බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ආචාර්ය පූජ්‍ය මිරිස්සේ ධම්මික නාහිමිපාණන්
සසර මග කෙටි කරන ප්‍රතිපදා මාර්ගයේදී ආශ්‍රව හෙවත් කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඉවසීම නම් වූ ගුණය ද උපකාර වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කොට දේශනා කරති. ඉවසීමෙන් බැහැර කළ යුතු ආශ්‍රවයෝ කවරහුද? මේ ශාසනයෙන් භික්ෂුව නුවණින් සලකා සීතල ඉවසන්නේ වෙයි. උණුසුම ද කුසගිනි ද පිපාසය ද මැසි – මදුරු – සුළං – අව්ව – සර්පයන්ගේ ස්පර්ශය ද ඉවසන්නේ වෙයි. නපුරු වචන ද ඉවසන්නේ වෙයි. උපන්නා වූ, ශාරීරික වූ, තියුණු වූ, රළු වූ, කටුක අමිහිරි වූ, අමනාප වූ ජීවිතය නැතිවන තරමේ මාරාන්තික වේදනා ද ඉවසන්නේ වෙයි. යම් ආකාරයකින් නොඉවසන්නා වූ ඔහුට හෝ ඇයට වෙහෙසකර දැවිලි සහිත ආශ්‍රවයෝ උපදිත් ද මෙසේ නුවණින් සලකා ඉවසන්නා වූ ඔහුට හෝ ඇයට වෙහෙසකර ආශ්‍රවයෝ එනම් කෙලෙස් නූපදිත්. මෙය නුවණින් සලකා අධිවාසනය හෙවත් ඉවසීමෙන් බැහැර කළ යුතු ආශ්‍රමයෝ යැයි කියනු ලැබෙත්.
මෙහි ඇති ධර්ම විවරණය, අපි මතු කොට ගනිමු. නිවන් මාර්ගයේදී ප්‍රධාන ලෙස බැහැර කළ යුතු රාග, දෝෂ, මෝහ මුල්කොට ගත් සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිසම සතිය හෙවත් විදර්ශනා නුවණින් යුතු සිහිය පිහිටුවාගෙන විමසා බලමු. මෙම ඉවසීම ‘සදාචාරයට’ ගැළපෙන අයුරින් සම්මුතියෙහි ඉවසීමත්, නිවන් මගේ ප්‍රතිපදාවට ගැළපෙන ආකාරයෙන් පරමාර්ථ ධර්මයෙහි ඉවසීමත් ලෙස දෙවිදියකින් ගළපා බැලිය හැකි වන්නේය. සම්මුතියෙහි පිහිටා ඉවසන්නේ සදාචාරාත්මක හෝ පවත්වාගත යුතු ශිෂ්ට සම්පන්න ගුණයක් හැටියටය. මෙහිදී යම් ආකාරයකින් සිතෙහි තරහව හෙවත් ද්වේෂය පැවතිය හැකි ය. තමා අකැමැති වන අන් අයගේ හැසිරීම්, වචන, සිතුවිලි නිසා තම සිතෙහි ද්වේෂය පහළ විය හැකිය. එනමුත් එය යටපත් කරගෙන, එනම් වචනයෙන් හෝ ක්‍රියාවෙන් මතුවෙන්නට අවස්ථාවක් නොදී පාලනය කරගෙන, කායික හා වාචසික සංවරයෙන් යුතුව සිටිය හැකි ය. එනමුත් පුද්ගල චිත්ත සන්තානයේ කැකෑරෙන තරහවත්, වෛරයත්, ක්‍රෝධයත් සහ පසුව පළිගන්නවා නම් වූ පටිඝය සම්බන්ධ වූ උපකිලේස හටගෙන තිබිය හැකිය. පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුව අධිවාසනා ගුණය හෙවත් ඉවසීම පුරුදු කිරීමේදී ඇස, කන, නාසය, දිව, ශරීරය මත නම් වූ ඉන්ද්‍රියන්ගෙන් අකැමැති අරමුණුවලට මුහුණදීමේදී පටිඝ හෙවත් තරහවේ මූල බීජයන් සිතෙහි සකස් විය නොහැකිය. එයට හේතුව නම් පඨවි ආදී ධාතූන් ද රූප, වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකය