්තයෙකින් (රක්ෂාවෙකින්) ජීවිකාව කෙරේ නම් ඉදින් සී සෑමෙන් හෝ වෙළෙඳාමෙන් හෝ, ගවපාලනයෙන් හෝ, දුනු ශිල්පයෙන් හෝ වෙන යම් කිසි ශිල්පයෙකින් හෝ දිවි පවත්වා ද ඒ සියලු කර්මාන්තයෙහි දක්ෂ වේද? මැළි නො වේද, ඒ ඒ නියම කාලයෙහි ඒ ඒ කර්මාන්ත කරනට සුදුසු යයි සිතා උපාය දැන ගැනීමෙහි යුක්ත වූයේ වේද, ඒ ඒ කර්මාන්තය කරන්නට සමර්ථවේ ද, කරවන්නට සමර්ථ වේද, මෙකී අයුරින් වස්තු රැස් කිරීම උත්සාහ සම්පත්තිය යි කියනු ලැබේ.

ව්‍යාඝ්‍රපද්‍යය, ආරක්ෂා සම්පත්තිය කවරී ද?

ව්‍යාඝ්‍රපද්‍යය, මේ ලෝකයෙහි කුල පුත්‍රයා හට උට්ඨාන වීර්‍ය්‍යයෙන් ලැබුවා වූ, දෙ අත් බලයෙන් රැස් කරන ලද, ඩහදිය වගුරුවා සපයන ලද්දා වූ ධාර්මික වූ, දැහැමින් ලබන ලද්දා වූ උපභෝග පරිභෝග වස්තු වෙයි ද එසේ මා විසින් රැස් කළ භෝගයන් කෙසේ නම් රජ දරුවෝ පැහැර නො ගන්නාහු නම් සොරහු පැහැර නො ගන්නාහු නම්, ගින්න නොදවන්නේ නම් දිය පහර ඇදගෙන නොයා නම්, අප්‍රිය වූ නෑයෝ පැහැර නොගන්නාහු නම් යහපතැයි සිතා මෙසේ රැකීමෙන්, සොයා බැලීමෙන් සපයන්නේ ය.

මෙකී අයුරින් වස්තු රැක ගැනීම ආරක්ෂා සම්පත්තිය යි කියනු ලැබේ.

ව්‍යාඝ්‍රපද්‍යය, කල්‍යාණ මිත්‍රතාව කවරී ද?

මේ ලෝකයෙහි කුල පුත්‍රයෙක් තෙමේ යම් ගමෙක්හි හෝ නියම් ගමෙක්හි වෙසේ ද, එහි යම් ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ වැඩුණු ස්වභාවය ඇති වයසින් වැඩි සිටියා වූ හෝ අය වෙත් ද, ඔහු ශ්‍රද්ධාවෙන් ද, ශීලයෙන්ද, ත්‍යාගයෙන් ද, ප්‍රඥායෙන් ද යුක්ත වූවාහු ද, ඔවුන් සමග එක්ව සිටී ද, කථා කෙරේ ද, සාකච්ඡාවට පැමිණේ ද, යම් බඳු වූ ශ්‍රද්ධා සම්පන්නයන්ගේ ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මේ ද යම් බඳු වූ ශීල සම්පන්නයන් ගේ ශීල සම්පත්තිය අනුව හික්මේ ද, යම් බඳු වූ ත්‍යාග සම්පන්නයන්ගේ ත්‍යාග සම්පත්තිය අනුව හික්මේ ද, යම් බඳු වූ ප්‍රඥා සම්පන්නයන්ගේ ප්‍රඥා සම්පත්තිය අනුව හික්මේ ද යන මෙය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය යි කියනු ලැබේ.

ව්‍යාඝ්‍රපද්‍යය, සම ජීවත්වීම කවරේද?

මේ ලෝකයෙහි කුල පුත්‍ර තෙමේ භෝගයන්ගේ අය ද වැය ද විමසා දැන ඉතා වැඩිත් නොකොට අඩුත් නොකොට මෙසේ කිරීමෙන් මාගේ අය – වැය ඉක්මවා සිටින්නේ ය. මාගේ වැය අය ඉක්මවා නොසිටින්නේ යයි සමවජීවිකාව කෙරෙයි.