ද ඇස, කන ආදී ඉන්ද්‍රියන් ද අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත් බව අනුක්‍රමයෙන් අවබෝධ කොට ගැනීමයි. එනම් ඒ ධාතු, ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත වූ ‘මම’ නම් වූ මේ ශරීරය වහා, සෑම මොහොතකම වෙනස් වෙන්නේ නම්, එනම් ක්ෂණ භංගුරත්වයට පත්වන්නේ නම්, මම කියා හෝ මගේ කියා පරමාර්ථ වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් නොමැති බවයි. “මම, මගේ” යනු සම්මුති ලොවෙහි පැවත්ම පමණෙකි. එසේ නම්, අකැමැති අරමුණේදී ගැටීමකට, තරහවකට, සංස්කරණය කරගත යුතු, ක්‍රෝධයකට කිසිදු හේතුවක් හෝ ප්‍රත්‍යයක් නොමැත්තේය. ඉතාමත් සන්සුන් මනසින්, එනම් චිත්ත සමාධියෙන් යුතුව මෙනෙහි කොට පරම සත්‍ය වටහා ගන්නට තරම් සිත අවදි කරන්න.
පාරමිතාවක් ලෙස ද දහමෙහි පෙන්වා දෙන ඉවසීම, සත්පුරුෂයා විසින් තමාගේ සහ තමාට හිංසා කරන අය ද යන දෙදෙනාගේම අර්ථය, දියුණුව පිණිස පුරුදු කරයි. සංයුක්ත නිකායේ මෙසේ වදාළහ.
“උභින්න මත්ථං චරති
අත්තනෝ ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා
යො සතො උපසම්මති”
“යමෙක් අන් පුද්ගලයා කිපුණු බව දැන, සිහියෙන් යුතුව සංසිඳේ නම්, නොකිපේ නම්, ඒ අය තමාගේ ද අන් අයගේ ද අර්ථය, යහපත පිණිස හැසිරේ යන අදහසයි.” ඉවසීමට ප්‍රතිපක්ෂ වන්නේ ක්‍රෝධයයි. තරහවයි. ලෝකයේ අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ කිසිදු කෙනෙකුට තමා කැමැති පරිදි සියලු අරමුණු ලැබීම නොලැබුණි. නොලබයි. නොලබන්නේය. මේ බව නුවණින් දැන අන් අයගේ වෙනස්වීම්, දුබල අරමුණු අනුව තමා වෙනස් වන අයෙක් බවට පත් නොවිය යුත්තේය. ඉන් අදහස් කළේ ක්‍රෝධය මතු කොටගෙන, අන් අයගේ චර්යාව තමාගේ මෙලොව පරිහානියටත් මරණින් මතු දුගතියටත් මාර්ගය සකසා නොගත යුතු බවය. මේ සඳහා තවත් දහම් අවවාදයක් රසවාහිනි නම් ධර්ම ග්‍රන්ථයෙහි දැක්වෙයි.
යො සා යස්ස ඩසෙ පාදං
තස්ස පාදං න සො ඩසෙ
එවමෙවහි දුට්ඨස්ස
අදොසොච පසංසිතො”
“යමෙක් තමාගේ පය සුනඛයෙකු සැපූ කල, තමා ඒ සුනඛයාගේ පය නොසපන්නාක් මෙන්, තමාට ආක්‍රෝශ පරිභව කිරීම් ආදී වශයෙන් හෝ පහරදීම් වශයෙන් හෝ කිපුණු තැනැත්තාට නොකිපීම, තරහ නොනැගීම, පළි නොගැනීම, බුද්ධාදි උතුමන්ගේ අවවාදයයි. ඒ මග අනුගමනය කිරීම ආර්ය මාර්ගයේ ප්‍රතිපදාවකි. එය එසේ වන්නේ සීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩීමට ඉවසීම ප්‍රධාන කරුණක් බැවිනි. මූල හේතුවක් බැවිනි. සියලු කුසල ධර්මයෝ සිහියෙන් යුතුව චිත්ත සන්තානයෙහි උපදින ඉවසීම මුල් කොට වැඩෙත්. ඒ බව මෙසේ වදාළහ.
සීලං සමාධි පඤ්ඤානං
ඛන්තී පධාන කාරණා
සබ්බේපි කුසලා ධම්මා
ඛත්ත්‍යායත්තා ච වඩ්ඪරෙ යනුවෙනි.
ඉහත අදහසට ප්‍රධාන හේතුකාරක වූ දහම් රැසක් ආර්ය මාර්ගය ඔස්සේ මතුකර ගත හැකිය. කකචූපම සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ සොරුන් විසින් අල්ලාගෙන ධනය ඉල්ලමින් කියතකින් අත් පා ආදිය කපන කපන කල්හිද, යමෙක් තමාගේ ශරීරය කියතින් කපන ඒ සොරුන්ට විපත් වේවා යි කියා හෝ සිතා ද්වේෂ කෙරේ නම් ඒ අය තමන් වහන්සේගේ අවවාදය පිළිනොගන්නා වූ කෙනෙක් ලෙසය. යම් යම් අයගේ ස්වල්ප වූ වචන, හැසිරීම්, සිතුවිලි ඉදිරියේ පටන් ජීවිත හානියක් හෝ කරන අවස්ථාවක් දක්වා වුවද ආර්ය මාර්ගයට පිළිපන් ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව කෙසේ පිළිපැදිය යුතු දැයි ඒ දහම් කොටසින් පැහැදිලිය.
මෙසේ සම්මත ලෝකයෙහි සහ ජීවිත පැවැත්මෙහි ඉවසීම නම් බෝධිසත්ව ගුණය සතියෙන් යුතුව පුරුදු වන්නට හේතු ප්‍රත්‍ය වන කරුණු පහක් භාග්‍යවතුන් වහන්සේ ආඝාත පටිවිනය සූත්‍රයේදී වදාළහ. යම් අකැමැති හෙවත් අනිෂ්ට අරමුණක් නිසා ද්වේෂයක්, ක්‍රෝධයක් හටගත්තේ නම් එයට හේතු වූ පුද්ගලයා කෙරේ මෛත්‍රී ධ්‍යානය පුරුදු කිරීම වන්නේය. එමෙන්ම එම පුද්ගලයා කෙරේ කරුණාව පුරුදු කිරීම වන්නේය. එමෙන්ම එම පුද්ගලයා කෙරේ ධ්‍යාන වශයෙන් උපේක්ෂාව හෙවත් මධ්‍යස්ථ බව පුරුදු කිරීම වන්නේය. එමෙන්ම එම පුද්ගලයා කෙරේ සිහිය නොපවත්වා එම පුද්ගලයා මෙනෙහි නොකළ යුතු වන්නේය. අවසානයේ එම පුද්ගලයා කෙරේ කර්ම ස්වභාවය මෙනෙහි කළ යුතු වන්නේය. මේ පුද්ගලයා කර්මය ස්වකීය කොට ඇත්තේය. කර්මය ලබන ලද විපාක නම් වූ දායාද කොට ගත්තේ වෙයි. කර්මයට හේතු කොට ඇත්තේ වෙයි. කර්මය ඤාති කොට ඇත්තේ වෙයි. කර්මය පිළිසරණ කොට ඇත්තේ වෙයි. යහපත් හෝ අයහපත් වූ යම් කර්මයක් කරන්නේ නම් එම පුද්ගලයා එයට දායාද වන්නේය. මේ ලෙසින් නුවණින් මෙනෙහි කිරීමෙන් ආඝාතය හෙවත් ද්වේෂය දුරුකොට යුතු බව භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයයි.