ව්‍යාඝ්‍රපද්‍යය, යම් සේ තරාදියෙන් බඩු කිරණ පුරුෂයෙක් හෝ තුලාධාරයාගේ අතැවැසියෙක් හෝ තරාදිය ගෙන මෙපමණ බරින් පහතට වැටුණේ ය, මෙපමණ බරින් උස් වූයේ යයි දනී ද, එපරිද්දෙන් ම කුල පුත්‍ර තෙමේ භෝගයන්ගේ අය ද වැය විමසා දැන ඉතා වැඩිත් නො කොට ඉතා අඩුත් නො කොට වස්තුවෙහි පමණ දැන වියදම් කොට, මෙසේ කිරීමෙන් මාගේ අය වැය ඉක්මවා සිටින්නේ ය. වැය අය ඉක්මවා නො ම සිටින්නේ යයි වස්තුන්ගේ පමණ දැන වියදම් කිරීමෙන් සමව ජීවිකාව කෙරෙයි.

ව්‍යාඝ්‍රපද්‍යය ඉදින් මේ කුල පුත්‍ර තෙමේ ස්වල්ප වූ අය ඇතිව බොහෝ වියදම් කිරීමෙන් ජීවිකාව කෙරේ ද, ඕ හට අවිචාරයෙන් දිඹුල් ඵල කෑම මෙන් මේ කුල පුත්‍ර තෙමේ සම්පත් කා නසන්නේය යි කියන්නාහු වෙති.

ව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ මහත් වූ අය ඇතියේ දුකසේ ජීවිකාව කෙරේද, ඕහට මේ කුල පුත්‍ර තෙමේ භෝගය අනුභව නොකොට අනාථ මරණයෙන් මිය යන්නේ යැයි කියන්නාහු වෙති.

යම් හෙයකින් ව්‍යාඝ්‍රපද්‍යය, මේ කුලපුත්‍ර තෙමේ

භොගයන්ගේ අය වැය ද විමසා දැන ඉතා වැඩි නො කොට ඉතා අඩු නො කොට මෙසේ මාගේ අය වැය ඉක්මවා සිටින්නේ ය. මාගේ අය වැය ඉක්මවා නොසිටින්නේ යයි සම ජීවිකාව කෙරේ ද මෙය සමජීවිකතා යයි කියනු ලැබේ.

උදුම්බරඛාදිකං – දිඹුල් කනු කැමතියේ ගසකට නැඟ අතු සොලවා අමු හා පැසුණු ඵල වැටුණු කල පැසුණු ඵල පමණක් කා සෙසු ඵල වුසුරුවා හැරියේ,එමෙන් ම ආදායමට වඩා වියදම් කරනුයේ දිඹුල් ඵල කන්නකු මෙනැ යි කියති.

අජද්ධුමරණං – අනාථමරණං- අනුභව කරනුයේ ජද්ධු නම් අනුභව නොකරනුයේ අජඬු නමි.එහෙයින් අජද්ධු මරණ නම් නො කන්නාහුගේ මැරීමයි හෙවත් නො කා මැරීමයි.

ව්‍යාඝ්‍රපාදය, මෙ සේ උපදනා ලද භොගයනට වැනසෙන දොරටු සතර දෙනෙක් වෙති.

  1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේ වේද
  2. මත්පැන් බීමෙහි ලොල් වූයේ වේද
  3. දූ කෙළියෙහි ලොල් වූයේ වේද
  4. පවිටු මිතුරන් ඇත්තේ වේද, පවිටු යහළුවන් ඇත්තේ වේද, පවිටු ජනයනට අවනත වූයේ වේද යන මේ සතර කරුණු වෙති.

යම් සේ මහ විලකට අය මුඛයෝ (-දිය එන දොරටු) සතර දෙනෙක් ම වෙත් ද, අපාය මුඛයෝ (-දිය පිටවන දොරටු) සතර දෙනේකම වෙත්ද, යම් පුරුෂයෙක් තෙමේ ඒ විලෙහි අය මුඛත් වසා නම්, අපාය මුඛත් අරී නම් වලාකුළුත් මනා සේ දිය දහර නො හෙළා නම් එසේ වූ ඒ මහ විලට ජලයෙන් පිරිහීම වන බව බලාපොරොත්තු විය යුතුයි. ජලයාගේ වැඩිවීම වන බව බලාපොරොත්තු නොවිය යුතුයි.