මේ ලෙස සම්මතව පවත්නා වූ ලෝකයෙහි ජීවිත සංවරයට පැමිණෙන විට ආර්ය මාර්ගය පහසුවෙන්, එනම් සුඛ පටිපදාවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසෙයි. නිවන් අරමුණු කරගත් ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාවට සීතල, උණුසුම, කුසගින්න, පිපාසය, මැසි මදුරු උවදුරු, සුළඟ, අව්ව, සර්පයන්, නපුරු වචන, පටිඝය මතුවීමට එනම් තරහව, අමනාපය, ක්‍රෝධය මතුවීමට ආරම්මණ හෝ හේතූන් බවට පත් නොවෙයි. තම ශරීරයේ උපදින තියුණු, රළු, කටුක, අමිහිරි, අමනාප, මාරාන්තික වේදනා වුවද අවබෝධයට පත්වෙයි. සියලු සංඛත සංඛාර වස්තූහු පඨවි ආදී ධාතූන් නිසා හටගත් බවත් වේදනා (විඳීම්), සඤ්ඤා (හඳුනා ගැනීම්), සංඛාර (රැස්කිරීම්), විඤ්ඤාණ (අරමුණ තීරණය කිරීම්) ඔස්සේ ක්‍රියාත්මක වන බවටත් අවබෝධ කරගන්නට උත්සාහ ගනී. ත්‍රිලක්ෂණ ධර්මය කෙරේ ඇති අභාවිත සිත් නිසා මෙම නාම – රූප ධර්ම සත්ත්වයෙක්, පුද්ගලයෙක් හෝ ස්ථිර, සැපදායක, තමා සිතන පතන පරිදි පවතින බවට දැනුණත්, සිතුවිලි නැඟුණත් මේ සවිඤ්ඤාණක අවිඤ්ඤාණක සියලු සංඛත වස්තු විපරිණාමයට පත්වන බව එයටම උරුම වී ඇති බවට වැටහෙයි. යම් අවස්ථාවක සීතල, උෂ්ණය සැප ලෙස ඇලෙන්නටත් තවත් අවස්ථාවක එම වස්තූහුම නිසා ගැටෙන්නටත් යමක් නැති බව මෙනෙහි කරයි. මෙහි පවතින්නේ දකින, අසන, කියන, දැනෙන හේතූන්ගේ ක්‍රියාදාමයක් බවට මනසිකාරය වන විට සිතෙහි සකස් වන්නේ විරාගී සිතුවිලිය, සංකල්පයෝය. නිදසුනක් ලෙස දක්වන්නේ නම් කුසගින්න, පිපාසය හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාදාමයක් බවට වැටහෙයි. අවිiාව නිසා කර්ම භවය සකස් වන බවත් භවය නිසා ඉපදීම සිදුවන බවත් ඉපදීම සමග එහි පැවැත්ම පිණිස කබලිංකාර ආහාර නම් වූ කඩා සපා ගන්නා වූ බත්පිනි එළවළු වැනි කයෙහි පැවැත්වීමට ආහාර පාන ගන්නා බවත් වැටහෙයි. නමුත් තදින් අල්ලා ගැනීම නම් වූ උපාදානයවත් වෙනස්වීමේදී ඇතිවන පටිඝයවත් නොවිය යුතු බවට වැටහෙයි. බලවත් වූ, කායික වූ වේදනා ද ආර්ය මාර්ගය අරමුණු කරන ශ්‍රාවකයාට, ශ්‍රාවිකාවට ඒ හේතු ඵල දහම වැටහෙන විට නකුල පිතු සූත්‍රයෙහි සඳහන් පරිදි සන්සිඳෙන්නට පටන් ගනී. “කය රෝගයන්ගෙන් බහුලය. බිජුවටක් වැන්න. ගිලන් වූ කය ඇති, මාගේ සිත නොගිලන් වෙයි.” (ආතුර කායස්ස මෙ සතො, චිත්තං අනාතුරං භවිස්සති) මෙම ඉවසීම ම පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතු ඉවසීම නම් වෙයි. මේ අවබෝධය නිසා වෙහෙසකර දැවිලි සහිත ආශ්‍රවයෝ නූපදිති. මෙයම අධිවාසනයෙන් හෙවත් නුවණින් යුතුව ඉවසීමෙන් ආශ්‍රව බැහැර කිරීම නම් වේම ය.