එපරිද්දෙන් ම ව්‍යාඝ්‍රපද්‍යය, යම් සේ උපදවන ලද භොගයන්ගේ අපාය මුඛයෝ යථෝක්ත සතර දෙනෙක්ම වෙත්.

ව්‍යාඝ්‍රපද්‍යය, මෙසේ උපදවන ලද භොගයන්ගේ අය මුඛයෝ (වැඩිවන දොරටු) සතර දෙනෙක් වෙත්.

  1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූයේ නො වේද,
  2. මත්පැන් බිමෙහි ලොල් වූයේ නො වේද,
  3. දූ කෙළියෙහි ලොල් වූයේ නො වේද,
  4. යහපත් මිතුරන් ඇත්තේ වේද, යහපත් යහළුවන් ඇත්තේ වේද, යහපත් මිතුරනට අවනත වේ ද යන මේ සතර දෙන ය.

යම් සේ මහත් වූ විලක ගේ දිය එන දොරටු ද, දිය පිට වන දොරටු ද සතර දෙනෙක් බැගින් වෙත් ද, යම් පුරුෂයෙක් තෙමේ. ඒ දිය එන දොරටු අරින්නේ නම්, සියලු දිය පිටවන දොරටු වසන්නේ නම්, වලාකුළුත් මනා සේ දිය දහර හෙළා නම් එසේ වූ කල ඒ මහ විලට ජලයාගේ වැඩිවීම වන බව බලාපොරාත්තු විය යුතුයි. ජලයෙන් පිරිහීම වන බව බලාපොරොත්තු නොවිය යුතුයි.

එපරිද්දෙන් ම මෙසේ උපදවන ලද භොගයන්ගේ වැඩි වන දොරටු යථෝක්ත සතර දෙන වෙත්.

ව්‍යාඝ්‍රපද්‍යය, මේ ධර්මයෝ සතර දෙන කුල පුත්‍රයාගේ මෙලොව හිත පිණිස මෙලොව සුව පිණිස පවතිත්.

ව්‍යාඝ්‍රපද්‍යය, මේ ධර්මයෝ සතර දෙන කුල පුත්‍රයාගේ පරලොව හිත පිණිස සුව පිණිස පවතිත්.

කවර සතර දෙනෙක් ද යත්

  1. තුනුරුවන් ඇදහීම නම් වූ ශ්‍රද්ධාවගේ සම්පූර්ණතාය.
  2. කාය වාග් ක්‍රියාවන්ගේ හික්මීම නම් වූ ශීලයාගේ සම්පූර්ණතා ය.
  3. මසුරු මල හැරපීම නම් වූ ත්‍යාගයාගේ සම්පූර්ණතාය,
  4. කර්ම, කර්මවිපාකාදීන් හරි හැටි දැනීම නම් වූ ප්‍රඥාවගේ සම්පූර්ණතා ය යනුයි.

ව්‍යාඝ්‍රපද්‍යය, ශ්‍රද්ධා සම්පදා තොමෝ කවරී ද?

මේ ලෝකයෙහි කුල පුත්‍රයෙක් තෙමේ සැදැහ ඇත්තේ වේ ද තථාගතයන් වහන්සේගේ බෝධිය (බුදු බව) අදහන්නේ ද, හේ කෙසේද යත්:-

මේ කාරණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ (සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් ද, රහසිනුදු පව් නොකරන හෙයින් ද, පූජාවට සුදුසු හෙයින්ද) අර්හත් ය. (චතුස්සත්‍යයන් මනාකොට දැනගත් හෙයින්) සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණයන් ගෙන් යුක්ත සේක. (ශෝභන ගමන් ඇති හෙයින්ද, සුන්දර නිර්වාණයට පැමිණි හෙයින් ද) සුගත ය, ත්‍රිවිධ ලෝකය දන්නා සේක, දැමිය යුතු පුරුෂයන් දැමීමට උතුම් වූ සාරථියෙකි, දෙවි මිනිසුන් හට ශාස්තෘවරයෙකි, දතයුතු තාක් සියල්ල දන්නා සේක. භාග්‍ය ඇති සේක යනුයි.

මෙය ශ්‍රද්ධා සම්පත්තිය යි කියනු ලැබේ.

(මෙහි ශ්‍රද්ධා යනුවෙන් අදහස් කරනු ලබන්නේ අන්ධ විශ්වාසය නො ව ප්‍රඥානුකූල ඇදහීම ය.)

ව්‍යාඝ්‍රපද්‍යය, ශීල සම්පදා තොමෝ කවරී ද?

මේ ලෝකයෙහි කුල පුත්‍ර තෙමේ පරපණ නැසීමෙන් විශේෂයෙන් වැළැක්කේ වෙ ද, නුදුන් දේ ගැනීමෙන් විශේෂයෙන් වැළැක්කේ වේද, කාමයෙහි වරදවා හැසිරීමෙන් විශේෂයෙන් වැළැක්කේ වේද, බොරු කීමෙන් විශේෂයෙන් වැළැක්කේ වේද, මත්වීමට හා නොසැලකිල්ලට හේතු වූ රහ මෙරින් විශේෂයෙන් වැළැක්කේ වේ ද යන මෙය ශීල සම්පත්තිය යි කියනු ලැබේ.

ව්‍යාඝ්‍රපද්‍යය, ත්‍යාග සම්පදා තොමෝ කවරී ද?

මේ ලෝකයෙහි කුල පුත්‍ර තෙමේ පහ වූ ලෝභමල මසුරුකම්වලින් යුත් සිතින් මුදා හළ ත්‍යාග ඇතිව හෙවත් දෙන දෙයෙහි නොබැඳි දෙන ගති ඇතිව, දන්දෙනු පිණිස නිරතුරු ව සේදු අත් ඇතිව, දිය යුතු දෑ දෙන බවෙහි ඇලුණේ, ගිහි ගෙයි වෙසේ ද එසේ වසන්නාහු ගේ දෙන බව ත්‍යාග සම්පත්තිය යි කියනු ලැබේ.

ව්‍යාඝ්‍රපද්‍යය, ප්‍රඥා සම්පදා තොමෝ කවරී ද?

මේ ලෝකයෙහි කුල පුත්‍ර තෙමේ මෙ පංචස්කන්ධයාගේ උදය වැය තතු සේ බලන බවට යන්නා වූ, ආර්‍ය්‍ය වූ අවිද්‍යා නමැති අන්ධකාරය විනිවිද යන්නා වූ, මොනවට දුක නැති කිරීම නම් වූ නිවන බලා යන්නා වූ, විදසුන් නුවණින් යුක්ත වේ ද, මෙසේ වූ ප්‍රඥා ඇත්තේ වේද යන මෙය ප්‍රඥා සම්පදාය යි කියනු ලැබේ.

ව්‍යාඝ්‍රපද්‍යය, මේ සතර ධර්මයෝ කුල පුත්‍රයාගේ පරලොව හිත පිණිස සුව පිණිස පවතිත්.

කර්මාන්තයන් විෂයෙහි නැඟී සිටින සුලු වූ හෙවත් වීර්‍ය්‍ය සම්පන්න වූ, හෙවත් සැලැකිලිමත් වූ, සංවිධාන සම්පන්න වූ තැනැත්තේ මනා කොට ජීවිකාව කෙරේ ද, උත්සාහයෙන් රැස් කළ ධනය රක්ෂා කෙරෙයි.

ශ්‍රද්ධා ඇතියේ, ශීලයෙන් යුක්ත වූයේ, යාචකයාගේ බස් දන්නේ හෙවත් යැදියන් බසට ඇහුම්කන් දෙන්නේ, පහ වූ මසුරු මල ඇත්තේ, පරලොව යහපතට හේතු වූ දශ කුසල ධර්ම මාර්ගය නිරතුරු ව පිරිසිදු කෙරෙයි.

දෙලොව සුව එළවන්නා වූ මේ අට වැදෑරුම් ධර්මයෝ ගිහි සැපත් සොයන්නා වූ සැදැහැතියනට සත්‍ය වූ නාමයක් ඇති බුදුරදුන් විසින් දෙසන ලද්දාහු ය. ගිහියනට මෙලෝ පරලෝ හිත පිණිස මෙසේ ත්‍යාගය ද වැඩේ. පින ද වැඩේ.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *